Home » ජෙරෝම් මිරකල් ඩෝම් එක හැදුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න

ජෙරෝම් මිරකල් ඩෝම් එක හැදුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න

- පාස්ටර් මෙලනි ප්‍රනාන්දු

by Mahesh Lakehouse
July 5, 2025 12:29 am 0 comment

දේවගැති ජෙරෝම් ප්‍රනාන්දු ගේ ජීවිත කතාව සතිපතා සිළුමිණ ඔස්සේ දිග හැරෙන්නේ වෙනස් අරමුණක් සමඟ ය.

එනම්, සෑම මනුෂ්‍යයකුට ම හිමි ජීවිත ඉතිහාසයක් ඔහුට ද තිබේ. ඒ යටගියාව ලෝකයට කියන්නට ඔහුට අයිතියක් ද තිබේ.

මේ දිගහැරෙන්නේ ඒ ඉතිහාසය, යට ගියාව තුළ ඔහු කළ කී දෑ සහ වර්තමානය දක්වා ඔහු ගොඩනැඟුණු ගමනේ සැබෑ කතාවේ 10 වැනි කොටසයි.

මෙලනි වැන්කයිලන්බර්ග් යනු, කලෙක ජෙරෝම්ගේ පෙම්වතිය යි. අද ඔහුගේ ආදරණීය බිරිඳ යි. මෙලනි වැන්කයිලන්බර්ග් කීවාට නොදන්නා The Glorious Church බොහෝ අනුගාමිකයින්, පාස්ටර් මෙලනි ප්‍රනාන්දු කී විට ඈ හොඳින් හඳුනයි.

මේ, සති තුනක් පුරා දිගහැරුණු ජෙරෝම් සහ මෙලනි ගේ ආදර කතාවේ තවත් රසබර පරිච්ඡේදයකි.      

“ඇත්තටම අපි ප්ලෑන් කරලා තිබුණේ, විවාහයෙන් පස්සේ අවුරුද්දක්වත් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. ඒත් හය මාසයක් යද්දී මම අම්මා කෙනෙක් වෙන්න යන බව දැනුණා.

ඒ වෙනකොට අපි දෙන්නම රස්සාව කළා. හිටියේ, දෙහිවල පොඩි කුලී ගෙදරක. මං ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තාම මහා හුඟක් දේවල් ඔළුවට ආවා. වගකීම් සහ ජීවිත බර ඉතාම බරපතළ විදියට දැනෙන්න ගත්තා. ඒත් අපි ඒ ජීවිතයට ලෑස්ති වුණා.

මං වැඩ කළ ඇරැමෙක්ස් සමාගම හොඳ ආයතනයක්. දරුවා ලැබෙන කල් ඒ මුළු කාලයම මම වැඩට ගියා. ජෙරෝම් යුනිචෙලා එකෙන් අයින් වෙලා යාළුවෙක් හරහා ස්ටුවර්ඩ් ලංකා සමාගමට බැඳුණා. ඉතින් අපි දෙන්නා හැමදාම උදේ වැඩට ගියේ එකට. එයා මාව ඔෆිස් එක ළඟින් බස්සලා එයාගේ ඔෆිස් එකට ගියා. ජෙරෝම්ට කාර් එකක් නම් ලැබුණා. පස්සේ තමයි මම දැනගත්තේ මාව ඔෆිස් එක ළඟින් බස්සලා එයා වැඩට යනවා කියලා ආපහු ගිහින් තියෙන්නේ ගෙදර. ඒ වෙනකොට ස්ටුවර්ඩ් ලංකා එකේ මාස තුනක් ම එයාට පඩි ගෙවලා තිබුණේ නැහැ. මම ප්‍රෙග්නන්ට් නිසා, හිත කරදර වෙයි කියලා, එයා මට කිව්වෙත් නැහැ.

මිකෙලා සහ මෙලනි...

මිකෙලා සහ මෙලනි…

එයා ගෙදර ගිහින් කරලා තියෙන්නේ වරුවක්ම යාච්ඤා කරන එක. එයා ඒ ප්‍රශ්නය තනිවම මාස තුනක් තිස්සේ හිතේ තද කරගෙන දරාගෙන ඉඳලා. කොයිම වෙලාවකවත් මට දැනෙන්න ඇරියේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැම වෙලාවෙම සතුටින් ඉන්නවා වගේ තමයි ඇඟෙව්වේ.

වෙඩින් එක වෙලාවේ අපිට තෑගි ලැබුණු ලක්ෂ දෙකක විතර මුදලෙන් අපි දෙන්නා කොල්ලුපිටිය මහජන බැංකුවේ හවුල් ගිණුමක් ඇරියා. පොත තිබුණේ එයා ළඟ. මට කිසිම දෙයක් නොකියා, ඒ මුළු කාලෙම එයා වියදම් දරලා තියෙන්නේ ඒ මුදල්වලින්.

ඒ වෙනකොට මට නොදැනී විශාල දේවාශිර්වාදයක් මා වෙත ලැබී තිබුණා. ජොර්දානයේ මූලස්ථානය වෙච්ච ඇරැමෙක්ස් සමාගමේ කළමනාකාරීත්වය 2002 අවුරුද්දේ තීරණය කළා, හොඳින් වැඩ කරන සේවකයින්ට කොම්පැනියේ කොටස් යම් ප්‍රමාණයක් ප්‍රදානය කරන්න.

ඒ අනුව 2000 වසරේ ඇරැමෙක්ස් සමාගමට ගිය මටත්, 2002 දී ඒ විරල අවස්ථාව ලැබුණා. ගිහින් ටික කාලයක් වුණත් මං හොඳින් වැඩ කළ නිසා ආයතනයේ කොටස් 300ක් ලබා දෙන්න මාවත් කළමනාකාරීත්වය තෝරාගෙන තිබුණා. ඇත්තටම ඒක මට අදහගන්න බැරි දෙයක් වුණා. මුලින් මං හිතුවේ මේ ලැබෙන්න යන්නේ මුදල් කියලා. හැබැයි ලැබුණේ ලියකියවිලි සහිත ෆයිල් එකක්.

ඔය අතරේ, අපිට හුඟක් අමාරු කාලයක් උදා වුණා. ඒ, 2005 අවුරුද්දේ මුල් කාලය. අපි හිටියේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණපාලා . මම ප්‍රෙග්නන්ට්….ජෙරෝම් වැඩ කළාට පඩි නැහැ…දරුවා ඉපදුණාම එයාට හොඳ ජීවිතයක් දෙන්න ඕනේ… ඔළුව තිබුණේ මේ වගේ ප්‍රශ්නවලින් පිරිලා.

දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ අනුගාමිකයන් වෙනුවෙන් පුදුම සහගත දේ කරනවා, කියන විශ්වාසය මගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල මම අත්විඳ තිබෙනවා. මේත්, එහෙම අවස්ථාවක්.

අපිට කැමති නම් ආපහු කොම්පැනියට ම ඒ කොටස් විකුණන්න පුළුවන් කියන පණිවුඩය ලැබෙන්නේ අපිට අමාරු ඔය කාලයේ. ඇරැමෙක්ස් සමාගමෙන් දැනුම් දුන්නා විතරයි, මං දෙපාරක් නොහිතා ඒ කොටස් ටික කොම්පැනියටම විකිණුවා. ඒ වෙලාවේ රුපියල් හත් ලක්ෂ අනූදාහක් මට ලැබුණා. ඒ සල්ලිවලින් ලක්ෂ හතරක් ගෙවලා අපි අලුත්ම අලුත් පොඩි මරූටි කාර් එකක් ගත්තා. මදි පාඩුවට, ලීසින් එකක් දැම්මා. මොකද, ඒ වෙලාවේ අපිට වාහනයක් තිබුණේ නැහැ. පඩි ගෙවන්නේ නැති නිසා වාහනයත් බාර දීලා, ජෙරෝම් ස්ටුවර්ඩ් ලංකා සමාගමෙන් අයින් වෙලා හිටියේ. ඒත් මගේ හිතට හරි නැහැ, වාහනයක් ගන්න ණය වුණාට. මොකද අපි දෙන්නම හිටියේ මොන දේ වුණත් ණය නම් ගන්නේ නැහැ, කියන ප්‍රතිපත්තියේ. අද වෙනකල් අපි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ. මං හැම වෙලාවෙම කියන්නේ, ‘සල්ලි තියෙනවා නම් ගමු; නැත්නම් පුළුවන් වුණාම ගමු…’ කියලයි.

ඒක අතුරු කතාවක් වුණත් ජීවිතයේ හැම අවශ්‍ය මොහොතකදී ම දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කළ හැටි, මඟ පෙන්වපු හැටි… කියන්න මගේ තවත් ජීවිත උදාහරණයක් ඒක.

2004 නොවැම්බර් 11 වැනි දා අපේ ලොකු දූ මිකෙලා ඉපදුණා. ලස්සන චූටි දුවෙක්. ජෙරෝම් ව සහ මාව, හා හා පුරා කියලා අම්මෙක් තාත්තෙක් කරපු මිකෙලා දූ, අපේ ජීවිතවලට නැවුම් අත්දැකීමක් ගෙනාවා. එයා ඉපදුණාම අර පුංචි ඇනෙක්ස් එකේ කොට් එක තියන්න ඉඩ මදි වුණා. ඉතින් අපි ගල්කිස්සේ ඉඩකඩ ඇති, වෙන කුලී ගෙදරකට ගියා.

දුව ලැබිලා මාස තුනක් ගෙදර ඉඳලා ආපහු වැඩට යනකොට තමයි යුද්දේ පටන් ගත්තේ. මොකද, ඒ වෙනකොට අපි දෙන්නම රස්සාව කරනවා. අපි දෙන්නට කෑමත් උයාගෙන, නිදාගෙන ඉන්න පොඩි දරුවත් උස්සාගෙන ගිහින් නැදිමාලේ පදිංචි වෙලා හිටපු අම්මලා ගේ ගෙදර දාලා තමයි අපි දෙන්නා වැඩට ගියේ. අපිට මුදල් ඕන වූ කාලයක් ඒක. මොන ප්‍රශ්නය ආවත් රස්සාව අත්හැර ගත්තේ නැත්තේ ඒකයි.

ජීවිතය ගලාගෙන ආවේ ලැබීම් නොලැබීම් එක්ක. මිකෙලා ට මාස නවයක් වෙද්දී ජෙරෝම් කිව්වා, ‘දැන් ඇති ඔයා රස්සාව කළා; ගෙදරටත් වැඩ අරගෙන එනවා. දැන් ඉතින් අයින් වුණා නම් හොඳයි…’ කියලා.

ඇත්තටම මං කවදත් කළ හැම රස්සාවක් ම උපරිම කැපවීමෙන් කළා. දරුවා ලැබුණාට පස්සේ, අම්මෙක් වශයෙන් ඒක හරියන වැඩක් නෙවෙයි කියලා, ජෙරෝම් දකින්න ඇති.

මිකෙලා, Youth ministry යේ තරුණ තරුණියන් අමතමින්...

මිකෙලා, Youth ministry යේ තරුණ තරුණියන් අමතමින්…

ඔබට මතක ද, ගිය සතියේ මම මගේ ප්‍රාර්ථනාවක් ගැන කිව්වා. බම්බලපිටිය ඩික්මන්ස් පාරේ Bethesda Gospel Hall පල්ලියට යද්දී මගේ වයස 16යි. ඒ මගේ ඉස්කෝලේ යාළුවා ගේ උවමනාවට ගිය පල්ලිය. ඒ පල්ලියට ගියාට පස්සේ මම වඩ වඩාත් ජේසුට සමීප වුණා. ඒ වයසේ දී මම හිතා ගත්තු දෙයක් තමයි, කවදා හරි මම බඳින මහත්තයා අවුරුදු පහක් යනකම් රස්සාවක් කළා වේ. හැබැයි ඊට පස්සේ එයා Fulltime ministry සේවයට යා යුතුයි කියන එක. ඒ කියන්නේ, පූර්ණ කාලීනව ජේසුට සහ දෙවියන් වහන්සේට සේවය කිරීම පමණයි කියන එක. කෙනෙකුට ඒක අමුතු සිතිවිල්ලක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි මම මුළු හදවතින්ම ඒ දේ ප්‍රාර්ථනා කළා. කාටවත් ම නොකියා ඒ දේ වෙනුවෙන් හැමදාම යාච්ඤා කළා.

විවාහයට කලින් පල්ලියෙන් මෙහෙයවන Marriage Council එකේ දේශනවලට සෑම විවාහ අපේක්ෂක යුවළක් ම සහභාගි වීම පල්ලියේ නියමයක්. අපි දෙන්නත් මාස තුනක්ම ඒ Marriage Council එකට ගියා. එහි අවසාන දිනයේ තමන්ගේ විවාහයේ දැක්ම සටහන් කරන්නට තිබෙනවා. මම මගේ දැක්ම ලෙස සටහන් කළේ, ‘මම විවාහ වන කෙනා අවුරුදු තුනත් පහත් අතර කාලය තුළදී, කරන කියන රක්ෂාව සහ ඉපැයීම්වලින් ඈත් වෙලා, පූර්ණ කාලීනව දේව සේවයට කැප වෙන්න යි මම ප්‍රාර්ථනා කරන්නේ; බිරිඳක් ලෙස එයට මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා…’ කියල යි.

මං එහෙම ලියලා තියෙනවා දැකපු ජෙරෝම් පුදුම වුණා.

“Are you Ok…? “ජෙරෝම් මගෙන් ඇහුවා.

“Yes. That’s my Desire…” මං හිනා වෙලා ජෙරෝම්ට කිව්වා.

අනේ! මගේ ආදරවන්තයා ගේ මුහුණ සතුටින් පිරුණා.

සතුට කඳුළ…හැල හැප්පීම්… වැටීම් නැඟීම්… හැම දේකටම මුහුණ දීගෙන අපි ඉතින් විවාහයේ පස්වැනි අවුරුද්දටත් ආවා.

ඔන්න… අපි විවාහ වෙලා අවුරුදු පහක් සපිරෙන 2009 අවුරුද්දේ සැප්තැම්බර් මාසය උදා වුණා. අවුරුදු පහක් පිරෙන 18 වැනි දාට දවස් හයයි ඉතිරිව තිබුණේ.

කළුබෝවිල නිවසේදී ජෙරෝම් සහ දියණියන් දෙදෙනා ...

කළුබෝවිල නිවසේදී ජෙරෝම් සහ දියණියන් දෙදෙනා …

එදා, සැප්තැම්බර් 12 වැනිදා, ජෙරෝම් ගේ උපන්දිනය.

එයා යාච්ඤා කරලා ප්‍රෙයාර් රූම් එකෙන් එළියට ආවා. මං එළියේ බලාගෙන හිටියේ එයා එනකල්. එදා එයාගේ මුහුණේ විශාල වෙනසක් මම දැක්කා.

“මෙලනි… අද ඉඳන් ඔයා ප්‍රාර්ථනා කරපු දේ සිද්ධ වෙනවා. ‘Go full time…’ ගෝඩ් මට ඒ පණිවිඩය දුන්නා…”

දෙවියනේ! මං ප්‍රාර්ථනා කරපු දේව පණිවිඩය එයාට ලැබිලා.

එයා එහෙම කියනකොට මට මුකුත් හිතාගන්න බැරි වුණා. මගේ සතුටට නිමක් නැහැ. මම දෙවියන්ට ස්තුතියි! කිව්වා; හිනා වුණා; සතුටු වුණා; ජෙරෝම් ව බදාගෙන සුබ පැතුවා.

මට ඕනෙ තරම් පාස්ටර්ලගේ වයිෆ්ලා මුණගැහිලා තිබෙනවා. ඒ අයත් පුදුම වෙනවා, මං බිරිඳක් හැටියට එහෙම ප්‍රාර්ථනාවක් කරපු එක ගැන.

මොකද, හැම බිරිඳක් ම සැමියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ ආර්ථික ශක්තියක්. ගෙයක් දොරක් හදා ගෙන, වාහනයක් අරගෙන සැපවත් ජීවිතයක් ළඟා කර ගැනීම… වැනි දේ ගැනයි. සැමියාව ඒවාට පොළඹවනවා වෙනුවට, දේව සේවයට යොමු කරවන එක ටිකක් අමුතුයි වගේ පේනවා ඇති. නමුත් ඒ තමයි මගේ ආත්මීය සතුට.

දේව සැලැස්ම කොයිතරම් ප්‍රභලද… අපිව විවාහ කරවලා… දරුවෝ දෙන්නෙකුගේ මවුපියන් කරලා… දැන් අවුරුදු පහ ලබන්න ඔන්න මෙන්න තිබිය දී ජෙරෝම්ව පූර්වකාලීන දේව සේවයට උන්වහන්සේ කැඳවනවා.

ඒ වෙනකොට ජෙරෝම් එයාගේ යාළුවෙක් එක්ක ඇඳුම් පිටරට යවන බිස්නස් එකක් පටන් අරන් තිබුණේ. එයාම තමයි රෙදි රෝල් ගෙනාවේ. ටී ෂර්ට් මැස්සුවේ. නැව්ගත කළේ. එයා හොඳට ඩොලර් උපයපු කාලයක් ඒ. ඒත් ඒ වෙලාවේ තමයි එයා සියල්ල අත් හැරලා දේව සේවය වෙනුවෙන් පූර්ණකාලීනව කැප වෙන්න තීරණය කළේ.

මිකෙලා සහ හෙවන්යා එදා සහ අද...

මිකෙලා සහ හෙවන්යා එදා සහ අද…

අපේ දූලා දෙන්නටම බහ තෝරන වයසේ පටන් තාත්තගේ මේ යාච්ඤා ජීවිතය ගැන තේරුම් තිබුණා. ලොකු දූ මිකෙලා ගේ වැඩේම, පේන්න හිටියේ නැත්නම් තාත්තාව ගේ පුරා හොයනවා. හැබැයි ජෙරෝම් යාච්ඤා කරන වෙලාවට මම ඒගොල්ලන්ට ඒ කාමරේට යන්න දෙන්නේ නැහැ.

‘Dada is praying. you can’t disturb…’

මිකෙලට අවුරුදු දෙකයි. ඒත් මං එහෙම කිව්වම, එයා කියන දේ අහනවා. එහාට මෙහාට ඇවිද ඇවිද තාත්තා එනකල් කාමරේ ළඟම දැවටෙනවා. වරු ගාණක් හරි යාච්ඤා කරලා ජෙරෝම් එළියට ආවම ‘අනේ ඩැඩා…’කියලා කකුලකින් අල්ලා ගන්නවා. අත්හරින්නේ නැහැ. හුඟ වෙලාවකින් දැකපු නිසා එයාට දැනෙන්නේ ලොකු කාලයක් නොදැක හිටියා වගේ. ආයේ ඇතුළට යයි කියලා, බයට තමයි කකුලේ එල්ලිලා ඉන්නේ. අනේ! මගේ දරුවෝ දෙන්නම හැදුණේ එහෙම පසුබිමක.

පාන්දර හතරට නැඟිටලා යාච්ඤා කරන්න ජෙරෝම් පුරුදු වෙලා තියෙන්නේ අවුරුදු 16 පටන්. දැන් ඒක එයාගේ ජීවිතයේ කොටසක්.

දැන් යාච්ඤා කරද්දී එයාට වෙලාවක් කලාවක් නැහැ. හිතුණු වෙලාව රෑ ද… දවල් ද… වෙලාව අදාළත් නැහැ. වරු ගාණක් හරි නොකා නොබී යාච්ඤා කරනවා.

බිරිඳක් විදිහට සමහර වෙලාවට මමත් පවුලේ දෙයක් කතා කරන්න ඕනේ වුණාම, දැන් එයි; දැන් එයි කියලා එයා එළියට එනකල්,

බලාගෙන ඉන්න අවස්ථා තිබෙනවා. ඒත් එයාගේ ජීවිතයේ කොයි දේටත් වඩා ප්‍රමුඛතාව තිබෙන්නේ යාච්ඤාවට. ඒකට මම කලබල වෙන්නෙත් නැහැ. මොකද, ඒ මං ප්‍රාර්ථනා කරපු ජීවිතය නිසා.

ඉස්සර නම් එයා හොඳට කෑම කෑවා. මහතටත් හිටියා. දැන් හැමදේම කන්නේ බොන්නේ සීමා සහිතව. යාච්ඤා කරන්න ගියාම නම් කෑම ගැන තැකීමක් ඇත්තේම නැති තරම්. හැබැයි අපි දෙන්නටම උදේට නැඟිට්ටාම ඉඟුරු කිරි තේ එකක් නම් ඕනෙමයි. ඒක හදන්නේ මං. එයා ඒකට ආසයි. සෞඛ්‍ය සම්පන්න නිසා මාත් කැමැතියි. හැබැයි අපි වේල් තුනම නම් කන්නේ ම නැති තරම්. බොහෝ විට අපි ආහාර ගන්නේ දෙවේලයි. අපි පවුලක් හැටියට ඉඳගෙන හොඳටම කන්නේ රෑ වේල විතරයි. යාච්ඤාවට මුල් තැන දෙන නිසා ජෙරෝම් ගේ කෑම වේල් නම් හරියට මඟ හැරෙනවා. යාච්ඤාවේ සතුටින් එයාගේ හිත පිරෙනවා.

කොහොම හරි, නොහිතපු විදියට සෙනඟ උතුරා යනකොට අපට විශාල ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් දැනුණා. ඒ ගැන යාච්ඤා කරමින් ඉන්නකොට, දෙවියන්වහන්සේ ඔහුට ශු.යොහාන් 06 වැනි පරිච්ඡේදයෙන් දර්ශනයක් පෙන්වා තිබුණා. බෑවුම් සහිත භූමියක පහළින් ජලය ගලාගෙන යන ආකාරයත්, ඊට ඉහළින් ගුවන් යානා ගමන් කරන ආකාරයත් ජෙරෝම් දැක තිබුණා. ඊට අමතරව මෙම දර්ශනය අධිවේගී මාර්ගයක් අසල තිබෙන බව ඔහු දුටුවා. මේ බව ඔහු සභාවේ ප්‍රකාශ කළා.

ඊට දින කිහිපයකට පස්සේ, අවුරුදු 15ක් විතර අපේ පවුලේ සමීපතම යුවළක් වූ අංකල් ග්‍රේෂන් ගුණවර්ධන සහ ආන්ටි ශ්‍රියානි බලන්න අපි ඔවුන්ගේ නිවසට ගියා. ඒ, අපේ දෙවැනි දූ ‘හෙවන්යා’ ලැබෙන්න ඉන්න කාලේ. එයාලගේ ගෙදර අපි කතා කරමින් ඉන්නකොට, ජෙරෝම් ඔය කතාව කිව්වා.

ඇත්තටම ජෙරෝම්වත් මමවත් ඒ වනතුරු දැනගෙන හිටියේ නැහැ, ග්‍රේෂන් මහත්මයාටත් එහෙම ඉඩමක් තියෙනවා කියලා. ජෙරෝම්ට දැනුණු දේ තමයි එයා කියමින් හිටියේ. හැබැයි ඒ වෙලාවේ ග්‍රේෂන් මහත්මයාගේ වයිෆ් එක පාරට ම කිව්වා,

‘අනේ! ග්‍රේෂන් අපේ අර ඉඩම. අපි ඒක දෙමු…’ කියලා.

අපි දෙන්නටම හිතා ගන්න බැරි වුණා මොකද වෙන්න යන්නේ… කියලා. අපි තුෂ්නිම්භූත වෙලා බලා හිටියා. අන්තිමේ අපි දෙන්නා ඉස්සරහා ඒ පුදුමසහගත දේ සිද්ධ වුණා. ඒ වටිනා ඉඩම, පල්ලියක් හදන්න ඔවුන් පරිත්‍යාග කළා. අපි කටුනායක ‘මිරැකල් ඩෝම්’ එක හැදුවේ, ග්‍රේෂන් ගුණවර්ධන යුවළ සැදැහැවත් සිතින් පරිත්‍යාග කළ ඒ ලස්සන ඉඩමේ.

හරි ගිය තැන්වල වගේම වැරදුණු තැන්වලත් අපි දෙන්නා, අපි දෙන්නා වෙනුවෙන් හයියට හිටියා. අපි දෙන්නාගේ ම අරමුණ එකයි. දෙන්නට ම ඕනේ ජීසස් ට සේවය කරන්නයි.

ලොකු දූ මිකෙලා, තාත්තා වගේමයි. පොඩි කාලේ හරියට කියවනවා. පැහැදිලිව කතා කරනවා. සමාජ ශීලීයි. දැන් එයා තමයි, අපේ තරුණ සභාව මෙහෙයවන්නේ. පුංචි කාලෙ ලොකු දුව ගියේ බිෂොප් කොලේජ් එකට. ඊට පස්සේ දෙන්නා ම විචර්ලි ජාත්‍යන්තර පාසලට දැම්මා.

නංගි නම් පොඩි කාලේ ඉඳලම හැදුණේ මගේ ඇඟේ එල්ලී ගෙන. ළමයි ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ තමයි කොළඹ පදිංචියට යන්න ඕනේ කියන අදහස ආවේ. හැබැයි ඒක ලේසි වුණේ නැහැ. මොකද අපි ඒ වෙනකල් ම හිටියේ කුලී ගෙවල්වල.

හෙවන්යා, මෙලනි, ජෙරෝම් සහ මිකෙලා පවුලක් ලෙස

හෙවන්යා, මෙලනි, ජෙරෝම් සහ මිකෙලා පවුලක් ලෙස

කොහොම වුණත්, ජෙරෝම් පූර්ණ කාලීනව වැඩ කරන්න තීරණය කළාට පස්සේ ටිකෙන් ටික මිනිස්සු එන ප්‍රමාණය වැඩි වුණා. ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. එහෙම වෙද්දි ඒ අය තුළ විශ්වාසය ගොඩනැඟුණා. කවුරු හරි කෙනෙක් කිව්වට වඩා, තමන්ම අත්දැකීමෙන් ඇති කරගත් විශ්වාසය මත, අපි වටා මහා සෙනඟක් රොක් වෙන්න පටන් ගත්තා. ඒ වගේම, ඒ අයගේ ප්‍රශ්නවලට උත්තරත් ලැබුණා. පල්ලියේ ඉඩ මදි වෙන්න ගත්තා. අපි නවම් මාවතේ තැනක, විශාල ශාලාවක් කුලියට අරගෙන දේව මෙහෙයන් පැවැත්වූවා.

එතැනත් ඉඩ මදි වෙද්දී, BMICH එකට ගියා. හැබැයි BMICH එක වෙන් කරගන්න විශාල මුදලක් වැය වුණා. අපිට මුදල් අතින් අමාරු වෙන හැම අවස්ථාවක ම කෙනෙක් හෝ යම් පිරිසක්, ‘අපි ගෙවන්නම්; අපි හෝල් එක වෙන් කරගන්නම්…’ කියලා ඉදිරිපත් වුණා. ඒ විදියට ඊළඟ මාසයටත් හෝල් එක ඉබේම වගේ බුක්’ වුණා. අපි අසරණ වෙන්න යන හැම වෙලාවෙම දෙවියන්වහන්සේ අපිට හොඳ මිනිස්සු මුණගැස්වූ වා.

සමහර ප්‍රශ්නවලට දෙවියන්වහන්සේ ලෙහෙසියෙන් උත්තර හොයල දුන්නා වුණාට, මටයි ජෙරෝම්ටයි මුහුණ දෙන්න වුණු සමහර අභියෝග, ඉතා බරපතළයි.

2023 කියන්නේ, බිරිඳක් වශයෙන් මගේ හදවත තෙරපිලා පිච්චිලා, තුවාල වෙලා මාව බිමටම ඇදලා දාපු අවුරුද්දක්. ඒ වෙනකොට අපි පදිංචි වෙලා හිටියේ කොළඹ අපාර්ට්මන්ට් එකක. මහා ලොකුවට ඉඩකඩත් නැහැ. ප්‍රශ්න එද්දී මං කළේ අපේ නිදන කාමරයේ දණගහගෙන යාච්ඤා කළ එක. ඇඳ ළඟ ළමයි දෙන්නාවත් තියාගෙන ඒ විදියට මං පැය ගණන් දණගහගෙන යාච්ඤා කරනවා.

බිරිඳක් වශයෙන් ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ ඉවරයක් කරලා කොහොමහරි පැයක් වෙන් කරගෙන නිශ්චල තැනක ඉදගෙන යාච්ඤා කරනවා කියන්නෙම අභියෝගයක්. මගේ දූලා දෙන්න හැදුණේ වැඩුණේ මේ දේවල් දකිමින්; අත්විඳිමින්.

ඒ නිසා ම දෙවියන්වහන්සේ වෙනුවෙන් සේවය කරන එක, දැන් අපේ පවුලේ හැම කෙනාගේ ම ජීවිත අරමුණ වෙලා.

විශේෂයෙන් ප්‍රොෆට් කෙනෙකුගේ බිරිඳක් වීම ලේසි නැහැ. මොන බාධක ප්‍රශ්න ආවත් දේව සේවය කරන විට අපි දෙන්නාගේ ම අරමුණු එකයි. දෙන්නා දෙපැත්තට ඇදිල්ලක් අපේ පවුල තුළ වත් අපේ අරමුණු තුළ වත් නැහැ. අපේ ළමයිනුත් ඒ මාර්ගයේම ගමන් කරනවා දකින එක දෙමවුපියන් හැටියට අපිට විශාල සතුටක්.

ළමයි… පවුල…. පිටස්තර ලෝකය… මේ හැමෝම එකතු කරන් යන ගමනක් මට තියෙන්නේ. සමහර වෙලාවට එතැන වැඩිපුර තිබෙන්නේ කැප කිරීම් විතරයි. හැබැයි ඒ කැප කිරීම ම තමයි, මගේ සතුටත්.

ඒ වගේම යාච්ඤා කාමරයෙන් එළියට එන හැම වෙලාවකම ජෙරෝම් සමහර සැලසුම් වෙනස් කරනවා. යාච්ඤා කාමරය ඇතුළේ දී එයාට ශුද්ධාත්මයාණන් ගේ පණිවුඩ ලැබෙනවා. එයා එළියට ඇවිත් ඒක මට කියනකොටත් මම ලෑස්ති වෙලා ඉන්නේ. මට මේ දේවල් පුරුදු වුණාට සාමාන්‍ය බිරිඳකට නම් මේවා ඔරොත්තු දෙන්නේ නැතිවෙයි. ඒත් වැටෙන හැම වෙලාවකම දෙවියන්වහන්සේගේ ශක්තියෙන් මම නැවතත් පණ ගහනවා. මේ ගමන යන්න ජෙරෝම්ට පුළුවන් තරම් ශක්තිය ධෛර්යය දෙනවා. ඒක මං සලකන්නේ මගේ වගකීමක් විදියට.

මොකද සාමාන්‍ය ජීවිතයේදී, මොන තරම් කාර්යබහුල වුණත් ජෙරෝම් මායි දුවලා දෙන්නයි වෙනුවෙන් වෙලාව හදා ගන්නවා. කන්න ආසයි කිව්වොත් ඒ තැනට කොහොම හරි එක්කරගෙන යනවා. ළමයින්ට මට අවශ්‍ය තැන්වලට ගිහින් බස්සවනවා. ඒ වෙලාවට එයා අපේ රියැදුරා; අපේ ආරක්ෂකයා; අපේ මිත්‍රයා; අපිව තනි නොකරන ආදරණීය සැමියා; දරුවන්ගේ තාත්තා.

ඒ හැම දේටම වඩා මගේ සෙනෙහෙවන්තයා…”

ලබන සතියේ….

2023 කියන්නේ, පවුලක් හැටියට අපි හුඟක් දුක් විඳපු කාල පරිච්ඡේදයක්. දෙවියන්වහන්සේ අපේ ශක්තිය පරීක්ෂා කරපු අවස්ථාවක්.

ජීවිතයේ කවදාවත් හීනෙන් වත් යන්න නොහිතපු හිර ගෙදරකට යන්න ජෙරෝම්ට සිද්ධ වුණා.

මායි දරුවෝ දෙන්නයි හිර ගෙවල්වල ඇති තරම් රස්තියාදු වුණා.

ඒ අඳුරු මූසල හිර ගෙදර ජීවිතය ගැන නම් ඔබට නොකියා බැහැ. ලබන සතියේ ඒ ගැන ඔබට කියන්නම්.

 

You may also like

Leave a Comment