වර්ෂ 1960 දශකය තුළ බටහිර ජනිත වූ කාන්තාවාදයේ මූලික මතවාදය වූයේ පුරුෂ ආධිපත්‍යය අබියස මර්දනයට ලක් වන කාන්තාවගේ ස්වාධීනතාව සාධාරණ මනුෂ්‍ය සන්දර්භයක පිහිටුවාලීමය. මේ ප්‍රවණතාවට අදාළ මතවාදය ශාස්ත්‍රීයව පෝෂණය කළ ජූලියා ක්‍රිස්ටේවා, හෙලන් සික්ෂු, ලූස් ඉරිගරේ, ජූඩිත් බට්ලර්… ආදි විද්වත් ලේඛිකාවන්ගේ ග්‍රන්ථකරණයෙන් එය වඩා ශාස්ත්‍ර යුක්තියක පිහිටියේය.
එහෙත් ස්ත්‍රිවාදය ප්‍රවණතාවක් සේ මතු වීමට පෙර ආන්තික ඇබ්බැහිකම් සහිත ශුද්ධාත්මවාදි කාන්තාවාදයක් 17 වැනි සියවසේ පමණ එංගලන්තයේ හා යටත්විජිත රටවල පැතිර තිබිණි. කාන්තාව පිරිමියාට වඩා ශුද්ධ අයකු ලෙසත් වඩාත් සියුමැලි හා සුකොමල අයකු ලෙසත් ඒ ආන්තික ඇබ්බැහිකම්වලදී අවධාරණය විණි. සැමුවෙල් එඩ්වඩ්ගේ ‘නේකඩ් මාජා’ (Naked Maja) නම් නවකතාව ‘වත රැඳි නිරූපිකාව’ ලෙස පරිවර්තනය කළ ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහ එහිලා පළ කළ හැදින්වීමෙහි මඟතොට ඇවිද යන යුවළක අතරින් ස්ත්‍රිය දෙස යම් පිරිමියකු විශේෂයෙන් බැලුව හොත් ඇයගේ සැමියා ඒ පිරිමියා සමඟ කඩු සටනකට යන්න තරම් ඒ ආන්තික හැඟීම් ප්‍රබල වූ බව දැක්වේ. ඒත් කාන්තාවාදි විචාරයේ ශාස්ත්‍රීය පැතිකඩ නියෝජනය කළ ශීලා රොබෝටව්ගේ ලේඛනවල කාන්තාව යනු දෙවැනි පුරවැසි කොටසක් නොව, පුරුෂයා හා සමාන අයිතිවාසිකම් මෙන්ම මානුෂික විභවතා ඇත්තියක බව අවධාරණය විණි. මෙවන් ලේඛන ඔස්සේ කාන්තාව ප්‍රේරක මූලිකාංගයක් ලෙස ලෙස හැසිරවෙන නවකතා රැසක් දේශීය හා විදේශීය ලෙස ලියවී තිබේ.
ලංකාවේ ක්‍රියාත්මක ස්ත්‍රීවාදයේ ලක්‍ෂණ හා කාන්තා සමාජ කණ්ඩායම් නියෝජනය කළ එවන් නවකතා පිළිබඳ නිදසුන් ආශ්‍රයෙන් සාකච්ජා කරන අතරේ කාන්තාවාදයේ බාහිර ලක්‍ෂණ ඩැහැගෙන හුදු මානසික පැසවීම් හෝ වැරදි කාවැදීම් නියෝජනය කරන කාන්තා උපාන්ත කණ්ඩායම් පිළිබඳවද මෙහිදී අවධානය යෙදේ. මෙවැනි උපාන්ත කණ්ඩායම් වෙසෙන්නේ සමාජයක පරිධිය ලෙස සැලකෙන පහළ මට්ටම්වලය. නිදසුනක් ලෙස: ඇඟලුම් කම්හල්වල, පාවහන් හෝ කුඩ නිෂ්පාදන සමාගම්වල සේවය කරන කම්කරු කතුන්, කසළ ශෝධනයේ හා සාත්තු සේවයේ නියැළෙන කතුන් මෙන්ම භාරත සමාජයේ නම් දේවදාසීන්, සුසාන ගෝපිකාවන් වැනි කතුන් දැක්විය හැකිය. ඊවා රණවීරගේ ‘සෙදෝනා’ නවකතාව 1970 දශකයේ ලියවුණු කෘතියකි. මෙහි කියවෙන්නේ ඉංග්‍රීසින් විසින් ඇති කරන ලද කෘත්‍රිම මධ්‍යම පන්තිය වූ පාසල් ගුරුවරුන්, සුළු පරිමාණ වෙළෙන්දන්, රජයේ සේවකයන් වැනි අය තමාගේම පන්තියේ වඩා පීඩිත අය ඉදිරියේ ස්වාමිවරුන් ලෙස වැජඹෙන අන්දමයි. එවන් නිවෙසක මෙහෙකාරකමට එන සෙදෝනා නම් තරුණ කාන්තාව ඒ නිවෙසේ ස්වාමියාට දාව උපදින තම අවජාතක දියණිය තමාට අතවර කළ ස්වාමියා සේ උගත් අයකු කරවීමට උත්සුක වේ. මේ මනෝභාවය කාල් යුං නම් මනෝ විද්වතා සිය ‘අප්‍රෝචින් දි අන්කොන්ශස්’ (Approaching the Unconscious) කෘතියෙහි හැඳින්වූ ‘ඇනිමස්’ (Animus) හෙවත් තමා පත්ව ඇති ඉරණම සාධාරණීකරණය කරගැනීම ලෙස හැඳින්විය හැකිය. මේ කාරණය ලංකාව, ඉන්දියාව වැනි රටවල උපාන්ත කණ්ඩායම් පත්ව ඇති මානසික ගැති බව කියා පාන්නකි. ලංකාවේ සමාජ පරිවර්තනයෙහි අවිධිමත් ප්‍රතිඵල ලෙස හුවාදැක්විය හැකි කාන්තා මනෝභාව හේතුවෙන් ‘තලියෙහි කිඹුලන් දැකීම’ වැනි අයථා සැකසංකා හා විසල් පිහිනුම් තටාක නැති විට ‘බේසම්වල දියබුං ගැසීම’ වැනි නිරර්ථක හා අවිචාර මනෝ සිහිනවලද එබඳු චරිත ගැවසෙන බව පෙනේ.
සුනේත්‍රා රාජකරුණානායකගේ ‘සඳුන් ගිර ගිනි ගනී’ නවකතාවේ දැක්වෙන පුවත අනුව කොළඹ ඉහළ පාන්තික නිවෙසක මෙහෙකාරකමේ නිරත වූ කාන්තාවක ඒ නිවෙසේදී උගත් දේ තම ස්වාමියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඔවුන්ගේ පවුල් ජීවිතය දෙදරා යන ආකාරය දැක්වේ. සුනේත්‍රා රාජකරුණානායකගේම ‘පොදු පුරුෂයා’ නවකතාවේ කියවෙන පුවත මනුෂ්‍යත්වය පිළිබඳ වඩා ඉහළ ස්ථාවරයක් හුවා දක්වයි. තම ස්වාමියා බෝම්බයක් වැදී ඔත්පළව රෝහලේ සිටියදී තම මියගිය මවගේ දිනපොත කියවන දියණියකට තම ස්වාමියා කලකට ඉහත තම මවගේද පෙම්වතා වී සිටි බව හෙළි වේ. එහෙත් මේ මොහොතේ ඔහු අත්හැරදැමීම යනු මනුෂ්‍යත්වය හෝ ආදරය නොවන බව තීරණය කරන ඒ කාන්තාව තම ස්වාමියාට දිගටම උවටැන් කිරීමට සිත හදාගනී. සිද්වික් හැන්රී නම් දාර්ශනිකයා උපුටා දක්වන සුගත් වටගෙදර සිය ‘සන්නිවේදනයේ ආචාරධර්මීය පදනම’ කෘතියේ දක්වන්නේ මිනිසාගේ නියම මනුෂ්‍යත්වය නම් හුදු යහපත යන්නට වඩා සැබෑ යහපත වටහාගැනීම බවය. වත්මනේ අප පය ගසා සිටින සමාජයෙහි කාන්තාවාදයේ ශාස්ත්‍රීය ක්‍රියාත්මක වීම වෙනුවට දැකගත හැක්කේ අනුකාරක මෝහ ප්‍රවාද තුළ ජීවත් වන හා කාන්තාවාදය යන්තම් කටගාගත් අවිචාරවත් පිරිසකි. සාමාන්‍ය සමාජයේ බහුලව සිටින ඔවුහු උගත් සමාජවලද යම් තරමකින් සිටිති.
මා මීළඟට ගෙනහැර දක්වන්නේ ස්ත්‍රී-පුරුෂ භේදයක් නැතිව මනුෂ්‍යයන් වශයෙන් මානව බුද්ධි සංස්කෘතියට හා ආධ්‍යාත්මික සංස්කෘතියට සේවය නොකර තම ජීවිත ශක්තිය හා පරිකල්පනය ඈලියාවට යැවුව හොත් කෙනකුට වන්නා වූ විපතක් පිළිබඳ විස්තරයකි. විශේෂයෙන් හිස්ටීරියානු තත්ත්වය කාන්තාවන් කෙරෙහි තදින් බලපෑම් කරන බව මනෝ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මා සතු මේ ප්‍රායෝගික උදාහරණයද කාන්තාවන්ට සම්බන්ධ එකකි. එක්තරා උගත් කාන්තාවක් යම් උසස් අධ්‍යාපන ආයතනයක රැකියාවක් ලබා ගත්තාය. ඒ ආයතනයේ ප්‍රඥප්ති අනුව ඊට රැකියා සඳහා බැඳෙන අය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක පර්යේෂණ කළ යුතුය; ග්‍රන්ථකරණයේ යෙදිය යුතුය. එහෙත් මේ කාන්තාව ස්වභාවයෙන් නිර්මාණාත්මකව හෝ බුද්ධිමය ලෙස වෙහෙස වීමට අකැමැතිය. කාල් යුං තම ‘අප්‍රෝචින් දි අන්කොන්ශස්’ කෘතියේ පවසන පරිදි වැඩිහිටි වියේ සිටියද මෙවන් කාන්තාවන් තුළ පසුබෑම, විවෘත නොවීම, තමා ගැන විශ්වාසයක් නැති වීම, අන්‍යයන් තම සතුරන් සේ සිතීම වැනි මානසික ලක්ෂණ නිසා සිහින වීර සංකල්පය හිස ඔසවයි. ඒ නිසාම වීරයන් සිටින්නේ මනුෂ්‍ය සමාජයේ නොව දෙව්ලොව තුළ වැනි මිථ්‍යා අදහස් දරයි. එසේම තමා කිසිදා කාලය සමඟ පැරණි නොවන සදාකාලික තරුණ අයෙකි යන මනෝ මුළාවද මෙවන් පුද්ගලයන් තුළ පවතී. එනිසා ඇය තමාට වඩා වයස අවුරුදු 12ක් පමණ වැඩිමහල් පිරිමි අය හැඳින්වූයේ ‘අන්කල්’ ලෙසිනි. හදිසියේ ඇයගේ සේවා ස්ථානයේ තවත් නිලධාරියකුගේ වයස අවුරුදු 20ක පමණ තරුණ දරුවෙක් තම පියා හමුවීමට පැමිණි ඔහුගේ මිතුරකු හා සුහදව කතා කරන අතරේ ‘ඔයාට මම කියන්නේ අන්කල් කියලනේ… අර අසවල් ආන්ටිත් ඔයාට කියන්නේ අන්කල් කියලා!’ යැයි පැවසීය. ඒ දරුවා ‘අසවල් ආන්ටි’ යනුවෙන් හැඳින්වූයේ මා පෙර සඳහන් කළ කාන්තාවය. ඇයගේ වයස ඒ වන විට අවුරුදු 48ක් පමණ විය. දරුවාගේ පියාගේ සහ ඔහුගේ මිතුරාගේ වයස අවුරුදු 59ක් පමණ විය. ඒ ඇසූ පියාගේ මිතුරා කෝපයට පත් වුවත් එය නොහඟවා සිටියේය. කලකට පසුව ඒ පුද්ගලයා සහ අවුරුදු 48ක එම කාන්තාව අතර අනියම් සබඳකමක් ඇතැයි කසුකුසුවක් පැතිරිණි. එයද ටික කලකින් නැතිව ගියේ ඇගේ පෙම්වතා විසින් හදිසියේ එය නවත්වන ලද බැවිනි. එය එක්තරා පළි ගැනීමක ලකුණු පළ කෙරිණි. රොබට් බ්ලෝච්ගේ චිහජයද නවකතාවේද ඇතැම් ලක්ෂණ මීට සමානය. එහි එන මිස්ට බේට්ස් සිය මියගිය මවගේ මායා මතකය තුළ ජීවත් වේ. කාන්තාවන් අප්‍රිය කරයි. හදිසියේ ඔහුගේ නවාතැනට පැමිණි මේරී නම් කාන්තාව සමඟ ඔහු පවත්වන දෙබසේදී බේට්ස් තමා තවම අවිවාහකයකු බව කියා පාන්නේ තමා මේ වන විටත් තරුණ බවට මායා ඒත්තු ගැනීමක් ව්‍යංග්‍යයෙන් කාන්තාවට අඟවමිනි. එවිට කාන්තාව ඍජුවම ඔහු අවිවාහක සිටීමෙන් ඔහුගේ වයස අමතක වී ඇති බවත් ඔහු වියපත් අයෙකු බවත් හැඟෙවුවාය. ඒ නවකතාවේ කියවෙන ලෙස පසුව බේට්ස් අතින් ඒ කාන්තාව මරණයට පත් වන්නේ ඈ කෙරේ හටගත් වෛරය නිසාම විය යුතුය. මා කලින් දැක්වූ වයස අවුරුදු 48ක පමණ කාන්තාවද චිත්තවේගි හා දෝෂසහගත අක්‍රමිකතා ලක්ෂණ දරන්නියෙකි. මෙවන් අය කාලය සමඟ තමා පැරණි වන බව නොඅදහති. තමා තරුණ දරුවන් සහිත මවක බවත් ඈට අමතක වී තිබීමට ඉඩ ඇත. තමාට වඩා වයස 12ක් වැඩිමහල් පිරිමින්ට ඇය ‘අන්කල්’ යනුවෙන් ව්‍යවහාර කරන්නේ එබැවිනි. නිතරම මේ කාන්තාව පිරිමින් අතින් කාන්තාවන් හිංසනයට පත් වන බව තොල් මතුරමින් සිටින්නේ ඈට සිදු වූ එවන් ප්‍රායෝගික විපතක් නිසා නොවේ; ඈ තුළ ක්‍රියා කරන විපරීත උපකල්පන ඵලයක් ලෙසිනි. ඇය හැඩගැසීමේ අක්‍රමිකතා තත්ත්වයෙන්ද පෙළුණාය.
ඇයගේ මේ තත්ත්වයට සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ ‘සිවිලයිසේෂන් ඇන්ඩ් ඉට්ස් ඩිස්කොන්ටෙන්ට්’ (Civilization and it’s Discontent) හෙවත් ‘ශිෂ්ටාචාරය හා අතෘප්තිය’ නම් ග්‍රන්ථයෙන් මනා නිදර්ශනයක් ලැබේ. ඇය තමාට වඩා මඳක් වැඩිමහල් පිරිමින්ට ‘අන්කල්’ යැයි පවසන්නේ එක්තරා වරදකාරි බවක් සිතේ තබා ගනිමිනි. ඇයගේ යටි සිත එය දනී. එහෙත් උඩු සිතින් ඇය ඊට අසංවේදි වූවාය. ඈ තුළ කලහකාරි බවක්ද වේ. එහෙත් සැබෑ කලහය ඇත්තේ ඇගේම සිතෙහිය. අන් අය තම වෘත්තිය කෙරෙහි කැප වෙද්දී ශාස්ත්‍රීය පර්යේෂණ හා පොත්පත් ලියද්දී ඇය එය නොකරන්නීය. එහි වරදකාරි බව ඈ තුළ කිඳා බැස ඇත. එහෙත් ඊට ප්‍රතිපක්ෂ තත්ත්වයක් ඇය අඟවයි. එනම්: මනස සහ කය වෙහෙසා කැප වෙමින් පර්යේෂණ කරන අය ඇයට වඩා වැඩිහිටි අය යැයි ඈ තුළ මනෝ මුළාවක් වේ. ඇය ඔවුන් තරම් මෝරා නැති බැවින් හා ළාබාල බැවින් ඒ කටයුතු ඇයට අගෝචර යැයි සිතුවාය. මේ තත්ත්වය මනෝ විද්‍යාවේ හඳුන්වන්නේ ‘පෞරුෂ විතැන් වීම’ ලෙසිනි. ඊනියා ස්ත්‍රී විමුක්ති අදහස් දරා සිටිමින් විශාල මානසික ඌනතාවලින් පෙළෙන මෙවන් පුද්ගලයන්ගෙන් රටට හා සමාජයට මෙන්ම ශාස්ත්‍රයටද කිසිදු මෙහෙයක් සිදු නොවේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න
සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය