Home » මරණයේ එළිපත්තටම ගොස් යළි පැමිණි දෙවුන්දර ධීවරයෝ

මරණයේ එළිපත්තටම ගොස් යළි පැමිණි දෙවුන්දර ධීවරයෝ

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
ටානියා මෝසස්

හු තවමත් ජීවතුන් අතරය. සුජිත් කුමාරට මේ මොහොත වන තුරුත් තමා ජීවත් වන බව විශ්වාස නැත. මරණය ඒ තරම් ආසන්නයට පැමිණ මේ මනුෂ්‍යයාව ස්පර්ශ කර තිබිණි. මරණ බිය ඒ තරම් ගැඹුරු ලෙස ඔහුගේ අභ්‍යන්තරය කලඹා තිබිණි.

මේ සටහන තබන අද බ්‍රහස්පතින්දාය. ඔහු කරාපිටිය රෝහලෙන් ටිකට් කපාගෙන ඇවිත් තිබුණේ ඊයේ හවසය. තවමත් සුජිත්ට කතා කරන්නට අපහසුය. තවමත් ඔහුගේ පපුවෙන් හතියක් එන්නේය. වචන ගොත ගැසෙන්නේය.

මේ අප ඉදිරියේ ඉන්නේ පසුගිය 28 වැනිදා දෙවුන්දර වරායෙන් දියඹට පිටත්ව ගිය එම්ටීආර් 263 දිනේෂ් 4 බහුදින ධීවර යාත්‍රාවට සිදු වූ මාරක අනතුරින් පසු පෙරළුණ බෝට්ටුව යට සිට දිවි ගලවා ගත් ධීවරයාය. සුජිත් කුමාර ඔහුය. තවමත් ඒ දෑස් තිගැස්මෙනි.

ඔහු අපහසුවෙන් සිය අත්දැකීම අප සමඟ කියමින් සිටියේය. “දෙවුන්දර වරායෙනුයි අපි දියඹට ගියේ. උදේ 9ට විතර ඇති අපි පිටත් වෙනකොට. ස්කිපර් එක්ක අපි 5 දෙනෙක් හිටියා. මම ටැංකි බෝට්ටුවල රස්සාව කරන්නේ අවුරුදු 22ක් තිස්සෙ. අපි මුහුදට හොඳට හුරු මිනිස්සු. මේවගේ යනකොට දවල් වරුවේ ස්කිපර් තමයි බෝට්ටුව අරන් යන්නේ. රෑ වුණාම ගොඩක් වෙලාවට එක්කෙනයි ඇහැරිලා ඉන්නේ. එයා බෝට්ටුව ගෙනියනවා. අපි ඉන්නේ විවේක ගනිමින්. ගොඩාක් වෙලාවට නිදාගෙන. මුහුදෙ කිසිම වෙනසක් නෑ; හරිම නිස්කාංසුවේ තිබුණේ. කිලෝමීටර තුනක් හතරක් දියඹ මැදට යනකොට මුහුදෙ ලොකු රැළි නෑ…එහෙම තමයි මුහුදේ හැටි.

“අපි හතර දෙනා නිදාගෙන හිටියා. ස්කිපර් බෝට්ටුව අරන් ආවා. මොකක් හරි නිසා මාව ගැස්සිලා ඇහැරුණා. තත්පර ගණනකදි මම දැක්කේ මහා විසාල කළු කුට්ටියක් අපේ බෝට්ටුව පස්සෙන් මතුවෙනවා වගේ… ඒ එක්කම හිතාගන්න බැරි විදිහට මහා සද්දයක් එක්ක බෝට්ටුව හැප්පුණා. පිටිපස්සෙන් ඇවිත් අපිව හැප්පුවෙ විශාල නැවක්.

“බෝට්ටුව අනික් පැත්ත ගැහුවා. මම දන්නේ මම මුහුදට වැටුණා කියලා විතරයි. මහා කළුවර කාමරයක් වගේ. කිසිම දෙයක් පේන්නෙ නෑ… අතපය ගහනකොට මට අහු වුණා යකඩ බාර් එකක්. තවමත් මට වෙච්චි දේ හිතාගන්න බෑ. ඒක අල්ලන් ටිකක් සන්සුන් වෙලා බලනකොට මට තේරුණා වෙලා තියෙන දේ. බෝට්ටුව මුණින් අතට පෙරළිලා. මම හිටියේ පෙරළුණ බෝට්ටුව යට. බෝට්ටුව සම්පූර්ණයෙන් ගිලිලා නැතිව වතුර මට්ටමට වඩා උඩින් හුස්ම ගන්න පුළුවන් ඉඩක් ති‍ෙයනවා.

“මට එක එක දේවල් මතක් වෙනවා. දරුවො දෙන්නා… ගෙදර මනුස්සයා… මම හිතුවා මට මැරෙන්න වෙන්නේ එළිය පොදක්වත් නැති මේ කළුවරේ කියලා. රැල්ලට පෙරළුණ බෝට්ටුව උඩ පහළ යනවා. ටිකක් වෙලා යන කොට ඇස් දෙක කළුවරට හුරු වුණා. මම අල්ලගෙන ඉන්නේ එන්ජිමේ කොටසක්. බෝට්ටුව මහා හයියෙන් උඩ පහළ යනවා. ඔළුව ගහන් ඉන්න වාසියක් තියෙනවා බෝට්ටුව මැද්දේ. මම හිටියේ එතැන ඔළුව උස්සගෙන.

“මට තේරෙනවා බෝට්ටුව උඩ කෙනෙක් ඉන්නවා. මම බෝට්ටුවට තට්ටු කළා. එයා එතකොට දැනගත්තා කෙනෙක් යට ඉන්නවා කියලා. පැය ගාණක් එහෙම ඉන්න ඇති. කාලය ගැන කිසිම අවබෝධයක් නෑ. මම ජීවිතේ හිටිය වැඩිම කාලය ඒක වෙන්න ඇති. මට දැන් කියන්න තියෙන්නේ මට ජීවත් වෙන්න වාසනාව තිබුණා කියලා විතරයි. මම බේරුණු හැටි මමවත් දන්නේ නෑ.

“නාවික හමුදාව ඇවිත් මාව බේරගත්තා. පැය ගණනක් කළුවරේ ඉඳලා ඉර එළිය දකිනකොට අනේ! මම ජීවත් වෙනවා වගේ තේරුණා. ඒත් ගොඩට අරන් ඉස්පිරිතාලෙ එක්ක ගියාට පස්සෙත් මම කෑගහලා තියෙන්නේ අනේ මාව බේරගන්න කියලා. මට හොඳ සිහියක් තිබිලා නෑ ඒ වෙනකොට. දොස්තර ගොල්ල, නර්ස් නෝනලා බේත් කළා. ඊයෙ තමයි ටිකට් කපන් ආවේ.”

ඔහු හති අරින්නේය. තව සති ගණනක් යන තුරු ඔහුට සුවයක් අත් වනු ඇතැයි සිතෙන්නේ නැත.

“ආයෙ නම් ටැංකි බෝට්ටු යන්නේ නෑ… එදා වේල පන්නයක් කරන් ඉන්නවා. දරුවො දෙන්න ජීවත් කරවන්න ඕනෑ. කෙල්ල 10 වසරෙන් ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. කොල්ලා තවම 9 වසරේ. උන්ගෙ වාසනාවට පණ කෙන්ද බේරුණේ…”

ඔහු තවත් වෙහෙසවන්නට සිතෙන්නේ නැත. වැලිගම ජයසිරිපුර ඔහුගේ නිවෙසට තවත් ඔහුගේ හිතවතුන් ඥාතීන් පැමිණෙමිනි. ඒ දෙවියන්ගේ ආශීර්වාදයෙන් ජීවිතය බේරුණු ආශ්චර්යවත් පුද්ගලයා දකින්නටය.

මේ මරණීය අත්දැකීම හොඳින්ම අත් දැක සුජිත්වත් බෝට්ටුව යටින් එළියට ගැනීමටත් තමන්ට යළි දරුපැටවුන්ගේ මුහුණ දකින්නට හැකි වන ලෙසත් ජීවිතය අල්ලාගෙන සිටි පුද්ගලයා තරංග නිරෝෂණය. තරංගට රස්සාවේදී කට්ටිය කිවුවේ සුද්දා කියාය. තෙරක් නොපෙනෙන මහ සයුරේ පෙරළුණ දිනේෂ් 4 යාත්‍රාව මත හිඳගෙන ජීවිතය ඉල්ලා මොරදෙමින් සිටින අසරණ මිනිසකු ඔබ වීඩියෝ දර්ශනවල දකින්නට ඇත. ඒ අප මේ කතා කරන සුද්දාය. සුද්දා ඒ ඇඟ කිලිපොළා යන අත්දැකීම අප සමඟ බෙදා ගත්තේය.

“වෙනද වගේ පිටත් වුණේ උදේ 9 -10ත් අතර වගේ කිසිම වෙනසක් දැනුණේ නෑ. බෝට්ටුව වරායෙන් පන්නන කොටම බටයක් පැන්නා. ඒකත් හදාගෙන අපි ගමන පටන් ගත්තා… දවල්ට බත් උයලා කිරිමාළු හොද්දක් හදාගත්තා. සම්බෝල තිබුණා. ස්කිපර් හවස 6 වෙනකම් බෝට්ටුව අල්ලන් ආවා. රෑ පොල් සමබෝල. පපඩම් ඔම්ලට් එකක් හදන් කෑවා.

“ටැංකි බෝට්ටු පැය 24ම දියඹට යනකම් එක දිගට යනවා. එතකොට කරන්නේ ස්කිපර්ට නිවාඩුවක් දීලා ඉතිරි කට්ටිය පැය දෙකහමාර ගානේ ඇහැරිලා ඉඳන් බෝට්ටුව අරන් යනවා. ටැංකි බෝට්ටුවල යන හැමෝම එහෙම තමයි. එයා යනකම් අනික් අය නිදාගන්නවා. අපි නිදාගත්තා. බෝට්ටුව අල්ලන් ආවේ සුජිත් ප්‍රියන්ත.

“මම එකපාරටම උඩ ගිහින් ඇහැරුණා. බෝට්ටුව පිටිපස්සෙන් මහා සද්දයක්. අපි මුලින්ම හිතුවේ මුහුදෙ පාවෙන කොටයක් වැදුණා කියලා. මොකද: සමහර වෙලාවලදි මුහුද මැද ලොකු කොට, එක එක පාවෙන දේවල් බෝට්ටු බඳේ වදිනවා. ලී කොටයක් එහෙම හම්බවෙනවා කියන්නේ එතන මාළු ඇණියක් ඉන්න තැනක්. එහෙම හිතලා බෝට්ටුව පිටිපස්සට යනකොට දැක්කේ සූ ගාන සද්දෙන් කළුවට කළුවෙ මහා කන්දක් වගේ එන නැවක්. බෝට්ටුව වැදිලා තියෙන්නේ නැවේ ඉස්සරහා තියන ගෙඩියේ. නැව එනවා මූණටම වගේ… මරණ බය දැනුණා. මම කෑගැහුවා. වැලිගම මාමේ… මොකක්ද මේ කළේ.. පැටී බාප්පෙ අපි ඉවරයි… මට එච්චරයි කියන්න ලැබුණේ. අපි ඔක්කොම බෝට්ටුවේ ඉස්සරහට දුවන්න හැදුවා. මොන දිවිල්ලක්ද! එකපාරටම බෝට්ටුවට වතුර පිරිලා මුණින් පෙරළිලා ගිලුණා. එතකොට අපිව පහු කරන් නැව් බඳ බාගෙටත් වඩා ඉස්සරහට ගිහින්…

“නැවක් එන්නේ ඉස්සරහ බලාගෙන. එයාලට ළඟ පේන්නේ නෑ. අපිටත් නැවේ රතු එළියක්වත් පෙනුණෙ නෑ. කට්ට කළුවරට ආවේ. දැන් සමහරු කියනවා අපි ගිහින් නැවේ හැප්පුවා කියලා. ඒ මුහුදු ගමන් ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති මිනිස්සු. නැවක් පැයට නාවික සැතපුම් 16ක් විතර වේගෙන් යන්නේ. අඩුම නාවික සැතපුම් 8කට කැඩෙනවා. අපේ බෝට්ටුවක් උපරිම වේගය පැයට නාවික සැතපුම් 3ක් 4ක්… පිටිපස්සෙන් ඇවිත් මේ නැව අපිව හැප්පුවේ.

“මාව විසිවෙලා ගිහින් අඩි දහයක් පහළොවක් ඈතට වැටුණෙ… මට පේනවා බෝට්ටුව මුණින් අතට හැරිලා… මම පීනගෙන බෝට්ටුව ළඟට ආවා. බෝට්ටුවට ගොඩ වුණා. මට ඇහෙනවා ඈතින් අපේ ස්කිපර් කෑගහනවා. මම කිවුවා අනේ අල්ලගෙන ඉඳපන් කියලා. පිටේ හම ගිහින්… ලුණු වතුර ගෑවෙනකොට ඉන්න බෑ දනවා. ඉවසන් හිටියා. මට ආයෙත් ඇහුණා ස්කිපර් කෑ ගහනවා… ආයෙම මට ඒ කටහඬ ඇහුණෙ නෑ… එයාට අල්ලගෙන ඉන්න බැරි වුණා.

“ඒ අස්සේ බෝට්ටුව ඇතුළෙ ඉඳන් කෙනෙක් බෝට්ටුවට තට්ටු කරනවා මට ඇහෙනවා. මම දන්නේ නෑ ඇතුළෙ කවුද ඉන්නේ කියලා. මම කෑගහලා කිවුවා උඹව ඇහෙනවා. අල්ලන් ඉඳපන් කියලා. “පිටේ හම ගිහින් ඩීසල් එක්ක එන කරිජ්ජ නිසා මුළු ඇඟම දනවා. මට පේනවා එළි දාගෙන බෝට්ටු අපට එපිටින් යනවා. කෑගැහුවට වැඩක් නෑ. අපිව ඒ අයට පේන්නේ නෑ. පැය හයක් විතර ඉන්න ඇති බෝට්ටුව උඩ. මම ඒ කාලය ඇතුළෙම වේදනාවෙන් කෑගහන් හිටියේ… ඒ අතරේ සමහර උන්ට මගේ සද්දේ ඇහිලා තියෙනවා. ඒත් ඒ බෝට්ටුකාරයො අපේ පැත්තට එන්නේ නැතිව හැරිලා ගිහින්. ඒ ඇහුණ එකාට නිකම් හරි මේ පැත්තට එන්න හිතුණා නම් මැරුණු තුන් දෙනාගෙ ජීවිතත් බේරගන්න තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. යන්තම් එළිය වැටෙන කොට මම හොඳටම හෙම්බත් වෙලා, කෑගහගන්න බෑ. මම බෝට්ටුවක් යනවා පේනකොට නැඟිටලා අත් දෙක වනාගෙන කෑගහනවා… පේන දුරින් ගාල්ල නැවුවලට බඩු අරන් යන බෝට්ටුවකුත් අපිව පහු කරන් ගියා. හිතට පුදුම දුකක් ඒ වගේ වෙලාවට දැනෙන්නේ.

“අල්ලන් ඉඳන් අත්හරින්න හිතන අන්තිම වෙලාවෙදි මාව දැකපු එක බෝට්ටුවක් හරවාගෙන ආවා. ඇවිත් මාව බෝට්ටුවෙන් අරන් නේවි එකට පණිවිඩය දුන්නා. ඒ අය ඇවිත් මාව ගන්නකොටම මම කිව්වා බෝට්ටුව යට අපේ කෙනෙක් ඉන්නවා කියලා. ගොඩබිම ඉන්න අයටත් පණිවිඩය දුන්නා.

“නේවි එකේ අය ගිහින් බෝට්ටුව ඇතුළෙ හිටපු සුජිත් කුමාරව බේරගෙන රෝහල්ගත කරලා තිබුණා. එතකොට මමත් ඉස්පිරිතාලේ. ඇඟේ තුවාලවලට බෙහෙත් දැම්මා. දැන් තුවාල සෑහෙන්න හොඳයි… හොස්පිටල් එකේ සිකියුරිටි කට්ටියගෙ ඉඳන් හුඟ දෙනෙක් ආවා මාව බලන්න. හැමෝම කතාබහ කරලා ගියා…”

සුද්දා කියාගෙන යන්නේය. ඔහුට අවුරුදු 41කි. දරුවන් තිදෙනා තවම පාසල් යන පොඩි උන්ය. ලොකු පුතාට අවුරුදු 11කි. දෙවැනියාට අවුරුදු 7කි. බාලයා තවම මොන්ටිසොරියේය.

“පොඩි උන්ගේ වාසනාව හින්දා බේරුණා…” ඔහු අවසානයේ කීවේය.

“මොනවා කරන්නද නෝනා? කවුද අපට රස්සා දෙන්නේ. ජීවත් වෙලා මැරෙන්න වෙන්නෙත් මුහුද මත්තෙම තමයි.”

ජීවිතය මොනතරම් රළුදැයි හිතෙන්නේ මේ මිනිසුන් දකින විටය. ජීවිතය ජීවත් කරවීමට විකල්ප නැත. එක්කෝ මුහුද අත්හැර අනාථ විය යුතුය. නැති නම් මුහුද හා ගැටෙමින් මරණය සමඟ ජීවත් විය යුතුය. සුද්දා යළිත් වරක් මුහුද හා ගැටෙමින් කෙරෙන ජීවිතය තෝරාගෙන ඇත. මරණයේ එළිපත්තට ගොස් හැරී පැමිණි මිනිසකුට ඒ තේරීම පහසු නැත. මේ අතර මෙම සිද්ධිය සමඟ පසුගිය 28න් පටන් ගැනුන පැය 48 තුළ සිදු වූ ධීවර බෝට්ටු අනතුරු 4ක් ගැන විමර්ශනය කිරීමට රජය කමිටුවක් පත් කර ඇත.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත කියන්නේ ධීවර යාත්‍රාව ගැටුණේ කුමන වෙළෙඳ නෞකාවේද යන්න තාක්ෂණික විශ්ලේෂණ මඟින් සොයාගෙන නිශ්චිතව ඒ නෞකාව හඳුනාගැනීමෙන් පසු වෙළෙඳ නෞකා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් නෞකාව සම්බන්ධව නීතිමය කටයුතු කරන බවය.

බොහෝ අදහස් ඇත. එහෙත් මරණ තුනක් සිදු වී තිබේ. වෙළෙඳ නෞකාවල බෝට්ටු ගැටීමෙන් සිදු වන මුල්ම හෝ අවසන් අනතුර මෙය නොවන බව කිව යුතුව ඇත. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් හැදෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

You may also like

Leave a Comment