– මහරගමදී ඇල්ලූ මත්ලෝලියාගෙන් සියලු තොරතුරු එළියට
– රු. ලක්ෂ 50ක් වටිනා ත්‍රිරෝද රථ 8ක් මෝටර් සයිකලයක් සොයාගනී
– විමර්ශන මහරගම පොලිස් දූෂණ මර්දන ඒකකයෙන්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයාගැනීම පිණිස නොකරන දෙයක් නැතැයි කීවොත් වරදක් නැත. තමන්ගේ ගේදොර, හරකාබාන, දේපොළ, ඉඩකඩම් අඹු දරුවන් පවා උකසට තබා හෝ විකුණා තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය දෛනිකව ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට උත්සාහ කිරීම මත්ලෝලියාගේ සිරිතයි. රටේ අපරාධ වැඩි වීමටද මෙය ප්‍රධාන හේතුවකි. මත්ලෝලීන් සිදු කරන අපරාධ සංඛ්‍යාත්මක වශයෙන් වැඩි බවද පෙනෙන්නට ඇත.
මත්ලෝලීන් සිදු කරන අපරාධ නිසා පොලීසියටද වැඩ අධික වී ඇත. ඒ, එම පුද්ගලයන් සිදු කරන සොරකම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගැන දිගින් දිගටම විමර්ශනය කිරීමට සිදු වී තිබීම හේතුවෙනි.
පොලිස් නිලධාරීන් විසින් හදිසියේ සිදු කරන එවැනි පුද්ගලයන් පරීක්ෂාවලදී අපරාධකරුවන් අත්අඩංගුවට පත් වීමේ සිදුවීම් ගණනාවක්ද පසුගිය කාලයේ වාර්තා විය. මේ කතාවද එවැන්නකි. වාර්තා වූයේ මහරගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයෙනි.
මහරගම පොලීසියේ දූෂණ මර්දන ඒකකය ක්‍රියාත්මක වන්නේ එහි ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලිෂාන් එදිරිසිංහගේ ප්‍රධානත්වයෙනි. මහරගම පොලිස් බලප්‍රදේශයේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ මර්දන සඳහා දූෂණ මර්දන ඒකකය කරන රාජකාරිය ඉතා වැදගත්ය. මහරගම නගරයේ ගැවසෙන සැකකටයුතු පුද්ගලයකු ගැන දූෂණ මර්දන එකකයේ ස්ථානාධිපති ලිෂාන් එදිරිසිංහ ඇතුළු කණ්ඩායමට තොරතුරක් ලැබෙන්නේ මේ අතරතුරය. අදාළ පුද්ගලයා ගැන තොරතුරු සොයන පොලිස් නිලධරයන් ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. මේ පුද්ගලයා මත්ලෝලියකු බව පොලිස් නිලධරයන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය. සැකකරු පරීක්ෂා කළ අවස්ථාවේ ඔහු සතුව තිබුණු හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 420ක් සොයා ගැනීමටද දුෂණ මර්දන ඒකකයේ නිලධරයන්ට හැකි විය.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ලෝලියකු පමණක් නොව, වෙනත් අපරාධවලටද සම්බන්ධ අයකු විය හැකි බවට පොලිස් නිලධරයෝ සැක කළහ. අදාළ සැකකරුගේ වතගොත, නිත්‍ය ලිපිනය ඇතුළු තොරතුරු දුෂණ මර්දන ඒකකයේ නිලධරයන් විසින් ඒ වන විටත් සොයාගෙන තිබිණි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය. පැය 72ක් මේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ගැනෙන්නේ ඒ අනුවය. එලෙස ප්‍රශ්න කරන ලද සැකකරුගෙන් අපරාධ රැසක තොරතුරු හෙළි වන්නේ පොලිස් නිලධාරින්ද නොසිතූ ලෙසය. සැකකාර මත්ලෝලියා තාවකාලිකව නවාතැන්ගෙන සිටි නිවෙස දූෂණ මර්දන ඒකකයේ නිලධරයන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර එහි තිබී මෝටර් බයිසිකලයක් සොයාගැනිණි. ඒ මෝටර් බයිසිකලයේ ලියාපදිංචි අංකය අනුව විමර්ශන සිදු කෙරෙද්දී එය සොරකම් කරන ලද එකක් බව හෙළි කර ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.
සැකකාර මත්ලෝලියාගේ ‘අපරාධ චාරිකාව’ ගැන තොරතුරු එකින් එක හෙළි වන්නේ ඉන් අනතුරුවය.
තදින්ම මත්කුඩු පානයට ඇබ්බැහිව සිටි මේ පුද්ගලයා සොරකමට අත්පොත් තබන්නේ තමන්ගේ හොඳම මිතුරාගේ මෝටර් බයිසිකලය සොරකම් කිරීමෙනි. ඒ එය විකුණා මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහාය. මහනුවර දිසාවේ අලවතුගොඩ ප්‍රදේශයේදී මේ මත්ලෝලියා තම හොඳම මිතුරාගේ මෝටර් බයිසිකලය සොරකම් කර තිබුණි. මේ සොරකමින් ‘රස වැටුණු’ මත් ලෝලියා ඒ පන්නයේම සොරකම්වලට අතගැසුවේය. ත්‍රිරෝද රථ සොරකම්වලින් ලොකු මුදලක් සොයා ගැනීමට හැකි බව ඔහුට වැටහෙන්නේ මේ අතරතුරදීය. මහමඟ නවතා තිබෙන ත්‍රිරෝද රථ සහ ස්කූටි ඇතුළු මෝටර් බයිසිකල් සොරකම් කිරීමේ සිදුවීම් ගණනාවක් පොලිස් ස්ථානවලට පසුගිය කාලය පුරා දිගින් දිගටම වාර්තා වී තිබුණු අතර, එලෙස සොරකම්වල නිරතව සිටි කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන් රැසක් සහ ඔවුන් විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් ගණනාවක්ද පොලීසිය විසින් සොයාගෙන තිබිණි. සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් කැබලි කර විකිණීම ඒවායේ අංක තහඩු සහ වර්ණය වෙනස් කර කොළඹින් දුරබැහැර පළාත්වල පුද්ගලයන්ට අඩු මිලට විකිණීමේ ජාවාරම්ද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබිණි.
සැකකාර මත්ලෝලියාද ඔය අස්සේම ත්‍රිරෝද රථ සොරකමේ තනිවම නිරතව සිටින අතරේ ඔහුට කල්පනාවට එන්නේ කණ්ඩායමක් හදාගෙන තවදුරටත් මේ ත්‍රිරෝද රථ සොරකම කිරීමේ වැඩපිළිවෙළ පුළුල් ලෙස සිදු කරගෙන යෑම ගැනය. ඒ අනුව සැකකාර මත්ලෝලියා වැඩපිළිවෙළක් සකස් කළේය. තමාට හිතවත් පුද්ගලයන් කිහිපදෙනකුටම මේ අදහස ඉදිරිපත් කළේය. ත්‍රිරෝද රථ සොරකම් රස වැටුණු හත්දෙනකු කණ්ඩායමක් ලෙස එකට එකතු කරගැනීමට මත්ලෝලියාට හැකි වන්නේ ඒ අනුවය. මේ පුද්ගලයන් හත්දෙනා ගම්පහ, වරකාපොළ, නෙලුම්දෙණිය, නාන්ගල්ල, දෙල්ගොඩ සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවෝය. මේ හත්දෙනා ගැන තොරතුරු හෙළි කරගත් මහරගම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ගැවසෙන යන එන තැන් ගැන සොයා බලන්නේ ඉන් අනතුරුවය. ත්‍රිරෝද රථ සොරකම් කල්ලියේ ප්‍රධානියා හෙවත් තමන්ගේ බොස් ඒ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බව සෙසු ගෝලබාලයන් හත්දෙනා දැන සිටියේ නැත. එම පුද්ගලයන් ගැන සියලු තොරතුරු එක්කාසු කරගෙන පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගන්නේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
‘අට දෙනාගේ කල්ලියම’ ඒ වන විට පොලීසිය භාරයට ගෙන තිබිණි. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඔවුන් බස්නාහිර පළාත ඇතුළතදී සිදු කරන ලද ත්‍රිරෝද රථ සොරකම් ගණනාවක තොරතුරුය. එලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෝ 28,30,34,41, 49, 50 සහ 56 වයස්වල පසු වන අය වූහ. මේ කල්ලිය විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ සොයා ගැනීම පොලීසියේ ඊළඟ අරමුණ විය. ඒ සඳහා සිදු කරන ලද විමර්ශනයේදී විවිධ ප්‍රදේශවලට යෑමටද පොලිස් නිලධරයන්ට සිදු වූයේ කල්ලිය සොරකම් කරන ලද ත්‍රිරෝද රථ විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට විකුණා තිබීම නිසාය. මත්ලෝලියා ඇතුළු කල්ලිය විසින් සොරකම් කරන ලද රුපියල් පනස් ලක්ෂයක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් සහ ත්‍රිරෝද රථ අටක් සොයා ගැනීමට මහරගම පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධරයන්ට හැකි වන්නේ ඉන් අනතුරුවය.
මේ කල්ලියෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ ඔවුන් කණ්ඩායමක් ලෙස එක්කාසු වී බස්නාහිර පළාතේ විවිධ ස්ථානවලින් ත්‍රිරෝද රථ සැලකිය යුතු සංඛ්‍යාවක් සොරකම් කර ඇති බවයි. එලෙස සොරකම් කරන ලද ත්‍රිරෝද රථ කැබලි කර අමතර කොටස් ලෙසත් එන්ජින්, තහඩු සහ බක්කි ලෙසත් අලෙවි කර ඇති බවද අනාවරණය විය. එලෙස සොරකම් කරන ලද තවත් ත්‍රිරෝද රථ රැසක එන්ජින් හා චැසි අංක වෙනස් කර භාවිතයෙන් ඉවත් කර හෝ දිරාපත්ව තිබෙන ත්‍රිරෝද රථවල ලියකියවිලි සොරකම් කර එම අංකවලට ලියාපදිංචි කර අඩු මිලට අලෙවි කර ඇති බවද හෙළි විය. ඒ සඳහා මොවුන් කූට ලේඛන සකස් කර ඇති බවද අනාවරණය වන්නේ පොලීසිය සිදු කළ විමර්ශනයේදීය.
මේ කල්ලිය මෙලෙස ත්‍රිරෝද රථවල චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කිරීමට යොදාගත් උපකරණද සොයා ගැනීමට පොලීසිය ගත් උත්සාහයද අපතේ ගියේ නැත. ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී ඒ ගැන තොරතුරු හෙළි විය. අදාළ ආයුධ කට්ටලය අංක සහිත විවිධ හැඩතලවලින් යුත් අක්ෂර සහිත යකඩ කොටස් 5ක් පමණ සොයාගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.
මේ පුද්ගලයන් අටදෙනාම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ අය බව විමර්ශනයේදී හෙළි විය. මේ මත්ලෝලි කල්ලිය විසින් සිදු කරන ලද ත්‍රිරෝද සොරකම් කොතෙක්ද කීවොත් ඔවුන්ට සමහර ඒවා මතකයේද නැත.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගමගේ යන නිලධරයන්ගේ උපදෙස් මත මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ සිල්වාගේ මෙහෙයවීමෙන් මහරගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලිෂාන් එදිරිසිංහ, සැරයන් (51921) පුෂ්පකුමාර, කොස්තාපල්වරුන් වන (84742) ලක්ෂාන්, (92521) සමරසිංහ, (92521) විමුක්ති, (31620) කවිඳු, (102924) (102921) කවිෂ්ක යන නිලධරයෝ වැඩිදුර විමර්ශන සිදු කරති.

සැකකරුවන් සතුව තිබියදී අත්අඩංගුවට ගත් භාණ්ඩ
ඡායාරූප – නුගේගොඩ
සමීර අබේසිංහ