නූතන නගර සැලසුම්කරණය ආරම්භ වූයේ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ආශ්‍රිතවය. සැලසුම්සහගත නගරයක් මිනිසාගේ සෞඛ්‍යය, ආරක්‍ෂාව, ආර්ථිකය හා පරිසරය අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමට උපකාරි වෙයි. ඒ අනුව සැලසුම්සහගත නගරයක ගමනාගමන පද්ධතිය දියුණු මට්ටමක පවතී. එවන් නගරයක් මාර්ග ජාලය, බස් හා දුම්රිය නැවතුම්පොළවල්, පාපැදි මාර්ග ක්‍රමවත්ව සැලසුම් කොට ජනතාවට ප්‍රවාහන පහසුකම් පහසුවෙන්ම ලබාගත හැකි වන පරිදි හා රථ වාහන තදබදය අඩු කිරීමෙන් කාලය ඉතිරි කරගැනීමට හැකි ලෙස නගර සැලසුම්කරණය කොට ඇත.
කසළ නිසි ලෙස කළමනාකරණය කරන බැවින් පරිසර දූෂණයද අවමය. නගර තුළ වාණිජ කලාප සැලසුම්සහගතව ඉදි කිරීමෙන් ආයෝජකයන්ට හා පාරිභෝගිකයන්ට පහසුකම් සැලසෙනවා සේම එය රැකියා අවස්ථා වර්ධනය වීමටද උපකාරි වේ. එසේම, මෙමඟින් පදික වේදිකා වෙළෙඳාම්, නීති විරෝධි වෙළෙඳාම් පාලනය කිරීමටද හැකියාව ලැබේ. සැලසුම්සහගත නගරයක ආරක්ෂාකාරි මාර්ග, සැලසුම් සහගත මංසන්ධි, නිසි වීදි ආලෝකය, පිරිසුදු වැසිකිළි පහසුකම්, ගිනි නිවීමේ ස්ථාන, පොලිස් ස්ථාන නොකඩවා ක්‍රියාත්මක වන නිසා මහජන ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් නොවේ. මෙවැනි නගරයක නිවෙස්, පාසල්, වෙළෙඳසල්, විනෝද උයන්, ආගමික ස්ථානය වෙන් වෙන්ව පිහිටා ඇති නිසා ජන ජීවිතය වඩාත් පහසුය. දේශීය මෙන්ම විදේශීය ආකර්ෂණයද මෙවැනි සැලසුම්සහගත නගරයකට නිතැතින්ම හිමිවන බැවින් එය රටේ ආර්ථික සංවර්ධනයට රුකුලකි.
සංකීර්ණ නගරයක් වූ පිටකොටුව
දඹුල්ල පමණක් නොව, පිටකොටුවද නොනිඳන නගරයක් වුවත්, එහි කිසිදු සැලසුම්සහගත ස්වභාවයක් අපට දැකගැනීමට නැත. ශ්‍රී ලංකාවේ හුදෙක් දුර ගමන් බස් රථ සේවාවන්ගේ ගමනාන්තය පිටකොටුවයි. කටුනායකින් හා රත්මලානින් මෙරටට ඇතුළු වන සංචාරකයා තම ගමනාන්ත ප්‍රදේශ කරා යෑමට බස් රථයකට නැඟීමට බොහෝ විට පැමිණෙන්නේ පිටකොටුවටය. ඈත ගම්වලින් අධ්‍යාපනය, රැකියාව වෙනුවෙන් පැමිණෙන දේශීය මගියාද පළමුව පැමිණෙන්නේ පිටකොටුවටය. මෙසේ දිනකට බස් රථ 1,500-2,000 අතර ප්‍රමාණයක් දිනකට පිටකොටුවට පැමිණියත් එහි නිශ්චිත ප්‍රධාන බස් නැවතුම්පොළක් අපට දැකගත නොහැකිය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් නැවතුම්පොළ වෙනමත් පෞද්ගලික බස් රථ නැවතුම්පොළවල් කිහිපයකුත් අපට දැකගත හැකිය. ඒ කිසිවක් තුළ බස් ගමනාගමන වෙලාවන් හෝ බස් නැවතුම් ස්ථාන කිසිවක් නිසියාකාරයෙන් සඳහන් කොට නැත. දීර්ඝ ගමන් කාලයකට පසුව පිටකොටුවට ගොඩබසින මගියාට හෝ බස් රථ රියැදුරන්ට ගිමන් නිවීමට විවේකාගාර හෝ පිරිසුදු වැසිකිළි පද්ධති කිසිදු තැනක දැකගැනීමට නැත. එසේම පවතින බස් නැවතුම්පොළවල්, විශේෂයෙන්ම ගුණසිංහපුර බස් නැවතුම්පොළ පිට්පොකට්කරුවන්ගේ, ගැටකපන්නන්ගේ තිප්පොළකි. සංවිධානාත්මකව කල්ලි වශයෙන් සිදු කරන මේ සොරකම් නිසා අපහසුතාවට පත් වන මගීන් ගණන ගිණිය නොහැකි තරම්ය. එසේම මෙවැනි පුද්ගලයන්ගෙන් කාන්තාවන්ට හා ළමයින්ට වන අපයෝජන බහුලය. පාන්දර යාමයේ පිටකොටුවට ගොඩ බසින මගියාට දර්ශනය වන්නේ තැන තැන රෙදි කඩමාලු එළාගෙන නිදා සිටින යාචකයන්ගෙන් සමන්විත දුප්පත් චිත්‍රයකි. දේශීය මගියාට කෙසේ වෙතත් මෙහි පවතින තත්ත්වය විදේශීය සංචාරකයාට නම් කිසිසේත්ම ප්‍රියමනාප හෝ ආකර්ෂණීය වූවක් නොවන්නකි.
මෙසේ පොදු ප්‍රවාහනයේ පවතින අවිධිමත්භාවයත් නගරය තුළ ඇති අනාරක්ෂිත බවත් අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ඉඩකඩ ඇහිරී දිනපතා සිදු වන මාර්ග තදබදයක් පදික වෙළෙඳාම, ගණිකා වෘත්තිය, සොරකම්, අනවසර වෙළෙඳාම, මත්ද්‍රව්‍ය අලෙවිය ආදි ගැටලුකාරි තත්ත්වයනුත් හේතුවෙන් අවිධිමත්ව ඇති පිටකොටුව නගරය විධිමත් සැලසුම් සහගත නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික පියවර රජය මේ වන විට ගෙන ඇත.
රජයෙන් අලුත් තීරණයක්
පසුගිය විසිතුන් වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නිවේදනය කළේ ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහන යටතේ ආරක්ෂක අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාවේ සහයෝගය සහිතව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනයට ව්‍යාපෘතියක් දියත් කර කිරීමට සහ රට පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ පනහක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි. මේ ව්‍යාපෘති කමිටුවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ගුවන් හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා පරිගණක සංඛ්‍යාත්මක පාලනය කිරීමේ ඒකකය අයත්ය. ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට නියමිත අතර, නව බස් නැවතුම්පොළේ නිර්මාණකරණ කටයුතු (Design and Construction) සිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනයට අදාළව ආපණශාලාවක්, මගී විවේකාගාරයක්, බස් රථ රියැදුරන්ගේ විවේකාගාරයක්, ටිකට් පත් කවුන්ටර, පරිපාලන ඒකකයක්, මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ රියැදුරු නිල නිවාස වැනි පහසුකම් ඇතුළත් කිරීමට සැලසුම් කොට ඇත.
2026 ජූලි වන විට නව බස් නැවතුම්පළ ආශ්‍රිත සංවර්ධන කටයුතු නිමාවට පත්කිරීමට බලාපොරොත්තු වන අතර එම සැලැස්මේ දිගුවක් ලෙස ඉදිරි වසර 10 සම්පූර්ණ වීමේදී පිටකොටුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවාව, පෞද්ගලික බස් රථ සේවය හා දුම්රිය සේවය ඒකාබද්ධ කොට බහුසන්ධානික ප්‍රවාහන පර්යන්තයක් (Multi-Model Transport Hub) ඉදි කිරීමට සැලසුම් කොට තිබේ. ශ්‍රී ලංකාව තුළ දැනටමත් මේ සංකල්පයට අනුව මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර, එය ආදර්ශයට ගෙන පිටකොටුව ප්‍රවාහන පර්යන්තයද සැලසුම් කළ හැකිය. මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් සලසාගත හැකි සාමාන්‍ය සේවාවන්ට අමතරව දැකගත හැකි විශේෂත්වය වන්නේ ආකර්ෂණීය පිරිසුදු හරිත වටපිටාවකින් සමන්විත වීමත් තම පෞද්ගලික රථවාහන පර්යන්තය තුළ ගාල් කර යෑමේ (Park and Ride Method) පහසුකම පැවතීමත්ය. පිටකොටුවට දිනකට වාහන ලක්ෂ දෙකහමාරකට අධික ප්‍රමාණයක් පැමිණෙන නිසා පරිසර දූෂණයද ඉහළ මට්ටමක පවතී. එබැවින් ඉහත විශේෂිත සංකල්ප ද්විත්වය ක්‍රියාත්මක කිරීමෙන් මගියාට රථ වාහන තදබදයෙන් මිදීමට හැකි වන අතර, නගරය පිළිබඳ ආකර්ෂණයක් ඇති වනු නියතය.
මීට අමතරව මේ ව්‍යාපෘතියේදී ප්‍රවාහන පර්යන්තයට ආසන්නව පහසු මිලට වෙන් කරවා ගත හැකි ලැගුම්හල් ඉදි කිරීමට හැකි නම් එය විශේෂයෙන්ම, විදේශීය සංචාරකයාට විශාල පහසුවක් වනු ඇත.
මේ ආකාරයෙන් නිසි ලෙස නගර සැලසුම්කරණය රටේ ආර්ථික සංවර්ධනයට විශාල රුකුලක් වනු නිරනුමානය. පිටකොටුව තුළ පමණක් නොව ගාල්ල, මහනුවර වැනි ප්‍රධාන සංචාරක නගර ආශ්‍රිතවද මෙවැනි ව්‍යාපෘති දියත් කිරීමට හැකි නම් එය ඉතා අගනේය.