Home » ට්‍රම්ප්ගේ සතුරාට රනිල්ගෙන් සුබ පැතුම්

ට්‍රම්ප්ගේ සතුරාට රනිල්ගෙන් සුබ පැතුම්

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

න්තර්ජාතික මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය අනුමැතිය ලැබීම ඇතුළු කරුණු කිහිපයක් දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය දිනවල අවධානයට යොමු විය.

ඉන්ධන මිල සංශෝධනය, කන්ටේනර් සිද්ධිය, දූෂණයට එරෙහිව ජපානයේ සහය ලැබීම ගැන කතාවේදි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාව පිළිගෙන ඉන්දීය ආයෝජක පිරිසක් මෙරටට පැමිණීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

ජනපතිගේ ඉල්ලීමට ඉන්දීය ආයෝජකයන්ගෙන් ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා කෙරෙහි තම අවධානය යොමු වී තිබෙන බව ඉන්දීය ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කරගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ඇතුළු ඉන්දීය ව්‍යවසායකයන් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරි වැඩසටහනක් සඳහා එක්ව සිටී. ඒ කණ්ඩායම පසුගිය 1වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කළ ආරාධනය අනුව මේ කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරුන් කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආදි ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යෑමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්නාගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති බව මෙහිදී පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා සිදු කළ පැහැදිලි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

ආධ්‍යාත්මිකව සමාජය ගොඩනැඟිය යුතු බව ජනපති කියයි

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් දිය හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි උපසම්පදා මහෝත්සවයේ සමාරම්භයට එක් වෙමිනි.

ජාතිවාදීන්ට යළි ඉඩදෙන්නේ නෑ – ජනපති තදින් සිටී

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කරගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කරගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වූයේ ඒ දේශපාලකයන් නොව උතුරේත්, දකුණේත් අහිංසක මවුපියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය. එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදිව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවද සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසීය.

එමෙන්ම ස්වාමීන් වහන්සේගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරීමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමීන් වහන්සේ පොදු සම්මුතියකට එළඹෙන්නේ නම් ඒ කතිකාවත ඉදිරියට ගෙන යෑමට රජයට හැකි බවද සඳහන් කළේය. එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවද දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දූෂණය නැති කිරීමට ජපානයෙන් අතහිත

මෙරට තුළ දුෂණ විරෝධී යන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5ක් පිරිනමා තිබේ.

දුෂණ විරෝධී යන්ත්‍රණය ස්ථාපිත කිරීමෙන් දුෂිත ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සදහා වූ ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමාටා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී පසුගියදා (1) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායිතාව හා ආයතනික දුෂණ වැළැක්වීමේ යන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දූෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමයින් මේ සඳහා සම්බන්ධ කරගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දූෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරිව දායක වීම මේ ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

පාණදුරේ දානෙ ගෙදර දේශපාලන කතාබහක්

පසුගිය සතියේ පාණදුර ප්‍රදේශයේ පැවති එක්තරා දානෙ ගෙදරකදී දේශපාලනඥයන් මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් පිරිසක් අපේ රටේ දේශපාලනය ගැන කතාබහ කරමින් සිටි අවස්ථාවක් හමු විය. ඒ දානමය පින්කම් ගෙදර නෙත් නාළිකාවේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ හේමන්ත කහවලගේ පියාණන්ගේය. කතාබහට එක් වූ ධනසිරි අමරතුංග මෙසේ කීවේය:

“අපේ මහින්ද මහත්තයාට ජනතාව ඒ දවස්වල කිවුවේ අප්පච්චි කියලා. මහරජාණෝ කියලත් කිවුවා. මහරජාණෝ මෛත්‍රිපාල සිරිසේනට පැරදුණා. වැඩි කලක් ඉන්න ජනතාව ඉඩඇරියේ නෑ. ඊට පස්සේ සහෝදරයා කුමාරයෙක් වෙලා බලය අරගෙන ආවා. මම නම් කියන්නේ දැන් අපි කවුරුත් ඒ අයට මේ වැඩේ කරගෙන යන්න දෙන්න ඕනෑ. කකුලෙන් අදින්නේ නැතුව.”

මාලිමාවට කරගෙන යන්න ඉඩ දෙන්න – ධනසිරි කියයි

“හරියට හරි ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසක්. දෙන්න ඕනෑ ඕක කරගෙන යන්න.”

මේ කතාබහ කළ අය අතර මදුර විතානගේ, ඩී.වී. චානක, ජානක වක්කුඹුර, රවී කරුණානායක ඇතුළු පිරිසක්ද සිටියහ. ඒ හැරුණු විට, විශේෂ කාර්ය බළකායේ හිටපු කමාන්ඩර් ලතීෆ්, කළුතර ඩී.අයි.ජී. ඇතුළු පොලිස් ඉහළ නිලධාරීන් හා හමුදාවේ ප්‍රධානීහුද ගණනාවක්ද වූහ.

සීඅයිඩිය ගැනත් කතාබහක්

“දැන් මොනවාද සීඅයිඩී එක ඇතුළේ වෙන වෙනස්කම්? ඒගොල්ලෝ කරන පරීක්ෂණවලට අනුව තමයි දැන් ආණ්ඩුවට ලකුණු වැටෙන්නෙත්.”

“ඇතුළෙ ලොකු වෙනසක් පේන්නෙ නෑ. හැබැයි ශානිට ඩී.අයි.ජී.කම හම්බ වෙයි වගේ කතාවක් යනව…” එසේ කීවේ ඉහළ හමුදා නිලධාරියෙකි.

“අල්ලස් කොමිසමත් මේ ආණ්ඩුවට ලකුණු දෙන වැඩ ගොඩක් කළා. දැන් ඔය ලොකුවට කතාව යනව නේ දේශපාලනඥයන්ගේ ගෙවල් පිච්චුවා අසාමාන්‍ය ලෙස වන්දි ගත්තා කියලා. මුං කාලකන්නි මගේ ගෙට ගිනි තියලා කෝටි ගණනක් අලාභ හානි කළා. ඒ වුණාට මට සත පහක් ලැබිලා නෑ.” ඒ කීවේ ධනසිරිය.

“අසාධාරණ විදිහට සල්ලි ගත්ත අය ඉන්නවා නම් අල්ලලා ඇතුළට දාන එක හරි. ඇත්තටම මේ හොරු අල්ලලා ඇතුළට දාන වැඩේට මම හරි කැමතියි.” ධනසිරි කීවේය.

“ඒක නම් ඇත්ත. දැන් මිනිස්සු පොදුවේ පාර්ලිමේන්තුවේ දේශපාලනය කරපු සහ කරන ඔක්කොටම කියන්නේ හොරු කියලා. මේ ගොල්ලෝ හරියටම හොරු ටික තෝරලා ඇතුළට දැම්මොත් අනිත් මිනිස්සුන්ට බය නැතුව දේශපාලනය කරන්න පුළුවන්.” එසේ කීවේ එතැන සිටි දේශපාලනඥයෙකි.

රනිල් මස්ක්ට දුන් පණිවිඩය කුමක්ද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෙවුණු සතිය සුවිශේෂ කාලවකවානුවක් වූ බවට සැකයක් නැත. ඔහු කාලයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වූ එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූයේ ඉකුත් සතියේය.

වර්ෂ 1982දී පරිගණක තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුල් වූයේද රනිල් වික්‍රමසිංහය. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් රූපවාහිනී යන්ත්‍ර දී තිබූ පාසල්වලට සින්ක් කෙයාර් යන්ත්‍ර හරහා පරිගණක අධ්‍යාපනය රට පුරා ව්‍යාප්ත කිරීමට රනිල් විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඔහුගේ මැදිහත් වීම යටතේම ශ්‍රී ලංකාවට අන්තර්ජාල පහසුකම් සලසා ගැනීමට හැකි වූයේ 1993 වර්ෂයේදීය. ඒ සඳහා අමෙරිකාවේ හිටපු උප ජනාධිපති අල් ගෝ සමඟ ගිවිසුම් අත්සන් කිරීමටද රනිල් පියවර ගත්තේය.

ඉන් පසුව 2023 දී ඉන්දුනීසියාවේ බාලි දූපතේදී ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහට එලෝන් මස්ක් හමුවීමට අවස්ථාව උදා විය. ඒ හමුවෙන් උපරිම ප්‍රයෝජනය ගත් වික්‍රමසිංහට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ස්ටාර්ලින්ක් පහසුකම සලසා දෙන්නැයි එලෝන් මස්ක්ගෙන් ඉල්ලා සිටියේය. ඉහත හමුවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනද එක්ව සිටියේය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සලසාගැනීමෙන් සංඥා දුර්වල ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ඒ සේවය සලසා ගැනීමට මින් පසුව අවස්ථාව උදා වේ. එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූ බව රනිල්ට පළමුවෙන්ම දැනුම් දුන්නේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය. ඒ ආරංචිය සැල වූ විගස අන්තර්ජාතික කටයුතු පිළිබඳ උපදේශක දිනුක් කොළඹගේ ඇමතූ රනිල් වහාම එක්ස් පණිවිඩයක් මඟින් එලෝන් මස්ක්ට ස්තුතිය පළ කරන ලෙස දැන්වීය. හිටපු මාධ්‍ය අධ්‍යක්ෂක ශානුක කරුණාරත්නට රනිල් කියා සිටියේ සියලු විද්‍යුත් නාළිකාවලට මේ ප්‍රවෘත්තිය යොමු කරන ලෙසයි.

මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට එලෝන් මස්ක්ගේ අවධානය යොමු වී ඇත. ට්‍රම්ප්ගේ අයවැයට විරුද්ධ වී තමා සමඟ එක් වන ලෙසද මස්ක් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මේ වන විට එලොන් මස්ක් ක්‍රමයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති විවේචනය කරමින් ට්‍රම්ප්ට එරෙහිව කටයුතු කරමින් සිටින බවටද තොරතුරු දැනගැනීමට ඇත.

ලොකුගේගේ ශක්තිය රනිල් කියයි

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ගාමිණි ලොකුගේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා පිළියන්දල ඔහුගේ නිවෙසට ගියේය. පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනෙකුද එහි පැමිණ සිටි අතර, ඔවුන් සමග කතාබහක නිරත වීමටද රනිල් අමතක නොකළේය.

“මගෙන් පසුව කොළඹ දේශපාලන බලය අල්ලාගෙන සිටියේ ගාමිණි ලොකුගේ” යැයි පාක්ෂිකයින් හමුවේ රනිල් කියා සිටියේය. “ලොකුගේට හොඳ දේශපාලන ශක්තියක් තිබුණා,” යනුවෙන්ද රනිල් වැඩිදුරටත් පැවසීය.

මහින්ද සංවේදී වෙයි

අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ අභාවය අසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි ලෙස කම්පාවට පත් විය. පිළියන්දල පිහිටි ලොකුගේ මහතාගේ නිවෙසට පැමිණ අවසන් ගෞරව දැක්වූ මහින්ද ඊළඟ දිනයේ අවසන් කටයුතු සිදුවූ නාම්පමුණුව – දොළේකනත්ත පොදු සුසාන භූමියට ද පැමිණීමට අමතක නොකළේය.

“මට වගේම පොහොට්ටුවටත් හිටපු ලොකුම ශක්තියක් තමයි ලොකුගේ මැතිතුමා,” යනුවෙන් මහින්ද එහිදී ප්‍රකාශ කළේය.

සජිත් ගැන සජබයේ කතාබහක්

විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස ගැන සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතර පසුගියදා සාකච්ඡාවක් සිදුවී ඇති බව වාර්තා වේ. කොළඹ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධානියෙකුගේ නිවෙසේ පැවති මෙම සාකච්ඡාවට දෙපාර්ශ්වයේම දෙදෙනකු බැගින් සිව් දෙනෙකු සහභාගි වී තිබේ.

“විපක්ෂය ඒකාබද්ධ වෙලා හොඳ සටනක් දුන්නේ නැත්නම් මේ ආණ්ඩුව පරාජය කරන්න එක ලේසි නැහැ අලියයි, සජබයයි, පොහොට්ටුවයි, තොණ්ඩා, හකීම්, බදියුදීන්, දිලිත් ඇතුළු සියලුම බලවේග එක් කර ගත යුතුයි. එතකොට මේ ආණ්ඩුව පරද්දන එක අමාරු නැහැ” යනුවෙන් කතාව ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකි.

ඉම්තියාස්ගේ පොතේ වැඩේට විශාල පිරිසක්

“විපක්ෂයේ හුඟ දෙනෙක් ආවා ඉම්තියාස්ගේ පොත එළිදක්වන වැඩේට. විපක්ෂය ඒකාබද්ධව ශක්තිමත් කරන වැඩේට හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්කම තිබුණා. ඒත් ලොක්කා පැය බාගයක් ඉඳලා උත්සවය පටන් ගන්න කොටම වගේ යන්න ගියා. එතකොට කොහොමද විපක්ෂය ඒකාබද්ධ කරන්නේ?” යනුවෙන් සමගි ජන බලවේගයේ ප්‍රබලයා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේය.

‘හෘද සාක්ෂිය‘ යනුවෙන් ඉම්තියාස් බාකීර් මාකාර් විසින් රචනා කරන ලද පාර්ලිමේන්තුවේ ඔහු කළ කතා ඇතුළත් ග්‍රන්ථයක් පසුගියදා එළිදැක්වූයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. දේශපාලනඥයන් අතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයන්ට ඇමති විජිතගෙන් සුබ පණිවිඩයක්

ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකියන්ට තානාපති සේවය ලබා ගැනීමට හැකි වන පරිදි එරට තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත. තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව සයිප්‍රස් රජයේ ද අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යංශයෙන් පත් කළ දූත මණ්ඩලය ජුලි මස 15 වන දින එරට බලා පිටව යාමට නියමිත ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ, නිරන්තරයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලය නැවත වීවෘත කිරීමට තීරණය කළ බවයි. මෙම කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සේවය කරන අතර නව රැකියා අවස්ථා සහ වෙළඳ ආයෝජන වැඩි කරගැනීමටත් කටයුතු කළ හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයින් 15000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර වසර කිහිපයකට පෙර එහි ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය වසා දමන ලදි. ඒ හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් තානාපති සේවය ලබා ගැනීම සඳහා තුර්කියේ අන්කාරා තානාපති කාර්යාලයට යොමු වීමට සිදු වී ඇත. සයිප්‍රස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා මෙම දූත මණ්ඩල සේවය ඇරඹීමට අමාත්‍ය විජිත හේරත්ගේ මැදහත් වීම මත නව රජයට හැකි විය.

සයිප්‍රස් තානාපති කාර්යාලයට අමතරව මේ වසරේ ජනවාරි මස නවසීලන්තයේ ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කරනු ලැබීය.

රුසියානු තානාපති නෙළුම් මාවතට

පසුගිය සතියේ රුසියානු තානාපතිවරයා නෙළුම් මාවත කාර්යාලයට පැමිණියේය.ඔහු සමග සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් සහභාගි වූයේ නාමල් රාජපක්‍ෂ, සාගර කාරියවසම් හා ජෝන්ස්ටන් යන තිදෙනාය.විශේෂ දේශපාලන කරුණු කාරණා කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් වුවත් ඒවා පිළිබඳ ව වැඩි තොරතුරු පිළිබඳ ව හෙළි වූයේ නැත.මෙය සිදු වූයේ පසුගිය බදාදා හවසය. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා හවස කොළඹ තරු පහේ හෝටලයක අමෙරිකානු තානාපතිනි චංග් මැතිනියගේ සාදයක් පැවැත්විණි. මෙම සාදය සඳහා තානාපතිවරුන්, විදේශ ඇමති විජිත, හිටපු මන්ත්‍රීවරුන් විශේෂ දේශපාලනඥයන් හා ප්‍රභූවරුන් රැසකට ආරාධනා කර තිබිණි.

සමගි ජන බලවේගය වෙනුවෙන් සහභාගී වී සිටියේ රංජිත් මද්දුම්බණ්ඩාර හා කාවින්දය නාමල්ට පැමිණෙන්නට නොහැකි විය. සාගරකාරියවසම් හා මිලින්ද රාජපක්ෂ ආරාධනා පරිදි එතැනට සහභාගි වී සිටියහ. කාවින්ද, රංජිත් හා සාගර වාඩිවී කතාබස් කරමින් සිටියේ එකම මේසයකය. ඔවුන්ගේ කතාබහට මාතෘකාව වූයේ වර්තමාන දේශපාලන කරුණු කාරණාය.

ජූලි චංග් සාගරගේ කනට කර කීවේ මොනවාද?

ඔය අතර ජූලි චංග් සාගර කාරියවසම් ළඟට පැමිණ ඔහුට පමණක් ඇසෙන සේ ඉංග්‍රීසියෙන් මොනවාදෝ ඇසූ අතර ඊට සාගර හිනාවෙමින් පිළිතුරක් දුන්නේය. ඒ අතර ආරාධිතයින් ලෙස පැමිණ සිටි ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු දේශපාලනඥයෝ ඇතුළු බොහෝ දෙනෙක්ද එම මේසයට සොයා පැමිණ සාගර හා කතාබස් කරන ද බොහෝ දෙනකුගේ නිරීක්‍ෂණයට පාත්‍ර විය.

“මොනවද අරයා අච්චර ළඟට ඇවිල්ල කතාබහ කළේ?” එතන හිටි දේශපාලනඥයෙක් සාගරගෙන් ඇසුවේය.

“වෙන මොනවද ඉතින්… එයා ලස්සනයිද කියලා ඇහුවා.”

“ඉතින් ඔයා මොනවද කිවුවේ?”

“වෙන මොනව කියන්නද… ලස්සනයි කියලා මමත් කිවුවා….” කියමින් සාගර විහිළුවක් කළේය. කිසිවෙකුත් සමඟ ඔහු ඒ ඇත්ත කතාව නොකීවත් ඊට වඩා වැදගත් කතාවක් සාකච්ඡා වූ බව බොහෝ දෙනෙක් දැන සිටියහ.

පසුව ආරංචි වූ පරිදි ජූලි චංග් විමසා ඇත්තේ රුසියන් තානාපතිවරයා නෙළුම් මාවතට පැමිණීම පිළිබඳ කතාව ඇත්තද කියාය.

ජගත්ගේ මෙහෙයුම

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මතුගම ප්‍රාදේශීය සභාවේ සභිකයන් හංගාගෙන සිටිනවා යැයි ප්‍රචාරයක් පැතිර ගියේය. එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවද ජගත් විතාන මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ මන්ත්‍රිවරුන් රැකගැනීම සඳහා තමා ඔවුන් එක ස්ථානයක රඳවාගෙන සිටි බවයි. සැබැවින්ම ජගත් මෙකී මන්ත්‍රීවරුන් සමග සභාව රැස්වීමට පෙර දින සිටම ගත කර ඇත්තේ එකටය. ඊට හේතු වී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් බිලිබාගැනීමට එම මන්ත්‍රීවරුන් සිටින ඉසව්වල යම්කිසි පිරිසක් කැරකීම නිසාය. තමන්ට සහය දීමට පෙළගැසී සිටින මේ ස්වාධීන මන්ත්‍රීවරුන් සජබ මන්ත්‍රීවරුන් හා අනෙක් මන්ත්‍රීවරුන්ගේ සිත් අන්තිම මොහොතේ වෙනස් වේ යැයි ඇතිවූ බියෙන් ජගත් මෙම මන්ත්‍රීවරුන් රඳවාගෙන සිට ඇති බව වාර්තා වේ.

ජගත්ගේ මේ අවදානම ඔහු ගේ හිතවතෙකු එදින සවස් වන විට ඔහුට තේරුම් කර දී ඇත්තේ මෙසේ සියලු දෙනා එක තැනක ඉන්න විට කවුරුන් හෝ පැමිණ කුමන හෝ අනතුරක් කළහොත් එය විශාල අවුලකට මුල විය හැකි ලෙසටයි. පසුව ජගත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් හා එදින සෙනසුරාදා දිනයක් වූ බැවින් කථානායකවරයාට දුරකතන ඇමතුමක් ගෙන “කථානායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මගේ ජීවිතයට අවධානමක් තියෙනවා, මට ආරක්ෂාව දෙන්න,” යනුවෙන් ඉල්ලීමක් කර තිබේ. කථානායකවරයා “මන්ත්‍රීතුමා, ආරක්‍ෂාව හෙට උදේ බලමු,” යැයි පැවසූ බව කියයි. “හරි කතාවක්නේ ඔබතුමා කියන්නේ! අද රෑ මාව මරලා දැම්මොත් හෙට උදේට දෙන ආරක්ෂාවෙන් ඇති ඵලය මොකක්ද? කමක් නෑ ඒක ගැන මම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් විදියට නගන්නම්,” යනුවෙන් පවසා දුරකතනය තබා තිබේ.

පසුදා උදේ ජගත් විතාන මන්ත්‍රී කණ්ඩායමත් සමඟ සභාවට ගොස් ඇත්තේ එවැනි පසුබිමකය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වැඩි බරක් රහස් ඡන්දයට ඇති බැවින් ජගත් මන්ත්‍රී කණ්ඩායම හා “අපි ඔක්කොම මන්ත්‍රීවරු නැගිටලා බහුතරය පෙන්වමු, මෙන්න අපි විවෘත ඡන්දයකට කැමති මීට වඩා මොකක්ද බහුතරය කියලා කෑගහමු,” යැයි පූර්ව සැලසුමක් ඇතිකරගෙන තිබිණි. කතිකා කරගත් පරිදි සියලු දෙනා නැගිට කෑ ගසමින් විවෘත චන්දයක් ඉල්ලූ අතර පළාත් පාලන කොමසාරිස්වරිය විවෘත ඡන්දයට කැමති වන්නට සිදුවිය. එසේ නොවෙන්න සියලු දෙනා සභාවෙන් පිටව ගොස් ගණපූරණය නැති වන්නට ඉඩ තිබිණි. අවසානයේ කොස්ගෙඩිය ලකුණින් ජයග්‍රහණය කර සජබට සහය දුන් ස්වාධීන අපේක්ෂකයා සභාපති ධුරයට පත් වූ අතර සජබ මන්ත්‍රීවරයා උපසභාපති ධුරයට පත් විය.

වජිර, මල්වතු නාහිමියන් සමග විනාඩි 45ක් කතා කළේ මොනවාද?

පසුගිය සති අන්තයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා තම පවුලේ සියලු දෙනාත් සමග මහනුවරට පැමිණියේ විශේෂ කර්තව්‍යයක් වෙනුවෙන් සහභාගී වීම වෙනුවෙන්ය.

වජිර විශේෂයෙන්ම නුවර ආවත් නුවර පසුකර වෙන ගමනාන්තයක් කරා ගියත් මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ගැනීම වජිරගේ පුරුද්දක්ය. ඒ අනුව දානමය කටයුතු ඉවර වූ විගස වජිර මල්වත්තට පැමිණ මල්වතු නායක හිමියන්ගේ ආශිර්වාද ගෙන උන් වහන්සේ සමග විනාඩි 45කට ආසන්න කාලයක් සුහද සාකච්ඡාවකට එක් විය. ඒ අනුව වජිර උන් වහන්සේ සමග රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කර තිබිණි.

වජිර ඉෂාක්ගේ සුවදුක් බැලීමට යයි

මේ අතර පසුගිය ඉරිදා දිනයේ සවස වජිර විශේෂ කෙනකුගේ සුවදුක් බැලීම සඳහා ගොස් තිබිණි. ඒ අන් කවරෙකුගේවත් නොව දැනට රෝගාතුරව සිටින ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාය.

ඉෂාක් බෙග් මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් සිටින අතර ඔහුට ඒ සඳහා ශල්‍යකර්මයක්ද කිරීමට සිදුව තිබේ. ඒ වෙනුවෙන්ද විශාල මුදලක් වැයවන අතර බොහෝ දෙනා ඒ වෙනුවෙන් ඉෂාක්ට හැකි පමණින් සහයෝගය දී තිබේ. කෙසේ වෙතත් වජිරත් ඉෂාක් බැලීමට හිස් අතින් නොගිය අතර ඔහුගේ ශල්‍යකර්මයට අවශ්‍ය මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබිණි.

වජිර ඉෂාක්ගේ නිවෙසට ගොස් ඔහුත් සමග බොහෝ වේලාවක් කතාබහක නියැළී සිටි අතර ඒ අතරතුර හිටපු ජනාධිපති රනිල්ද දුරකතනය ඔස්සේ ඉෂාක්ගේ සුවදුක් විමසීමට සම්බන්ධ වූ අතර, හිටපු ජනාධිපතිවරයා ඉෂාක්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටියේය.

You may also like

Leave a Comment