Home » හැම චරිතයක්ම අභියෝගයක්

හැම චරිතයක්ම අභියෝගයක්

නුවන් කළුආරච්චි‍

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

– ඔඩිෂන් එකේදි මගේ උඩු රැවුලට චිත්‍රපටයේ නිර්මාණ කණ්ඩායම ආකර්ෂණය වුණා
– දේවි කුසුමාසන චිත්‍රපටයේ ඒ චරිතය ලැබෙන්න මගේ විදේශීය පෙනුම බලපාන්න ඇති කියලා විශ්වාස කරනවා

මේ දිනවල ජනප්‍රිය ENO වෙළඳ දැන්වීමෙන් හා “දේවි කුසුමාසන” චිත්‍රපටයෙන් ඔබ හමුවන ඔහු රංගන ශිල්පී නුවන් කළුආරච්චි‍ය. ජනප්‍රිය ටෙලි හා සිනමා නිර්මාණ රැසකින්ම ඔහු ප්‍රේක්ෂකයා අතරට පැමිණි චරිතයකි. මෙවර කතා බහ ඔහු සමඟ අරඹමු.

නුවන් කියන්නේ කලා ක්ෂේත්‍රයට ආධුනිකයෙක් නෙවෙයි ?

ඔව් ඇත්තටම. මම ක්ෂේත්‍රයට එන්නේ වසර 2006,2007 කාලයේදි. මුලින්ම පරාක්‍රම ඒකනායක මහත්මයාගේ සාමය වෙනුවෙන් කළ මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වුණේ. ඊට පස්සේ සිරස සුපර් ස්ටාර් අජිත් බණ්ඩාරගේ ‘සුදු හංසියේ මිහිරාවියේ‘ කියන ගීතයේ මියුසික් වීඩියෝ එකට මට දායක වෙන්න ලැබුණා. අනතුරුව ශිහාන් මිහිරංග ගේ ‘හිනැහෙන්න සෙව්වන්දියේ‘ වගේ එවක රසික ආකර්ෂණය දිනා ගත්ත ගීත රාශියක මියුසික් වීඩියෝවලට මම දායක වුණා. මගේ පළමුවෙනි චිත්‍රපටය ලාල් ප්‍රියදේව මහත්මයාගේ ‘මගෝ ඩිගෝ ඩයි‘ චිත්‍රපටය. ඒ වගේම මං සම්බන්ධ වුණු පළමු රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීමට, පළමු ටෙලි නාට්‍ය වන රොෂාන් කුරුප්පුගේ ‘වැටෙන් එහා‘ නාට්‍ය ඒ සියල්ලටම සම්බන්ධ වුණේ 2007 වසරෙදි.

ඔබ සම්බන්ධ වූ ‘දේවි කුසුමාසන‘ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඒ පිළිබඳ කොහොමද දැනෙන්නේ?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නිර්මාණයක් වන ‘දේවි කුසුමාසන‘ චිත්‍රපටයේ මගේ චරිතය තමයි පොඩි මුදුවේ ජුසාරෙට්. ඔහු පෘතුගීසි හමුදාවේ නිලධාරියෙක්. ඒක විලන් චරිතයක්. ඒ චරිතය ලැබෙන්න මගේ විදේශීය පෙනුම බලපාන්න ඇති කියලා මං විශ්වාස කරනවා.

එහෙනම් ඔබේ පෙනුමත් එක්ක විදේශීය චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබෙනවා ඇති නේද?

අනිවාර්යෙන්ම. මම දැනට විදෙස් ටෙලි සීරිස් දෙකකට, විදෙස් චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ‘Al Boom 1,2‘ , ‘Good Karma‘ කියන ටෙලි නිර්මාණ හා ‘Kaushi‘ කියන හොරර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකටත්, ‘Solar Eclipse‘ කියන මහත්මා ගාන්ධිගේ මරණය ඇසුරෙන් කළ චිත්‍රපටයේ බාල් කිශන් කියන පොලිස් නිලධාරියාගේ චරිතයත් මට ලැබුණා. ඒ ඔඩිෂන් එකේදි මගේ උඩු රැවුලට චිත්‍රපටයේ නිර්මාණ කණ්ඩායම ආකර්ශණය වුණා, මට ඉන්දියන් පෙනුමක් තියෙනවා කියලා ඔවුන් කීවා. මම හිතන්නේ මගේ සමේ පැහැය සහ උඩු රැවුල නිසා තමයි විදේශීය චිත්‍රපට සඳහා ආරාධනා වගේම, දේශීය චිත්‍රපට වල විදේශීය චරිත සඳහා මාව තෝරා ගන්නේ.

රංගන ශිල්පියෙක් විදියට කලා ක්ෂේත්‍රයට පැමිණීම අහම්බයක්ද නැත්නම් ඔබේ බලාපොරොත්තුවක්ද ?

මම උසස් අධ්‍යාපනය ලැබුවේ කළමණාකරණ අංශයෙන්. අරමුණ වුණේ ඒ අංශයෙන් ඉදිරියට යන්න. නමුත් කාලයක ඉඳන් මගේ යටි හිතේ ආසාව, ආදරය තිබුණේ කලාවට. ඒ ආසාව ආයේ ඉස්මතු වීමක ප්‍රතිඵලයක් විදියට තමයි මම කලාවට යොමු වෙන්නේ.

රංගනය පිළිබඳ හැදෑරීමක් තියෙනවද ?

ඔව්, කලා කටයුතු කරන අතරවාරයේදී මම සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය හා පිටපත් රචනය ඇතුළු අංශ රැසක් පිළිබඳ හැදෑරුවා. කලාව කියන්නේ හැදෑරීමක් එක්ක යායුතු ගමනක්. එතකොට තමයි අපට ශක්තිමත් පැවැත්මක් මේ ක්ෂේත්‍රය තුළ හදා ගන්න පුළුවන් වෙන්නේ. හින්දි භාෂාව හසුරවන්න මට පුළුවන්.

දෙස් විදෙස් සිනමා නිර්මාණවලට දායක වෙලා තියෙන නිසා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඔබ සතුයි. දේශීය සිනමාව ගැන ඔබේ අදහස මොකක්ද ?

ලංකාවේ සිනමාව පුළුල් හැදෑරීම් එක්ක තවදුරටත් වර්ධනය වෙන්න ඕන කියලයි මට දැනෙන්නේ. විශේෂයෙන් තාක්ෂණික අංශයෙන්. සිනමාව සඳහා ආයෝජනයත් ඉතාම අවශ්‍යයයි. අපිට අති දක්ෂ අධ්‍යක්ෂකවරුන්, නිර්මාණ ශිල්පීන් ඉන්නවා. දවසක අපේ රටේ සිනමා කර්මාන්තයත් හොලිවුඩ්, බොලිවුඩ් තලයට ඒවි කියලා මම විශ්වාස කරනවා.

රඟපාපු චරිතවලින් ඔබට අභියෝගයක් වුණු චරිත එහෙමත් ඇති.

හැම චරිතයක්ම අභියෝගයක්. ඒ අතරින් ‘දේවි කුසුමාසන‘ චිත්‍රපටයේ මගේ චරිතය කපටි පෘතුගීසී ලෙෆ්ටිනන්වරයෙක් වන පොඩි මුදුවේ ජුසාරෙට් මට අභියෝගයක්. ‘ස්වර්ණපාලි‘ කියන ටෙලි නාට්‍යයේ ජෙමයිඩීන් කියන පෘතුගීසී සාජන්වරයාගේ චරිතය. එහි සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම දෙබස් කියන්න මට තිබුණා. දෙමළ පොඩ්ඩක්වත් මට බෑ. ඒක මට අභියෝගයක් වුණා. මගෙ බලාපොරොත්තුව වගේම ආසාවක් තමයි විලන් කෙනෙක් විදියට මගේ රංගන හැකියාව ඉදිරියට ගෙනයන එක.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන නවකයින් වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද ?

කලාව පිළිබඳ හැදෑරීමක් එක්ක එන්න. තමන්ට දෙන චරිතය සුළු චරිතයක් හෝ ප්‍රධාන චරිතයක් හෝ වේවා දෙන දේ උපරිම හොඳින් කරන්න. වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන එක වගේම ප්‍රවීණයන්ට ගරු කරන්නත් ඉගෙන ගන්න. කලාව තුළ දිගු කාලීන පැවැත්මක් හැදෙන්න නම් මේ දේවල් ටික හදාගත යුතුයි.

ඉරිදියට එන්න තියෙන නිර්මාණ මොනවද ?

චිත්‍රපට හයක් විතර තිරගත වෙන්න නියමිතයි. මං රංගනයෙන් සම්බන්ධ වෙන 27 වන චිත්‍රපටය තමයි ‘කඩහපොල උන්නාන්සේ‘ කියන්නේ. පාලම කුඹුරෙ වලව්වේ ආරච්චි චරිතයක් මට තියෙන්නේ. මේ දවස්වල රූපගත කිරීම් සිදු වෙනවා. ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි. හින්දි සහ සිංහල චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

ඩොනල්ඩ් ජයන්ත, උදයකාන්ත වර්ණසූරිය, ජයන්ත චන්ද්‍රසිරි, සුගත් සමරකෝන්, ක්‍රිෂ් ඇන්තනී ඇතුළු මට අවස්ථාව ලබා දුන් සියළුම අධ්‍යක්ෂකවරුන්ටත්, මා මිත්‍ර නුවන් තරංග ඇතුළු සහය ලබා දුන් හැමෝවම සිහිපත් කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division