දිළිඳුකම සමාජ ගැටලුවක් බවට පත් ව ඇති බවත්, දේශපාලන යන්ත්‍රණයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ යන්ත්‍රණයක් මඟින් එය සහතික වශයෙන්ම වෙනස් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට පසුගිය සිකුරාදා (4) අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි. සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදීයෑම සහතික කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම්, සංඛ්‍යාලේඛනවලින් කොපමණ ආර්ථික වර්ධනයක් අත් කරගත්තද, පලක් නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එක් පසෙකින් රටේ ආර්ථික වර්ධනයක් අත් කරගන්නා අතරම, අනෙක් පසින් ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කරගැනීම ආණ්ඩුවේ වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය:
“අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයන් අතර ග්‍රාමීය දුප්පත් බව තුරන් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා. අද වන විට ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අප සමත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් ඩොලරයේ අගය රු. 300ට ආසන්නයේ තබාගැනීම, විදෙස් සංචිත ක්‍රමානුකූලව වර්ධනය කරගැනීම, භාණ්ඩාගාරයේ ආදායම අප අපේක්ෂා කරන ඉලක්ක දක්වා ගෙනයෑම, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමක පවත්වාගැනීම ආදි ආර්ථිකයේ ස්ථාවරභාවය සදහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයකින් සම්පූර්ණ කරගැනීමට අප සමත් වී තිබෙනවා.
“වැටුණු රාජ්‍යයක් ගොඩනඟන්න දේශපාලන අධිකාරිය, රාජ්‍ය යන්ත්‍රණය, පුරවැසියා ඒකාබද්ධ මෙහෙයුමකට ගෙන ආ යුතුයි. ඒ නිසා වැටුණු රාජ්‍යයේ ආර්ථිකය අහිමි වූ ප්‍රජාවක් සිටිනවා. අන්න ඒ ප්‍රජාවට ආර්ථිකයේ අවස්ථා නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. මේ ප්‍රජාශක්ති ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අප සැම එක්ව වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා.”