අනෙකාගේ යහපත පිණිස කැප වූ පරාර්ථකාමි හොඳ මිනිසකු වීම අසීරුය. අනෙකාගේ යහපත වෙනුවෙන් ඉලක්ක කරා යෑම ඊටත් වඩා අසීරුය. එවැනි අසීරු කාර්යයක් සීරුවට නිමා කළ අපූර්වතම මිනිසකුගේ නිහඬ මෙහෙයුම පිළිබඳ අප උගත්තේ දහය වැනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙනි. ගැඹුරු ජීවන අරමුණක් ඇති ‘බරවකුඹුකේ සියදොරිස්’ නම් වූ ඒ මිනිසාගේ සරල ජීවන අන්දරය සියැසින් දැක බලා ගැනීමට අපි පසුගිය දිනක ඔහුගේ නිවසෙට ගියෙමු.
පාසල් පෙළ පොතින් වීරයකු ලෙස දරුවන්ගේ සිත් තුළ නිදන් වූ හුදු ප්‍රබන්ධයක් නොවන බවත්, ඔහු තවමත් සුජීවත් බවත් අලුත් පරම්පරාව දන්නේ නැත. ඒ සියදොරිස් සොයා ගොස් රටටම ඔහු පිළිබඳ හෙළිදරවු කිරීමත් සමඟ වර්තමාන තරුණ පරපුරේ මෙන්ම බොහෝ නිලධාරීන්ගේද ඇස් ඇරවිමට එය සමත් වනු ඇත.
සැබවින්ම මේ බරවාකුඹුකේ සියදෝරිස් ‘සිළුමිණ’ පුවත්පතින් මුළු ලොවක් හඳුනාගත් අපූරු වික්‍රමයක් කළ වීරයෙකි; වාරි ඉංජිනේරුවන්ට පවා ඉටු කළ නොහැකි යැයි පවසා අතැර දැමූ මුඩු බිමක් සරු බිමක් බවට පත් කරමින් අක්කර 100කට වැඩි බිමක් අස්වැද්දීමට ඇළක් කපා ජලය ගෙනා අපූරු මිනිසෙකි.
මේ වන විට ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින සියදොරිස් රෝගාතුරව එක්තැන්ව සිටී. එදා එකසීරුවට පස් පිඩැලි දහස් ගණනික් කපා ඉවත හෙළා ඇළ තැනූ ඔහුගේ දෑත අද වාරු නැත. ඒ මහා මෙහෙවර කළ සියදොරිස් අත්වාරුවේ පිහිටෙන් යාන්තම් අඩියක් දෙකක් ඇවිද යන්නේය.
චන්ද්‍රකා වැව ව්‍යාපෘතිය යටතේ බරවකුඹුක, අබේසේකරගම ඉඩම් ලබා පැමිණි සියලු දෙනාට එදා අත් වූයේ අවාසනාවන්ත ඉරණමකි. ඒ, චන්ද්‍රිකා වැවෙන් පැමිණි මහ ඇළේ ජලකඳ ඒ ඉඩම්වලටත් වඩා පහළින් ගමන් කළ බැවිනි. මේ හේතුව නිසාම එවකට සිටි වාරි ඉංජිනේරුවෝ පවා මේ ගමට ජලය සැපයීමට නොහැකි බව දිගින් දිගටම සපථ කරන්නට වූහ. මේ නිසාම සරු බිමක් මුඩු බිමක් බවටත්, ගොවි පරපුරක් තවෙකකුගේ අත්තමට වැඩ කරන පිරිසක් බවටත් පත් වීය. කාගේ වරදින් හෝ නොසැලකිල්ලෙන් හෝ සරු පොළොවක් ගිනියම් වූ කාෂ්ඨක පොළොවක් බවට පත්ව තිබිණි. ඉඩම් ගැනීමට පැමිණි ගොවීහුද තමන්ට ලැබුණු ඉඩම් කැලෑ වදින්න ඉඩහැර පිටගම්වල ඉඩම්වල කුලියක් මලියක් කරමින්, එදාවේල සරි කරගත්තහ.
ඒ ආකාරයට ජීවිතය ගැටගැසාගැනීම දිගින් දිගටම කළ නොහැකි දෙයක් බව බරවකුඹුක අබේසේකර ගම සියදොරිස්ට වැටහිණි. අනෙක් ගැමියන් මෙන් ඔහු ගමේ කුඹුරු අස්වැද්දීමට දිය බිඳක් ඉල්ලමින් උඩ බලන් හීල්ලුවේ නැත. ඔහු ගමේ කුඹුරට ජලය ගෙනෙන්නට ඇළක් කපන්න මඟට බැස්සේය. කිසිවකුත් තම උදවුවට නාවද ඔහු අමනාප වූයේ නැත. කළ නොහැකි වැඩක් බවට ඇතැමුන් ඔහුට සමච්චලයට හිනා වෙද්දි සියදොරිස් තම දෑතේ සවිය ගැන පමණක් විශ්වාසය තැබුවේය. ඒ නිසාම සියදොරිස් ගමට නොව රටටම වීරයකු ලෙස පාසල් පෙළපොත දක්වාම ගියේය. ඔහුගෙන් උගත හැකි පාඩම් බොහෝය. මේ සියදොරිස් පිළිබඳ සත්‍ය කතාවයි.
බරවකුඹුක අබේසේකරගම පදිංචි සමරප්පුලිගේ සියදෝරිස් නොහොත් බරවකුඹුකේ සියදෝරිස්ට දැන් වයස අවුරුදු 94කි. සියදෝරිස්ගේ උපන් ගම උස්වැව මැටිගත්වළය. සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා වුයේ සියදෝරිස්ය. උපතින්ම දිළිඳුකම රැගෙන ආවද ඔහු සිතින් පොහොසතෙකි. කුඩා කල සිට කටුක දිවියක් ගෙවූ සියදෝරිස් ඇතුළු පවුලේ උදවියට ඉඩමකට කියා තිබුණේ අක්කර කාලකටත් වඩා අඩු බිම් ප්‍රමාණයකි. පවුලේ සාමාජිකයන් 8 දෙනාට ගොවිතැනක් කර ජීවත් වීමට තරම්වත් ඒ ඉඩම ප්‍රමාණවත් නොවිය. සියදෝරිස්ගේ ගමේ පිහිටි ඉඩම්වලින් හතරෙන් තුනක්ම අයිතිව තිබුණේ බලපුළුවන්කාර පවුල් කිහිපයකටය. අන් සියලු දෙනා ගමේ පදිංචිව සිටියේ කුඩා ඉඩම් කැබලිවලය.
පාසල් අධ්‍යාපනයත් හරිහැටියට නිමා කරගැනීමට නොහැකි වූ සියදෝරිස් තමන්ට වයස අවුරුදු 25දී පමණ දොන් පේලිගේ චාර්ලිනා සමඟ විවාහ විය. පවුලේ සාමාජිකයන් වැඩි වීමත් සමඟ සියලු දෙනාට අක්කර කාලකටත් වඩා අඩු පුංචි ඉඩමේ ජීවත් වීමට නොහැකි නිසා සියදොරිස් දිනක් හම්බන්තොට ඉඩම් කච්චේරියට ගියේය. ඒ තමාට ඉඩමක් දෙන්නැයි ඉල්ලීමටය. එදින කච්චේරියට ගිය සියදෝරිස්ගෙන් ලියමන් කිහිපයකටම අත්සන් ගත් නිලධාරීහු පසුව දැනුම් දෙන්නම් කියා සියදෝරිස් පිටත් කර හැරියෝය. මාස කිහිපයක් ගත විය. සියදෝරිස් බිරිය සමඟ පැවසුවේ ආණ්ඩුවේ කන්තෝරුවෙන් ලියමනක් එනකම් බලාගෙන හිටියොත් පලක් නොවන බවයි. ඒ නිසා හෙටම නැවත සිදාදියට ගොස් කච්චේරියට යා යුතුයැයි ඔහු ඉටාගත්තේය. ඔහු කිසි විටකත් උත්සාහය අත්නොහරින්නෙකි. කැලේ මැදින් ගම්ගොඩින් පැන, සතාසීපාවුන් ඇති වන ළැහැබින් පයින්ම ඇවිද ඔහු ඉඩම් කැබැල්ලක් ලබාගැනීමට දන්නා හැටියට යළිත් ලියුමක් ලියාගෙන සියදෝරිස් පසුදින උදෑසනින්ම කච්චේරියට ගියේය.
මෙලෙස කිහිප වරක් මහන්සි නොබලා ගිය සියදොරිස්ට කච්චේරියට යන්නට පිටත් වූ දිනක සිය නිවෙසේ සිට උස්වැව දෙසට යන අතරතුර පියුන් මහතා ලියමනක් දුන්නේය. ‘මෙන්න බං උඹට ආණ්ඩුවේ කන්තෝරුවකින් ලියුමක් ඇවිත්.’ සියදොරිස් නිම්හිම් නැති සතුටින් ඉපිල ගියේය. අකුරු සාස්තරය හරියට නොදත් සියදෝරිස් ඔහු ලවාම එය කියවා ගත්තේය. එහි සඳහන්ව තිබුණේ ඔහුට බරවකුඹුක අබේසේකර ගමින් ඉඩම් ලැබී ඇති බවයි. ලියමනේ තිබූ කරුණ ඇසූ සියදෝරිස්ගේ සතුට ඉහවහා ගියේය. වහා අඩිය ඉක්මන් කර ඉඩම් කච්චේරියට ගිය සියදෝරිස් සියල්ල සැක හැර දැන ගත්තේය. එහිදී ඉඩම් කච්චේරියේ නිලධාරීන් ඔහුට කුඹුරු අක්කර 3ක් හා ගොඩින් අක්කර 2ක් හිමිව ඇති බව පැවසූහ. නිම්හිම් නැති සතුටින් ඉපිල ගිය සියදොරිස්ට උන් හිටි තැන් අමතක විය. සියදෝරිස් ‘අක්කර කාලෙන් කාලකටවත් හිමිකමක් නොලැබුණු මට අක්කර 5ක් ලැබුණා,’ යැයි තමාටම කියාගත්තේය.
ඉහවහා ගිය සතුටින් නිවෙසට ගිය සියදෝරිස් තම බිරියටද ඥාතීන්ටද මේ ගැන කීවේය. සියදෝරිස්ගේ පවුලේ කිසිවකුටත් මේ තරම් ලොකු ඉඩමක් නොතිබිණි. සියලු දෙනාට මෙය හීනයක් වගේ විය. ආයේ දවසක්වත් පරක්කු නොකර සියදෝරිස් සිය බිරිය සමඟ පහුවදාම නිවෙසේ වූ හට්ටිමුට්ටි ටිකත් ලොරියක පටවාගෙන අබේසේකර ගමට ගියේය. ඒ වන විට සියදෝරිස්ට වයස අවුරුදු 27ක් පමණය. තමාට ලැබුණු ඉඩමට පැමිණි සියදෝරිස් බිරිය සමඟ පැල් කොටයක් අටවාගෙන එහි පදිංචි විය. ලැබුණු ඉඩම වටා සතුටින් එහා මෙහා ඇවිද යන ගමන් සියදෝරිස් බිරියට කීවේ මෙය රත්තරන් පොළොවක් බවය. කෙසේ නමුත් වැඩි කල් යන්නට මත්තෙන් රත්තරන් පොළොවක් කියා හැඳින්වූ බිම කර්කශ පොළොවක් බව සියදෝරිස්ටම වැටහිණි. ඒ, මෙම ඉඩම් සඳහා වැසි කාලයට පමණක් ලැබෙන අතර, වෙනත් කිසිදු කලක ජලය රැඳෙන්නේ නැති බැවිනි.
නිවෙසේ වූ ඇඳක් මත වැතිරී සිටින සියදෝරිස් ඒ අතීත කතාව මෙසේ ආවර්ජනය කළේය.
“අපෙට ඉඩම් ලැබුණේ චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය යටතේයි. ඒ 1958 දීයි. මාත් එක්ක තව පවුල් 38ක් මේ ගමට පදිංචියට අවා. එක් පවුලකට අක්කර 5ක් වෙන්න ලැබුණා. අප එන විට මේ මූකලානේ හිටියේ අලි කොටි වලස්සු විතරයි. කොහොම නමුත් අප ඇවිත් කැලෑ කපලා කරලා වගා කරන්න සූදානම් වුණත් අපට වතුර ලැබෙන්න විදියක් තිබුණේ නෑ. චන්ද්‍රිකා වැවෙන් එන මහ ඇළ ඒ වන විටත් පිහිටලා තිබුණේ අපේ ඉඩම්වලටත් වඩා ගොඩාක් පහතින්. ඒ කාලේ තිබුණේ ‘ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය’ කියලා එකක්. පස්සෙදිනේ ඔය ‘මහවැලිය’ කියලා එකක් ආවේ.
“අපි ඉඩම් ලැබිලා ආව පවුල් 38ටම වතුර නැති නිසා අපිට වගාවක් කරන්න විදියක් තිබුණේ නෑ. මාස් කන්නයට වැස්ස බලලා මොනවා හරි ගොඩ බෝගයක් දමාගත්තොත් විතරයි. ඒ හැරුණම අපි සියලු දෙනාට වුණේ ඉඩකඩම් තියාගෙන අහල පහළ ඉඩම්වල කුලියට යන්න විතරයි. මට මේක රුස්සන්නේම නැති නිසා මම නිකම් හිටියේ නෑ. මම දවස ගානේ ආණ්ඩුවේ කන්තෝරුවල ඉන්න ලොකු ලොකු මහත්තුරුන්ට මේ දුක් ගැනවිල්ල කියලා පෙත්සම් ලිවුවා. මම අපේ මේ ඉඩම්වලට වතුර දෙන්න කියලා ලියපු පෙත්සම් තැපැල් කරන්න වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය මාසයක් කුලියට ගිහින් හම්බ කළ මුදලටත් වඩා වැඩියි.

10 ශ්‍රේණියේ සිංහල පෙළපොතින්
“කොහොම හරි මගේ පෙත්සම්වලට විවිධ නිලධාරීන් වගේම ඉංජිනේරු මහත්තුරු ගමට ආවා. ඒ ආව හැම කෙනාම කිවුවේ මේක කරන්න බැරි වැඩක් කියාය. ගමට ආව නිලධාරීන් අපේ බලාපොරොත්තු සුන් වන විදියට කතා කරලා, දමලා ගහලා ගියා. අපි වසර 7කට ආසන්න කාලයක් මේ විදියට දුෂ්කර ජීවිතයක් ගෙවුවා. බොන්න හා වෙනත් වැඩවලට වතුර ටිකක් ගේන්න කිලෝ මිටර් 6-7ක් පාපැදිවලින් වලවේ ගඟට යන්න සිදු වුණා. මේ ඉඩම් දමලා ගහලා කොහොට හරි යමු කියලා බිරිය නිතරම මට කිවුවා. ඒත් ඒ වෙලාවේ මම කිවුවේ ‘මේ ඉඩම්වල තියෙන රත්තරන් යට ගිහිල්ලා, බොරලු මතු වෙලා තියෙන්නේ,’ කියලා. ‘මේක රත්තරන් පොළොවක්. අපි බලමු මේ පොළොවේ රත්තරන් මතු කරගන්න,’ කියලා. මේ වෙනකොට මගේ බිරියත් අබේසේකර වෙද ගෙදර වැඩට යනවා.ඉතින් වෙද ගෙදරින් හාල් පොල් ටිකක් එළවළු ටිකක් අපට දින දෙක තුනකට සැරයක් ලැබෙනවා. එදා පෝය දවසක්. වෙන යන්න කුලී වැඩකුත් තිබුණෙ නෑ. මම උදැල්ලත් කර තියාගෙන ඒ අසල තියෙන රොටවැවට ගියා. එහි ගිහින් අපේ ඉඩම් දිහා බලනකොට මහ දුරකුත් නෑ වගේ මට පෙනුණේ. රොටවැව දිගේ ඇවිදගෙන ගිය මට දකින්න ලැබුණෙ රොටවැවේ පිටවානෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගලාගෙන යන මහා වතුර කඳක්. මට හිතුණා මේ වතුර ටික අපේ ඉඩම්වලට ගෙනියන්න තිබුණා නම් හොඳයි කියලා. මම ඇස් මට්ටමට රොටවැවේ පිටවානේ සිට අපේ ඉඩම් දෙසට බැලුවා. ඒ කාලේ උදැල්ල කියන්නේ මගේ ශරීරයේ කොටසක් වෙලා තිබුණේ. මම යන්නේ කොහෙද උදැල්ලත් මගේ කරේ තිබුණා!” යැයි සියදෝරිස් සිනා සෙමින් කීවේය.
රොටවැව පිටවානේ ඉඳන් ඉඩම් දෙස බැලූ සියදොරිස්ට සිතේ කෙටූ විදුලියක් මෙන් රොටවැවේ පිටවානෙන් අපතේ යන ජලකඳ සිය ඉඩම් දෙසට ගෙනයන්නට අදහසක් පහළ විය. පිටවානේ සිට ඉඩම දෙස බැලූ විට හැතැප්ම බාගෙකට වැඩි දුරක් පෙනෙන්න නැතිය. සියදෝරිස් තමන් අත තිබූ උදැල්ලෙන් පිට වානේ සිට මඟ ලකුණු කරමින් සිය ඉඩම් දෙසට ගියේය. තැන තැන කැපුවේය. වතුර ගෙනි යා හැකි ඇළක් කැපීමට සියදෝරිස් මඟක් ලකුණු කළේය. එලෙස ඉඩමට පැමිණි සියදෝරිස් යළිත් වැව දෙස හැරි බැලීය. මේ වන විට සියදෝරිස්ගේ බිරියද ඉඩමට පැමිණි තිබිණි. “මට වරදින්න විදියක් නෑ. මට ඕන විදියට තමයි පොළොව පිහිටලා තියෙන්නේ…” යැයි සියදෝරිස් තමාටම කියාගත්තේය. ඒ වන විටද ඉඩමට පැමිණ සිටි බිරියටද මෙය ඇසිණි. “මොකක්… ඔළුව නරක් වේගෙන එනවද?” බිරිය සියදෝරිස්ගෙන් ඇසුවාය. “ඔළුව නරක් වේවි තව කලක් මෙහෙම හිටියොත්!” සියදෝරිස් සිනා සෙමින් බිරියට කීවේය.
“ඇළට උඩින් අපේ ඉඩම් පිහිටලා තියෙන නිසා මහ ඇළෙන් වතුර ගන්න බෑ අපේ ඉඩම්වලට. අනෙක, ලොක්කන්ට ඕනෑකමක් නෑ අපට වතුර අරගෙන දෙන්න. උන්නැහේලට ඕනෑ නෑ මේක කරන්න. වතුර ඕනෑ අපට. ඒක අපිම කරගන්න ඕනෑ…” සියදෝරිස් උස් හඬින් බිරියට කීවේය. “දැන් ඉතින් මොකද්ද කරන්න යන්නේ?” බිරිය විමසුවාය. “වෙන මොකක් කරන්නද? ඇළක් කපන්න හදන්නේ…” යැයි සියදෝරිස් පැවසීය.
සියදොරිස් එදින රාත්‍රියේ අසල්වැසියන්ටද මේ ගැන කීවේය. එහිදී බොහෝ දෙනකු කීවේ “අනේ පලයන් සියදෝරිස් පිස්සු කතා නොකර! ඕකට ගත කරන්න අපට වෙලාවක් නැහැ. අපට වැඩ තියෙනවා…” ඉඩම් හිමියෝ සියදෝරිස්ට උසුළු විසුළු කර පිටව ගියහ.
එතැන් සිට කතාව සියදෝරිස් යළිත් අප සමඟ මෙලෙස විස්තර කරන්නට විය:
“මට ඕනෑ වුණේ කුලී වැඩෙන් නිදහස් වෙලා, මගේම කියලා කුඹුරක් කරගෙන ඉන්න. පහුවෙනිදා උදේ මං උදැල්ලත් අලවංගුවත් අරගෙන ගිහින් කලින්දා මම ලකුණු කළ පාර දිගේ කැපුවා. එතනින් යන එන අය මට ‘ගොන් බදින කණුවක් බන් උඹ!’ කියා බැන්නා. මම ඒ එකක්වත් ගණන් ගන්නෙ නැතිව ඇළ කැපීම කළා. ඒ වෙලාවේ හම්බන්තොට හිටපු මහ ලේකම්තුමා මෙතනට ඇවිත් කිවුවා ‘සියදෝරිස්, මෙක නවත්තන්න!’ කියලා. ‘මේ විදියට ඇළවල් කපන්න දෙන්න බෑ. මම තමුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා!’ කියලා මට මහා ගෝරනාඩුවක් දැම්මා. ‘අපතේ යන වතුර ටිකක් ගන්න එක වරදක් නෙමෙයි නේ? ඒ නිසා ඔබතුමාට කැමැති දෙයක් කරගන්න,’ කියලා මම මගේ පාඩුවේ ඇළ කැපුවා. නිතර නිතර නිලධාරීන් ඇවිත් මට විවිධ හිරහැර කරන්න හැදුවා. මම ඒ එකකටවත් බය වුණේ නෑ. මම ‘මහ උළුගෙදර ගියත් කමක් නෑ, මම මේ වැඩේ නවත්වන්නේ නෑ!’ කියා ආව මහත්තුරුන්ට කීවා. දවසක් පොලීසියේ ලොකු මහත්තයෙක් ආවා මාව අරගෙන යන්න කියා. ඒ මහත්තයා මේක දැකලා පුදුම වුණා. මාස තුනකට ආසන්න කායලක් මම ඇළ කැපුවා. අතරමඟදි ගෙ සහායට දෙන්නෙක් ආවා. මම කොහොම හරි රොටවැවේ පිටවානේ ඉඳන් ඉඩමට යන කම් ඇළක් කැපුවා. පිටවානෙන් පිට වන වතුර හා කැපූ ඇළ එකට යා වන තැන එකට සම්බන්ධ කරන දිනයේ මම සියලුම දෙනාට එන්නැයි කිවුවා. ඒ වෙලාවෙත් එතැනට ආව බොහෝ දෙනෙක් කිවුවේ මේකෙන් වතුර ඒවිද දන්නේ නෑ නේද කියලයි. මම ඇළ එකට සම්බන්ධ කරන කොට ජලය හෙමි හෙමින් ඇළ දිගේ ගලාගෙන ගිහින් ඉඩම්වලට වතුර වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඒක දැක්ක බොහෝ දෙනෙක් ‘සියදෝරිස් අයියා දින්නා!’ කියලා කෑමොර දුන්නා. ඒ වෙලාවේදි මම හැමෝටහ ඇහෙන්න කිව්වේ ‘සියදෝරිස් දින්නා නෙමෙයි බොලවු, අපි ඔක්කොම දින්නා!’ කියලයි.”
සියදෝරිස්ගේ මේ වික්‍රමය දැනගත් ගමේ ජනපද නිලධාරිවරයා වු ගාමිණි ජී. පුංචිහේවා මහතාද එතැනට ආවේය. ඔහුගේ පැමිණීම දුටු ඇතැමකු කියන්න වූයේ “මේ කළ වැඩේට සියදෝරිස්ට හිරකූඩුවේ ලගින්න වේවිද දන්නේ නෑ,” කියාය. කෙසේ වෙතත් සියදෝරිස් අසලට පැමිණි ජනපද නිලධාරියා සියදෝරිස්ගේ දෑත සිඹ, “රන් පවුම් දෙන්න වටින වැඩක් මේ කරලා තියෙන්නේ!” යැයි ප්‍රශංසා කරන්න විය.
එදා සියදෝරිස්ගේ වීරක්‍රියාව ‘බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය‘ නමින් ප්‍රකට විය. එදා සියදෝරිස් කුඩාවට කැපූ ඇළ ගම්මුන් සියලු දෙනා එක්ව හාරා යළි අඩි තුනක් දක්වා පළලට සංවර්ධනය කෙරිණි. ජනපද නිලධාරියා විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීය. අවසානයේ සියදෝරිස්ගේ උත්සාහය නිසා අක්කර 100කට වැඩි බිම් ප්‍රමාණයක් යල මහ කන්න දෙකේ වගා කෙරිණි. කලකට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම වී අස්වැන්නක් ලබා ගත් කුඹුරු යාය බවටද මෙය පත් විය. එදා පවුල් 38ක් සඳහා සෙත සලසමින් ජලය සැපයූ ඇළ මාර්ගය අද වන විට පවුල් 70කට වැඩි ප්‍රමාණයකට සෙත සලසමින් තිබේ.
එදා මහ පොළොව සමඟ හරිහරියට ඔට්ටු වූ සියදෝරිස් අද වන විට වයෝවෘද්ධව සිටී. වෙනදා මෙන් උදැල්ල සමඟ ඔට්ටු වෙන්නට තරම් වාරුවක් සියදොරිස්ට නැතිය. එදා මෙන් අදද අප ඇසූ ප්‍රශනයක් වූ “ඔබට ලෝකයේ ප්‍රියතම හඬ කුමක්දැ?” යි ඇසූ විට කිසිදු පැකිළීමකින් තොරව සියදෝරිස් කිවුවේ “මට තියෙන මිහිරිම හඬ නම් අන්න අර ඇළේ වතුර බහින හඬ,” යැයි පැවසීය.
සියදෝරිගේ මේ අපූරු වික්‍රමය ගැන පාසල් පෙළ පොතේ සඳහන්ව තිබුණත් කිසිවකුත් සියදෝරිස් පිළිබඳ සැබෑ තතු හඳුනන්නේ නැතිය. අහල පහළ ටික දෙනකු ඇරුණ කොට කිසිවකුත් අදටත් සියදෝරිස් දැක කතාබහ කර හෝ පාඩමට අදාළව වත් පාසල් මට්ටමින් හෝ පැමිණ සියදොරිස් සමඟ කතාබහ කර නැති තරම්ය.
සියදෝරිස්ටත් හොරා ඔහුගේ වීරක්‍රියාව පාසල් පෙළපොතට එද්දී සියදෝරිස්ගේ කතාව වේදිකා නාට්‍යයක් ලෙසද කලඑළි දැක්වීය. ඒ, දෙනගම සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද විශේෂාංගයක් පාදක කරගෙන ජගත් මුතුකුමාරණ මහතා විසින් මේ අපූරු චරිතය නාට්‍යක් බවට පත් කරමිනි.
සියදෝරිස් සොයා යන ගමනේදී අපට එම්.ජී. කරුණාදාස මහතා දැක්වූ සහාය මෙහිදී අතිශයෙන්ම අගය කළ යුතුය. ඒ, ඔහු නොසිටින්නට අපටද සියදෝරිස් සොයාගත නොහැකි වන නිසාය. එදා මහා වික්‍රමයක් කළ සියදෝරිස් අද දරුවන්ගේ සහයෙන් ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින්නේය. සැම දෙනා මඟහැර යද්දී පළාතක් අස්වද්දන්නට අදිටනින් කටයුතු කළ මේ අපූරු චරිතය අද සියලු දෙනාටම අමතකව ගොස් තිබේ.
සුගැඹුරු ජීවන අරමුණක් ඇති මිනිසකුගේ අපේක්ෂා සිරගත කළ නොහැකිය. අද ජීවිතයේ සැඳෑසමය ගත කරන සියදොරිස් සිය සාධනීය අරමුණක් අනුව කටයුතු කළේය. ඒ අරමුණ වෙනුවෙන් ඔහු සියලු බාධක නිෂේධනය කළේය. ඔහු නියත ජයග්‍රහණයකට පැමිණ ඇත. එහෙත් ඔහු පෙරළා කිසිවකුගෙන් කිසිවක් අපෙක්ෂා නොකළ හෙයින්ම සියදොරිස්ට උපතින්ම උරුම වූ කර්කෂ කටුක ජීවිතයේ දුක් තවමත් විඳින්නේය.

බරවකුඹුකේ සියදෝරිස් නාට්‍යයේ ජවනිකාවක්
ඡායාරූප – සූරියවැව විශේෂ