දකුණු කොරියාවේ පැවති 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය මේ වනවිට අවසන් වී ඇතත් ජූලි 02 වැනිදා වනවිට පැවති තත්ත්වය අනුව නිර්මාණය වී තිබුණේ ශ්‍රී ලංකාවට මෙවර ද තෙවැනි ස්ථානයේ රැඳෙන පසුබිමකි.
මෙවර මෙම තරගාවලියට පසුගිය ශූරියන් වූ මැලේසියාව අනුශූරියන් වූ සිංගප්පූරුව, තෙවැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව හා හොංකොං මූලික වටයේදී ඒ කොටසින් තරග වැදුණු අතර පාකිස්ථානය, චීන තායිපේ, මාලදිවයින, සෞදි අරාබිය හා සත්කාරක දකුණු කොරියාව බී කොටසින් තරග වැදුණි.
ආසියානු කලාපයේ ප්‍රබලම නෙට්බෝල් කණ්ඩායම් හතරම ඒ කොටසට එක්ව සිටීම මෙවර තරගාවලියේ විශේෂත්වයක් විය.
කෙසේ වුවත් මූලික වටයේදී ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී හොංකොං පිල ලකුණු 50 – 31ක් ලෙස පරාජය කළ අතර, දෙවන තරගයේදී ඉන්දියාව ලකුණු 71 – 30ක් ලෙස ද පරාජය කළාය. නමුත් පසුගිය ශූරියන් වන මැලේසියාව සමඟ පැවති තරගයේදි ලකුණු 40 – 62ක් ලෙසත්, පසුගිය අනුශූරියන් වූ සිංගප්පූරුව සමඟ පැවති තරගයේදී ලකුණු 19 – 62ක් ලෙසත් දරුණු පරාජයන් ලැබූහ. මෙම තරගාවලියේ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා යොවුන් පිලක් වාර්තා කළ බරපතළම පරාජය මෙවර සිංගප්පූරුව සමඟ පැවැති තරගයේදී සටහන් විණි.
මෙම තරගාවලියට ඉදිරිපත් වූ සෑම කණ්ඩායමක්ම පැමිණෙන්නට ඇත්තේ ආසියානු කලාපීය ශ්‍රේණි සටහනේ එක පියවරක් හෝ ඉදිරියට යන අදහසින් බව පැහැදිලිය.
තරගාවලියකට සහභාගී වීමේදී සෑම කණ්ඩායමකටම ජය-පරාජය පොදුය. ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේදී තරග වැදුණු ආකාරය සලකා බලන විට කිසිසේත්ම ඔවුන් සිටි තෙවැනි ස්ථානයෙන් පහළට වැටෙන්නට ඉඩක් නැති බව විශ්වාස කළ හැකිය.
එබැවින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කර ගන්නා ප්‍රතිඵලය කුමක් වුවත් ඒ පිළිබඳව ක්‍රීඩිකාවන්ට චෝදනා එල්ල කිරීම කිසිසේත්ම කළ නොහැකිය.
ක්‍රීඩිකාවන් තමන්ට ලබා දුන් පුහුණුවට නිසියාකාරව අනුගත වී ඔවුන් තුළ වූ අඩුපාඩු මඟහරවා ගෙන තිබුණි.
ක්‍රීඩා අමාත්‍යාංශය ද කණ්ඩායමට අවශ්‍ය පහසුකම්, ආහාර පාන හා සේවා නිර්ලෝභීව ලබා දී තිබුණි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය වූ හයසින්ත් විජේසිංහ මහත්මිය මෙම සංචාරයට පිටත්ව යාමට පෙර අදහස් දක්වමින් “පාසල් පුහුණුකාරිනියන්ගේ අවිවේකී බව හා වෙනත් හේතූන් නිසා ක්‍රීඩිකාවන්ගේ අඩුපාඩු කිහිපයක්ම තිබුණා. මා ඒ සියල්ලක්ම නිවැරදි කරනු ලැබුවා. ක්‍රීඩා අමාත්‍යාංශයත් අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දුන්නා.” යනුවෙන් ප්‍රකාශ කර තිබීමෙන් එය තහවුරු වෙයි.
එහෙත් හයසින්ත් විජේසිංහ මහත්මිය දකුණු කොරියාවට ගිය පසු “ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලධාරිනියන් තනතුරු බෙදා ගැනීම සඳහා නඩු කියා ගන්නවා. නෙට්බෝල් ක්‍රීඩාවට පරිපාලනයක් නෑ. ජාතික කණ්ඩායමත් විසිරිලා. සිංගප්පූරුව මීළඟ ආසියානු ශූරතාවට කණ්ඩායම තෝරලත් ඉවරයි. අපට කනිෂ්ඨ සංචිතයකුත් නෑ. මේ කණ්ඩායම පුහුණු කරන්න මට ප්‍රමාණවත් කාලයක් ලැබුණෙත් නෑ.” යනුවෙන් අභූත චෝදනා එල්ල කර තිබුණි.
ඇය මෙවැනි ප්‍රකාශයක් කිරීමට පෙළඹී තිබුණේ කොරියාවේදී මැලේසියානු හා සිංගප්පූරු කණ්ඩායම් ක්‍රීඩා කරන අයුරු දැකීමෙන් ඇතිවූ තැති ගැනීම සමනය කර ගැනීමට විය යුතුය. කෙසේ වුවත් එවැනි ප්‍රකාශයක් කිරීම කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කිසිසේත්ම යුක්ති සහගත නැත.
අධිකරණයේ නඩු පවතින්නේ පැවති පරිපාලනය නැවත බලයට පත්වීම පිණිස සිදු කරන ලද වංචනික ක්‍රියාවක් හේතුවෙනි. ඒ නිසා හයසින්ත් මහත්මියගේ ප්‍රකාශය වංචනිකයින් ආරක්ෂා කිරීමක් වැනිය. නොඑසේ නම් ඔවුන් සිදු කළ එම වංචනික ක්‍රියා ඇය ද අනුමත කරනවා විය යුතුය.
ඒ කෙසේ වුවත් නෙට්බෝල් සම්මේලනයේ නිලධාරීන් නඩු කියා ගැනීම ගැන කතා කිරීම යොවුන් පිලේ පුහුණුකාරිනිය ලෙස නොකළ යුත්තකි. ජාතික සංචිතය අක්‍රිය වී තිබීම, යොවුන් පිල පුහුණු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීම යන කාරණා පිළිබඳ කොරියාවට ගොස් අදහස් දැක්වීම ද අනවශ්‍ය අත පෙවීමකි.
ඒ සඳහා සාධාරණ හේතු අපට දැක්විය හැකිය. ක්‍රීඩා අමාත්‍යාංශයට අවශ්‍ය වී තිබුණේ මෙම තරගාවලිය වෙනුවෙන් කනිෂ්ඨ පුහුණුකාරිනියන් දෙදෙනෙකුට අවස්ථාව ලබාදීමටය.
අමාත්‍යාංශය ඒ සඳහා නිර්නායක සකස් කොට පුහුණුකාරියන් තෝරා ගැනීමේ වගකීම පවරනු ලැබුවේ හයසින්ත් විජේසිංහ මහත්මියටය. එතුමිය එම වගකීම භාර නොගෙන පුහුණුකාරී තනතුර සඳහා අයදුම් කරනු ලැබීය. ඇයට අමතරව තවත් ජාතික පුහුණුකාරිනියක වූ නාලිකා ප්‍රසාදී මහත්මිය ද අදාළ තනතුරට අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.
නිර්ණායක අනුව ජාතික පුහුණුකාරියන් අභිභවා යන්නට පාසල් පුහුණුකාරියන් සමත් නොවීය. ඒ නිසා කනිෂ්ඨ කණ්ඩායම දියුණු කරදීම අරමුණ බව අඟවමින් ඉදිරිපත් වූ හයසින්ත් විජේසිංහ මහත්මිය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසත් නාලිකා ප්‍රසාදි මහත්මිය සහය පුහුණුකාරිනය ලෙසත් තෝරා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවිය. ඉන් සිදුවූයේ කනිෂ්ඨ පුහුණුකාරිනියන් දෙදෙනෙකුට අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟහැරී යාම පමණකි.
හයසින්ත් විජේසිංහ මහත්මිය මෙම තනතුරට අයදුම්පත් යොමු කරන විටත් නෝට්බෝල් සම්මේලන නිලධාරීන් පසුවූයේ නඩු කියා ගනිමිනි. නෙට්බෝල් ක්‍රීඩාව පැවතියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පාලනය යටතේය. ජාතික සංචිතය පැවතියේ අක්‍රියවය. තමන්ට පුහුණුකාරී තනතුර ලැබුණ ද කණ්ඩායමට අවශ්‍ය තරම් පුහුණුවක් ලබාදීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නොමැති බව ද ඇය හොඳාකාරවම දැන සිටියාය.
ඒ නිසා ඇගේ ප්‍රකාශ අපට සැලකිය හැක්කේ පරාජයේ අවමානය සමනය කර ගැනීමට අනුගමනය කළ පිළියමක් ලෙසය.
තවද කණ්ඩායමේ නායිකා චලනි නිෂා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ වින්ග් ඩිෆෙන්ස් (W.D) හෝ ගෝල් ඩිෆෙන්ස් (G.D) යන ස්ථානවලය. එහෙත් මෙම තරගාවලිය සඳහා ඇය යොදාගෙන ඇත්තේ සෙන්ටර් (C) ස්ථානය වෙනුවෙනි. එය ද වැරදි තීරණයකි. මන්ද යත් චලනි නිෂා 2023 වසරේ සිංගප්පූරුවේ පැවති නේෂන් කප් නෙට්බෝල් තරගාවලියේදී හා 2024 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු නෙට්බෝල් තරගාවලියේදී ද ජාතික පිල නියෝජනය කරන ලද ක්‍රීඩිකාවකි. ඉන්දීය තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ එකම පාසල් ක්‍රීඩිකාව ද ඇය වූවාය.
ඒ හැරුණු විට හයසින්ත් විජේසිංහ මහත්මිය මෙම කනිෂ්ඨ සංචිතයේ ක්‍රීඩිකාවන් නව දෙනෙකු පමණ සෙනසුරාදා දිනවල ඇගේ ඇකඩමියට ගෙන්වා අතිරේක පුහුණුවක් ලබාදුන් බවක් ද දැනගන්නට ඇත. එම ක්‍රියාවේ සුදුසු හෝ නුසුදුසු බව හෝ ඒ සඳහා කිසියම් අය කිරීමක් කළ බවක් හෝ අපට වාර්තා වී නැත. අවසානයේ මෙම යොවුන් දැල්පන්දු තරගාවලිය හරහා කනිෂ්ඨ පුහුණුකාරියන් දෙදෙනෙකුට අත්දැකීම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් උත්සාහය ව්‍යාර්ථ වී ගියේ නැටූ නැටුමකුත් නැතිව බෙරේ පළුවකුත් නැතිව අවසන් වූ තොවිලයක් ලෙසිනි.