මීට වසර දහයකට පමණ ඉහත තරංගනියේදී බහුචිතවාදියා නරඹා ඇති වූ අාහ්ලාදය හා උත්තේජනය එදිනම ප්‍රකාශ නොකරන්නට හේතු භූත වූයේ, එය එදින මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමා අධ්‍යක්ෂවරයා මෙන් ම චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර වූ නිසා, එය ඉක්මනින් ම තිරගත වේ යැයි සිතූ නිසා ය. නමුත් එය එසේ නො වී ය.
සාර ගුණ වඩන හිමියනි මේ වැන්දා
නෑර ඔබ නිසා සව් ඉසුරුත් වින්දා
බාර වූ දෙයක් නොකියමි කැත හින්දා
තෝර කොළ නිකම් කමි බත් නැති හින්දා
මා ජන කවියකින් ම ආරම්භ කරනුයේ මාලකගේ බහුචිතවාදියා (hesitant ) සිනමා කෘතිය නැරඹීමෙන් මා තුළ නැවත එදාටත් වඩා අාහ්ලාදයක් මෙන්ම ජීවන යථාර්ථයක් ප්‍රත්‍යක්ෂ වීමෙන් මා ලත් ආවේගය නිසා ය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සසිත වන්නිගම (කලණ ගුණසේකර ) නමැති ඌන සේවා නියුක්ති තත්ත්වයක විවිධ කරදර, ගැහැට, වේදනා විඳින එම ඌන උපයෝජිත ශ්‍රම වැගිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යාන්ත්‍රික මිනිස් ක්‍රියාකාරකම්වලට ඇබ්බැහි වී පරාරෝපිත වූ තරුණයෙකි.
බල්ලෙකුට ප්‍රයෝජනවත් වන්නේ කුමක්දැයි දැන ගැනීමට නම්, පළමුව කළ යුත්තේ බලු ස්වභාවය තේරුම් ගැනීම ය. මෙය මිනිසා සම්බන්ධව යොදාගත් විට මිනිස් ක්‍රියාවන්, ව්‍යාපාරයන් , සම්බන්ධතා වැනි දේ විවේචනය කරන තැනැත්තා පළමුව මිනිස් ස්වභාවය සාමාන්‍ය වශයෙනුත්, ඉන් පසුව ඒ ඒ ඓතිහාසික යුගයේදී වෙනස්වීමට බඳුන් වූ මනුෂ්‍ය ස්වභාවයත් හැදෑරිය යුතු ය.
— Mark..Das Capital Moor and Aveling edition —-1951 , 609 පිටුව——-
මාක්ස්ට අනුව මිනිසාගේ ස්වභාවය දෙයාකාර වේ. එනම්,
(01). ව්‍යුහාත්මක අංශය හෙවත් සාමාන්‍ය ස්වභාවය
(General Nature).
එනම් සියලු මිනිසුන්ගේ පොදු ගති ලක්ෂණ.
(02). මිනිසාගේ ගත්‍යාත්මක අංශය හෙවත් විශේෂ ස්වභාවය ( Specific nature )
එනම්, කාලය ගතවීමත් සමඟ විවිධාකාර වෙනස්කම්වලට භාජනය වූ මිනිසා
‘බහුචිතවාදියා’ හී සසිත වන්නිගම සහ ඔහුගේ මිතුරා ද, ඔවුන් හා බැඳෙන කාන්තාවන් ද, ගිෆ්ට්නෙට් අයිතිකාරයා ද (ලක්ෂ්මන් මෙන්ඩිස්) මෙම මනුෂ්‍ය වර්ග දෙකම සතු ගති ලක්ෂණ වරින් වර ප්‍රදර්ශනය කරන්නා වූ යථාර්ථවාදී චරිත හා භූමිකා වීම මාලකගේ දක්ෂතාව මත ප්‍රතිනිර්මාණය වූ විචිත්‍ර විග්‍රහයකි.
ද්‍රව්‍යය ද මිනිසාගේ සංයුතියේ මූලිකාංගයකි. මිනිසා පිළිබඳ භෞතිකත්වය වන්නේ මිනිසාගේ ශරීරයයි. එනම් මොළය, ස්නායු පද්ධතිය හා ඉන්ද්‍රියයන්ගෙන් සමන්විත මිනිසාගේ කායික සංයුතිය යි. කෙසේ වෙතත් විඥානයේ මැදිහත්වීමකින් තොරව භෞතික වර්ධනයක් කිසිසේත් ම සිදු නොවේ. මිනිසාගේ විඥානයේ වර්ධනය සිදුවනුයේ ශාරීරික ඉන්ද්‍රියයන්ගේ ද වර්ධනය මත ය. එනම්; කායික ඉන්ද්‍රියන්ගේ හා විඥානයේ වර්ධනය ද්වන්දාත්මක ය.
මෙම චරිත තුළින් ඒ තත්ත්වයන් යළි යළිත් තහවුරු වේ. ‘ගිෆ්ට්නෙට්’ හිමිකරුවාට අවශ්‍ය වන්නේ තම ව්‍යාපාරය කෙසේ හෝ පවත්වාගෙන යාමට සසිතගේ ශ්‍රමය සූරාකන අතරතුර ඔහුගේ අවම අවශ්‍යතා පවා ඉටු කරගන්නට හැකි මුදලක් වැටුපක් ලෙස නො ගෙවා තමා වෙත නතු කර ගැනීමට ය. සසිතට වෙන කළ හැකි දෙයක් නොමැත. වෙනත් රැකියාවක් සොයා ගැනීම ද උභතෝකෝටික ගැටලුවකි. සසිත තුළ වෙනත් අලෙවි කළ හැකි වටිනාකමක් ද දක්ෂතාවක් ද දැනුමක් ද නැත. මෙය වර්තමාන තාරුණ්‍යයේ ප්‍රබල සංකීර්ණ අර්බුදයකි. එබැවින් සසිතට ආදරණීය වංචා සහගත වදන් තෙපලමින් ගිෆ්ට්නෙට් අයිතිකරුවා ඔහු රඳවා ගන්නට මාන බලයි.
තම සොහොයුරියගේ ස්වයං රැකියාවට උදව් වීමෙන් ඵලක් නොවන බවත්, එය අර්ථ රහිත බවත් සසිත දනී. ඒ නිසා ඒ ගැන ඔහුගේ අදහසක් නැත. සසිතගේ පෙම්වතිය සේවය කරනුයේ ද කුඩා සන්නිවේදන පියසක ය. සසිත ඇයගෙන් ද මුදල් ණයට ලබා ගෙන ඇතත්, ඇය ඒ ණය මුදල් ඉල්ලා ඔහුට කරදර නො කරයි. ඒ ඈ තුළ ඇති ප්‍රේමය හා අවශ්‍යතාව නිසා ය.
මේ දෙදෙනා නිතර හමුවේ. නිතර සිප වැළඳ ගැනීම ද , හුදෙකලාව තුරුලු වී පෙම් කිරීම් ද සුලභ දර්ශනයකි.
ඇය ඔහුට ඒ සඳහා අනුබල දෙන්නේ ඔහු සමඟ කෙසේ හෝ විවාහ වී වෙනත් රටකට යාමේ බලාපොරොත්තුව නිසා ය. ඇය ලංකාව හැර ඉන්දියාවට හෝ යාමට කැමැති ය. නමුත් සසිතගේ සිහිනය යුරෝපය හෝ ජපානය වැනි රටකට යාමට ය. ඒ ඔහුගේ කිසිදු සැලසුමක් නැති Undecided චරිත ලක්ෂණයකි. ඔහු එබඳු රටකට යන්නට උත්සාහ කිරීමත්, කැමති වීමත්, ඒ ගැන නන් දෙඩවීමත් කරන්නේ ඒ පිළිබඳ අවශ්‍යතාවක් මතුවන විටදී පමණි.
ඔහුගේ රැකියාවේ ස්වභාවය පිටරටින් එන හෝ මෙරටින් දුර බැහැරින් එවන විවිධ ත්‍යාග, භාණ්ඩ, මුදල් හදල් gifenet හරහා අදාළ පිරිස් වෙත රැගෙන ගොස් බාරදීම ය.
සසිතට බොහෝවිට අවස්ථාව උදාවන්නේ ත්‍යාග භාණ්ඩ රැගෙන ගොස් කාන්තාවන්ට බාරදීමට ය.
චිත්‍රපටයේ එබඳු කාන්තාවන් තිදෙනෙකි. එනම් , වීණා ජයකොඩි, සමනලී ෆොන්සේකා සහ ප්‍රසාදිනී ය. විණා වයස්ගත කාන්තාවකි. ඇයගේ සහෝදරයාගේ සහ ඇගේ බූදලයෙන් හිමි වූ නිවසක හුදෙකලාව වාසය කරයි. බාල සහෝදරයා ගිෆ්ට්නෙට් හරහා එවන තෑගි බෝග සසිත ඇය වෙත නිතර රැගෙන යාමෙන් දෙදෙනා අතර මානව සම්බන්ධතාවක් ඇතිවෙයි. එය මිත්‍රත්වය සහෝදරත්වය පරයා ගොස් ලිංගික සම්බන්ධතාවක් දක්වා වර්ධනය වේ. අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් ඇගේ පාලු කැපීමට ද, අසනීප වූ විට ආරෝග්‍ය ශාලාවට රැගෙන යාමට ද, තනි රැකීමට ද, කොන්දේසි විරහිතව කටයුතු කරන සසිත ඇය සමඟ අවංකව ඇසුරු කරන බව ද පෙනේ.
යතුර ඇති තැන ඔහුට පවසා අල්මාරියෙන් මුදල් ගන්නා ලෙස කියන පමණට ම ඔහු ඇයගේ විශ්වාසය දිනාගෙන ඇත.
සමනලී කුඩා දරුවකුගේ තරුණ මවකි. සැමියා විදේශ රටක සේවය කරයි. ඔහු ඇයට ත්‍යාග භාණ්ඩ හා මුදල් එවන්නේ ගිෆ්ට්නෙට් හරහා ය. ඒවා රැගෙන ගොස් බාරදෙන්නේ සසිත ය. සසිත ඇයට ද හිතවත් වී ඇගේ තනි නොතනියට ද රැඳී සිටිමින්, හුදෙකලාව, ලිංගික ජීවිතයේ පරිපීඩිත භාවය වටහාගෙන ලිංගික ඇසුරක් පවත්වාගෙන යයි. මත්පැන් පානය කිරීම, දුම් පානය කිරීම පමණක් නොව බොහෝ වේලා ඇයට තුරුලු, වී හුරතල් බස් කතා කරමින් කාලය ගත කරන්නට ද කාලය මිඩංගු කොට, තම හාම්පුතාගෙන් අනන්ත වාරයක් දෝෂාරෝපණයට ලක් වේ.
සසිත තවත් තරුණ බිරිඳක් සමඟ ද ලිංගිකව හැසිරෙන අතර, ඔහු ඇයගෙන් පතන්නේ ලිංගික ඇසුර පමණක් ම බව පැහැදිලි වේ. ඒ කාන්තාව විවාහ වන්නට ඇරයුම් කළ විට ඔහු ඇගෙන්,”තමුසෙගෙ ඔළුව හොඳ නැද්ද ” යි අසයි. ඇය අසරණව ඇඳෙහි වැතිර සිටියි. ඒ ලිංගික එක්වීමෙන් අනතුරුව බව පෙනේ.
සසිතට අන්තර්ජාලයේ තවත් කාන්තාවන් දෙදෙනෙක් සිටිති.
දමිතා මැදපෙරදිග සේවය කරන කාන්තාවකි. ස්වාමි පුරුෂයාගෙන් වෙන් වූ කතකි. සසිත ඇයට බොරු පොරොන්දු රාශියක් දෙයි. මුදල් හදල් කඩා ගනී. ලාභ ප්‍රයෝජන ගැනීම් ද නිතර සිදුවේ. ඇය සමඟ විවාහ වන බවද, ඇය සොයාගෙන මැදපෙරදිගට එන බව ද, ඇය සොයා දුන් රැකියාවකට එන බව ද, ඇය විවාහ කරගන්නා බව ද කියයි. මේ සියල්ල ඒ ඒ අවස්ථාවට උචිත දෑ මිසක තීරණය කොට කළකී දේ නො වේ. දමිතා සසිත ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි. ඇය ඔහුට කොතරම් ආසක්ත ද යත්, ඔහු කී විට ඇය ස්කයිප් තාක්ෂණය හරහා ඇයගේ පයෝධර පවා පෙන්වීමට කැමැත්තක් දක්වයි.
අනෙක් කාන්තාව තරුණියකි. ඇය සේවය කරනුයේ ද මැදපෙරදිග ය. ඇය ද ලංකාවට පැමිණ සසිත සමඟ ලිංගිකව හැසිරී ප්‍රේමයෙන් වෙලී සිටියි. ඒ ඇය ඔහු සමඟ විවාහ වන්නට තීරණය කිරීමෙන් අනතුරුව ය.
සසිත ඇයට ද කිසිවිටෙකත් විරුද්ධ නො වේ. ඇයගේ නිවසට තම මිතුරා සමඟ යයි. ඈ සමඟ ලිංගිකව එක්වෙයි. විවාහ පොරොන්දුව දේ. ඇය සමඟ රට යාමට දින දමයි. ඇයගේ කීමට ගුවන් ගමන් බලපත්‍ර සාදා වීසා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරයි. මේ කිසිවක් ඔහු දැඩි වුවමනාවෙන් කරන අවසාන වශයෙන් තීන්දු කරපු කිසිවක් නො වේ.
ඔහු ඒ අතර දමිතාට ද ඒ තොරතුරු දී ඇයට ද පොරොන්දු වෙයි.
මේ බව සසිත තම සහෝදරියට පවසා ඇගේ කැමැත්ත ගන්නට උත්සාහ කරයි. එය ද ව්‍යාජයකි. ඔහු වනචරයකු ලෙස කාමුකයකු ලෙස මෙලෙස කාන්තාවන් ගණනාවක් සමඟ ම ලිංගික ජීවිතයක් ගත කරනුයේ අක්කාගෙන් අවසර ලබාගෙන නොවෙයි. ඔහු තම සහෝදරිය ඉදිරිපිට සිටිනුයේ සාධුවරයකු ලෙසය. එබැවින් මෙසේ අවසර ගැනීම ද ව්‍යාජයකි. ඔහුගේ හැසිරීම ද ව්‍යාජයකි.
ප්‍රථමයෙන් ම තම පෙම්වතිය (ගීතා අලහකෝන්) සසිතට අහිමි වෙයි. ඒ ඇයට ඔහු ගැන අවධාරණය වීම නිසා ය. කාන්ති (දමිතා) නමැති කාන්තාව සමඟ රට යන්නට කළ උත්සාහය ඇය සොයා ගනී. ඒ නිසා ඇය ඔහුව පන්නා දමයි.
ඇය සේවය කරන තැන ඉතා කුඩා සන්නිවේදන පියසකි. ඇය එතැනින් උපයා ගනු ඇත්තේ සොච්චම් වැටුපකි. සසිත ඒ මුදල් ද ඇයගෙන් ණයට ලබාගත් පිංගුත්තරයෙකි. ඇය ඈ තුළ තිබූ ප්‍රේමය අවසන් බව පවසා, ඇය වෙනත් කෙනෙකු සමඟ අලුත් ආදර සම්බන්ධයක් පවත්වන බව කීමෙන් අනතුරුව සසිත හැසිරෙන ආකාරය තුළින් සසිතගේ චරිතය තවදුරටත් විග්‍රහ කෙරේ.
” පට්ට වේසි තෝ දැන ගනිං. මම තෝත් එක්ක හිටපුව, කරපුව ෆොටෝ ගහලා වීඩියෝ කරලා තියෙන්නේ. දානවා සේරම නෙට් එකට ”
ඔහු බහුචිතවාදියෙකු පමණක් නොව ගුණමකු අවජාතකයෙකු ලෙස හැසිරෙන පාදඩයෙකි. එවිට ඇය පවසන්නේ ඈ එයට බය නැති බවත්, ඇයගේ නව පෙම්වතා සී අයිඩී එකේ බවත් ය. සත්‍තකින් ම මෙතැන ඇති සියුම් උපහාසය අතිශය ගැඹුරු ය.
පසුව පැහැදිලි වන කාරණාව තුළ ප්‍රේක්ෂකයා තෘෂ්ණිම්භූත වේ. ඒ පෙම්වතියගේ නව පෙම්වතා සසිත සේවය කරන ලද ගිෆ්ට්නෙට් හී හිමිකාර වයස්ගත තලස්ථානි ව්‍යාපාරිකයා ය. ඇය ඔහු සමඟ රථයක ඉදිරි අසුනේ වාඩිවී ඔහු සමඟ පෙමින් වෙලී සිටි. එපමණක් නොව සසිතට කතා කලක් මෙන් ම ඇයගේ බලාපොරොත්තුව ඔහුට ද කියයි . ” අපි විවාහ වෙලා පිටරටකට යමු ” යන ප්‍රකාශය යළිත් අර්ථ සපය යි..
ගැහැනු පිරිමි භේදයකින් තොරව තාරුණ්‍ය මෙරට තුළ බලාපොරොත්තු සුන්වී , අතරමංවී ඇති ආකාරය ප්‍රත්‍යක්ෂ වෙයි.
අනතුරුව ඇය ඒ වයස්ගත පුද්ගලයා සමඟ මුඛ සංසර්ගයේ යෙදෙන ආකාරය පැහැදිලි වෙයි.
මා මිනිසා ගැන කලින් කළ විග්‍රහය මෙතැනදී ද නොසැසඳේ ද..?
සසිතගේ මුසාවාදවලට රැවටුණු මැදපෙරදිග කාන්තාවන් දෙදෙනා වෙන වෙනම සසිතව ගෙන්වා ගැනීමට වීසා ආයදුම් කිරීම නිසා කාන්තාවන් දෙදෙනා සසිතගේ වංචනික ක්‍රියා කලාපය වටහාගෙන ඔහුට බැණ වඳිති. ඔහු සමඟ පැවැත්වූ සියලු සම්බන්ධතා අත්හටුවා දමති. දෙදෙනා ම ඔහුට වෛර කරති.
ඒ වන විට ඔහු ගිෆ්ට්නෙට් හිමිකරුවා සමඟ හිඟ වැටුප් සහ අර්ථසාධක සම්බන්ධව ප්‍රබල ගැටුම්කාරී තත්ත්වයකට අර්බුදයකට පත්වී, බහින්බස් ව, ඌන සේවා රැකියාව ද අහිමි වෙයි. කුරුල්ලෙකු සේ නගරය පුරා ඉඟිල්ලී ගිය අජානේය ස්කූටරය ද අහිමිවෙයි.
ඔහුගේ සහෝදරිය තම ජඩ මිතුරා සමඟ ප්‍රේම සම්බන්ධයක් (ලිංගිකය ඇසුරක්) පවත්වාගෙන යන බව අනාවරණය වේ. තම මිතුරා (රජිත) තම අහිංසක සොහොයුරිය රැකියාවෙන් උපයන සොච්චම් මුදලද පැහැර ගන්නා බව පෙනේ. මේ සියල්ල සසිත දැන දැන ගන්නා විට තම සහෝදරිය සිය ගංජා මිතුරා නිසා ගැබ් ගෙන අවසන් ය.
මෙය ද එක්තරා ආකාරයකට අතිශය සියුම් යථාර්ථයක් විවරණය කරන්නකි. එනම්, සසිත කාන්තාවන් වංචනිකව පොළඹවාගෙන ඔවුන් සමඟ ලිංගික ඇසුරක් පවත්වාගෙන යද්දී, තම අහිංසක සහෝදරිය තම මිතුරාට දාව නිවසේදීම ගැබ්බර වීමයි.
තමාගේ අසංවිත ජීවිතය, පාහර ලිංගික ඇසුර, කාන්තාවන් බිලීබෑම අමතක කොට ඔහු තම මිතුරාට චෝදනා කිරීම උපහාසාත්මක ය. හාස්‍යෝත්පාදකය.
සසිතත් මිතුරාත් කාන්තාවන් බිළිබෑම් නොකරන අනෙක් සෑම විටක ම ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පානය කරන ආකාරය පෙනේ. ඔවුහු හොඳ පදමට මත්වී, තම ජීවිතය අතරමං වන සැලසුම් ගැන හිස් සාකච්ඡා පැවැත්වීම මෙම ජීවිතවල පවතින යථාර්ථය ප්‍රත්‍යක්‍ෂ කෙරේ. සසිත නිකමෙකු ලෙස කාලය ගත කරමින්, නොමිලේ ලිංගික ඇසුර ලබමින් කළ කී සල්ලාල ජීවිතය එක්වර ම අවසන් වේ. ඔහුට ඉතිරිව ඇත්තේ වයස්ගත හුෙදකලා ස්ත්‍රීය (වීණා )පමණි.
ඔහු ඇය සමඟ ලිංගිකව හැසිරී, ඇඳ මත ඇයගේ ඇඟට තුරුල් වී, “අපි බඳිමු” කියයි. මෙහි ඇති විහිළුව ප්‍රේක්ෂකයාට ද වැටහේ. වීණාට ද වැටහේ. ඇය එක්වර ම ඔහු පන්නා දමයි. ඔහු නොයන තැන ඇය ඔහුගේ පාදයෙන් ඇද ඇඳෙන් බිමට ඇද දමන්නට දැඩි උත්සාහයක යෙදේ. ඔහු ඇඳ බදාගෙන සිටි.
මෙය එදා මෙදා තුර සිනමාවේ මම දුටු ඉතාමත් ම ශක්ති සම්පන්න, නිර්මාණාත්මක, අපූරු විවරණයක් ඉදිරිපත් කරන රූප රාමුවකි. එය එතරම්ම ප්‍රබලය. පිරිමියකුගේ බෙලහීනතාව, යැපුම් මානසිකත්වය, මෙන්ම අතරමං වූ නව තාරුණ්‍ය පිළිබඳ අපූරු විවරණයක් එහි අන්තර්ගත වේ.
අනතුරුව සසිත සියලු සම්බන්ධතා බිඳ වැටී අසරණව තවත් අලුත් කාන්තාවක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දරණ උත්සාහයෙන් චිත්‍රපටය අවසන් වෙයි. මෙලෙස කාන්තාවන් දඩයම් කරමින්, පිංපි ජීවිත ගෙවන බහුචිතවාදීන්ගේ ක්‍රියාකලාපය එතැනින් නතර නොවන බව මාලකගේ මතය යි. සැබවි; එය මේ වන විට ලොවපුරා ම ව්‍යසනයක්ව පවතී.
මෙම චිත්‍රපටය පුරා මාලක දේවප්‍රිය පානා ශිල්පීය දක්ෂතා ද අපූරු ය. ප්‍රථමයෙන්ම අහස පසුතලය කොටගෙන බහුචිතවාදියා කාන්තාවන් දඩයමේ යන ගමන් මාර්ගය පෙන්වන්නේ, ගොඩනැගිලි චලනය වෙමින් විදුලි කම්බි හා කණු පසු කරමින් ඉතා ඉහළ රූප පෙළක් වේගයෙන් ගමන් කරන කැමරාවේ අති විශිෂ්ට රංගනයකිනි. මේ අපූරු ප්‍රවේශකයකි. එය බහුචිතවාදියාට සුවිශේෂ අරුත් සපයන රූප පද්ධතියකි.
චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට ඒ රූප අනුව දැන් ඔහු හමුවන්නට යන්නේ වයස්ගත (වීණා )කාන්තාව බවත්, සමනලී බවත්, ප්‍රසාදනී බවත්, තම පෙම්වතිය බවත් හඳුනා ගන්නට හැකියාව ලබයි.
ඔහු ඒ අය හමුවී ඒ සැමට ම තමාව යුරෝපයට යවන ලෙස ආයාචනා කිරීම ද, රැකියා විරහිත තාරුණ්‍ය පමණක් නොව, අසීමිත බලාපොරොත්තු කන්දරාවක් හිස මත තබාගෙන ඉබාගාතේ සැරිසරන නන්නත්තාර තරුණ ජීවිත මාලක සිය විවරණයට එක් කරගන්නේ විස්මිත ලෙසිනි.
සමනලී, තමාගේ පවුල් ජීවිතය කඩා බිඳ නොදමන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනුයේ, ඔහු සමඟ සංසර්ගයේ යෙදී, බීමතින් සිගරට්ටුවක් ද පානය කරමින් ය. ඇත්තට ම ඇගේ ස්වාමිපුරුෂයා මොනවා කරනු ඇති ද ? මේ මනුෂ්‍ය ජීවිතවල යථාර්ථය යි.
මානව සම්බන්ධතා සතු සංකීර්ණ හා ගැඹුරු ඉසව් කරා එළැඹෙමින්, එහි ගුප්ත ස්වරූපය ඥානනය කරවන්නට මාලක දරණ උත්සාහය ප්‍රශංසනීය ය. එය මාලකගේ පරිණතභාවය යි.
සිනමා පටයේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රය වන්නේ මිනිසා සහ ඔහුගේ ආත්මය යි. මෙහිදී මාලක මිනිසා සහ ඔහුගේ ඇතුළාන්තය හා බැඳුණු අර්බුද පිළිබඳව වඩා වැදගත් තොරතුරු සපය යි.
ලෝකය වෙනස් කිරීමට ප්‍රථම මිනිසාට තම තමන්ව ම වෙනස් කර ගැනීමට සිදුවන බව ‘බහුචිතවාදියා’ අවධාරණය කරයි. එනම්; මිනිසා මිනිසාගේ ආධ්‍යාත්මික පැවැත්ම සකසා ගැනීමට වෑයම් කළ යුතු බව එහි පෘථුලාර්ථය යි.
නිකොලායි ගොගොල් ප්‍රකාශ කරන පරිදි කලාව තුළින් යම් ඉගැන්වීමක් කිරීමට උත්සාහ නො කළ යුතු ය. නමුත් කලාකරුවා ජීවිතය ඒ අයුරින් ම ඉදිරිපත් කළ යුතු ය. එය සෑහෙන ප්‍රමාණවත් ය. එය කලාකරුවාගේ වගකීමයි. මාලක ද එය ඒ ආකාරයට ම ‘බහුචිතවාදියා’ තුළ සිදුකොට ඇත.
සිනමාකරුවකුගේ කාර්යභාරය විවිධාකාර වූ, යම් යම් සුවිශේෂ අවස්ථා ගොඩනඟමින් ප්‍රේක්ෂකයාගේ හැඟීම් ඇවිස්සීම (excite) හෝ උත්තේජනය (more) කිරීම හෝ නොව ඒවා ඉතා සරල ලෙස යථාර්ථවාදීව ඉදිරිපත් කිරීමෙන් තමන්ගේත් අන් අයගේත් ජීවිත හා හැසිරීම් පිළිබඳ සිතීමටත්, පිළිගැනීමටත් ඔවුන් පෙළඹවීය.
එබඳු සිනමා කෘතියක් අවසානයක් දක්වා ගෙන යාමේ වගකීම ප්‍රේක්ෂකයා බාරගනු ඇත. ප්‍රේක්ෂකයාට ඔහු ජීවත් වන අවට ලෝකයේ විවෘත කළ යුතු වේ.
‘බහුචිතවාදියා’ චිත්‍රපටය තුළ දුර්වලතා නැත්තේ ද නො වේ. වීණා ජයකොඩි සහ කලණ ගුණසේකර (සසිත) සුහද සාකච්ඡාවේ යෙදී සිටින අතරතුර රූපවාහිනියේ ජනප්‍රිය සංඝයා වහන්සේ කෙනකුගේ (සඝ තරුවකගේ) තොදොල් ධර්ම දේශනාවක් විකාශය වන බව අසන්නට ලැබේ. තවත් දිනක එහි ප්‍රචාරය වන්නේ සුපිරි තරු නිර්මාණය කරන රියැලිටි වැඩසටහනක නිවේදකයකුගේ පූර්විකාවකි. තවත් දිනක මරදොඩලාවයි. මෙම වැඩසටහන් තුනම ඉතා අපහාසයට උපහාසයට ලක් වූ බොහෝ බුද්ධිමත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ වැඩසටහන් ත්‍රිත්වයකි. එම වැඩසටහන් ප්‍රචාරණය වන අතරතුර සසිත හා වීණා අතර ඇතිවන සාකච්ඡාව ද ඉතාම තීරණාත්මක ය. එහි අපූරු අර්ථකථනයක් ඇති නමුත් වීණා සහ කලණ එකිනෙකාට පිළිතුරු දෙද්දී, රූපවාහිනියේ ප්‍රචාරය වන වැඩසටහනේ රිද්මය අනුව එහි යතිය හෙවත් විශ්‍රාමය සොයා එතැනින් තම කතාව ඉතා වුවමනාවෙන්ම පටන් ගන්නා බව ප්‍රත්‍යක්ෂ වේ. එය බලවත් දුර්වලතාවකි.
සමහර දර්ශන පිටපතක් නැතිව රූපගත කළාදැයි සැකයක් ද මතුවන අවස්ථා ඇත. කලණගේ ඈතින් ඇවිදින පාදවල ශබ්ද ඉතා හොඳින් ශ්‍රවණය වීම ද නො ගැළපෙතැයි සිතේ.
චිත්‍රපටයක සාර්ථකත්වයට පාත්‍රයන්ගේ රූපණ කෞශල්‍යය වැදගත් වේ. ප්‍රථමයෙන්ම කිවයුත්තේ සාර්ථකම රංගනය ඉදිරිපත් කරන්නා කලණ ගුණසේකර බවයි. වීණා ජයකොඩි සුපුරුදු භාවපූර්ණ අති දක්ෂ රූපණ කෞශල්‍යය විදහා පාන අතර, රූපවාහිනී තිරයක් මත පමණක් ප්‍රථම වතාවට චිත්‍රපටයක් තුළ රඟපාන්නට ඉඩ ලද දමිතා අබේරත්න ද ඇයගේ මුහුණ පමණක්ම රංගනයට යොමු කරමින් අති විශිෂ්ට රංගනයක නියැලේ. සෙසු රූපණ ශිල්පීන් හා ශිල්පිනියන් චරිතවලට අඩුපාඩුවක් නොකළ ද , ඉතා විශිෂ්ට යැයි කිව හැකි රංගනයක නියැලෙන්නේ නැත.
නවරත්න ගමගේ සංගීතය ද, කැමරා අධ්‍යක්ෂවරයා පානා දක්ෂතා ද, ඉතා ඉහළින් අගය කළ යුතු ය. ආලෝකය සහ වර්ණ සංයෝජනය පිළිබඳව ද ප්‍රශංසා කළ හැකි ය.
තාරුණ්‍ය, රැකියා විරහිතභාවය, දරිද්‍රතාව, අසංවිධිත බව සහ අසංයමය වැනි කරුණු ඉතා ප්‍රශස්ත ලෙස විසි එක්වෙන සියවසට ගැළපෙන ආකාරයට සාකච්ඡා කරන්නට මාලක පානා දක්ෂතාව අති විශිෂ්ට ය. අවුරුදු දහයකට පෙර රූපගත කළ තාක්ෂණික උපකරණවල සහ පරිගණක යෙදවුම්වල කිසිදු අඩුවක් වසර දහයකට පසුව වුවත් නොතේරෙන ලෙස චිත්‍රපටය ඉතා අගනා අන්තර්ගතයකින් යුක්ත ය. එය හඳුන්වන්නේ සර්වකාලීන බව යනුවෙනි.
‘බහුචිතවාදියා’ චිත්‍රපටය අනාගත බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා සහ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වීම අතිශය සාධාරණ ය.
සත්‍ය වශයෙන්ම මෙම චිත්‍රපටය තවත් ඉදිරියට බොහෝ කාලයක් පුරා නව අර්ථකථන සපයන සර්ව සාධාරණ කලා නිර්මාණයක් ලෙස වැජඹෙනු ඇත. එනයින් ‘බහුචිතවාදියා’ සිංහල සිනමාවේ සංධිස්ථානයක් වනු නො අනුමාන ය.
මුදු රන්ජිත් ද සිල්වා