පරාටේ නීතිය පිළිබඳ නැවතත් කතිකාවක් ඇරඹුණේ පසුගිය ජූනි 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. ඒ, නැවතත් එය බලාත්මක කිරීමත් සමඟිනි. එහෙත් පරාටේ නීතිය සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වන්නේ 2023 වසරේ දෙසැම්බර් 21 වැනිදායින් පසුවය. ඒ, එවකට සිටි අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශයක් හේතුවෙනි.
එවකට ඇති වූ කොරෝනා වසංගතය, පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටීමකට ලක් විය. සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද අසරණ තත්ත්වයකට පත්වූයේ බැංකුවලින් ලබා ගත් ණය පියවීමේ හැකියාවක් නැති වීමෙනි.
මුලින්ම පරාටේ නීතිය යන්න කුමක්ද? කියා දැන සිටීම වටින්නේය. එනම් ‘යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, එම ණය මුදල සහ ඊට අදාළ පොලී මුදල, මුලින් එකඟ වූ නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුව හොත් සහ ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හැරිය හොත්, අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම’ යන්න වෙයි. ඒ සඳහා ‘පරාටේ නීතිය’ මඟින් බැංකු වෙත බලයක්ද දී ඇත. සරලව හැඳින්වුව හොත්: බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය අනුව යමකු බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොලී මුදල අය කරගැනීම පරාටේ නීතිය නම් වෙයි.
පරාටේ නීතිය යටතේ එන බලතල 1990 වසරට පෙර දී තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ බැංකු සඳහා පමණය. එහෙත් 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකටම (රාජ්‍ය හා පෞද්ගලික බැංකු) පරාටේ නීතිය යටතේ හිමි වන බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබිණි. එසේම 2011 අංක 01 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත හරහා පරාටේ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් යම් සීමා (ණය මුදලක් රුපියල් මිලියන 05 කට අඩු වන අවස්ථාවක එම ණය මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පරාටේ බලය ක්‍රියාත්මක කිරීමට බැංකුවට හැකියාවක් නැත) පනවන්නට විය.
එවැනි අවස්ථාවක ණය ආපසු අය කරගැනීම සඳහා උකසට තබා ඇති දේපළ වෙන්දේසි කිරීමට බැංකුවට බලයක් නොමැත. එසේ අදාළ දේපළ වෙන්දේසි කිරීමට අවසර ඉල්ලීමට හෝ ණය සහ පොළිය පියවා ගැනීමට බැංකුව අධිකරණය හමුවට යා යුතු වේ. රුපියල් මිලියන 5 ඉක්මවන ණය මුදල් සඳහා පරාටේ ක්‍රමය අනුව සම්පූර්ණ ණය මුදල හා පොලී මුදල අය කර ගැනීමෙන් පසුව ඉතිරි වන මුදල ණය ගත් පුද්ගලයාට බැංකුව විසින් ගෙවනු ලැබිය යුතුය.
මෙසේ බලගැන්වුණු පරාටේ නීතිය පිළිබඳව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙසේ අදහස් ප්‍රකාශ කළේය:
“පරාටේ නීතිය හරහා බැංකුවලට ලබා දී තිබූ තත්ත්වයන් අපි ආණ්ඩු බලය ලබා ගැනීමට පෙරත් යම් ආකාරයකට තාවකාලිකව අත්හිටුවා තිබුණා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණය ලබා ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටින අතරතුරදී ඇතිවූ ආර්ථික බිඳවැටීම හමුවේ මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හා පාස්කු ප්‍රහාරය වැනි තත්ත්වයන් හමුවේ තමන්ගේ සාමාන්‍ය එදිනෙදා ව්‍යාපාර කටයුතු කර ගැනීමට නොහැකිවූ බව කවුරුත් දන්නවා. ඔවුන්ගේ ඒ ව්‍යාපාර බංකොලොත් වූ විට මුදල් උපාගත නොහැකි තත්ත්වයක් ඇතිවුණා. ඒ අනුව ණය ගෙවාගත නොහැකි තත්ත්වයකදී ගිවිසුම පමණක් සලකා බැලුවහොත් ණය ලබා දුන් සහ ණය ආපසු ගත් පුද්ගලයා ඇපයට තබා හෝ තිබෙන දේපළ අත්පත් කරගැනීමේ ක්‍රියාවලියකට බැංකුව පෙලඹෙන්න ඉඩ තිබෙනවා. ඒ තත්ත්වයන් සලකා බලා පෙර ආණ්ඩුව යටතේදීත් මාස තුනෙන් තුනට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමමින් තිබුණා.
“එහෙත් එයින් තිරසර විසඳුමක් නැති බව අපි දැක්කා. අපේ ආණ්ඩුවටත් මේ පීඩනය ආවා. ඒ වගේම අලුත් ණය ලබා දීමටත් සිදු වුණා. එක්වර වැඩසටහනක් සකසා ගන්නා තෙක් කෙටිකාලීනව මාස කිහිපයකට දීර්ඝ කළා. ඒ 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වායි. නමුත් එසේ දීර්ඝ කර අපි බලා සිටියේ නැහැ. මේ තත්ත්වය හමුවේ කෙටිකාලයක් තුළ තිරසර වැඩපිළිවෙළකට යන්නේ කොහොමද කියලා බැංකු පද්ධතියත්, ණය ගත් පුද්ගලයනුත් සහ මහ බැංකුවත් එකතු වෙලා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යවසායන් නැවත පණගන්වා, ආදායම් උපයා යම් ක්‍රමවේදයකට අනුව නැවත ණය ප්‍රතිලේඛන ගතකොට යම් සහනයක් ලබා දීමට පුළුවන් නම් ඒ සහනය ලබා දීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. අපි ඉදිරිපත් කළ ප්‍රධාන වැඩපිළිවෙළ එයයි. ඒ වැඩපිළිවෙළට අනුව ණය වර්ග කාණ්ඩ තුනකට වෙන් කළා.
“එනම් රුපියල් මිලියන 25ට අඩු ණය, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය සහ රුපියල් මිලියන 50ට වැඩි ණය ලෙසයි. එක් පසෙකින් ව්‍යාපාරිකයාටත් සහාය දෙමින් රටේ මූල්‍ය පද්ධතිය සහ බැංකු පද්ධතිය බිඳනොවැටී ආරක්ෂා කර ගැනීමේ වගකීමකුත් තිබෙනවා. අදාළ සියලු ප්‍රමිතීන් යටතේ නීතිරීතී රාමුව තුළ තමයි ඒ වැඩසටහන ඉදිරිපත් කළේ. ඒ අනුව රුපියල් මිලියන 250ට වැඩි පිරිස ගෙවීම් කටයුතු කරන්නේ කොහොමද කියලා මාර්තු 31ට පෙර බැංකුවලට පැමිණ එකඟතාවලට එළැඔුණා. ඇතැම් එකඟතා සාර්ථක වී තිබෙනවා. ඇතැම් එකඟතා අසාර්ථක වී තිබුණා. ඒ එකඟතා අතරේ ණය ගෙවීම් අවුරුදු 5, 10 වගේ දීර්ඝ කර ගැනීමටත් පහසුකම් සලසාදී තිබෙනවා. යම් එකඟතාවකට පැමිණියේ නැතිනම් සහ බැංකුව වෙත පැමිණියේ නැත්නම් ඒ අනුව පසුගිය ජූනි මස 30 වැනිදා වන විට රුපියල් මිලියන 50ට වඩා වැඩියෙන් ලබා ගෙන තිබෙන පිරිස සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය බැංකුවට යනවා.
“එහෙත් ඒකෙන් අදහස් වන්නෙ නැහැ එක පාරටම බැංකුව මේ සියල්ල අත්පත් කරගන්නවා කියලා. දැනටමත් අපි බැංකු සමඟ සාකච්ඡා කොට තිබෙනවා. නමුත් සාකච්ඡා කරගෙන යාමට තවමත් ඉඩකඩ තිබෙනවා. රුපියල් මිලියන 25ත් 502ත් අතර කාණ්ඩයේ පිරිසට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩ නිර්මාණය වන්නේ තවත් මාස තුනකට පසුවයි. රුපියල් මිලියන 50ට වැඩි පිරිසට තවත් මාස 6ක් තිබෙනවා. මේ කාලවකවානුව තුළදී සාකච්ඡාවට ඉඩකඩ නිර්මාණය වී තිබෙනවා. එහෙත් ඒ සාකච්ඡාව තුළ සියලුම දේ සාර්ථක වන්නේ නැහැ. බැංකු පද්ධතිය තමන්ගේ පැත්තෙන් මුදල් ආවරණය කර ගැනීම, පොලිය ආවරණය කර ගැනීමට පෙලඹෙන ගමන්ම ප්‍රතිචාර දැක්වීමේදී රාජ්‍ය බැංකු ප්‍රතිචාර දක්වනවාට වඩා පෞද්ගලික බැංකු ප්‍රතිචාර දක්වයි කියලා ණය හිමියන් ප්‍රකාශ කළා. මහ බැංකුව ලබා දුන් මඟපෙන්වීම හරියාකාරව ක්‍රියාත්මක කළාද නැද්ද ප්‍රශ්න අප මතු කළා. අපේ ආණ්ඩුවේ විවෘතභාවය පෙන්නුම් කළා. තොරතුරු ඉදිරිපත් කළාට පසුව ඒ නිර්ණායක, මඟපෙන්වීම අනුව වැඩකටයුතු කිරීම අවශ්‍යයැයි යන එකඟතාවට පැමිණීමට හැකි වුණා. ඒ වගේම බැංකුවල ණය නැවත ගෙවීම පහසු කිරීමේ ඒකකය මීට වඩා කාර්යක්ෂම කළ යුතුයි කියාද දැනුම් දුන්නා. එසේ ලබා දුන් වැඩසටහන යටතේ බැංකුවට පැමිණ සාකච්ඡා කළ අය සම්බන්ධයෙන් යම් තත්ත්වයක් නිර්මාණය කරගැනීමට හැකියි.”
එසේම පරාටේ නීතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන අන්දම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි:
“ආණ්ඩුව විසින් ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය කොටස් වශයෙන් වර්ග කර තිබෙනවා. 2024 වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණ නිසාදෝ පරාටේ පනත මාස 6කට අත්හිටුවීමක් සිදු කළා. එහෙත් ඒ අත්හිටුවීම තුළවත් නිවැරදි පිළිතුරක් දුන්නේ නැහැ. බැංකු පද්ධතිය, පාලන අධිකාරිය සහ මහ බැංකුවත් නිහඬව සිටියා. ඉන් පසුව ජනාධිපතිවරණයෙන් පසු වත්මන් ජනපතිවරයාත් මාස 3ක කාලයක් දුන්නා. එහෙත් ඒ මාස 3 තුළදිත් පිළිතුරක් ලැබුණෙ නෑ. මිලියන 50කට වැඩි ව්‍යාපාරිකයන් පිරිස ළඟ විශාල සේවක ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ අයට දී තිබුණ කාලය පසුගිය 30 වැනිදා අවසන් වුණා. සියයට 15කින් පමණ මේ වන විට රැකියා අහිමි වී තිබෙනවා. ලංකාවේ පිළිගත් සමාගම් බැංකුවලට පවරාගත් විට තවත් රැකියා ඌනතාවක් ඇති විය හැකියි,”යැයි කීවේය.