Home » ඉතිහාස විෂයයට අපමණ අගයක් එක් කළ ඉතිහාසඥවරියකගේ නික්ම යෑම

ඉතිහාස විෂයයට අපමණ අගයක් එක් කළ ඉතිහාසඥවරියකගේ නික්ම යෑම

සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම දිවිසැරියෙන් සමු ගැනීම නිමිත්තෙනි

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
සුමුදු චතුරාණී ජයවර්ධන

ලපිටමඩ නාගස්තැන්න බෞද්ධ මිශ්‍ර පාසලට චීත්ත ගවුමක් ඇඳගෙන ගිය ඈ, පාසල නිමවා කෙළින්ම යන්නේ හේනටය. අම්මාත් තාත්තාත් දවස පුරා හේනේ වැඩ කරන්නේ දරුවන් දහදෙනකුගේ කුස පුරවන්නටය. හැතැප්ම දෙකකටත් වඩා අවු කූටකේ කඳු පල්ලම් නියර උඩින් පයින්ම ආ ඈ වෙහෙස මඳකුදු නොපෙන්වන්නේ, අම්මාගේ දහඩිය වැකි මුහුණේ තෙහෙට්ටුව හදවතටම දැනෙන නිසාය. සපත්තු තබා සෙරෙප්පුවත් නොදුටු කකුල් කැපී, පැළී තිබුණ ද ඇයටවත් ඇයගේ සහෝදර සහෝදරියන්ටවත් ඒවා ගණනක්වත් නැත. පාසල් නොගිය අම්මාත් තාත්තාත් හේනේ කුඹුරේ නැහුණේ දරුවන්ට අනාගතයක් හදන්නය. ඈ ඒ ගැන හොඳින්ම දැන සිටියාය.

පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වන ඇයට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට ලැබෙයි. එතැනින් ඇරඹෙන ඇයගේ ජීවිතයේ මහාචාර්ය ධුරය දක්වා පැමිණෙන්නට වරම් විවර වෙන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමය හේතුවෙනි. සිය ජීවිත කාලය පුරා ඇය ඒ වෙනුවෙන් කෘතඥ වූවාය. මහාචාර්ය මාලනී කරුණානායක, පසුකාලීනව අප සැම දන්නා මහාචාර්ය මාලනී ඇඳගම නම් ගුරුවරිය, ලේඛිකාව, පර්යේෂිකාව, ඉතිහාසඥවරිය බිහි වන්නේ එපරිද්දෙනි. අසූපස්වැනි වියට එළඹෙද්දී දිවිසැරියට සමු දුන් ඈ විසල් ලිවිසැරියක් දැයට දායාද කළාය. එහි අක්මුල් කොතරම් තදට පොළොව බදාගෙන සිටියේද යත්: ඇයගේ වියෝවෙන් හැදෙන හිදැස පුරවන්නට ආදේශක පිළිබඳ අපට නිනවුවක් නැත.

ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලබා, යටියන්තොට සාන්ත ගේබ්‍රියෙල් පාසලේ ගුරු තනතුරකින් ඈ වෘත්තීය ජීවිතයට එළැඹෙන්නීය. වැඩි කාලයක් පාසල් ගුරුවරියකව සිටීමට ඇයට දෛවය ඉඩ දෙන්නේ නැත. 1974 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයට සහය කථිකාචාර්යවරියක සේ බැඳෙන ඈ, අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වේ. 1995 වසරේදී මහාචාර්ය ධුරයට පත් වන ඈ 2006දී සේවයෙන් විශ්‍රාම ගන්නා විට, ඇයට සම්මානිත මහාචාර්ය ධුරය පිරිනමන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙවරක් සිතන්නේ නැත. ජීවිතයත්, වෘත්තියත් එකක් සේ සලකා ඉතිහාස විෂයය වෙනුවෙන් ජීවිතය කැප කළ ඈ ඉතිහාසය විසින්ම අමරණීය කරනු ලබන්නේ එලෙසිනි.

මහාවංශ සම්පාදක මණ්ඩලයේ හිටපු ලේකම්වරියක වූ ඇය දිවිසැරිය නිම කරන විට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කරමින් සිටියාය. බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකාවක ද වූ මහාචාර්ය ඇඳගම රූපවාහිනියෙන් මහාවංශය කියා දීමට ද දායක වූවාය. එමෙන්ම ඇය, නූතන මහාවංශය 6 වන වෙළුමේ 1 හා 2 කොටස් සම්පාදනයටද දායක වූවාය. ඉතිහාස විෂයය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇප කැප වූ මහාචාර්ය මාලනී ඇඳගම ‘ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය’, ‘ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය’ ඇතුළු ග්‍රන්ථ රැසක් පාඨක ජනතාවට දායාද කළාය.

ඉතිහාස විෂයයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන සමයක ඈ එය පාසල් හා විශ්වවිද්‍යාලයවල ප්‍රමුඛ විෂයයක් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ කොන්දේසි විරහිතවය. කාන්තාවක ලෙස අභිමානයෙන් හා කැප වීමෙන් ඈ සිය වෘත්තිය වෙනුවෙන් පෙනී සිටියේ නව පරපුරක් සෑදීමේ ආධ්‍යාශය ද දරමිනි. ජීවිතයේ බොහෝ කඩයිම් පසු කර ආ ගමනේ ඈ සතුට වින්දේ වැඩ කිරීමෙනි; රැයක් දවාලක් නැතිව කැප වීමෙනි. ජීවිතයේ බොහෝ දුෂ්කර කාල ගෙවූ ඈ ඒ දුෂ්කරබවෙන්ම ජීවිතය ලද්දීය; තව බොහෝ දෙනකුට ජීවිතය දුන්නීය.

ග්‍රාමීය මට්ටමේ ශක්‍යතා හා බලය ඈ සැම විටම විශ්වාස කළේ ස්වකීය ළමා කාලයේ අත්දැකීම් පිළිබඳ සවිඥානකත්වය නිසාය. ඈ ගමෙහි බලය පිළිබඳ දැනුම්වත් ය; ඒ ජනතාවගේ එකමුතුව හා ශක්තිය පිළිබඳ දැනුම්වත් ය. එනිසාම ගමට බලය ගෙන යෑම ගැන අධ්‍යයනය කළ යුතු හෙයින්ම ඈ ඒ ගැන පර්යේෂණයක් කරන්නීය. ‘ශ්‍රී ලංකාවේ ගම් සභා ක්‍රමයේ ඉතිහාසය’ කෘතිය එහි ප්‍රතිඵලයයි.

මහාචාර්ය මාලනී ඇඳගම තමා කරන කුමන හෝ කාර්යයක් ඉතා හොඳින්ම ඉටු කිරීමට නිරන්තරයෙන් උත්සුක වූවාය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය සාමාජිකාවක වූ ඈ ගැන මට ද අත්දැකීම් තිබේ. රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකාවක ලෙස සිටියදී මම, ඇය සමඟ වසර කිහිපයක් විනිශ්චය කටයුතු හා සම්බන්ධ වීමි. ශාස්ත්‍රීය පර්යේෂණ අංශයේ අවසන් විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස ඈ තමා අතට පත් වන ග්‍රන්ථ සම්බන්ධයෙන් විධිමත්, තර්කානුකූල හා ශාස්ත්‍රීය වාර්තාවක් සම්පාදනය කරන්නේ එකී කතුවරුන්ගේ වෙහෙසකර ශාස්ත්‍රීය වෑයමට උපරිම සාධාරණය ඉටු කරමිනි. එහිදී ඈ ඒ කෘති සම්බන්ධයෙන් සිය මතවාද ගෙනහැර දක්වන්නේ බොහෝ යාවත්කාලීන ප්‍රවේශයකිනි; සකරුණුවය. නව්‍ය මතවාද ඉදිරිපත් කරමින් ඈ විවිධ ප්‍රවේශ ඔස්සේ එකී කෘති සඳහා තම මතය ඉදිරිපත් කරන්නී, ශාස්ත්‍රීය ආස්ථානය පිළිබඳ මැනවින් සවිඥානකව හා කතුවරුන්ගේ වෑයමට උපරිම සාධාරණය ඉෂ්ට කරමිනි. ඈ අත ඒ පර්යේෂකයන්ට ලැබෙන අමිල වටිනාකම ගැන රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකයන් බොහෝ ගෞරවයෙන් යුතුව සිහිපත් කළ අවස්ථා අනන්තය.

සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම ශ්‍රී ලංකාවේ ඉතිහාස විෂයය සම්බන්ධයෙන් තීරණාත්මක මැදිහත් වීමක් කළ මහාචාර්යවරියකි. ඇය තමන්ගෙන් පසු පරම්පරාව ගොඩනැඟීමේලා නිස්සරණාධ්‍යාශයෙන් යුතුව කැප වූ ගුරුවරියකි. ඇයගෙන් පසු පරම්පරාව ඈ කෙරෙහි දක්වන ආදරය මුසු ගෞරවය ඊට මනා නිදසුනකි. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය දිල්මා කොග්ගලගේ සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම කළ සේවාව ගැන ගෞරවපූර්වකව සිහිපත් කළේ මෙසේය:

“පනස් හයෙන් මෙහාට 70-80 දශක දක්වා ලංකාවේ ප්‍රාමාණික ඉතිහාසඥයන් කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමෙන් තව දෙතුන් දෙනයි ජීවතුන් අතර ඉන්නෙ. ඒ අතරෙන් ප්‍රමුඛම හා ජ්‍යෙෂ්ඨම කෙනෙක් තමයි මහාචාර්ය මාලනී ඇඳගම කියන්නෙ. ඇය කාන්තාවක විදියට හරිම සටන්කාමි සහ ආත්ම විශ්වාසයෙන් කටයුතු කළ කෙනෙක්. ඒ වගේම තමා විශ්වාස කරන දේ වෙනුවෙන් ඈ හැම තිස්සෙම පෙනී සිටියා.    

“අපේ තියෙනවා ශ්‍රී ලංකා ඉතිහාස සංගමය කියලා එකක්. ඒ සංගමයේ ඇය ආරම්භක හා පුරෝගාමි සාමාජිකාවක්. ඒ වගේම ඇය ඒ සංගමයේ සභාපතිත්වයත් දැරුවා. ලංකාවේ පුරෝගාමි ඉතිහාසඥයන් ඉතිහාසය ලංකාවේ හර විෂයයක් බවට පත් කරගැනීමට මේ සංගමය ඔස්සේ දීර්ඝකාලීන සටනක් ගෙන ගියා. ඒ වගේම ශාරීරිකව ඉතා දුර්වල වෙනකම්ම ඈ පාසල් විෂයධාරාව ඇතුළත ඉතිහාසය හර විෂයයක් බවට පත් කරගැනීමට ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදි ආයතන සමඟ සම්බන්ධ වෙමින් නිරන්තර අරගලයක යෙදුණා.‍ ඇය ඇතුළු පුරෝගාමීන් ඉල්ලා සිටියේ ‘ඉතිහාස විෂය ඉවත් කරන්න එපා, විෂයයේ තියෙන අඩුපාඩු සහ ඒකෙ අන්තර්ගතය වඩාත් හොඳ සහ ගැළපෙන විදියට වෙනස් කරගන්න,’ කියලයි.

“ඉතිහාස ක්ෂේත්‍රයේ ඉන්න කාන්තාවක හැටියට මා ඇය දකින්නේ අනුගමනය කළ යුතු ආදර්ශයක් විදියට. අප ඇය ගැන ආඩම්බරයි. ඒ වගේම ඇයට ලොකු වුවමනාවක් තිබුණා ඇයගෙන් පස්සෙ පරම්පරාවෙන් එන ඉතිහාසඥවරියන් හැටියට අප ඉදිරියට ගන්න. ඇයට මවුවත් ගුණයක් තිබුණා; අපත් සමඟ හරිම සුහදව වැඩ කළා. ඇය හරිම ප්‍රසන්න සහ ශක්තිමත් චරිතයක්.

“ඒ වගේම ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් තමන් බිහි වීම ගැන ඇය බොහෝ සේ ආඩම්බර වුණා. ජාතික ලේඛනාගාරය ඇතුළු මූලාශ්‍රය රැඳුණු බොහෝ තැන් ඇය අනලස්ව පාවිච්චි කළා. වෙහෙසක් නොබලා ශාස්ත්‍රීය පර්යේෂණවල ව්‍යාවෘත වුණා. මම ඇයට බෙහෙවින්ම ගරු කිරීමට එක් හේතුවක් තමයි මේ විෂයය රැක ගන්න ඇය අඛණ්ඩව ගෙන ගිය සටන. මීට මාස දෙකකට පමණ කලින් පවා ඇය ඒ ගැන තමයි කතා කළේ. එක පැත්තකින් කාන්තාවක විදියටත්, තව පැත්තකින් ඉතිහාස විෂයයයේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ඉන්න කෙනකු විදියටත්, මේ ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනකු විදියටත් කියන තුන් පැත්තෙන්ම මා ඇය ගැන ලොකු ගෞරවයකින් හා කෘතඥතාවකින් තමයි කතා කරන්නේ.

“ඇය හදපු පාරේ තමයි අප මේ යන්නෙ. සමහර වෙලාවට ඇය සහ අප ඉතිහාසය සම්බන්ධයෙන් දරපු මතවල යම් වෙනස්කම් තිබුණා. හැබැයි ඇය අප ප්‍රතික්ෂේප කළේ නෑ; අප සමඟ සාකච්ඡා කළා; තර්ක කළා. අප විරුද්ධ මතයක් දැරුවා කියලා කවදාවත් අප කපලා දැම්මේ නෑ. ඇය ස්ත්‍රීවාදිනියක විදියට පෙනී සිටියෙත් නෑ. හැබැයි ඇය ඉතා ශක්තිමත් කාන්තාවක්. ඇය නිසා තමයි ඉතිහාසය විෂයය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙ පුරෝගාමී විෂය පද්ධතියක් ලෙස පවතින්නේ. මේ විෂයය ආර්ථික ප්‍රතිලාභ ඇති විෂය පද්ධතියක් නෙවෙයි. එහෙත් ඇය දෙපයින් නැඟිට ගන්න පුළුවන්කම තියෙන තාක් කල් ඒ වෙනුවෙන් කැප වුණා. අප වෙනම විශ්වවිද්‍යාලවල හිටිය අය වුණාට අප ඇයට අපේ ගුරුවරියක විදියට සැලකුම් කරනවා සහ අපේ ගෞරවය ඉතා භක්තියෙන් ඇයට පුදනවා.

“මීට සති එකහමාරකට කලින් මා ඇය බලන්න ගියා. එතකොට ඇය ටිකක් දුර්වලයි. ඒත් අර හිනාව, සැහැල්ලු බව, ජවය වගේම ප්‍රසන්නකම එහෙමම තිබුණා. පණ්ඩුල සර් නැති වීමේ වේදනාවත් ඇයට තිබුණා. ඇය අපට කියා තිබෙනවා ‘දැන් මට පාළුයි…’ කියලා. ලංකාවේ ඉතිහාසය හදාරන ප්‍රජාව ඇයට ඇත්තටම ණයගැතියි.”

මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය මාලනී ඇඳගම එහිදී කළ සේවාව පිළිබඳ බොහෝ පාර්ශ්ව නිසියාකාරයෙන් නොදන්නා බව සත්‍යයකි. පුස්කොළ යුගයෙන් කඩදාසිවල ලේඛනගත යුගයට පිවිසෙන මහාවංශයේ ක්‍රි.ව. 1815 සිට 1935 දක්වා වෙළුම ලේඛනගත කරනු ලැබ ඇත්තේ යගිරල පඤ්ඤානන්ද හිමියන් විසිනි. ක්‍රි.ව. 1936-1956 කොටස ආචාර්ය නන්දදේව විජේසේකර ඇතුළු සම්පාදක මණ්ඩලයක් විසින් ද, ක්‍රි.ව. 1956-1978 දක්වා වෙළුම බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහනාහිමියන් විසින් ද සම්පාදනය කර තිබේ. එහි නව කොටස 1978-2010 දක්වා කොටස මහාචාර්ය මාලනී ඇඳගම ඇතුළු මණ්ඩලය විසින් සම්පාදනය කරනු ලැබ ඇත. ඇයගේ ශාස්ත්‍රීය සේවාව ඇතුළත එකී භාරධුර කාර්යයේ ඇය නිමග්න වූ ආකාරය ගැන මහාවංශ සම්පාදක මණ්ඩලයේ සාමාජික, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පද්මසිරි කන්නන්ගර අප හා දීර්ඝව විස්තර කළේ ඇයගේ කැපවීම පිළිබඳ ගෞරවපූර්වකවය:

“මහාචාර්ය මාලනී ඇඳගම ගුරුතුමිය කියන්නේ තමන්ගෙ ජීවිතයම ඉතිහාසය විෂයයයේ උන්නතිය වෙනුවෙන් කැප කළ කෙනෙක් කියලා කිවුවොත් නිවැරදියි. ඇයගේ ගමනට ඉඩ ලැබුණෙ නිදහස් අධ්‍යාපනය නිසාය කියන හැඟීම ඇයට බෙහෙවින් තිබුණා. නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇය දිවිහිමියෙන්ම ආදරය කළේ, එය නොතිබෙන්න ඈත ගමක ඉඳන් ඇයට මේ ගමන එන්න ලැබෙන්නෙ නෑ කියලා ඇය දැඩිව විශ්වාස කළ නිසා.

“ඇය නගරයේ ජීවත් වුණාට ගමට, ගැමියන්ට හරි ආදරෙයි. ඒකයි එතුමිය පර්යේෂණයක් කළේ ගම්සභාව ගැන. ශ්‍රී ලංකාවේ ගම් සභාවේ ඉතිහාසය කවුරුත් හොයලා තිබුණෙ නෑ. ‘ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය’ කියන පොත ඒ පර්යේෂණයේ ප්‍රතිඵලයක්. ඒ පොතට 1997දී හොඳම පර්යේෂණ කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණා. ඉන්දියාවෙ අපේ ගම් සභා වගේ එකක් තියෙනවා ‘පංචායත්’ කියලා. ඒ එක්කම ඊට සමාන්තරව ඇය ඒ ගැන වෙනම පර්යේෂණයක් කළා. ඇය බලය බෙදීම කියන සංකල්පය ඔස්සේ ගම් සභා ක්‍රමය යටතේ ගම දියුණු කරන්න පුළුවන්ද කියන දේ ගැන අධ්‍යයනය කළා.

‍“අනෙක් කාරණය තමයි ඇය ඉතිහාසය විෂය වෙනුවෙන් සෑම විටම පෙනී සිටියා. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙවීම් කාමරයේ ඇය මූලාශ්‍රය සොයමින් දවස් ගණන් ගත කළා; ඊළඟට විශ්වවිද්‍යාලයට ඇවිත් දේශන කරනවා; පශ්චාත් උපාධි නිබන්ධන බලනවා; ජාතික අධ්‍යාපන ආයතනයට ගිහින් උසස්පෙළ විෂය නිර්දේශ, ගුරු අත්පොත්, පෙළපොත් හදනවා. මේ මෑතක, යන්න එන්න බැරි වෙනකම් ඇය විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් කළා.

“විශ්වවිද්‍යාලයෙන් නික්ම ගියාට පස්සෙ ඇය මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් වශයෙන් කටයුතු කළා. එතුමිය තමයි සංස්කෘතික අමාත්‍යාංශයට මහාවංශයේ කෙරෙන්න ඕනෑ වැඩ ගැනත්, එහි වැදගත්කමත් පැහැදිලි කළේ. ඊට පස්සෙ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ මහාවංශ සම්පාදක මණ්ඩලයක් පත් කරලා, වෙනම කාර්යාලයක් පිහිටුවා ගත්තා. ලෝකයේ තමන්ගේ ඉතිහාසය එක පොතක ලියවුණු රටවල් අල්පයයි තියෙන්නෙ. විද්වතුන් මේ වෙනුවෙන් එකතු කරලා පොදුවේ වැඩ කරන තැනක් හැදුවෙ ඇය. ඒ අනුව ඇය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා දැනුම තිබෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, උගතුන් සහ භික්ෂූන් වහන්සේ එකතු කරගෙන මහාවංශයේ ලියපු නැති කොටස් නැවත ලියන්න පටන් ගත්තා; ඒ වගේම ලියලා තියෙන කොටස්වල ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා නැති කොටස් ඉංග්‍රීසියට පරිවර්තනය කළා; ඊළඟට මහාවංශය දෙමළට පරිවර්තනය කිරීමටත් කටයුතු කළා. ඒ අනුව මහාවංශයේ හය වැනි වෙළුම වශයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය ආරම්භයේ සිට යුද්ධය අවසාන වන තෙක් ඒ කියන්නෙ 2010 වන තෙක් වෙළුමක් ලිවුවා; එය කාණ්ඩ දෙකක් හැටියට මුද්‍රණයෙන් පිට කළා. ඒක ඇයගෙන් වුණු විශිෂ්ට සේවයක්.

“ඒ විතරක් නොවෙයි; ඇය අතිවිශාල වැදගත්කමකින් යුතු දෙයක් කරන්නත් පාර කැපුවා. මහාවංශය පාලියෙන්නෙ ලියවිලා තියෙන්නෙ. ඒක පාලියෙන් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. සිංහල පරිවර්තන කිහිපයක් තිබෙනවා. ඊළඟට ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. විශේෂයෙන් විල්හෙල්ම් ගයිගර්ගෙ පරිවර්තනය සම්පූර්ණ පරිවර්තනයක්. දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්න බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි මහාවංශය දෙමළ භාෂාවට මේ වන තෙක් පරිවර්තනය වෙලා නෑ. මහාචාර්ය ඇඳගම මේක තේරුම් අරන්, දෙමළ විතරක් දන්න සාමාන්‍ය ජනතාවට කියවන්න පුළුවන් විදියට මහාවංශය දෙමළට පරිවර්තනය කරන ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඇත්තටම මේක ලේසි දෙයක් නොවෙයි. මහාවංශය දෙමළට පරිවර්තනය කරන කෙනාට දෙමළ භාෂාව පරතෙරට පුළුවන් වෙන්න ඕනෑ; ඊළඟට ගයිගර්ගෙ ඉංග්‍රීසි පරිවර්තනය කියවන්න පුළුවන් වෙන්න ඕනෑ; පාලි මහාවංශය කියවන්න පාලි පුළුවන් වෙන්න ඕනෑ; සිංහල පරිවර්තන කිහිපය කියවන්න සිංහල පුළුවන් වෙන්න ඕනෑ. එතකොට මහාවංශය දෙමළට පරිවර්තනය කරන කෙනාට පාලි, සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා හතරම පුළුවන් වෙන්න ඕනෑ. එහෙම අය ඉතා අඩුයි. ඒ හැකියාව තිබෙන විද්වතුන් දෙදෙනකු බොහොම අමාරුවෙන් හොයාගෙන, ඇය එ් වැඩේටත් අතගැහුවා. දැන් ඒ් කටයුත්ත ටිකක් කරලා තියෙන්නෙ. ඉංග්‍රීසියට පරිවර්තනය නොකර තිබුණු කොටසක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දැන් මුද්‍රණයට සූදානම් කර තිබෙනවා. මේ වගේ ගිණිය, මිනිය නොහැකි විශාල වැඩ කොටසක් ඇය කළා. ඒ නිසා ඇයගේ මේ සමුගැන්ම පිරවිය නොහැකි අඩුවක් බව කිව යුතුමයි.”

මහාචාර්ය දිල්මා කොග්ගලගේ සහ මහාචාර්ය පද්මසිරි කන්නන්ගර සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම පිළිබඳ කළ විවරණ ඇය ගැන ප්‍රාමාණික අවබෝධයක් ලබා ගැනීමට මාවතකි. ඇය අප මේ කියූ බොහෝ කාර්යයන්ට ඔබ්බෙන් තව බොහෝ දෑ ඉටු කර ඇත. ඒවා ලේඛනගත වී ද නැත. එහෙත් නිහඬ සේවයකින් පසු නිහඬවම නික්ම ගිය ඇයගේ අමරණීය සේවාව විසින් ඈ අමරණීයත්වයට පත් කරනු ඇත.

මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය පණ්ඩුල ඇඳගම ඇයගේ ජීවිතයට වෙසෙස් ආලෝකයක් වන්නට ඇතැයි සිතේ. ඈ සිය ක්ෂේත්‍රයේ බොහෝ දෑ දුටුවේ වෙනස් ඇසකිනි. වෙනස් මානයකිනි. ඒ මානයේ ආලෝකයට මානව වංශ කථාවේ විවිධ පැති සොයා ගිය සිය සැමියාගේ ආභාසයද එක් වන්නට ඇත. ඉතිහාසය දෙස මහත් ආදරයෙන් බැලූ ඇයට තම රට, ජාතිය ගැන මහත් කැක්කුමක් තිබිණි. ඇයගේ මුවග නිරන්තරයෙන් නැඟුණු මඳ සිනාවත්, හාස්‍යය මුසු කතාබහත් ඇයගේ අව්‍යාජත්වයේ ලකුණු විය. වැඩ කිරීම ජීවිතය සේ සැලකූ ඇය, දිවිසැරිය නිම කිරීමට මාස දෙකකට පෙර පවා අධ්‍යයන කටයුතුවල නිරත වූවාය; සිය ශිෂ්‍යයන් සමඟ ශාස්ත්‍රීය කරුණු පිළිබඳ සාකච්ඡා කළාය; සුපසන්ව සියල්ලට මුහුණ දුන්නාය. ඒ ප්‍රභාස්වරය ඈ කළ අසීමිත වැඩ කන්දරාවේ ආලෝකය නොවේද? ජීවත් වුවද මියගිය සේ දැනෙන්නන් අතර නික්ම ගියද අප අතර ඇය සිටිනවා සේ දැනෙන්නේ ඒ ආලෝකය නිසාය.

You may also like

Leave a Comment