ශ්‍රී ලංකා “ඒ“ ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් තරග තුනකට හා සිවුදින තරග දෙකකට සහභාගි වීම පිණිස පසුගියදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා “ඒ“ පිලේ එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු උදාරට පවරා ඇති අතර සිවුදින කණ්ඩායමේ නායකත්වය පවරා ඇත්තේ පසිඳු සුරියබණ්ඩාරටය.
එක්දින තරග තුන ජුලි 04 වැනිදා ආරම්භ වු අතර එහි දෙවැන්න අද (06) ද අවසන් තරගය 09 වැනිදා ද පැවැත්වීමට නියමිතය.
සිවුදින පළමු තරගය ජුලි 13 සිට 16 දක්වාත් දෙවැනි තරඟය ජුලි 20 සිට 23 දක්වාත් පැවැත්වෙයි. මෙම සියලුම තරග පවත්වනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ ඩාවින්හිදීය.
ශ්‍රී ලංකා එක්දින ඒ කණ්ඩායම ලහිරු උදාර නුවනිඳු ප්‍රනාන්දු , ලසිත් කෘස්පුල්ලේ, කමිල් විෂාර, පසිඳු සුරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ ෂොනාල් දිනුෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාෂ් ප්‍රනාන්දු, මො. ශිරාෂ්, ඉසිත් විජේසුන්දර, ප්‍රමෝද් මධුෂාන්, දුෂාන් හේමන්ත හා වනුජ සහන් යන ක්‍රීඩකයින්ගෙන් සමන්විතය.
පසිඳු සුරියබණ්ඩාර මෙහෙයවන සිව්දින ක්‍රිකට් කණ්ඩායමට මෙම ක්‍රීඩකයින්ට අමතරව රසිඳු රසාන්ත, ශොහාන් ඩි ලිවේරා, විෂාද් රන්දිල් යන ක්‍රීඩකයින් ඇතුළත්ය.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කරනු ලබයි. මෙම සංචාරය පිළිබඳව අදහස් දැක්වු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පසුගිය මාස 18 තුළ තරගාවලි කිහිපයකටම සහභාගි වී එහිදී සතුටුදායක දස්කම් දක්වා ඇති බවය.
“ඇත්තෙන්ම කණ්ඩායමේ පුහුණුකරු හැටියට මගේ ක්‍රීඩකයන් ගැන සතුටුයි. මේ වෙනකොට මගේ කණ්ඩායම හොඳ ප්‍රතිඵල පෙන්වල ජයග්‍රහණ ලබලත් තියෙනවා. නමුත් මම වඩාත් සතුටු වන්නේ මගේ කණ්ඩායමේ ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමට තේරුණු අවස්ථාවලදීය. ෂොනාල් දිනුෂ පසුගියදා ජාතික පිලට තෝරා ගත්තා. එයා එදා මට කෝල් කරලා සර් මම ශ්‍රී ලංකා පිලට තෝරා ගත්තා කියල කිව්වා. අන්න එතැන තමයි මට මේ රැකියාවෙන් ලැබෙන සතුට තියෙන්නෙ. මම හැම තිස්සේම උත්සාහ කරන්නේ තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංගට ගුණාත්මක හිසරදයක් ඇති කරන්නයි” යනුවෙන් ඔහු අවසන් වශයෙන් පැවසීය.
එක්දින කණ්ඩායමේ ළහිරු උදාර සඳහන් කරනු ලැබුවේ මෙම සංචාරයේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හොඳින් මුහුණ දීමට සූදානමින් සිටින බවය. “අපිට අත්දැකීම් බහුල හොඳ තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මට කණ්ඩායම මෙහෙයවීම පහසු වේවි“ යැයි ඔහු විශ්වාස පළ කළේය.
එහිදී සිවුදින කණ්ඩායමේ පසිඳු සුරියබණ්ඩාර කියා සිටියේ මේ සංචාරයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අභියෝග කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බවය.