අනුෂ්ක ඉන්ද්‍රසිරි සහ නතාෂා ලංකේශ්වරී විතානගේ කැනඩාවේ, බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ, වැන්කුවර්හි, ලැංග්ලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළකි. උතුරු අමෙරිකාවේ අත්ලාන්තික් සාගරයේ සිට ශාන්තිකර සාගරය දක්වා විහිදෙන කැනඩාව වර්ග කිලෝ මීටර මිලියන 9.98ක භූමියක් අයත් රාජ්‍යයකි. කැනඩා දේශය හරහා සාගර දෙක යා කෙරෙන දුර කි.මී. 5,514කි. අනුෂ්ක හා නතාෂා ලැංග්ලි නගරයේ සිට නැඟෙනහිරට ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පංච මහා විල් පද්ධතියේ ඊරි විලට ආසන්න වෙලන්ඩ් නගරය දක්වා, සිය හත් හැවිරිදි දියණිය ශෙඩ්‍රියා ජෙනලි ද කැටුව තම මෝටර් රථයෙන් දීර්ඝ චාරිකාවක් සඳහා පිටත් වෙති. විවිධ දේශගුණික තත්ත්ව යටතේ, විශාල වනාන්තර, කාන්තාර, ගොවිබිම්, ගංගා, තණබිම් සහ විල් පසු කරමින්, විවිධ භාෂා කතා කරන ජනතාව ඇසුරු කරමින් යෙදෙන මේ චාරිකාවේදී ලබන අපූර්ව අත්දැකීම, නතාෂා සිළුමිණ පාඨකයන් වෙත ගෙන එන ලිපි මාලාවේ තවත් කොටසක් මෙසේ දිගහැරේ.
විනිපෙග්හි රාත්‍රියක් ගත කොට, අවුරෝරා බෝරෙලීස් (Aaurora borealis) හෙවත් උතුරු එළි බලාගන්නට ලැබේ නම් එය කොතරම් භාග්‍යක්ද? උතුරු එළි ඒ තරම්ම විනිපෙග් නගරයට ප්‍රසිද්ධ සංසිද්ධියක්. අපි ආහාර ගත් ‘ද ෆෝක්’ (The fork) වෙළෙඳ සංකීර්ණය උතුරු එළිය නැරඹීමට ප්‍රසිද්ධ ස්ථානයක්.
ආහාර ගැනීමෙන් පසු ‘ද ෆෝක්’ වෙළෙඳ සංකීර්ණයේ ඇවිදිමින් සිටි අපට, කුඩා සමරු තිළිණ මිල දී ගන්නට අප නතර වූ වෙළෙඳසලෙහි හිමිකාරිය සමඟ කෙටි පිළිසඳරක යෙදීමට අවස්ථාව ලැබුණා. ඇය පවසා සිටියේ විනිපෙග්හි කාලගුණය සීත සමයේ ඉතා දුෂ්කර වන බවයි.
“උෂ්ණත්වය ඍණ අගයන්වලට ගොස් සුළං හමද්දී සීතල ඉතා කටුකයි. ඒ වුණත් ජීවිත කාලයක් ඒ පොළොවේ ජීවත් වූ අපට එය දරාගන්නට පුළුවන්. විනිපෙග් කියලා කියන්නේ කැනඩාවෙ හදවත. පරම්පරා ගණනක් මේ පොළොවෙම ජීවත් වෙච්ච අපට විනිපෙග් කියලා කියන්නේ ලොකු ආඩම්බරයක්. අපි හැමෝම එක පවුලක් වගේ ජීවත් වෙන්නේ. අපි හැමතිස්සෙම හැමෝටම උදවු කරගන්නවා.”
ඇයගේ වචන බොහෝ කාලයක් ගත වන තෙක් මගේ හිතේ රැඳී තිබුණා. පසුව ආචාර්ය උපාධිය සඳහා විනිපෙග්වලට පැමිණි මගේ විශ්වවිද්‍යාලයේ ඉතා සමීප මිතුරියක වන ලලීමා සේනානායක මා සමඟ ඇගේ විනිපෙග් පිළිබඳ අත්දැකීම් පැහැදිලි කරද්දී ඇයට බොහෝ සෙයින් උපකාර කළේ විනිපෙග්හි සුදු ජාතික පිරිස බවත්, ඔවුන් ඉතා කරුණාවන්ත පිරිසක් බවත් පවසද්දී මට මතක් වූයේ ඒ වෙළෙඳසල් හිමිකාරියගේ වචනයි. මගේ මිතුරිය සමඟ කළ දීර්ඝ සංවාදවලින් පසු මා තේරුම් ගත්තේ විනිපෙග් නගරය කියලා කියන්නේ ආදිවාසි ජනතාව, ආදිවාසි සහ ප්‍රංස ජාතිකයන් මුහු වූ මෙටිස් ජනතාව සහ සුදු ජාතිකයනුත් එක් වූ කදිම ජන සංකලනයකින් හැදුණු අපූරු නගරයක් බවයි.
ඉතා විශාල ආදිවාසි ජනතාවක් විනිපෙග් තුළ ජීවත් වන නිසාම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නත් ඔවුන්ගේ හඬට පිළිගැනීමක් දෙන්නත් විනිපෙග් ප්‍රාන්ත රජය උත්සාහ කරනවා. ලංකාවේ වැදි ජනතාවට සමාන ජීවන හුරුවක් ඇති මේ ආදිවාසි ජනයා නූතනයේ සුදු ජාතිකයන්ගේ ජීවන හුරුවකට අපහසුවෙන් පුරුදු වෙමින් සිටිනවා. ස්වභාවයෙන්ම එක තැනක නොසිට තැනින් තැනට ගොස් දඩයම් කරමින් ජීවත් වූ මේ ජනතාව ඉතා සරල Miimalistic living ජීවන රටාවකට හුරු අය වෙනවා. එක තැනක රැඳී සිටින්නටත් ජීවනෝපායයන් වෙනස් කරන්නත් සිදුවීම නිසා ඇති වූ සංස්කෘතික සහ දේශපාලන ගැටලු රාශියකට ඔවුන් මැදි වූයේ එක් දහස් අටසිය ගණන්වල සිටයි. එවකට residential schools යනුවෙන් හැඳින්වූ සුදු ජාතිකයන්ගේ පාඨශාලා මේ ආදිවාසි ජනතාවගේ කුඩා දරුවන්ට අනිවාර්ය වූ අතර, මවුපියන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මේ කුඩා දරුවන් ඔවුන්ගේ පවුල්වලින් වෙන් කොට residential schools වල අධ්‍යාපනය සඳහා යොමු කර තිබෙනවා. ආදිවාසීන්ගේ සංස්කෘතික ලක්ෂණවලින් මේ කුඩා දරුවන් දුරස් කොට ඔවුනට සුදු ජාතිකයන්ගේ සිරිත් විරිත් සම්ප්‍රදායන් උගන්වන ක්‍රමය රජය විසින් අනුමත කොට තිබුණා. දශක ගණනාවක් තිස්සේ සිදු වූ මේ ක්‍රියාදාමය නිසා ආදිවාසී ජනයාගේ කුඩා දරුවන් විවිධ ආකාරවලින් මරණයට පත් වුණා. සියවස් දෙකකට පමණ පසුව 2009 ජූනි මාසයේදී කැනඩාවේ රජය විසින් ආදිවාසි ජනතාවගෙන් ඊට සමාව අයැද සිටියා.
දහවල් ආහාරයෙන් පසු අප නැවතත් ගමන ආරම්භ කළා. අපේ ඉලක්කය මැනිටෝබා සිට ඔන්ටාරියෝ ප්‍රාන්ත සීමාව පසු කොට රාත්‍රී නවාතැන් ගැනීම සදහා ‘ඩ්‍රයිඩන්’ (Dryden) යන කුඩා නගරයේ වෙන් කරන ලද හෝටලයට යෑමයි. ඒ සදහා තවත් කි.මී. 350කට ආසන්න දුරක් ධාවනයේ යෙදීමට තිබුණා. විනිපෙග් නගරයේ සිට ඔන්ටාරියෝ ප්‍රාන්ත මායිම වෙත ගමන් කරද්දී කෙමෙන් අපේ දර්ශනයෙන් මෙතෙක් අප දුටු ප්‍රෙයරීස් තෘණ භූමි මැකී ගියා.
දර්ශනපථය එන්න එන්නම කුඩා ලඳුකැලෑවලින් ගහන වූ අතර, වෘක්ෂලතා ගොනුවල ඝනකම කෙමෙන් වැඩි වුණා. විනිපෙග් ප්‍රාන්ත මායිම පසු කොට ඔන්ටාරියෝ ප්‍රාන්තය තුළට ඇතුළු වන විට මෙතෙක් අපට ඇස නොගැටුණු කුඩා කඳුවැටි, ගල්වැටි, ඝන කේතුධර වෘක්ෂලතා මිශ්‍ර කැලෑ ප්‍රදේශ දකින්න ලැබුණා. මෙතෙක් යන එන පාරවල් වෙන්ව තිබූ අධිවේගි මාර්ගය ඔන්ටාරියෝ සීමාවෙන් පසුව එකක් බවට පත් වුණා. අප ඉදිරිපසින් ඉතා වේගයෙන් විශාල ප්‍රමාණයේ භාණ්ඩ රැගත් ට්‍රක් රථ පැමිණි අතර, අධික වේගයකින් පැමිණෙන වාහනවලට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීම තරමක් අසීරු වුණා. මේ පෙදෙස ඉතා දුෂ්කර වූ අතර, මාර්ගය පවා සකස් කොට තිබුණේ තැනින් තැන තිබූ කළුගලින් සැදි කුඩා කඳුවැටි අතරින් කන්ද කපා කළුගල් වෙන් කොටය. පාර දෙපස නිල් කැට වන් දිය පිරි කුඩා විල් විශාල සංඛ්‍යාවක් පසු කරමින් අප ඉදිරියටම ගියා.
කැලෑ සීමාව ආරම්භයේදී ‘ඔබේ ඉන්ධන ටැංකිය පුරවාගන්න. මෙතැන් සිට කි.මී. 180ක් ඉදිරියට ඉන්ධන හල් නැත’ යනුවෙන් සඳහන් වූ පුවරු ඉදි කොට තිබිණි. මේ ගමන පිටත් වන්නත් පෙර සිටම අප දැන සිටි අවදානම්ම කලාපයටයි අප ගමන් කරමින් හිටියේ. හදිසියේ වාහනය කැඩුණොත්, ඉන්ධන අවසන් වුව හොත්, හදිසි අසනීපයකට භාජනය වුව හොත් ඊට මුහුණ දීම සඳහා. ඝන කැලෑව හැර කිසිවක් නෑ. බොහොමයක් ගමන් කළේ ට්‍රක් රථ වූ නිසා අපට උදවු ඉල්ලන්නට කෙනෙක් සිටී දැයි විශ්වාසයක් නෑ. ඊටත් අමතරව එහි දක්වා තිබූ තවත් පුවරු ඇඟේ හිරිගඩු නංවන්න සමත් වුණා.
‘මිනිස් ජාවාරම නීතියෙන් වන්දි ගෙවිය යුතු වරදකි’
එහි දක්වා තිබිණි. පාළු කැලෑවේ මිනිස් ජාවාරමේ ගොදුරක් වන්නට ඉඩ තිබෙන බවට හැඟවූ ඒ පුවරු ආරක්ෂිතව ඒ දුෂ්කර පෙදෙස පසු කරන ලෙස දැනුම් දුන්නා. ඉන්ධන අමතරව පුරවාගැනීම සඳහා බූලියක් ගෙනාවත් අපේ ටැංකිය සම්පූර්ණයෙන් පිරවූ පසු එය ප්‍රමාණවත්යැයි අනුෂ්ක නිගමනය කළ නිසා අප කෙළින්ම ඩ්‍රයිඩන් දක්වාම ගමන් කළා.
කැනේඩියානු රජයෙන් Public Safety Canadaහි දක්වා ඇති අන්දමට 2011 සිට 2021 දක්වා මිනිස් ජාවාරමට ගොදුරු වී තිබූ සංඛ්‍යාව 3,541ක්. පොලීසිය විසින් වාර්තා කරන ලද මිනිස් ජාවාරමට ගොදුරු වූවන්ගෙන් 96%ක් කාන්තාවෝ සහ ගැහැනු ළමයිය. The Canadian Centre to End Human Trafficking විසින් පළ කරන ලද Human Trafficking Corridors in Canadaහි විනිපෙග් සිට ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ‘සඩ්බරි’ (Sudbury) දක්වා අප ගමන් කරමින් සිටි මේ මාර්ගය මිනිස් ජාවාරම බහුල වශයෙන් සිදු කරන පෙදෙසක් ලෙස හඳුනාගෙන තිබෙනවා. කුඩා දියණියත් සමඟ අප චකිතයත් අවිනිශ්චිත බවත් මුසු හැඟීමකින් ඩ්‍රයිඩන් වෙත පැමිණියා.
හෙට දිනයේ සඩ්බරි පසු කරනතෙක් අපට සුපරීක්ෂාකාරිව ගමනේ යෙදෙන්න වෙනවා. ඩ්‍රයිඩන් ඉතා පාළු ස්වභාවයක් උසුලන කුඩා නගරයක්. රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව අප ඉක්මනින් නින්දට වැටුණේ හෙට පාන්දරම ඔන්ටාරියෝහි මීළඟට අප නතර වන නගරය කරා ගමනේ යෙදීමටයි.
පසුවදා උදෑසන ඩ්‍රයිඩන්වලින් අප පිටත් වන විට මහා වර්ෂාවක් ඇදහැලුණා. කිලෝමීටර් දහසකට වඩා දුරින් වූ අපේ මීළඟ නැවතුම වන සු-සෙයින්ට්-මරි (Sault Ste. Marie) වෙත ගමන් කරමින් සිටියා. මඟ දිගට කැලෑව පමණක් වූ ඒ කොටස ඒකාකාරි එකක්. කුඩා කඳුගැටවලින් සමන්විත මාර්ගය දෙපස විශාල ගල්කුළු අප දක්නට ලැබුණා.
නිරන්තරයෙන්ම කුඩා ප්‍රමාණයේ විල් පොකුණු සහ දියකඩිති පාර දෙපස තිබුණා. දින දෙකක් තිස්සේ වැස්සක සේයාවක් නොදැක මෙසේ පැමිණි අපට මේ කොටසේදී ගහකොළ මේ තරම් සශ්‍රීකව පවතින්නේ කෙසේද යන්න කුතූහලය දනවන කාරණයක් වුණා. මෙහි වාර්ෂික වර්ෂාපතනය ඉතා ඉහළ අගයක් ගන්නා නිසා එසේ විය හැකි බව හැඟී ගියා. ලෝක ප්‍රකට සුපීරියර් විල් තෙරට ඇත්තේ තවත් කිලෝමීටර සිය ගණනක් පමණක් බව දැනෙද්දී ගමනේ විඩාව අපේ හිතවලින් පහව ගියා. Thunder bay නගරයේ දිවා ආහාරයට කෙටි වේලාවකට නතර කළ අප දිවා ආහාරයෙන් පසු නැවතත් ඉදිරියට ඇදෙද්දී පංච මහා විල්වලින් විශාලතම විල ලෙස සැලකෙන ලෝක ප්‍රකට සුපීරියර් විල දකුණුපසින් අපේ ඇස් ඉදිරියේ දර්ශනය වුණා. විල නැරඹීම සඳහා සකස් කොට තිබූ නැරඹුම් ස්ථානයක වාහනය මොහොතකට නතර කළ අපි තිදෙනා වාහනයෙන් බිමට බැස විල අසලට ගොස් ඒ මහා විල හිත් පුරා බලාගත්තා. විලේ විශාලත්වය නිසාම එහි ඉමක් කොනක් අපට දකින්න ලැබුණේ නෑ. එය මුහුදක්ම තමයි. පරාක්‍රම සමුද්‍රයට වඩා විශාල රැලි සුපීරියර් විල් තෙර සිපගනිද්දී මොහොතකට විඩා නිවූ අප නැවතත් ගමන ආරම්භ කළා.

අවුරෝරා බෝරෙලීස් (Aaurora borealis) හෙවත් උතුරු එළි

අවුරෝරා බෝරෙලීස් (Aaurora borealis) හෙවත් උතුරු එළි
නතාෂා ලංකේශ්වරී විතානගේ