– ප්‍රසංගයක් ඉවර වුණහම මෙයාලව වාහනේට ගේන්නත් පුදුම වෙහෙසක් දරන්න වෙනවා
– මිනුරිට අවුරුදු 17යි සෙනුරිට 15යි අකේෂිට 12යි
මිනුරි රසාරා, සෙනුරි නෙත්සරා, අකේෂි නෙහන්සා නමින් හැඳින්වෙන පුංචි සොයුරියන් තිදෙනා මේ වන විටත් ලංකාවම දන්නා පුංචි කලාකාරිනියන් තිදෙනෙකි. ගායනය, වාදනය මෙන්ම නර්තනයේ ද එකසේ දස්කම් පාන ඔවුන් 3 SIZTERS නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගෙන තිබීම ද විශේෂත්වයකි. පානදුර නගරයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි 3 SIZTERS සංගීත කණ්ඩායම අද වන විට නන්දෙසින් ඇරැයුම් ලබයි. ඔවුන් එක්ව ගයන සිංහ පැටවු මියුසික් වීඩියෝව ඉහළ ජනතා මනාපයක් ලබන අතර සූර්යා දයාරුවන් සමඟ මිනුරී ගයන ‘දෙව්ලියක වගේ’ ගීතය ද මංගල උත්සවවලට නැතුවම බැරි ගීතයක් බවට පත්වී ඇත.
නුවන් චාමර සහ නිමාලි ශර්මිලා පුංචි දියණියන්ගේ මවුපියන්ය. වෘත්තියෙන් නාවික ඉංජිනේරුවරයෙක් වන නුවන් මෙන්ම මෘදුකාංග ඉංජිනේරුවරියක් වන නිමාලී ද තම දියණියන් තිදෙනාට සංගීත ලොවේ දිගු ගමනක් යන්නට මඟ පෙන්වති.
තම දියණියන්ගේ දක්ෂතා මුලින්ම හඳුනාගත් ඔවුන් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි දියණියන් සංගීත විෂය කෙරෙහි යොමුකළ ආකාරය පිළිබඳ නුවන් අපට පැවැසුවේ මෙලෙසිනි.
“ලොකු දුව මිනුරිට දැන් අවුරුදු 17යි. දෙවැනි දුව සෙනුරිට 15යි. චූටි දුව අකේෂිට අවුරුදු 12යි. ලොකු දුවට අවුරුදු දෙක තුන වෙද්දිම අපට තේරුණා සංගීතය කියන දේ එයාගේ ඇඟේ තියෙනවා කියලා. සෙල්ලම් සංගීත භාණ්ඩ එයා තනියම තාලෙට ප්ලේ කළා. ශිෂ්‍යත්වය සමත් වුණාටත් පස්සේ තමයි මං එයාට ගිටාර් එකක් අරන් දුන්නේ. යූ ටියුබ් එකෙන් බලලා සතියෙන් වගේ තනියෙන් සින්දුවක් ප්ලේ කරන තත්ත්වෙට එයා පත්වුණා. ඊට පස්සේ මං ඇයව පියානෝ ඉගෙනගන්න මගේ යාළුවෙක් ළඟට යැවුවා. ඇයත් කිවුවේ දුව හොඳටම ප්ලේ කරනවා කියලා. 2022 වසරේ පියානෝ තරගයකට සහභාගි වෙලා ලංකාවෙන්ම පළමුවැනියා වුණා. ඊටත් පස්සේ ගිටාර් එක පුහුණු කරවීමේ අරමුණෙන් කපිල කෝසල සර්ව ගෙදරට ගෙන්නලා උගන්වන්න පටන් ගත්තා. අක්කා ගිටාර් ප්ලේ කරනවා දැකලා නංගිලාටත් ඉගෙනගන්න ඕන වුණා. පස්සේ සර් තුන්දෙනාටම පන්ති කළා. ලීඩ් ගිටාර්, බේස් ගිටාර්, බොක්ස් ගිටාර්, කීබෝඩ්, මැණ්ඩලීන් මේ හැම සංගීත භාණ්ඩයක්ම ලොකු දුවට ප්ලේ කරන්න පුළුවන්.
දෙවැනි දුව සෙනුරි සංගීතයට වගේම ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂයි. 3 SIZTERS කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව වගේම රිදම් ගිටාර් ප්ලේ කරන්නෙත් ඇය. චූටි දුව කීබෝඩ් එක ප්ලේ කරනවා. ලොකු දුව ලීඩ් ගිටාරය. අපේ ගෙදරින්මයි 3 SIZTERS සංගීත කණ්ඩායම බිහිවෙන්නේ. ඒ තුන්දෙනාට දැන් ඕනෙම සින්දුවක් ප්ලේ කරන්න පුළුවන්. අලුත් සින්දුවක් වුණත් විනාඩි පහළොවෙන් වගේ අල්ල ගන්න පුළුවන්.
පානදුර නගරයේ හැම සංගීත ප්රසංගයකටම ඔවුන්ට ආරාධනා ලැබෙනවා. අවුරුදු ගාණක ඉඳන්ම අවුරුදු උත්සවයේ සංගීත ප්‍රසංගය ප්ලේ කරන්නේ මෙයාලා. අද වෙනකොට ඔවුන්ට ලංකාවේ බොහෝ පැතිවලින් ආරාධනා ලැබෙනවා. එයාලගේ අධ්‍යාපන කටයුතු නිසා දුරබැහැර යන්න බෑ. ළඟ ඒවට විතරක් සහභාගි වෙනවා. ඒත් අපි සතයක්වත් ගන්නෙ නෑ. මෙයාලා තාම පුංචියි. අපිට ඕන මෙයාලගේ හැකියාව පෙන්නන්න විතරයි.“
3 SIZTERS සංගීත කණ්ඩායමට ලැබෙන ප්‍රතිචාර ගැන නුවන් සිහිපත් කළේ ද අපරිමිත ස්නේහය මුසු වදන්වලිනි.
“ඇත්තටම ඒක නම් කියාගන්න බැරි සතුටක්. දැන් එයාල එළිමහන් ප්රසංගවලටත් යනවා. ස්ටේජ් එකට නැග්ගම පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. කාසි සබන් පෙණ, සල්ලි සල්ලි, දුමාරේ වගේ මේ දවස්වල ජනප්‍රියම සින්දුවලට ප්රේක්ෂකයන්ගෙන් පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබෙනවා. වන් මෝ කිය කියා බහින්න දෙන්නෙම නෑ. අඩුම ගානෙ සින්දු හයක්වත් කියන්න ඕන. ස්ටේජ් එකෙන් බහිද්දි ලැබෙන උණුසුම් ප්‍රතිචාර හරිම ආදරණීයයි. ප්‍රවීණයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංගයක් ඉවර වුණහම මෙයාලව වාහනේට ගේන්නත් මට පුදුම වෙහෙසක් දරන්න වෙනවා. ඒ තරම්ම මිනිස්සු මෙයාලට ආදරෙයි. සිරස නාළිකාවෙන් එළිදක්වනු ලැබූ මේ තුන්දෙනාගෙ සිංහ පැටවු මියුසික් වීඩියෝවත් මේ වෙද්දි ගොඩක් ප්‍රතිචාර ලබනවා. ඒත් එක්කම සූර්යා දයාරුවන් එක්ක ලොකු දුව ගයන ‘දෙව්ලියක වගේ’ගීතයත් මේ දවස්වල මංගල උත්සවවල ගොඩක් ගායනා වෙනවා.
මගෙයි, බිරියගෙයි එකම බලාපොරොත්තුව මෙයාලා දක්ෂතාවලින් ඉහළටම යනවා දකින එක. මේ වෙද්දිත් අපි ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඉදිරියටත් අපි ඕනෙම දෙයක් කරනවා. පාසලේත් මේ තුන්දෙනා ඉතාම ජනප්‍රියයි. මේ ළඟදි 3 SIZTERS කියලා කොන්සට් එකක් තිබුණා. පානදුර ටවුන් හෝල් එක උතුරල යන්න සෙනඟක් හිටියා. පානදුර හැම පාසලකම විදුහල්පතිවරුන් ඇවිත් හිටියා. සිංහල, ඉංග්‍රීසි, දමිළ, හින්දි කියන භාෂා හතරෙන්ම මෙයාලට ගීත ගායනා කරන්න පුළුවන්. පැය එකහමාරක නන්ස්ටොප් එකක් වුණත් ප්ලේ කරන්න පුළුවන්. කාසි සබන් පෙණ සින්දුව ප්‍රැක්ටිස් වෙන වීඩියෝවක් මං මෙයාලට හොරෙන් ෆේස්බුක් දැම්මා. ඒක එක්තරා පේජ් එකකින් ඉල්ලගෙන දාල තිබුණා. දවස් තුන යද්දි මිලියනයක් බලල තිබුණා. විශේෂම කාරණය තමයි මේ තුන්දෙනා මේ හැමදේම කරන්නේ අධ්‍යාපන කටයුතුත් හොඳින් කරන අතරමයි. තුන්දෙනාම ශිෂ්‍යත්වය ඉහළින්ම පාස්. ලොකු දුව ලකුණු 178යි. දෙවැනිය 176යි. චූටි දුව 170. තුන්දෙනාම මුලින්ම ඉගෙන ගත්තේ පානදුර අගමැති බාලිකාවේ. ශිෂ්‍යත්වයෙන් පස්සේ පානදුර බාලිකාවට යන්න ලැබුණා. ලොකු දුවයි, චූටි දුවයි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නේ. පොඩි දෙන්නා පාසලේ බටහිර සංගීත කණ්ඩායමේ සයිඩ් ඩ්‍රම්ස් ප්ලේ කරනවා. මේ වෙද්දි ඔවුන්ගේම ගීත 10ක් නිර්මාණය වෙලා තියෙනවා.“
‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියමනට අභියෝග කරන මේ පුංචි දියණියන්ට අපිත් සුබපැතුම් එක්කරන්නෙමු.