හොඳම දේ දරුවන්ට යැයි නිතර පැවසුවද එය සාක්ෂාත් වන අවස්ථා දුලබය. එවන් පසුබිමක නිසි පෝෂණයෙන් යුතු නීරෝගි ළමා පරපුරක් නිර්මාණය කිරීම උදෙසා පෝෂණීය ආහාර අවශ්‍යතාව සපුරාලීමට කැප වූ ත්‍රිපෝෂ සමාගම නව ජීවයක් ලබා ඇති පුවත දරුවන්ට පමණක් නොව, දරුවන්ගේ යහපත පතන හැම කෙනකුටම සුබ පණිවිඩයක් වනු නිසැකය.

ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් නිරෝෂණ අත්තනායක
වර්ෂ 1973 වසර් ආරම්භ වූ ත්‍රිපෝෂ සමාගම 2011 වසරේ සිට ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ පූර්ණ රාජ්‍ය ආයතනයක් වශයෙනි. විවිධ හැලහැප්පීම් සහ අභියෝග මැද පවත්වාගෙන ආ ත්‍රිපෝෂ ආයතනය වත්මන් රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ දැන් අලුතින් හුස්ම ගනිමින් සිටී. ඒ ක්‍රියාන්විතය සඳහා නායකත්වය දෙන්නේ ත්‍රිපෝෂ සමාගමේ වත්මන් සභාපති අමල් නිරෝෂණ අත්තනායකයි. ත්‍රිපෝෂ සමාගමේ නව පිබිදීම ගැන අපි ඔහුගෙන් කරුණු විමසුවෙමු.
“මා සභාපති ධුරයට පත් වූයේ පසුගිය ජූනි මාසයේ 16 වැනිදා. මුලින්ම මා ආයතනයේ සියලු අංශ පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කළා. ඒ වෙනුවෙන් සියලු අංශවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සිට කාර්ය මණ්ඩලය පසුගිය දස වසර තුළ ඔවුන්ගේ අංශ පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් සිදු කළා. එමඟින් මා ආයතතන පිළිබඳ මනා දැනුමක් ලබා ගත්තා. ඒ සඳහා තොරතුරු සහ දත්ත සපයමින් උපරිම සහයෝගය දුන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සිට සියලු කාර්ය මණ්ඩලයට මා ස්තුතිවන්ත වනවා. ඒ අධ්‍යයනයෙන් හඳුනාගත් ගැටලු නිරාකරණය කිරීමට මා කඩිනම් පියවර ගත්තා. ඇතැම් ක්‍රියාමාර්ග ඍජුව, ක්ෂණිකව සහ විනිවිදභාවයෙන් ගැනීම අත්‍යවශ්‍ය බව මට වැටහුණා. ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාත් අමාත්‍යාංශ ලේකම්වරයාත් පූර්ණ සහයෝගය දුන්නා.”
ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන ඉරිඟු සැපයුම අඩාළ වීමට බලපෑ හේතු කෙරෙහි සභාපතිවරයාගේ මූලික අවධානය යොමු විය.
“ආයතනය එක දවසක් වැහුවොත් කොයි තරම් පාඩුවක් සිදු වෙනවද කියලා මා තක්සේරු කර බැලුවා. එය ලක්ෂ ගණනක පාඩුවක් බව හෙළි වුණා. ඒ නිසා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට මා පියවර ගත්තා. ඒ නිසා වැඩ භාර අරගෙන දවස් හයක් ඇතුළත මා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම ආරම්භ කළා. මේ වන විට ඉරිඟු ටොන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් අපට ලැබී තිබෙනවා. දැන් පැය විසිහතර පුරා නිෂ්පාදන කටයුතු සිදු වනවා. මේ වැඩපිළිවෙළ මේ විදිහටම ඉදිරියට ගෙනයෑමට නම් ඉදිරියේදිත් ඉරිඟු ප්‍රමාණවත් පරිදි ලැබිය යුතුයි. ඒ සඳහා අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ දීර්ඝකාලීන වැඩපිළිවෙළකට යොමු වුණා. අපට අවශ්‍ය ප්‍රමිතිය යටතේ ගුණාත්මක ඉරිඟු ලබාගැනීම සඳහා සියලු ඉරිඟු සැපයුම්කරුවන්ට ලියාපදිංචි වීමට දැන් අවස්ථාව සලසා දී තිබෙනවා. ඉරිඟු ඒකාධිකාරයක් තිබුණා නම් මේ ක්‍රමවේදයෙන් එය අහෝසි වනවා. ඉරිඟු වගේම සහල් හා සෝයා සැපයීම සඳහාත් සැපයුම්කරුවන් ලියාපදිංචි කරගැනීම ඉදිරියේදී අරඹනවා. මේ වන විට සේවා මුර 3ක් යටතේ පැය විසිහතරේම වැඩ කරමින් ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන අතර, කාර්ය මණ්ඩලය මහත් උද්‍යෝගයෙන් නිෂ්පාදන කාර්යය සඳහා දායක වී සිටීම විශාල ශක්තියක්. දිනකට ඉරිඟු ටොන් 65-70ක් පමණ ප්‍රමාණයක්, කි.ග්‍රෑ. 70,000ක් පමණ ඇඹරීම සිදු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රටට අවශ්‍ය ත්‍රිපෝෂ ප්‍රමාණය පිළිබඳ මාස් පතා ත්‍රිපෝෂ සමාගමට ඉලක්කයක් දෙනවා. ඒ අනුව ජූනි මාසයේ ඉලක්කය ලක්ෂ 12ක්. ජූනි 22 වැනිදා සිට අඛණ්ඩව වැඩ කර පසුගිය 30 වැනිදා වන විට අප ඒ ඉලක්කයෙන් 50%ක් පමණ නිෂ්පාදන කර අපේ ගබඩා පුරවා තිබෙනවා. වසර අවසානය දක්වා නිෂ්පාදන සැලසුම මේ වන විටත් සකස් කර තිබෙනවා. ඒ අනුව මම විශ්වාස කරනවා, අපට හැම මාසයකම අපේක්ෂිත ඉලක්කය 95%කට වඩා සපුරාගත හැකියි කියලා.”
රජය විසින් ත්‍රිපෝෂ නොමිලේ ලබාදෙන්නේ දරුවන්ට, ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මවුවරුන්ටය. ජාතියේ ජීවනාලිය වන් අනාගත පරපුරේ නීරෝගි බව සහතික කිරීම සඳහා ත්‍රිපෝෂ සමාගමට පැවරී ඇති වගකීම ගැන සභාපතිවරයා මෙසේ පැවසීය:
“මාස හයේ සිට අවුරුදු තුන දක්වා ළදරුවන්ට දෙන ත්‍රිපෝෂ හදන්නේ සහල්වලින්. ඒවා නිෂ්පාදන කරන යන්ත්‍රවල අඩුපාඩුවක් නිසා අපට තවම ඒ ඉල්ලුම 100%ක් සපුරන්න බැරි වුණත්, ලබන ජනවාරියේදී අප ඇණවුම් කර ඇති යන්ත්‍ර ලැබුණු පසු ඒ ඉල්ලුම සම්පූර්ණයෙන්ම සපුරන්න පුළුවන්. ඒ වයස් කාණ්ඩයේ ත්‍රිපෝෂ සඳහා දැනට විශාල අවශ්‍යතාවක් තිබෙන අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ත්‍රිපෝෂ අවශ්‍යතාව සියයට සියයක්ම සැපිරීමට කටයුතු කරනවා. ලබන මාසය වන විට රට පුරා කිරි දෙන සහ ගැබිනි මවුවරුන්ගේ ත්‍රිපෝෂ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපිරීමට අපට හැකියාව තිබෙනවා.”
මේ කාර්යය සඳහා මුල පුරමින් ඉකුත් ඡූලි 4 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් රට පුරා ත්‍රිපෝෂ බෙදාහැරීම ආරම්භ කෙරිණි. දුම්රිය මඟින් උතුරු නැඟෙනහිරටද බෙදාහැරීම් කටයුතු සිදු කෙරේ.
ඊට අමතරව ත්‍රිපෝෂ නිවෙසින් තවත් රසවත් අත්දැකීමක්ද ජනතාවට සමීප කර ඇත. මීට පෙර ජාඇළ කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට වෙළෙඳසලේ අලෙවි කරනු ලැබුවේ සුපෝෂ අග්ගලා සහ කප් කේක් වර්ගයක් පමණක් වුවත් දැන් කප් කේක් වැනිලා, චොක්ලට්, අඹ, ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් යන රස 5කින් ලබා ගත හැකිය. ඒ සංකල්පයේ නිර්මාතෘ වන සභාපති අමල් අත්තනායක ඒ ගැන පළ කළේ මෙවන් අදහසකි:
“කැමති රසයෙන් වගේම ප්‍රමිතියෙන් උසස්, පෝෂ්‍යදායි කප් කේක් දැන් සාමාන්‍ය ජනතාවට පහසු මිලකට ලබාගත හැකියි. කප් කේක් සඳහා ලැබුණු ඉතා ඉහළ ඉල්ලුම නිසාම අපට ඒ වෙනුවෙන් සේවක පිරිස වැඩි කිරීමටද සිදු වුණා. කප් කේක් සඳහා ලැබෙන සියලු ඉල්ලීම් සපුරාලිය නොහැකි වුවත් කොළඹ අවට පාසල් දරුවන් වෙනුවෙන් හෝ ජංගම රථයක් මඟින් කප් කේක් අලෙවි කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම ඉදිරියේදී අඩු සීනි සහිත කප් කේක් සහ ත්‍රිපෝෂවලින් සාදන අයිස්ක්‍රීම්, සීරියල් සහ ශක්තිජනක පාන හඳුන්වා දීමටත් බලාපොරොත්තු වනවා. ඒ වගේම ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අමාත්‍යාංශයේ අනුමැතිය මත ඒ නිෂ්පාදන අලෙවිසල් සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවන්නත් බලාපොරොත්තු වනවා. ඒ ඇසුරෙන් නව රැකියා ප්‍රමාණයකුත් උත්පාදනය වනවා වගේම අලෙවියෙන් ලැබෙන සියලු ආදායම යන්නේ මහාභාණ්ඩාගාරයටයි. ඒ වගේම අවශ්‍යතා ඇති අයට දෙන්න ත්‍රිපෝෂ හදන ගමන් සාමාන්‍ය ජනතාවට දෙන්න අපි සුපෝෂ හදනවා. අප දන්නවා සාමාන්‍ය ජනතාවත් ත්‍රිපෝෂ රසට ඉතා ප්‍රිය කරනවා. මගේ අදහස, ත්‍රිපෝෂ රසටම සුපෝෂත් දිය යුතු බවයි. ඒ අනුව තව සති දෙකකින් පමණ රට පුරා වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වලට සුපෝෂ බෙදාහරිනවා.”
ත්‍රිපෝෂ රසට ප්‍රිය කරන සැමටම එය රසවත් ආරංචියක් වනු ඇත. ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී ඉරිඟු, සෝයා, කිරිපිටි සමඟ අවශ්‍ය ප්‍රමාණයට ඛනිජ ලවණ සහ විටමින් යොදා ගැනෙන අතර, දරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීමේ අරමුණින් ඇරඹි ත්‍රිපෝෂ අදටත් නිෂ්පාදනය වන්නේ ලෝක ආහාර පනත සහ 1981 ශ්‍රී ලංකා ආහාර පනත ප්‍රකාරවය. විශේෂයෙන් මූලික අමුද්‍රව්‍ය වන ඉරිඟු යොදා ගන්නේ ඒ පනතේ සඳහන් ප්‍රමිතිය සහ ක්‍රමවේදය අනුවය. ඒ පිළිබඳ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය:
“ඒ ප්‍රමිතිය අනුව සමස්ත නිෂ්පාදනය සඳහා යොදාගත හැකි තරම් ඉරිඟු තවම අපේ ගොවියන්ගෙන් ලැබෙන්නෙ නැහැ. එය ඔවුන්ගේ වරදක් නොවෙයි. ගොවීන්ට අපට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු නිෂ්පාදන කිරීම පිළිබඳ දැනුම දී නැහැ. එනිසා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක් වී ඒ පිළිබඳ නිසි දැනුම ජනගත කිරීම සඳහා මා දිගුකාලීන වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා. ලබන සතියේ මා ලංකාවේ බඩඉරිඟු ගොවීන් හමු වීමට ගොස් ඒ පිළිබඳ නියමු ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එය දීර්ඝකාලීන වැඩපිළිවෙළක්. ත්‍රිපෝෂ සමාගම පැය විසිහතරේම වැඩ කරන ආයතනයක් නිසා අඛණ්ඩ ඉරිඟු සැපයුමක් අවශ්‍යයි. අපට අවශ්‍ය ඉරිඟු ප්‍රමාණය ආනයනය නොකර, අපේ ගොවීන්ගෙන්ම ලබාගත හැකි නම් දේශීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟෙනවා වගේම පිටරටට ඇදී යන මුදල් රටේම රඳවාගත හැකියි. ඒ නිසා ඉරිඟු වගේම සෝයාත් නිසි ප්‍රමිතියෙන් යුතුව වගා කරන්න කියලා මා අපේ ගොවීන්ට ආරාධනා කරනවා.”
රජය පෝෂණ අවශ්‍යතා ඇති දරුවන්, කිරි දෙන හා ගැබිනි මවුවරුන් වෙනුවෙන් ත්‍රිපෝෂ නොමිලේ ලබා දෙන්නේ නීරෝගි, සෞඛ්‍යසම්පන්න දරු පරපුරක් තැනීම වෙනුවෙන් වන අතර, ඒ සඳහා විශාල මුදලක් රජය විසින් දරනු ලබයි. එබැවින් නොමිලේ ත්‍රිපෝෂ ලබා ගන්නා සියලු දෙනා එය අවභාවිත නොකිරීමේ වගකීමට බැඳී සිටිති. ඒ ගැනද අපි සභාපති අමල් නිරෝෂණ අත්තනායකගෙන් විමසුවෙමු.
“රජය නොමිලේ පිරිනමන ත්‍රිපෝෂ පැකැට්ටුව අවභාවිත නොකර, දරුවන් වෙනුවෙන් භාවිත කිරීමේ වගකීම ජනතාවටත් තිබෙනවා. ඒ නිසාම අප, ආයතනයේ වගකීම නිසි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ත්‍රිපෝෂ නිෂ්පාදනය කර බෙදාහැරීම වුණත්, ඒ පිළිබඳවත් පසුවිපරමක් සිදු කරනවා. කාර්යක්ෂම සහ උසස් සේවාවක් සලසන අපේ කාර්ය මණ්ඩලයත් රැකගනිමින්, ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවීමටත් කටයුතු කර අතරම, ප්‍රමිතියෙන් උසස් සහ ගුණාත්මක නිෂ්පාදන ඉදිරිපත් කරමින් ආයතනය ඉදිරියට ගෙන යෑම මා ඇතුළු කළමනාකාරිත්වයේ අපේක්ෂාවයි.”

සභාපතිවරයා නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කළ අයුරු

පැය විසිහතරේම වැඩ කරන ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරය

රස පහකින් යුතු ත්‍රිපෝෂ කප්කේක්