Home » දිළිඳු දරුවන්ගේ ඇස්පාදන්න එස්.ජී. රළපනාවට යයි
තොටමුණේ ධීවරයන්ට නිවාස තනවා දී

දිළිඳු දරුවන්ගේ ඇස්පාදන්න එස්.ජී. රළපනාවට යයි

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

එස්.ජී. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සම්මාන සහිතව සමත් විය. පාලි විෂයයද ඊට අයත් විය. ඉන් පසු ඔහු බැඳුණේ මාතර මහා මන්තින්ද පිරිවෙනේ ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියටය. වසරකට පසු ඒ පිරිවෙනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාග පන්තියත් ඇරඹිණ. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය අමතක කළ එස්.ජී. ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට එක් විය.

ඒ.එස්.පී. ද සිල්වා මහතා ඒ සියලු විෂයන් ඉගැන්වූයේය. එස්.ජී. ඉතා විශිෂ්ට ලෙස ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ජයග්‍රහණය කළේය.

ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් වීමත් සමඟ ඔහු ඉංග්‍රීසි සාහිත්‍ය සාගරයේ කිමිදෙන්නෙක් විය. ‍‍ශේක්ස්පියර්, චාල්ස් ඩිකන්ස්, ෂෙලී, වර්ඩ්ස්වර්ත් ඇතුළු ලේඛකයෝ, කවියෝ, නාට්‍ය රචකයෝ ඔහුගේ සමීප මිතුරන් බඳු වූහ. ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර්, මැක්බත්, රොමියෝ ජුලියට් ඇතුළු නාට්‍ය රචනා ඔහු කියවූයේය. ජුලියස් සීසර් නාට්‍යයේ මාක් ඇන්ටනිගේ කතාව ඔහුට කටපාඩම් විය. එස්.ජී. වෙරළට ගොස් මාක් ඇන්ටනි වූයේය. ඒ කතාව සිංහලයට නඟා මිතුරන්ට කියවීමට දුන්නේය. හැම්ලට් නාට්‍යයේ එන ‘එම්බා චපලකම, තිගේ නම ස්ත්‍රියයි,’ බඳු වක්බස් කියුම් එස්.ජී.ගේ බසට තියුණු බව, ප්‍රබල බව එක් කිරීමට මං පෑදුවේය.

“එස්.ජී. දැන් සිංහල, ඉංග්‍රීසි දෙකෙන්ම ජ්‍යෙෂ්ඨය පාස් කෙනෙක් නේ. බැංකුවක රස්සාවකට යන්නට පුළුවන්. හොඳ පඩි!” වැඩිහිටියෝ කීහ.

ඔවුන්ට සවන් නුදුන් එස්.ජී.ට අවශ්‍ය වූයේ ගුරුවරයකු වීමටය. හත්වැනි පන්තියේදී ඔහුට හමු වූ ඇනී ගමගේ ගුරුතුමිය ඔහුගේ සිතේ දිගටම රැඳී සිටියාය. ‘සිසු දරුවන්ට කැප වූ, දයාවේ, කරුණාවේ මූර්තියක් බඳු වූ මේ උත්තමාව අනුව මම ද ගුරුවරයකු වෙමි, දරු පරපුරට සේවය කරමි,” ඔහු සිතුවේය.

* * *

1950දී මාතර පැවති කොමියුනිස්ට් පක්ෂයේ සාම උලෙළට උඩකැන්දවල සිරි සරණංකර හිමියෝද වැඩියහ. එස්.ජී. උන් වහන්සේගේ පොත්, පුවත්පත් ලිපි කියවා තිබිණ. එදා ඒ හිමියන් දැක කතාබහ කිරීමෙන් ඔහු මහත් සතුටක් ලැබුවේය. තොටමුණේ නෑදෑයන්ද සහභාගි වූ ඒ උලෙළේදී පැදි පෙළක් ඉදිරිපත් කිරීමට එස්.ජී.ට අවස්ථාව ලැබිණ. උලෙළ අවසන් වූයේ පී.බී. අල්විස් පෙරේරා මෙහෙයවූ කවි මඩුවකිනි.

* * *

කුඹුරු, වතුපිටි, ගෙවල් දොරවල් වනසමින්, ජන ජීවිතය දෙහෙදු කරමින්, වසරකට දෙතුන් වාරයක් නිල්වලා ගඟ සැඬ වෙස් ගන්නා අයුරු එස්.ජී. ළමා වියේ සිට දුටුවේය. නිල්වලා නිම්නයේ වූ පාලටුව, මාලිම්බඩ ප්‍රදේශවල මෙන්ම අත්තුඩාවේ ජනතාවද ගංවතුරට බිලි වූහ. මළකඳන් වැටකෙයියා ගාල්වල පැටලී තිබෙනුද ඔහුට දක්නට ලැබිණ.

එක් ගංවතුර කාලයක එස්.ජී.ගේ මද්දු අයියා – සිරිසේන පුංචිහේවා – මිතුරන් කිහිප දෙනකුද සමඟ අත්තුඩාවේ ජනතාව රැකගැනීමට ගොඩ පාරවල් දිගේ ගියේ ඔරුකඳ කරත්තයක පටවාගෙනය. හේ කොල්ලෑව කපා කෑලි තවත් කරත්තයක පැටවූයේය; අත්තුඩාවට ගොස් කොල්ලෑව සවි කොට ඔරුවට නැඟ ගස් මුදුන්වල, වහලවල සිටි අනාථයන් ඔරුවට බා ගත්තේය; ගොඩට ආවේය. ගංවතුරට අසු වී ගසාගෙන ගිය කිහිප දෙනෙක් මද්දු අයියා නිසා යළි පණ ලැබූහ.

එස්.ජී. මිතුරන් සමඟ අත්තුඩාවට ගියේ පයින්ය. බිම බාවා තිබුණු මිනිස් සිරුරුවලට පණ දෙන්නට මද්දු අයියා ගන්නා වෙහෙස එස්.ජී.ට පෙනිණ. එස්.ජී. සිය මිතුරන් සමඟ එක්ව අනාථයන්ට ආහාරපාන සැපයූහ.

සිරිසේන පුංචිහේවා සැබෑ මානව ප්‍රේමියෙක් විය. වැඩ මිස හැඩ නැති තරුණ නායකයකු වූ ඔහු ජනතා වීරයකු ලෙස තොටමුණේද, ත්‍රිකුණාමලයේද ප්‍රකට විය. ත්‍රිකුණාමල වරායේ සේවය කරන අතර ඉන්දියානුවකුගෙන් ඔහු චීනාඩි සටන්ක්‍රම ඉගෙනගත්තේය. මාක්ස්වාදි දෘෂ්ටිය මත පිහිටා සිය ජීවිතය ගොඩනඟාගත් ඔහු ලැබූ දේශපාලන දැනුමට වරායේ කම්කරු සමිති සංවිධානයේදී ප්‍රායෝගික වටිනාකමක් දුන්නේය. කොමියුනිස්ට් නායක දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහට සහ ප්‍රේමලාල් කුමාරසිරිට ඔහු සමීපව සිටියේය.

මාතර උයන්වත්ත පිට්ටනිය එදා මාතර තරුණයන්ට දේශපාලන පාසලක් විය. ප්‍රේමලාල් කුමාරසිරි, හැරී අබේගුණවර්ධන අයුක්ති සහගත ධනපති සමාජ ක්‍රමය බිඳදමා ජනතාවගේ පාලනයක් බිහි කරන මඟ ඒ පාසලේදී ඉගැන්වූහ. එස්.ජී.ද ඒ දෙදෙනාගේ දේශනවලට සවන් දුන්නේය.

දිනක් පොලිස් භට පිරිසක් හිත්තැටියේ ගොවියකුට කළ පහර දීමක් පිළිබඳ එස්.ජී.ට අසන්න ලැබි‍ණ. පළාතේ බලවතකුගේ ඉල්ලීම පරිදි ඒ ගොවියා නිවෙසින් පිටතට ඇදගෙන ගොස් පහර දී, පොලිස් කූඩුවේ සිර කොට ඇති පුවත පැතිරිණ: “මේ මනුස්සයා අහිංසකයෙක්; ඒත් ලොක්කන්ට හීලෑ වෙන්නේ නැහැ; කෙළින් මිනිහෙක්. පොලිස්කාරයො ඒ මනුස්සයාට පහර දෙමින් අකුරැස්ස පාර දිගේ ඇදගෙන ගියා…”

මේ කුරිරු පහර දීමට එරෙහිව ගමේ ජනතාව නැඟී සිටියහ; අකුරැස්ස පාර දිගේ, නූපේ හන්දිය හරහා මාතර පොලීසිය දෙසට ගමන් කළහ. මුලදී සියයක් පමණ වූ පිරිස බ්‍රෝඩ්වේ සිනමාහල අසලට යන විට දහස ඉක්මවීය. කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහද මේ පෙළපාළියේ ගමන් කළේය. පොලීසිය ඉදිරිපිට රැස් වූ මේ මහ පිරිසගෙන් නැඟුණු ‘සේතන් අයියා දියව්!’ හඬ පොලිස් ලොක්කාගේ කන් පසාරු කරගෙන ගියේය. පොලීසියට ජන බලය පෙනි. කූඩුවේ දොර ඇරිණ. ජනතාවට ආචාර කරමින් සේතන් අයියා පොලීසියේ ගේට්ටුවෙන් පිටතට ආවේය.

“පොඩි මිනිහාට යුක්තිය ඉෂ්ට වන්නේ ඔවුන් එකට එක් වී සිටින විටයි. ඔවුන්ගේ එකතුව සියලු දුෂ්ට බලවේගවල අවසානයයි…” ප්‍රේමලාල් කුමාරසිරි උයන්වත්ත පිට්ටනියේදී කළ දෙසුම එස්.ජී.ට යළි සිහි විය.

* * *

එස්.ජී.ගේ ලොකු අයියා ජිනදාස පුංචිහේවා ගමේ හොඳම කථිකයෙකි. සිරිසේන අයියා මෙන් ඔහුද ගැටලු මතු වූ හැම විටම ජනතාව වෙනුවෙන් ඉදිරියට ආවේය. අයියලා මෙන්ම පුංචිහේවා පවුලේ බාලයා වූ එස්.ජී.ද හොඳ නායකයකු වන ලකුණු තොටමුණේ ජනතාවට පෙනිණ. තොටමුණ ධීවර සමිතියේ ලේකම් තනතුර සියලු දෙනාගේම කැමැත්තෙන් ඔහුට පැවරුණේ එහෙයිනි.

“ධීවරයකු නොවූ මට ධීවර ජනතාව ඔවුන්ගේ සමිතියේ ලේකම් තනතුර දුන්නා. දැන් ඉතින් මා ඔවුන්ට වැඩ කළ යුතුයි,” දිනක් ඔහු ලොකු අයියා සමඟ කීය.

“මල්ලි… මල්ලිට ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේ ගම දිහා බැලුවම මුලින්ම කළ යුතු දෙය ලෙස මොකක්ද පේන්නෙ?” අයියා ඇසීය.

“ධීවර නිවාස ඔක්කොම පොල්අතු ගෙවල්. මේ අයට හොඳ ගෙවල් ලබා දෙන්න ඕනෑ. අලුත් ධීවර ඇමැතිතුමා ගන්දර, කෝට්ටගොඩ ධීවරයන්ට නිවාස ලබා දෙනවා. අපිත් ඒ ගැන සොයන්න ඕනෑ.”

1956 මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ මහජන එක්සත් පෙරමුණු රජයේ ධීවර ඇමැති වූයේ අම්බලන්ගොඩ මන්ත්‍රී පී.එච්. විලියම් සිල්වාය. ඔහු ප්‍රගතිශීලි මත දරන්නකු ලෙස ප්‍රකටය.

“ධීවර සමිතියෙන් ඉල්ලීමක් කරන්න. ගමේ ධීවර ජනතාව පොල් අතු පැල්වල ජීවත් වන හැටි ලියන්න…” අයියා කීය.

එස්.ජී. ඇමැතිවරයාට ඒ ඉල්ලීම සඳහන් ලිපියක් යැවීය. මේ පිළිබඳව ධීවර සමිතියේදී ලේකම්වරයා කීය.

“ඔය ලියුම් යැවුවට වැඩක් නැහැ. ඇමැතිවරුන්ට ඕවා කියවන්න වෙලාවක් නැහැ…” සමිති සාමාජිකයෝ වැඩි දෙනෙක් ඒ ලියුම සමච්චලයට ලක් කළහ.

දින කීපයකට පසු ඇමැතිවරයාගෙන් ලිපියක් ලැබිණ:

“වෙනත් ප්‍රදේශ කීපයක දැන් ධීවර නිවාස ඉදි කරගෙන යනවා. ඒවා අවසන් වූ පසු ඔබේ ඉල්ලීම ඉටු කරනවා,” සාමාජිකයෝ සිනා සුණාහ.

“ඕකනේ අපි කිවුවේ! ඕවා කවදාවත් කෙරෙන වැඩ නොවෙයි.”

මසකට පසු ඇමැතිවරයාගෙන් තවත් ලිපියක් ලැබිණ:

“ඔබේ ගමට ධීවර නිලධාරි මහතුන් කීප දෙනෙක් නිවාස ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ළඟ දිනක එනවා.” ඒ ලියුමෙන් කියවිණ.

“බලමු බලමු…” සාමාජිකයෝ කීප දෙනෙක් කීහ.

දිගු කලක සිට දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ රැවටිලි බසට කලකිරී සිටි ධීවර ජනතාව මේ ලියුම් අවඥාවෙන් බැහැර කරන විට එස්.ජී. එහි සාධාරණය දුටුවේය; උපේක්ෂාවෙන් ඉවසුවේය. එහෙත් ඒ ලියුම්වලින් ගමට යහපතක් සිදු විය. මුලින් ධීවර නිවාස 25ක් ඉදි කර දුන් අමාත්‍යාංශය පසුව තවත් නිවාස දහයක් ලබා දුන්නේය.

ගමේ ජනතාව එස්.ජී.ට සිය සතුට පළ කළහ.

* * *

‘බැංකු තනතුරකට ගොස් ලොකු පඩියක් ගන්නැ,’ යි කී වැඩිහිටියන් මඟහරිමින්, එස්.ජී. අවසාන ගුරු විභාගයට ඉදිරිපත් විය. එයින් සමත් වූ ඔහුට අනුරාධපුර නොච්චියාගම රළපනාව ගොවි ජනපද විදුහලේ ගුරු තනතුරක් ලැබිණ. අනුරාධපුර – පුත්තලම පාරේ සිංහාරගම හන්දියේදී බසයෙන් බැස සැතපුම් දෙකක් පයින් ගිය එස්.ජී. ට පාසල හමු විය. එහි මුල්ගුරුවරයෙක් නොවීය. වැඩ බලන මුල්ගුරු වශයෙන් වැඩ භාර ගැනීමට ඔහුට සිදු විය. තව එක ගුරුවරයෙක් පමණක් සිටියේය. ළමයි තිස්පස් දෙනෙකි. පන්ති අටකි. අටේ පන්තියේ ළමයි දෙදෙනෙකි. එක ගුරුවරයකුට පන්ති හතරකට එකවර ඉගැන්වීමට සිදු විය.

වනය එළිපෙහෙළි කොට ඉදි කෙරුණු රළපනාව ගම්මානයේ පිරී පැවැතියේ අගහිඟකම්ය. ගමේ කුඩා වැව් දෙකක් විය. මාස් කන්නයේ වැසි වැස වැව් පිරුණ හොත් ගමට වී ලැබේ. බොහෝ මාස් කන්නවල වැව් නොපිරේ.

රජය දුර බැහැර ප්‍රදේශවල ගොවීන්ට, ඉඩම් කච්චේරියක් පවත්වා එක් පවුලකට ගොඩින් සහ මඩින් අක්කර පහ බැගින් ලබා දුන්නද මේ ඉඩම්වල මඩ නොවීය. ඉඩම් කච්චේරි සිදු කළේ හාමතෙන් පෙළෙන පවුල් සිය ගණනක් බිහි කිරීමය.

මන්දපෝෂණය හා දැවටුණු දරුවන් තිස්පස් දෙනකු සමඟ එස්.ජී. අලුත් ජීවිතයක් ඇරඹුවේය.

(ලබන සතියේ තවත් කොටසක්)

දෙනගම සිරිවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division