Home » තරිඳුට තරිඳුගෙන්ම අභියෝගයක්

තරිඳුට තරිඳුගෙන්ම අභියෝගයක්

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
හනීෆ් මොහොමඩ්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුයේ 1877 වසරේදීය. ඒ අනුව අද වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වසර 148 ක් පැරණිය. මේ කාලය තුළ පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 5180 ක් බව සඳහන් ය.

මෙතරම් විශාල ටෙස්ට් තරග සංඛ්‍යාවක් පවත්වන තුරුම කිසිවෙකුට හෝ පිහිටුවීමට නොහැකි අනභිභවනීය වාර්තාවක් ඉතිහාසයට එක් කරන්නට තමන් සහභාගි වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම තරිඳු රත්නායකට හැකි වී තිබුණි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා පිලට තරිඳු රත්නායක තෝරාගෙන තිබුණේ දඟ පන්දු යවන්නෙකු වශයෙනි. ඔහුගේ විශේෂත්වය වුයේ දෑතින්ම පන්දු යැවීමේ හැකියාවය.

මීට පෙර දෑතින්ම පන්දු යැවීමේ හැකියාව ඇති ශ්‍රී ලාංකේය ක්‍රීඩයින් ලෙස මෙරට ක්‍රීඩා ලෝලීන් හෂාන් තිලකරත්න හා කමිඳු මෙන්ඩිස් හඳුනාගෙන තිබුණි.

දෑතින්ම පන්දු යැවීම ප්‍රගුණ කිරීම ඉතා අසීරුය. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ පූජනීය තරග රටාව ලෙස සැලකෙන ටෙස්ට් තරගවලදී දෑතින්ම පන්දු යැවු ක්‍රීඩකයින් පිළිබඳ මීට පෙර සඳහන්ව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එම ඉතිහාසයට අනුව ටෙස්ට් තරගයකදී දෑතින්ම පන්දු යවන ලද පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ පාකිස්තාන පිල නියෝජනය කළ ආරම්භක පිතිකරුවකු වු හනීෆ් මොහොමඩ්ය. ඔහු 1958 වසරේ කිංග්ස්ටන් හි බටහිර ඉන්දීය කොදෙව්වන් හා පැවැති ටෙස්ට් තරගයේදී ලොකුම ටෙස්ට් ඉනිම ලෙස නොදැවී ලකුණු 365 ක් රැස් කළ ගැරී සෝබස්ට තරගයේ අවසන් භාගයේදී දකුණතින් හා වමතින් පන්දුවාර 2ක් යවන ලද බව සඳහන්ව ඇත.

හනීෆ් මොහොමඩ් යනු ආරම්භක පිතිකරුවෙකි. කඩුලු රකින්නෙකි. ඔහු සහභාගි වු ටෙස්ට් තරග 55 තුළ පිට දඟ පන්දු යවන්නෙකු ලෙස පන්දු වාර 34 ක වඩා යවා තිබුණේ ද නැත. එසේ වුවත් කිංග්ස්ටන් ටෙස්ට් තරගයේදී හනීෆ් මොහොමඩ් කඩුලු දවා ගැනීමට සමත් වී නොතිබිණි.

ඉන් පසු නැවත ටෙස්ට් ක්‍රිකට් තරගයකදී දෑතින්ම පන්දු යවන ලද බවට වාර්තා වන්නේ එංගලන්ත ක්‍රීඩක ග්‍රෙහැම් ගූච් පිළිබඳවය. ඔහු 1982 වසරේ ඉන්දියාව සමඟ කල්කටා හි පැවැති තරගයේදී එක් පන්දු වාරය බැගින් දෑතින්ම පන්දු යවා තිබුණේ නරඹන්නන් කුල්මත් කිරීම පිණිස බව සඳහන් වෙයි. ජය පරාජයෙන් තොරව අවසන් වු එම තරගයේ ඔහු යැවු එම පන්දු වාර දෙකේදී ලබා දී තිබු ලකුණු සංඛ්‍යාව හතරකි.

පසුගිය දා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ගාල්ලේදී නිමාව දුටු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී 29 හැවිරිදි තරිඳු රත්නායක බංග්ලාදේශ පළමු ඉනිමේදී දකුණතින් පිට දඟ පන්දු යවා වමත් පිතිකරුවන් වු ශඩ්මන් ඉස්ලාම් හා මොනිනුල් හක් දවාගත් අතර, අනතුරුව වමත් පිතිකරුවකු වු ලිටන් ඩාස් වමතින් පා දඟ පන්දු යවා දවා ගත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී දෑතින්ම පන්දු යවා කඩුලු දවා ගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. එය ඔහු සහභාගී වු පළමු ටෙස්ට් තරගය වීමත් එම තරගයේ දෙවන ඉනිමේදී ද නැවතත් ඒ දස්කම ප්‍රදර්ශනය කිරීමට සමත් වීමත් නිසා තරිඳු රත්නායක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය සිහිවටනයක් බවට පත් විය.

මේ වනවිට තරිඳු ටෙස්ට් තරග දෙකකටම සහභාගී වී ඇති නිසා ඔහු ඉදිරි ටෙස්ට් තරගවලදී දෑතින්ම කඩුලු දවා ගත්තද ඔහුට ද ඔහුගේ මේ වාර්තාව සම කළ නොහැකිය.

සීවලී එදිරිවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division