Home » ගොවි දෑතට සවිය දෙන්න වාරි ජලයට යළි පණ දෙයි

ගොවි දෑතට සවිය දෙන්න වාරි ජලයට යළි පණ දෙයි

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර
පූර්ණ ප්‍රති­සං­ස්ක­ර­ණය කළ කිළි­නොච්චි දිස්ත්‍රි­ක්කයේ කාල්මඩු වැව.

තීතයේ සිටම කෘෂිකර්මය මුල් කරගත් රටක් වන ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ බොහෝ ජනතාවගේ තවමත් ප්‍රධාන අවශ්‍යතාව වන්නේ වාරි ජලයයි. එහෙත් ඇතැම් මහා පරිමාණ වැව් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ වැව් හා එම වැව් හා සම්බන්ධිත ඇළ මාර්ග දශක ගණනාවකින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයන්ට ලක් කර නොමැත. එම නිසා ගොවි ජනතාව පත්ව ඇත්තේ සුළු පටු පීඩනයකට නොවේ. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ දූ දරුවන්ද ඒ නිසා හෙම්බත්ව සිටිති. ඒ තත්ත්වයෙන් මිදෙන්නට නම් ඒ ජනතාවට අවශ්‍ය ජලය නිසි වේලාවට ලැබිය යුතුය. එමෙන්ම එම ජලය නිසි ප්‍රමාණයෙන්ද ලැබිය යුතුය.

මේ තත්ත්වය දුටු වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ වැව්, ඇළ මාර්ග ඇතුළු ඒ හා සම්බන්ධිත දෑ ප්‍රධාන වාරි ව්‍යාපෘති දෙකක් ඔස්සේ ප්‍රතිසංස්කරණයට ලක් කරන ලදී. ඉන් එක් ව්‍යාපෘතියක් වන්නේ සේනානායක සමුද්‍රය, කලා වැව වැනි මහා පරිමාණ ව්‍යාපෘතින්ගේ විවිධ ප්‍රතිසංස්කරණන් සිදු කිරීමය.

අනෙක් ව්‍යාපෘතිය වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වාරි නිර්මිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියයි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

මේ ව්‍යාපෘතීන් දෙකම ලෝක බැංකු ආධාර යටතේ විශේෂ ව්‍යාපෘතීන් ලෙස ක්‍රියාත්මක වන අතර මෙහිදී අප දෙවනුව සඳහන් කළ කුඩා හා මධ්‍ය පරිමාණ වැඩසටහන ජනතාවට පැති කිහිපයකින් වැදගත්ය.

එම වැඩසටහනේ විශේෂත්වය වන්නේ ප්‍රදේශයේ ගොවි සමිති හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා රුපියල් මිලියන පහේ සිට අට දක්වා වූ මුදලක් ගොවි සමිති හරහා එක් ව්‍යාපෘතියට වෙන් කෙරේ. තාක්ෂණය හා අවශ්‍ය ප්‍රතිපාදන ලෝක බැංකු ආධාර යටතේ ලබා දෙන අතර ශ්‍රම දායකත්වය අදාළ ගොවි සංවිධාන හරහා ලබා ගැනේ.

ඒ යටතේ වැඩිම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ය. එය සංඛ්‍යාත්මකව පෙන්වා දෙන්නේ නම් 88කි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 320.55කි. මොනරාගල දිස්ත්‍රික්කයේ වාරි කර්මාන්ත සංඛ්‍යාව 77කි. වැය කළ මුදල රුපියල් මිලියන 283.52කි. අම්පාර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 70ක් වෙනුවෙන් රුපියල් මිලියන 217.50ක් ද සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 54ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ 51ක් වෙනුවෙන් පිළිවෙළින් රුපියල් මිලියන 112.04 හා 145.00 වෙන් කරන ලදි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘති 48 වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 234.13කි.

මේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කුඩා හා මධ්‍යම පරිමාණ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මේ වන විට වාරි කර්මාන්ත 778න් 760ක සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ඇති බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලලිත් විජේරත්න පැවසීය. රුපියල් මිලියන 2900ක ආධාර යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ වැවෙන් ලැබෙන ජලය වගාව සඳහා ගෙන යාමට අවශ්‍ය වාරි ඇළ ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු මේ ව්‍යාපෘතිය හරහා සිදු කෙරේ.

එම සියලු ව්‍යාපෘති ලබන වසරේ ඔක්තෝම්බර් මස සම්පූර්ණයෙන් අවසන් කරනු ලබන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

අදාළ තාක්ෂණික උපදෙස් සහ මූල්‍ය දායකත්වය ව්‍යාපෘතිය හරහා ගොවි ජනතාවට ලබා දෙන බව ද විජේරත්න මහතා කීය.

වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර සංවර්ධන සමායතනයේ (IDA) මූල්‍ය දායකත්වයෙන් (ලෝක බැංකුව හරහා) මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

එම ව්‍යාපෘතිය සෙසු දිස්ත්‍රික්කයන්ටද ක්‍රියාත්මක අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මෙම වාරි ව්‍යාපෘති 28ක් වෙනුවෙන් රුපියල් මිලියන 117.11 ද මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් 37ක් වෙනුවෙන් රුපියල් මිලියන 11.36 ද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩසටහන් 13ක් වෙනුවෙන් මිලියන 40.31ක්ද වෙන් කර ඇත.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති 18ක් වෙනුවෙන් රුපියල් මිලියන 40.31ද වෙන් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් 23ක් වෙනුවෙන් මිලියන 49.11ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 18ක් වෙනුවෙන් මිලියන 80.582ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 38ක් වෙනුවෙන් රුපියල් මිලියන 132.92ක්ද වෙන් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 8ක් වෙනුවෙන් මිලියන 80.52ක්ද මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 9ක් වෙනුවෙන් 40.31ක්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 6ක් වෙනුවෙන් මිලියන 46.69ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 21ක් වෙනුවෙන් 76.56ක්ද වෙන් කෙරේ.

එමෙන්ම උතුරේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 26ක් වෙනුවෙන් 120.83ක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 17ක් වෙනුවෙන් 80.52ක්ද වෙන් කර තිබේ. පුත්තලමේ ව්‍යාපෘති 13ක් වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 40.31කි. එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 31ක් වෙනුවෙන් රුපියල් මිලියන 145ක්ද කිළිනොච්චියේ ව්‍යාපෘති 16ක් වෙනුවෙන් රුපියල් මිලියන 80.52ක්ද වෙන් කර තිබේ.

මුලතිව්හි ව්‍යාපෘති 8ක් වෙනුවෙන් මිලියන 40.31ක්ද යාපනයේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 29ක් වෙනුවෙන් රුපියල් මිලියන 171.81ක්ද වෙන් කරන ලදී.

මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත අතර මේ වනවිට මහා පරිමාණ ව්‍යාපෘතීන්හී ද සැලකිය යුතු වැඩ කොටසක් නිම කර තිබේ. ප්‍රතිසංස්කරණය කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘති 75න් මේ වන විට ව්‍යාපෘති 25කට අධික සංඛ්‍යාවකද වැඩ නිමවා ඇත. ඇතැම් වාරි කර්මාන්තයන්ගේ ප්‍රතිසංස්කරණ ලෙස කටයුතු සිදු කෙරෙන්නේ වේල්ල ප්‍රතිසංස්කරණය, සෙරොව් අලුත්වැඩියාව, ජලජ ශාක ඉවත් කර පිරිසිදු කිරීම වැනි කටයුතු වන අතර පූර්ණ ලෙසින් ප්‍රතිසංස්කරණය සිදු කරනු ලබන්නේ ජලාශ කිහිපයක පමණි.

මේ ව්‍යාපෘතිය යටතේ සේනානායක සමුද්‍රය සඳහා මිලියන 612.7 ක්ද මන්නාරම දිස්ත්‍රික්කයේ අකතිමුරිප්පු ජලාශයට මිලියන 508.83 ක්ද වැය කර ඇත. එමෙන්ම ඊට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල රජ ඇළ එක ව්‍යාපෘතියට රුපියල් මිලියන 393ක්ද එහි දෙක ව්‍යාපෘතියට මිලියන 300ක්ද වෙන් කර තිබේ. මින්නේරිය ජලාශයේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 392 ක් හා ලුණුගම්වෙහෙර වෙනුවෙන් මිලියන 384ක්ද වෙන් කර ඇත. එමෙන්ම මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ එවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 509ක් හා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකම සඳහා වන ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් රුපියල් මිලියන 515ක්ද වෙන් කර තිබේ.

එසේම කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කරියලයින්නාගපඩුවාන් ජලාශය වෙනුවෙන් මිලියන 447.5ක්ද මන්නාරම පෙරියමඩු පුනරුත්ථාපන ව්‍යාපෘතියට රුපියල් මිලියන 300ක් හා මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නිමුරුප්පු වැව වෙනුවෙන් මිලියන 550ක්ද වෙන් කර තිබේ.

රුපියල් මිලියන 300ට වැඩියෙන් සිදු කරනු ලබන වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් අතර මුල් තැනක් ගන්නා ව්‍යාපෘති අතර එම ජලාශයන් අන්තර්ගතය.

මේ සමස්ත කාර්ය සඳහා ලෝක බැංකු ආධාර හරහා අ‍ෙමරිකන් ඩොලර් මිලියන 70.03ක් ණය ආධාරයක් ලෙස ලැබී ඇති බව විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී සිදු කරනු ලබන්නේ වැවෙන් ඇළ මාර්ග ඔස්සේ ගලා එන ජලය කුඩා ඇළ ඔස්සේ කුඹුරු කරා ගෙන යාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර දීමයි. කාලාන්තරයක් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරීම නිසා ඇළ වේලි කැඩී බිඳී ගොස් කුඹුරු කරා ජලය ගෙන යාමට නොහැකි තත්ත්වයක තිබිණි. එම නිසා ජල ගමනාගමනය අතරමැදින් නැවතී ඇතැම් කුඹුරු යායන්ට අධික ජලය ගලා යාම නිසා ඒවා විනාශ වීමත් ඇතැම් කුඹුරුවලට ජලය නොලැබීමෙන් ඒවා විනාශ වී යාමත් සිදු කෙරිණි. මේ තත්ත්වය නිසා ගොවීන්ට තම වගා කටයුතු එපා වන තත්ත්වයකට පත්ව තිබිණි. එහෙත් ඒ ගැටලුව මේ වන විට දිවයිනේම විසඳෙමින් පවතී.

වයඹ හා උතුරේ වාරි පුනරුත්ථාපන කටයුතු කිහිපයක් නිරීක්ෂණය කළ අපට ඒ බව වැටහුණි. සමස්ත දිවයිනේම මේ ලෙසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ගොවි සංවිධාන හරහාත් සෙසු මහා පරිමාණ ව්‍යාපෘති ප්‍රතිසංස්කරණ කටයුතු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිය හරහාත් සිදු කෙරෙමින් තිබේ.

විශේෂයෙන් මහා පරිමාණ ජලාශ අතර සේනානායක සමුද්‍රය මුල් තැනක් ගන්නා අතර එහි ගල් වැටි ප්‍රතිසංස්කරණය ඇතුළු සියලු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදලටත් වඩා මේ වන විට වැය කරන්නට සිදුව ඇත. එවන් මහා පරිමාණ ජලාශ නිරතුරුවම වර්ෂාව නිසා උතුරා යන නිසා ප්‍රතිසංස්කරණ කටයුතු දැඩි අපහසුවකින් යුතුව සිදු කළ බව ලලිත් විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

උතුරේ අත්‍යවශ්‍ය වාරි කර්මාන්තයක් ලෙස මරුතන්කුලම් හඳුන්වා දිය හැක. මේ වන විට එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇත. දිය බිඳක් නැති එම ජලාශයෙන් ගොවි පවුල් 350කට අධික සංඛ්‍යාවකට ජල පහසුකම් සැලසෙන අතර මිරිදිය ධීවර කර්මාන්තයෙන් තවත් විශාල පිරිසකට සෙත සැලසෙනු ඇත.

එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් බෝම්බ තබා විනාශ කළ කාල්මඩු ජලාශය පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කර මේ වන විට ජනතාවට පවරා දී අවසානය. ගොවි පවුල් 500ක් පමණ ඉන් රැකෙති. එහි ධීවර කර්මාන්තයේද සැලකිය යුතු පිරිසක් යෙදෙති.

කාල්මඩු හි දීර්ඝ කාලයක් ගොවිතැන් කරනු ලබන කේ. සෙල්වම් අපට පැවසුවේ ත්‍රස්තවාදී සමයේ කිසිදු කෘෂි කර්මාන්තයක් සිදු කර ගන්නට නොහැකි වූ බවත්, මේ වන විට වැව නිසි ලෙසින් ප්‍රතිසංස්කරණය කර දීම ජනතාවට ලබා දුන් මහඟු දායාදයක් බවයි. කිසිවකුට අත නොපා ජීවත් වන්නට අවශ්‍ය යටිතල පහසුකම් ලැබීම ප්‍රමාණවත් බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම බතලගොඩ පන්නල බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ඩබ්. බාලසූරිය පැවසුවේ ද “මේ ව්‍යාපෘතිය නිසා ජලය තම ගොවි සංවිධානවලටම පාලනය කරන්නට හැකියාව ලැබී ඇති බවයි. අවශ්‍ය වෙලාවට කුඹුරුවලට ජලය ලබා දෙන්නටත් අනවශ්‍ය වෙලාවට ජලය පැමිණීම වළක්වා ලන්නටත් හැකි බවත් ජලය ගෙන යන ඇළ මාර්ග නිසි ලෙසින් ප්‍රතිසංස්කරණය කර ඇති හෙයින් ජලය අපතේ යාමක් හෝ වැසි කාලයට ඒවා පිටාර යාමක් හෝ සිදු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ ජලය හා නිසි වේලාවට පොහොර ලබා ගැනීමේ පහසුකම් බවත්, එම පහසුකම් ලැබෙන්නේ නම් ජනතාවට බත ලබා දෙන්නට අපහසු නොවන බවත්” ඔහු පැවසුවේය.

වසර 100කට අධික කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකරන ලද වාරි කර්මාන්තයන්ද මේ ව්‍යාපෘතිය හරහා සිදු කර ඇති බව හිරියාල ප්‍රාදේශීය වාරි ඉංජිනේරු ගයනි සිරිවර්ධන අපට පැවසුවාය. කුඹුරු අක්කර 6400ක් වෙනුවෙන් ප්‍රතිලාභී පවුල් 5600ක් උදෙසා දැදුරු ඔය හරහා අමුණක් ඉදි කර එහි ජලය බතලගොඩ ප්‍රදේශය කරා ගෙනයන්නට කටයුතු කර ඇති බව ඇය පැවසූවාය. බතලගොඩ වැවද මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙසින් ප්‍රතිංසංස්කරණය කර තිබේ.

දේවහූව තුන ඇළහි ගොවි මහතකු වන 75 වියැති ඒ. කීර්තිරත්න මෙවර යල කන්නයට සමගාමීව ලොකු ලූනු වගා කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේද ජලය නිසි වෙලාවට ලැබීම නිසා එක් කුඹුරු යායක ලොකු ලූනු වගා කළ බවයි.

ගොවි ජනතාවගේ කෘෂිකර්මයේ හදවත වන්නේ ජලය නිසි වේලාවට ලැබීම බව අපි පළමුවද සඳහන් කළෙමු. කාලාන්තරයක් තිස්සේ ඒ බව වගකිව යුත්තන් නොසලකා හැරීම නිසා ඉන් අවැඩක් වූයේ ගොවි ජනතාවට පමණක් නොවේ. සමස්ත ජනතාවටම ඉන් බඩේ පහර වැදුණි. සහල් ආනයනයට පවා කටයුතු කරන්නට සිදු වුණේ එහෙයිනි. ගොවි ජනතාව පවසන පරිදි ජලය හා පොහොර නිසි වේලාවට ලැබෙන්නේ නම් බත සරි කිරීම අපහසු නොවනු ඇත. එහෙත් වසර 100කටත් අධික කාලයක් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකරන ලද වාරි කර්මාන්තයන්ගෙන් එවන් පහසුකමක් ලබා ගත හැකි වේද? මෙවර යල කන්නයෙන් පසුව එළැඹෙන මහ කන්නයේදී අපට වැඩි අස්වැන්නක් බලාපොරොත්තු විය හැක්කේ මේ ජල පහසුකම සැපයීමත් සමඟය. ඊට අවශ්‍ය අනෙක් සාධකය වන පොහොරත් ලැබුණොත් සහල් ආනයනයට නොව අපනයනය කිරීම පවා අපට අපහසු නොවනු ඇත.

ගොවි සංවි­ධාන හරහා ප්‍රති­සං­ස්ක­ර­ණ­ය කළ කුඩා ඇළ මාර්ග­යක්

ගොවි සංවි­ධාන හරහා ප්‍රති­සං­ස්ක­ර­ණ­ය කළ කුඩා ඇළ මාර්ග­යක්

ප්‍රති­සං­ස්ක­ර­ණ­යට යෝජිත කුරුණෑගල දිස්ත්‍රි­ක්කයේ මහ ළිඳ වැව

ප්‍රති­සං­ස්ක­ර­ණ­යට යෝජිත කුරුණෑගල දිස්ත්‍රි­ක්කයේ මහ ළිඳ වැව

පූර්ණ ප්‍රති­සං­ස්ක­ර­ණය ආරම්භ කර ඇති වවු­නියා දිස්ත්‍රි­ක්කයේ මර­ත­න්කු­ලම් ජලා­ශය

පූර්ණ ප්‍රති­සං­ස්ක­ර­ණය ආරම්භ කර ඇති වවු­නියා දිස්ත්‍රි­ක්කයේ මර­ත­න්කු­ලම් ජලා­ශය

සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment