Home » වෙනදා තිබුණෙ නමක් අද අපට වැඩපිළිවෙළක් තිබෙනවා

වෙනදා තිබුණෙ නමක් අද අපට වැඩපිළිවෙළක් තිබෙනවා

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
චමීර ඇල්ලදෙණිය

පොහොසත් රටකට යන පාර ‘ප්‍රජා ශක්ති’ ද?

‘ප්‍රජා ශක්ති’ රජය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යථාර්ථයක් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩසටහනක් කිවුවොත් නිවැරදියි. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාවත් කිරීම සඳහා වත්මන් රජය ප්‍රධාන වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබෙනවා. ඒවා තමයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන, ඩිජිටල්කරණ වැඩසටහන, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන.

මේ ජාතික මට්ටමේ වැඩසටහන් තුන ක්‍රියාත්මක කිරීමෙන් පුරවැසියා බලාපොරොත්තු වන ලස්සන රට නිර්මාණය කළ හැකියි. රට පොහොසත් වීමට නම් රට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණිය යුතුයි. එහෙත් ආර්ථික වශයෙන් ධනවත් වීම පොහොසත් වීමේ එකම නිර්ණායකය ලෙස රජය සලකන්නේ නෑ.

යම් කිසි රටක ආර්ථිකය වර්ධනය වූ පමණින් පොහොසත් රටක් වන්නේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ සමස්ත පුරවැසියාට සාධාරණව බෙදී යා යුතුයි. එමෙන්ම පුරවැසියා ආර්ථිකයට සක්‍රියව සම්බන්ධ කරගත යුතුයි. එමඟින් දැනට නගර කේන්ද්‍රීයව පවතින ආර්ථිකය ගම දක්වා තල්ලු කිරීමට හැකියි.

අනෙක් කාරණය: ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට නොහැකි පුරවැසියන් පිරිසක් ඉන්නවා. ඒ අය රජය හඳුනාගෙන තිබෙන්නේ රැකවරණය සැලසිය යුතු කණ්ඩායමක් ලෙසයි. මෙන්න මේ කාරණා දෙක ආර්ථික සාධාරණත්වය ලෙස රජය සලකනවා. සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව පුරවැසියාට ලබාදීමේ වැඩසටහන තමයි ‘ප්‍රජා ශක්ති’ සමාජ සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ලෙස හඳුන්වන්නේ.

මීට පෙර පැවති ආණ්ඩු දුප්පත්කම තුරන් කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එම වැඩසටහන්වලින් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන වෙනස් වෙන්නේ කොහොමද?

දරිද්‍රතාව පිළිබඳ කතා කිරීමේදී ප්‍රජා ශක්ති වැඩසටහනින් කතා කරන්නේ බහුමානීය දරිද්‍රතාව පිළිබඳවයි. මීට පෙර පැවති රජයන් ආර්ථික දරිද්‍රතාව පමණක් ඉලක්ක කරගෙන කටයුතු කළා. බහුමානික දරිද්‍රතාව යටතේ පුරවැසියා සෞඛ්‍ය ලෙස, අධ්‍යාපනික ලෙස, ජීවන තත්ත්වයෙන් දිළිඳුද යන්න සලකා බලනවා. සෞඛ්‍ය යහපත් කරගැනීම දරිද්‍රතාවෙන් එළියට එන්න හොඳ කවුළුවක් වනවා. අධ්‍යාපනය යහපත් කරගෙන දරිද්‍රතාවෙන් එළියට එන්න හොඳ කවුළුවක් වනවා. ලංකාවේ දරිද්‍රතාව තුරන් කිරීමට හොඳම දායකත්වය දී තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. අධ්‍යාපනය දුප්පත්කම තිර ලෙස තුරන් කිරීමට දායක ‍ෙනවා. ඒ නිසා බහුමානික දරිද්‍රතාව ඉලක්ක කරගෙන මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ වගේ වැඩසටහනකදි දත්ත සහ තොරතුරු අත්‍යවශ්‍යයි. ඒවා දැනට තිබෙනවද?

පසුගිය ආණ්ඩු දුප්පත්කම තුරන් කරන්න ගෙන ගිය වැඩපිළිවෙළේ දුර්වලතා කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතුරින් එකක් තමයි දත්ත නැති වීම. එතැන තිබුණෙ නමක් විතරයි. ඒ වැඩසටහන්වල මහජන නියෝජනයක් තිබුණේ නෑ; මහජන සහභාගිත්වයක් තිබුණෙ නෑ. පෙර පැවති ආණ්ඩු දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වලදි වෙන් වෙන්වයි කටයුතු කළේ. ප්‍රදේශ වශයෙන් දිළිඳුකම තුරන් කිරීම ඉලක්ක කරගත් වැඩසටහනක් මීට පෙර ක්‍රියාත්මක වෙලා නෑ. සැබෑ අවශ්‍යතා සහිත පුරවැසියන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ගැටලු තිබුණා: රැකවරණය අවශ්‍ය පිරිස ආවරණය වෙලා තිබුණෙ නෑ; සංක්‍රාන්තික දරිද්‍රතාව ගැන මීට පෙර කතා කර නෑ. ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවට දේශපාලන ප්‍රතිපත්තියක් මත තමයි මීට පෙර දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ. මුලින් කිවුවා වගේ දිළිඳුකම සම්බන්ධයෙන් නිවැරදි දත්ත හා තොරතුරු නෑ. මේ දුර්වලතා අප හඳුනාගෙන තිබෙනවා. එනිසා ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන මෙවැනි දුර්වලතා සියල්ල ආමන්ත්‍රණය කරමින් සාර්ථකම දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන බවට පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

පසුගිය ආණ්ඩුවල අසාර්ථක ව්‍යාපෘති ගැන උදාහරණ රැසක් තිබෙනවා. ‘ප්‍රජා ශක්ති’ සමාජ සවිබලගැන්වීම් වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් කියලා කොහොමද විශ්වාස කරන්නේ?

ප්‍රතිපත්ති තීරණ ගැනීමේ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ව්‍යූහාත්මක වෙනසක් අවශ්‍ය බව අප හඳුනාගත්තා. රටේ සියලු ජාතික වැඩසටහන්වල දුප්පත්කම තුරන් කිරීම ප්‍රධාන තැනක් ගත යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති හරහා රටේ නීරෝගි ජනතාවක් ඇති කරගන්න පුළුවන් වුණොත්, ඒ ජනතාව රටේ ආර්ථිකයට දායක කරගැනීමෙන් දුප්පත්කම තුරන් කළ හැකියි. ඒ නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්ව, කෘෂිකර්මාන්ත පිළිබඳ බලන දෘෂ්ටිකෝණය වෙනස් කළ යුතුයි. එනිසා සියලු සංවර්ධන වැඩසටහන්වල ප්‍රමුඛ මාතෘකාව දුප්පත්කම තුරන් කිරීම බවට ප්‍රතිපත්ති තීන්දු ගැනීමට කමිටුවක් පත් කළා. එය ‘ජාතික ප්‍රතිපත්ති කමිටුව’ ලෙස හඳුන්වා දී තිබෙනවා. එහි සභාපති ලෙස ජනාධිපතිවරයා කටයුතු කරනවා. ග්‍රාම සංවර්ධනය ඍජුවම සම්බන්ධ අමාත්‍යාංශ 9ක අමාත්‍යවරුන් එහි අනෙකුත් සාමාජිකයන් බවට පත් වී තිබෙනවා.

ඒ ප්‍රතිපත්ති කමිටුවෙන් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න සහ සියලු වැඩසටහන් අධීක්ෂණය කරන්න ‘ප්‍රජා ශක්ති’ ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. එය ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් කටයුතු කරනවා. ප්‍රතිපත්ති කමිටුව නියෝජනය කරන අමාත්‍යාංශ නවයේ ලේකම්වරු, පළාත් නවයේ ලේකම්වරු මේ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකත්වය දරනවා. ජනාධිපති ලේකම්වරයාත් මෙහි සාමාජිකයෙක් වෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු මීට පෙර තිබුණා. එහෙත් සංවර්ධන වැඩකටයුතු ග්‍රාමීය මට්ටමින් අධීක්ෂණයට ව්‍යූහයක් තිබුණේ නැහැ. මේ වැඩසටහන මඟින් ඒ අඩුව පුරවමින් සෑම ග්‍රාම සේවා වසමකටම ප්‍රජා සංවර්ධන සභාවක් පිහිටුවනවා.

මේ වැඩසටහන මඟින් ගම සංවර්ධනය කරන්න නව ප්‍රවේශයක් හදාගන්නේ කොහොමද? සරලව ඇහුවොත්, මේ වන විටත් විවිධ විවේචනවලට ලක් වී තිබෙන දුප්පත්කම හෝ රැකවරණයක් රහිත පුද්ගල‍යන් තෝරාගැනීමේ ක්‍රියාවලිය නිවැරදි කරන්නේ කොහොමද?

ඇත්තටම ගමක් සවිබලගැන්වීමට හැකි පිරිස් මේ සභාවට දායක කරගත යුතුයි. පාලන තන්ත්‍රය එක්ක මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ගමක් සංවර්ධනය කිරීමට නායකත්වය දිය හැකි දේශපාලනඥයන් මේ ජාලය තුළට අරගෙන සමාජ සවිබලගැන්වීමේ ක්‍රියාවලියේදී පුරවැසියා වගවීම හා වගකීම යන ක්‍රියාවලියට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම මේ ව්‍යූහය තවත් සාම්ප්‍රදායික ගමේ සමිතියක් බවට පත් වීම වළක්වන්න, අප එම ප්‍රදේශයේ සිටින ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කර්මාන්තකරුවන් මේ වැඩපිළිවෙළට ජාලගත කිරීමට බලාපොරොත්තු වනවා. එවැනි පිරිස් නම් කිරීමෙන්ම ප්‍රජා සංවර්ධන සභාව තුළට රැගෙන ඒමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම, මේ වෙනුවෙන් දායකවෙන්න කැමති පිරිසට ඒ අය සඳහා මාර්ගගත වේදිකාවක් සකස් කරමින් විනිවිදභාවයක් සහිතව සමාජ සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක කිරීමට අපේක්ෂා කරනවා.

සංවර්ධන ක්‍රියාවලියේදී රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව ඉතා වැදගත්. ගම තුළ පිහිටුවනු ලබන ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම්වරයා එහෙම නැත්නම් කැඳවුම්කරු විදිහට මේ වන විටත් රාජ්‍ය සේවයේ කටයුතු කරන සංවර්ධන නිලධාරීන් අතරින් නිලධරයකු පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ පිරිස නව බඳවාගැනීම් නොවන නිසාම රජයට අතිරේක වැය බරක් දරන්න වන්නේ නෑ. ඒ වගේම මේ වන විටත් ඌන සේවා නියුක්තියෙන් සිටින බවට මත පළ වන සංවර්ධන නිලධාරීන්ට ගමේ සංවර්ධනය වෙනුවෙන් ඉහළ දායකත්වයක් දෙන්න මෙමඟින් හැකි වනවා. ඒ එක්කම ගමේ ඉන්න ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර හෝ පවුල් සෞඛ්‍ය නිලධාරී වැනි නිලධාරීන් මේ සභාවේ නිල සාමාජිකත්වයට පත් වනවා.

අවසාන වශයෙන් කියන්න, ප්‍රජා ශක්ති වැඩසටහන ප්‍රායෝගිකද? එහෙම අහන්නේ ප්‍රායෝගික නොවන මෙවැනි වැඩසටහන් ගැන ජනතාවට අත්දැකීම් සිය ගණනක් තිබෙන නිසයි…

ජාතික උපායමාර්ගික සැලසුමක් යටතේ මේ වැඩසටහන ජනගත කිරීමට සැලසුම් කර තිබෙනවා. එය ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් නිරීක්ෂණයට භාජනය වනවා; ඉන් පසුව දිස්ත්‍රික් මට්ටමින් නිරීක්ෂණය වනවා; ඉන් පසුව අමාත්‍යාංශ මට්ටමෙන් නිරීක්ෂණය වනවා; ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය මඟින් තවදුරටත් නිරීක්ෂණය වනවා. එනිසා මේ වැඩසටහන ප්‍රායෝගිකව සිදු කළ හැකි යන්ත්‍රණයක් ගොඩනඟාගෙන තිබෙනවා.

මේ වැඩසටහනේදී දේශපාලනඥයා නිලධාරියා නිරීක්ෂණය කරනවා. නිලධාරියා දේශපාලනඥයාගේ පරීක්ෂණයට ලක් වනවා. ද්විත්ව නිරීක්ෂණයක් යටතේ මහජනතාවගේ දිළිඳුකම තුරන් කිරීමට මෙමඟින් හැකි වනවා.

මහජන සහාය ගැනීමට මාර්ගගත ක්‍රමය හරහා ප්‍රවේශයක් සකස් කර තිබෙනවා. පුරවැසි සබඳතා නමින් මේ වේදිකාවට සවිබල ගැන්වීමේ වැඩසටහන් එක ව්‍යූහයක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වනවා. රජයේ සංවිධානයක් රාජ්‍ය නොවන සංවිධානයක් හෝ පුද්ගලයකු සමාජ සවිබල ගැන්වීම සඳහා ඉදිරිපත් වනවා නම් ප්‍රජාශක්ති සංවර්ධන සභාව ඉදිරිපත් කරන ව්‍යාපෘති සිදු කළ හැකියි. එහිදී ඒ පිළිබඳ විනිවිදභාවයක් තිබෙනවා. මේ ක්‍රියාවලිය හරහා තනි පෞද්ගලික ක්‍රියාදාමයක් පවා නිරීක්ෂණය වනවා. ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා ගම සංවර්ධනය කිරීමේ තිරසර යෝධ වැඩපිළිවෙළ ප්‍රජා ශක්ති ලෙස පුරවැසියාට ලස්සන ජීවිතයක් ඇති කිරීම අපගේ අපේක්ෂාවයි.

You may also like

Leave a Comment