Home » ෂැංහයි සිනමා සම්මානයෙන් පිදුම් ලැබූ රිවර්ස්ටන්

ෂැංහයි සිනමා සම්මානයෙන් පිදුම් ලැබූ රිවර්ස්ටන්

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

– ෂැංහයි සිනමා සම්මාන උලෙළකදී ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයක් සම්මානයට පාත්‍ර වුණු පළමු අවස්ථාවයි මේ
– මම කැමරා අධ්‍යක්ෂ විදිහට කාර්යබහුල වෙද්දි නිමන්ති තමයි ප්‍රඩක්ෂන් පැත්ත බලාගත්තේ‍

ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ රිවර්ස්ටන් සිනමාපටය මෙවර චීනයේ ෂැංහයි සිනමා සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට සමත් විය. ලාංකේය සිනමා නිර්මාණයක් මෙම උලෙළ නියෝජනය කරමින් සම්මානිත වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ලලිත් රත්නායක සමඟින් නිලන්ත පෙරේරා හොඳම තිරපිටපත වෙනුවෙන් සහ ප්‍රභාත් රෝෂන් හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙහිදී සම්මානිත වූහ. ලෝකයේ ප්‍රධාන පෙළේ සම්මාන උලෙළක් වන ෂැංහයි සම්මාන උලෙළට මෙවර රටවල් 119ක් සහභාගි වූ අතර ඉන් රටවල් 24ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබිණි.

නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ප්‍රභාත් රෝෂන් කලා ක්ෂේත්‍රය තුළ ප්‍රකට චරිතයකි. රිවර්ස්ටන් සිනමාපටයේ නිෂ්පාදකවරයා මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයා ද වන ඔහු අප හා සතුට බෙදාගත්තේ මෙලෙසිනි.

“ෂැංහයි සිනමා සම්මාන උලෙළකදී ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයක් සම්මානයට පාත්‍ර වුණු පළමු අවස්ථාව මේක. ඉතිහාසයේ පළමුවැනි වතාවට සම්මාන ද්විත්වයක් හිමිකරගන්න ලැබීමම අපේ රටේ සිනමාවේ අනාගතයට හොඳ සලකුණක් විදිහටයි මං දකින්නේ. ඒ අවස්ථාවෙ මට දැනුණ හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.“

ෂැංහයි සම්මාන උලෙළට ආරාධනා කිරීම මෙන්ම එහි සත්කාරක සේවාව පිළිබඳවත් ඔහු ගෞරවණීයව සිහිපත් කළේය.

“මේ සම්මාන උලෙළ අපට ලොකු අත්දැකීමක් වුණා. මීට කලින් ඝරසර්ෂ චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් අමෙරිකාවෙන් මට සම්මානයක් ලැබුණා. මේක මගේ දෙවැනි ජාත්‍යන්තර සම්මානය. මේක ඊට ඉහළ සම්මානයක්. ඒ වගේම අපේ රටටත් ලොකු ගෞරවයක්, කීර්තියක් ගෙන දෙමින් හැම වෙලාවෙම අපේ රට ගැන කතා කළා. හිතාගන්න බැරි තරම් ඉහළ පිළිගැනීමක් අපට තිබුණා වගේම තරු පහේ හෝටල්වල නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් සහිතව ඉහළම සත්කාර ලැබුණා. හරි වෙලාවට හරි පිළිවෙළට සියල්ලම සිදුවුණා. හැම දෙනාටම එක හා සමානව පුදුමාකාර පිළිගැනීමක් තිබුණා. ලෝකේ ප්‍රධාන පෙළේ රටවල් රැසක් මේ සඳහා සහාභාගි වී තිබීමත් විශේෂත්වයක්.“

සිනමාපටය නිර්මාණය වුණු ආකාරය ගැන සිහිපත් කරන්නත් ප්‍රභාත් අමතක කළේ නැහැ.

“රිවර්ස්ටන්, තිරපිටපත වගේම අධ්‍යක්ෂණයත් ලලිත් රත්නායකගේ. ලලිත් රත්නායකයි මමයි හොඳ යාළුවො. අපේ මිත්‍රත්වයට අවුරුදු 25ක්. අපි මේ ක්ෂේත්‍රයේ මුලින්ම හමුවුණු අය. මීට කලින් අපි එක්ව චිත්‍රපටයක් කළා. ඒකෙන් පස්සෙ නිමන්තියි මමයි කතා වුණා තනියම හොඳ ෆිල්ම් ප්‍රඩක්ෂන් එකක් කරමු කියලා. ලලිත් රත්නායක කියන්නේ නිමන්තිගෙත් හොඳම මිතුරෙක්. අපි දෙන්න මුලින්ම හමුවුණු සබඳ පබිලිස් ටෙලි නිර්මාණයේ සහාය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළේ ඔහු. ඒ හිතවත්කම නිසා අපි තීරණය කළා ඔහුත් එක්ක වැඩක් කරන්න. ඒ වෙලාවෙ ඔහු කිව්වා නිලන්ත පෙරේරාගේ හොඳ ප්ලොට් එකක් තියෙනවා. අපි ඒක ලියල ගමු කියලා. ඒ විදිහට තමයි රිවර්ස්ටන් හැදෙන්නේ.

රිවර්ස්ටන් සම්පූර්ණයෙන්ම රූගත කළේ නුවර අවට. ප්‍රධානම ලොකේෂන් එක වුණේ ජීප් රථයක් වීමත් විශේෂත්වයක්. මේක පොලීසියත් සම්බන්ධ වුණු කතාවක්. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක්‍රිෂාන්ත ජයකොඩි මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔහුගෙන් අපට බොහෝම හොද සහායක් ලැබුණා. සියලු දෙනාගේම කැපවීම මත ලංකාවේ තියෙන ඉහළම තාක්ෂණයෙන් යුතු රිඇලෙක්සා කැමරාවත් පාවිච්චි කරලා අපට හොඳටම වැඩේ කරගන්න පුළුවන් වුණා. මෙහි ආකර්ෂණීය බවට ඒකත් හේතුවක් වෙන්න ඇති.

ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා තමයි ප්‍රධාන වශයෙන් නිර්මාණය පුරාවටම දිවෙන්නේ. ටිකක් වෙනස් විදිහේ කතාවක්. කොළඹ ඉඳන් රිවර්ස්ටන් දක්වා ජීප් රියක ගමන් කරද්දි සිදුවන සිදුවීමක් පාදක කරගෙන තමයි කතාව ගොඩනැඟෙන්නේ. මේ වගේ සිදුවීම් මේ ලංකාවේ ඕන තරම් සිදුවෙලා ඇති. මේක බලද්දි ඕනෙම කෙනෙකුට හිතේවි අනේ මේ මට වුණු දේ නේද? එහෙම නැත්නම් මේ අරයට සිදුවුණු දේ නේද? කියලා. ඒ තරමටම සමීපව දැනෙන සිදුවීමක් වේවි. හැමෝම මෙය නරඹාවි කියන විශ්වාසයත් මා තුළ තියෙනවා.

නිමන්ති වුණත් රිවර්ස්ටන් සම්පූර්ණයෙන්ම දකින්නේ චීනයේ ප්‍රදර්ශනය වුණු වෙලාවේ. එයා ඒ වෙලාවෙම දරුවන්ට කියල තිබුණා තාත්තිගෙ වැඩේ නම් නියමයි. පළවෙනි ෂොට් එකෙන්ම මුළු චිත්‍රපටයම අල්ලගන්නවා කියලා. පුදුමේ කියන්නේ සම්මානය දෙන මොහොතේ හේතු පාඨය විදිහට කියවුණෙත් සිනමාපටයේ පළමුවැනි දර්ශනයෙන්ම මුළු සිනමාපටයම ග්‍රහණයට අරගෙන තියෙනවා කියන එකමයි. ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා.

මගේ බිරිය නිමන්තිටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන. මම කැමරා අධ්‍යක්ෂ විදිහට කාර්යබහුල වෙද්දි නිමන්ති තමයි ප්‍රඩක්ෂන් පැත්තෙ සියල්ලම බලලා මට ඒ නිදහස දුන්නේ. ඒ වගේම අධ්‍යක්ෂ ලලිත් රත්නායක, සහාය අධ්‍යක්ෂ සංඛ වීරසිංහ, කලා අධ්‍යක්ෂ සම්පත් වන්නිආරච්චි, වේශ නිරූපණ ශිල්පී ප්‍රියන්ත දිසානායක, එඩිටර් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලක ශෂික රුවන් මාරසිංහ වගේම මෙය සම්මාන උලෙළට ඉදිරිපත් කළ උදිත ලක්මාල්, දර්ශන, කැමරා සහායක සම්පත් ඇතුළු තාක්ෂණික ශිල්පීන් සියල්ලන්ම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.“

රිවර්ස්ටන් සමඟින් තවත් සිනමා සම්මාන උලෙළ කිහිපයක් නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන ප්‍රභාත් ලබන වසරේ ආරම්භයේ දී එය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට විවෘත කරන බව ද පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division