මියගිය දරුවාට පණ දෙන්නට කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගිය කිසාගෝතමිය සිහිපත් වේ. ඊට නොදෙවෙනි හද වේදනාවෙන් අවුළුවන කතාවක් ඇසෙන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයෙනි. ළය දෙකඩ වන තරමේ වේදනාවකින් හදවත රිදුම් දෙයි. මවු සෙනෙහසට මිනිස් හෝ සත්ත්ව කියා වර්ග කිරීමක් නැත. සෙනෙහස සෙනෙහසමය. සෙනෙහසේ සීමා බිඳලු දරු සෙනෙහසේ මහිමය කියාපාන වීඩියෝවක් මේ වන විට මුළු මහත් ලෝකයාගේම අවධානයට නතු වී හමාරය. දරු සෙනෙහස යනු මානව ලෝකයට පමණක් පොදු වූ සීමාන්තික බැඳීමක් නොව එය සතුන් තුළ ද අඩු වැඩි වශයෙන් මිනිය නොහැකි මානව දයාවෙන් පිරි පොදු ධර්මතාවක් බව කියන්නට මේ වීඩියෝව පමණක් වුව ප්‍රමාණවත්ය.
තම කුසින් වැදූ දරුවෙකු උපතේදීම මියයෑම තරම් නොදෙවෙනු වූ වේදනාවක් මවකට තවත් උරුම වන්නේ නැත.
අහිමි දරු සෙනෙහෙස හමුවේ දෙතනේ කිරි එරෙද්දි ඒ වේදනාව දරා ගනිමින් කාලයත් සමඟ වේදනාව තුනී කරන්නට මවකට හැකිනම් ඒ ආශ්චර්යයක්ම විය යුතුය. මන්ද දරු සෙනෙහසේ වියෝව සදාකාලික වේදනාවක් වන හෙයිනි. මේ වේදනාවට අර්ථකථන හෝ පැහැදිලි කිරීම් නැත.
බුදුන් දවස කිසාගෝතමිය කිසිවකු නොමළ ගෙයක් ගෙයක් පාසා පණ ගිය දරුවාට පණ දෙන්නට රැගෙන ගියාක් මෙන් මේ මව ද සිය දරු සෙනෙහසේ වේදනාවෙන් මියගිය පැටවාට පණ දෙන්නට මෙන් දින කිහිපයක් පුරාවට සැතපුම් ගණනාවක් සිය පැටියාගේ මළ සිරුර ඔසවා ගෙන ගියාය. මුළු ලොවක් කම්පා කළ මේ වීඩියෝව මේ වන විට ලොව හිමි අහිමි සත්‍යතාව පසක් කර අවසන්ය. එපමණක් නොව මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද පොදු වූ උතුම් දාරක ප්‍රේමයේ අගය, දරු සෙනෙහසේ වියෝව කියා දී ඇත්තේය.
වන සතුන් තුළ ඇති දරු සෙනෙහස මනාව විදහාපාන බුද්ධිමත් හා සාමාජීය වශයෙන් ඉහළ සතුන් පිරිසක් වන්නේ අලි ඇතුන්ය. ශක්තිමත් පවුල් බැඳීම් සහිත මනා සංවේදීතාවකින් යුතු අලි ඇතුන් අතර ඇත්තේ නොබිඳිය හැකි අපූරු සංවේදි හැසිරීම්ය. එක ඇතින්නකට පැටියකු බිහි වෙද්දි අනිකුත් ඇතින්නියන්ට කිරි එරෙන්නේ ඔවුනතර ඇති සංවේදී ගුණාංගය මනාව විදහා පාමිනි. ලොවක් සංවේදි කළ සිය දහස් ගණනින් ලොවක් සලිත කළ මේ වීඩියෝව ලොවක් අතරට යන්නේ අපේ පුංචි රටෙනි. මානව දයාවෙන් පිරිපුන් මිනිසුන් පිරිසක් ජීවත් වෙන රටක් ලෙස සුප්‍රසිද්ධ වූ ලක් රටේ සතුන් තුළ ද පැවැති මේ මාතෘ ස්නේහයේ තරම ලොවට කියා පාන්නට පමණක් නොව ලංකාවේ ලඳු කැලෑ භූමියක් තුළින් අපූරු පණිවිඩයක් කියන්නට ලෝකයට ගිය මේ අපූරු කතාවෙන් කියැවෙන්නේ අලි මිනිස් ගැටුමට, අලින්ගේ වාසභූමි කණ්ඩනය වීමට, අලි මරණ වැළැක්වීමට මානුෂික මුහුණුවරක් දිය යුතු කතාව නොවේද?
පසුගියදා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදි බොහෝ දෙනාගේ කැමරාවන්ට හසු වූ මේ දසුන මේ වන විට නොබැලු කෙනෙක් නොමැති තරම්ය. උපතේදීම මියගිය අලි පැටියාගේ සිරුර රැගෙන කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට කිලෝමීටර් ගණනාවක් මවු කෙණෙර රැගෙන යන්නේ සිය පැටියා අහිමි වීමේ දරාගත නොහැකි වේදනාවෙනි.
සිය පැටියා මියගිය පසු පැය ගණන්, දින ගණන් ඒ අසල රැඳී සිටිමින් , ස්පර්ශ කරමින් නැවත සිය පැටියාට පණ පෙවීමට උත්සාහ කිරීමේ චේතනාවෙන් දෝ තැනින් තැනට සිය රංචුවත් සමඟ මළකුණ ඇදගෙන යන දසුන මේ වන විට බොහෝ දෙනාගේ ඇසට කඳුළක් එක්කළ දසුනකි. විටක මවු කෙණෙර සිය පරපුරත් සමඟ පැටියාගේ කුණ සිය හොඬවැලෙන් ඔසවා ගෙන යන්නීය. වෙහෙස වූ විට බිම තබා නැවතත් ගිමන් හරින්නීය. දිය බොන්නට ද යන යන තැන තණකොළ කන්නට ද කුණ බිම තබා තැවතත් ඔසවා ගෙන යන්නීය. රෑට ද එසේය. දහවලටද එසේය.
“ මේ දර්ශනය කවුඩුල්ල වනෝද්‍යානයට පැමිණි බොහෝ දෙනාගේ වීඩියෝවල පටිගත වූ හැගීම්බර දසුනක් වුණා. දින තුනක් පුරාවට මේ කෙණෙර කුණ ඔසවා ගෙන තැනින් තැනට ගියා. මම මේ දසුන දැක්කේ කවුඩුල්ල වනෝද්‍යානයේ තුන්වැනි දිනයේ සවස දෙකට විතර. මම මේ සිදුවීම දකින විට මවු කෙණෙර ගොඩාක් දුර පැටියාගේ සිරුර ඇදගෙන ගිහින් විනාශ වෙලා තිබුණා. මේ පැටියා මියගිහින් තියෙන්නේ කවුඩුල්ල වනෝද්‍යානයේදීමයි. මේ සිදුවීම දැකපු සෆාරි ජීප් රථ රියැදුරන් අපිට කිවුවේ පැටියා මියගිහින් තියෙන්නේ උපදිනකොටමයි කියලා. පැටියා ලැබෙන්න ඉන්දෙද්දි මේ අම්මා ගොඩාක් දඟලලා තියෙනවා. එත් පැටියා මැරිලා. එතැන් සිට මේ මවු කෙණෙර වේදනාවෙන් පැටියාගේ සිරුර ඇදගෙන යනවා. එහෙම ටිකක් දුර ගිහින් ආයිත් බිම තියනවා. තණකොළ ටිකක් කාලා නැවතත් දරුවගෙ සිරුර ඇද ගෙන යන්න පටන් ගන්නවා. එහෙම යද්දි එයාගේ රංචුව එයාව තනි කළේ නැහැ. මේ රංචුවේ එදා පනහකට වැඩිය පිරිසක් හිටියා. මේ සිදුවීම හරිම මානුෂික සංවේදි සිදුවීමක් වුණා. අපි අලි පිළිබඳ පර්යේෂණ කරන නිසා මේ සිදුවීම පැය තුනක් පුරාවට අධ්‍යයනය කළා. එදා මවු කෙණෙර පැටියාගේ සිරුර ඇදගෙන කැළේ ඇතුළට ගියා. පසුදිනත් අපි ඒ රංචුව බලන්න ගියා. ඒ වෙනකොට මේ අලි රංචුව කුණත් ඇදගෙන කළේ ඇතුළට ගිහින්. දින දෙක තුනක්ම මේ සතා කිලෝමීටර ගණනාවක් මේ කුණ ඇදගෙන ගිහින් තියෙනවා. මේක අලි පිළිබඳ පර්යේෂණය කරන අයට සාමාන්‍ය සංසිද්ධියක් වුණත් ලෝකයාට හරිම සංවේදි සිදුවීමක් වුණා..“ ඒ හබරණ ප්‍රදේශයේ අලි සම්බන්ධයෙන් පර්යේෂණය කරන එච්. කේ. ජානකය.
ලොවක් සසළ කළ මේ වීඩියෝව මේ වන විට බොහෝ පිරිසක් සිය කැමරා කාචයන්හි සටහන් කරගෙන තිබුණි. ඒ කවුඩුල්ල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් විසිනි. සංචාරකයන්ට මෙන්ම ලෝකයාට ද මේ දුලභ වීඩියෝව සංසරණය වූයේ මේ පිරිස් අතිනි.
“ මේවගේ අතිමානූෂීය සිදුවීම් සාමාන්‍ය ජනතාවට දකින්නට ලැබීම හරිම දුර්ලභ දෙයක්. මීට කලිනුත් අපි මේ වගේ සිදුවීම් දෙක තුනක්ම දැක්කා. වරක් යාල වනෝද්‍යානයේදී මේ වගේම සිදුවීමක් දැක්කා. අලි ඇතුන් අතර සෙනෙහස හරි දැඩියි. කුඩා පැටියෙක් මියගියාට පස්සේ ඒක අලි අම්මාට දරා ගන්න අපහසුයි. ඒ අවස්ථාවේදි ඌ මැරුණු පැටියාගේ සිරුර ඇදගෙන දින දෙක තුනක් ගමන් කරනවා. නමුත් හැම අම්මා කෙනෙක්ම මේ වගේ දේවල් කරන්නේ නැහැ. සමහර අලි අම්මලාට තමන්ගේ පැටියා මැරුණාහම උහුලන්න බැහැ. ඒ වගේ අවස්ථාවල මේ දේවල් සිදු වෙනවා. ඒත් මේ වගේ සිදුවීම් දකින්න ලැබෙන්නේ ළාබාල අලි අම්මලා අතර විතරයි. එහෙම ඇදගෙන ගියත් දින දෙකකින් මේ කුණ ඔවුන් අත්හැර දානවා. මේ කෙණෙර දින තුනක් මේ කුණ ඇදගෙන ගිහින් තියෙනවා. තුන්වැනි දිනයේ තිබිලා තියෙන්නේ ඇට ටික පමණයි. “ඒ හිටපු වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටියයි.
ආචාර්ය සුමිත් පිලපිටිය හබරණ මින්නේරිය ප්‍රදේශයේ අලි පිළිබඳ පර්යේෂණ කරන අතර ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු සමඟ එක්ව අලි ඇතුන් හඳුනාගැනීම් ද කරගෙන යයි.
මවකට උරුම වූ මේ අතිශය වේදනාබර අවස්ථාවේ මවක් වැලපෙන්නේ කෙසේද ඒ හා සමාන වේදනාවකින් මේ මව් කෙණෙර සිය පැටියා අහිමි වේදනාවෙන් විඳෙවුවේ අසමසම වේදනාවකි. සිය පැටියාගේ කුණ වුවද තනිකර දමා යෑමට මේ මවට සිත් දුන්නේ නැත. අවසානයේ ඇටකටු ගොඩක් පමණක් ඉතිරිවන තෙක් මේ මව කුණ රැගෙන ගියාය. ඒ මවකගේ මාතෘ සෙනෙහසය.
“ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය කියන්නේ ජනතාව එකතු වන ස්ථානයක් වගේම වැව් පිටියේ එළිමහනේ අලි ඇතුන්ගේ චර්යාව හොඳින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් ස්ථානයක්. මේ සිදුවීම හරිම මානුෂිකයි. නමුත් එහි විද්‍යාත්මක පැත්තක් මම දකිනවා. අලි පවුලක් ලෙස ජීවත් වන සත්ත්ව විශේෂයක්. ඒ අය වැඩිහිටි ගැහැනු සතෙක් මුලික කරගත් සමාජයක් ගොඩනඟාගෙන තියෙන්නේ. අපි උඩවලවේ අලි සම්බන්ධයෙන් පර්යේෂණය කරද්දි දැකලා තියෙන දෙයක් තමයි පුරුදු පුහුණු වීම හා අත්දැකීම් ලබා ගැනීමට මේ සතුන් හුරුවීම. මේ කණ්ඩායම තුළ විශාල සම්බන්ධතාවක් ගොඩනැඟී තියෙනවා. අපිට නොපෙනුණාට මේ අය කිලෝමීටරයක් දෙකක් දුරින් මේ සම්බන්ධතාව පවත්වා ගෙන තියෙනවා. ඒ වගේම එක් අයකුට කරදරයක් ආපු ගමන් අනික් සියලු දෙනා එකට එකතු වෙනවා. ශබ්ද තරංගවලින් මේ සම්බන්ධතාව ඒ අය පවත්වා ගෙන යනවා. මේ සිදුවීමේදි වන්නේ ඒ වගේම දෙයක්.
මේ හැසිරීම් අලින්ගේ විශේෂ චර්යා විදිහට අපි දකිනවා. ඔවුන් අතර තියෙන සම්බන්ධතාවලදි තමයි අපි තුන්පත් රෑන හඳුනාගන්නේ. ගැහැනු සතෙකුට පැටියෙක් ලැබුණු පසු අනිත් අම්මලාටත් කිරි එරෙනවා. මේ විශේෂ චර්යා හඳුනා ගන්නේ පර්යේෂකයන් විසින්. ඒ සඳහා අලි සමඟ පැය ගණනාවක් ගත කළ යුතුයි. පැටියා ලැබුණු පසු ඒ අම්මා ඉන්දෙද්දි ඊළඟට අම්මා කෙනෙක් වෙන්න ඉන්න අලියා අර ලැබුණු පැටියව බලාගන්නේ තමන්ට අත්දැකීමක් එකතු කර ගන්න. මේ නිසා මේ දෙන්නා අතර සම්බන්ධතාවක් හදා ගන්නවා සේම පැටියෙක් ලැබෙන්න කලින් ඒ පිළිබඳ දරු මානසිකත්වයක් අනිත් ඇතුනුත් හදා ගන්නවා. කවුඩුල්ල වනෝද්‍යානයේ සිදුවූ මේ සිදුවීම හා සමාන සිදුවීමක් උඩවලව ජාතික වනෝද්‍යානයේදීත් වුණා. එහේ අර්ශස් කියලා ඇතින්නක් හිටියා. එයා ඒ කණ්ඩායමේ නායිකාව. ඌට පැටියෙකුත් හිටියා. අලි අම්මා නැතිවුණේ අර්ශස් අමාරුවෙන්. අර්ශස් නැතිවුණාම උඩවලවේ වැව් පිටියේ තිබුණු ඌගේ සිරුර බලන්න එයාගේ අලි රංචුව හැමදාම වගේ එනවා. අන්තිමට අපි දැක්කා අර්ශස්ගේ ඇටකටු පවා එයාගේ පැටියා ඇවිත් ඉඹලා යනවා. ඒ දින කිහිපයම අර්ශස්ගේ සිරුර වටා ඒ කණ්ඩායම රැඳී සිටියා. මේ සිදුවීම් තුළ තියෙන්නේ අපි හිතනවාට වඩා පුළුල් සම්බන්ධතාවක්. අලි කණ්ඩායම් වෙනස් කරන්න එපා, අලින්ගේ භූමිය වෙනස් කරන්න එපා කියලා පරිසරවේදීන් පවසන්නේ ඒ නිසයි.
අලි ඇතුන්ගේ චර්යාව හදාරද්දි මෙය බොහෝම සාමාන්‍ය සිදුවීමක්. අපි ප්‍රසිද්ධියේ නොදැක්කාට මෙවැනි දේවල් නිරන්තරයෙන් කැළෑ ඇතුළේ සිදුවෙනවා. නමුත් කවුඩුල්ල වනෝද්‍යානය විවෘත ස්ථානයක් නිසා මේ සිදුවීම ඇතුළත් වීඩියෝව ලෝකය පුරාම සංවේදි වීඩියෝවක් කරන්නට සමත් වුණා. නමුත් අපිට නොදැන වුණත් මේ මොහොතේ කැළෑ තුළ මේ දේවල් සිදුවෙනවා. සමහර පැටවු මැරුණු පසු ඒ පැටියා දාලා අම්මා යන්නේ නැහැ. පසුගියදා මීනගයා දුම්රියේ හැපි මියගිය පැටියා දාලා අම්මා නොගිය කතාව ලෝකයාම දැක්කා. පැටවු විතරක් නෙමෙයි තමන්ගේ පිරිසේ කෙනෙක් වුණත් මැරුණු පසුත් මෙවැනිම දේවල් වෙන්න පුළුවන්. තමන්ගේ කණ්ඩායමේ කෙනෙකුට පූර්ණකාලීනව ආබාධයක් වුණොත් එයාව දාලා යන්නේ නැහැ. ඔවුන්ගේ ගමන් හෙමින් වෙන්න පුළුවන්……“ ඒ උඩවලව අලි පර්යේෂක ව්‍යාපෘතියේ පර්යේෂක සමීර වීරතුංගය.
මේ කවුඩුල්ලේ අලි අම්මාගේ වේදනාව දරා ගැනීමට අවස්ථාව කණ්ඩායමක් අනිකුත් ඇලි ඇතුන් ලබා දී ඇත. ඇයව තනි නොකළාය. අනිකුත් ඇතුන් විසින් ඒ කුණ ඉවතට විසිකර දැම්මේ නැත. ඇය ඒ කුණ ඇදගෙන එන තෙක් රංචුව ඉවසීමෙන් සිටියහ. ඒ ඇයගේ වේදනාව සියල්ලන්ම දරාගනිමිනි. මේ අම්මාගේ වේදනාව අවසන් කරන්නට ඒ ඔවුහු සහාය දුන් හැටිය. මේ කුණෙන් වැඩක් නැති බව ඒ මවට දැනෙන තෙක් මාතෘත්වයේ වේදනාව තුනී වන තෙක් රැළේ අනෙක් සගයන් ඈ තනිකළේ නැත.
“ අලි ඇතුන්ගේ චර්යාව අපි තේරුම් ගත යුතුයි. සමහර අලි අම්මලා පැටියා ලැබුණු පසු ප්‍රතික්ෂේප කරනවා. නැතිනම් වෙනත් අම්මා කෙනෙක් කිරි දෙන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට උඩවලවේ වනෝද්‍යානයේ හිටියා සඳමාලි කියලා ඇත් අතරු සෙවණින් ආපු ඇතින්නක්. නමුත් මේ සඳමාලිගේ පැටියට කිරි දුන්නේ සඳමාලි නෙමේ වෙනත් කිරි එරුණු ඇතින්නක් . උඩවලවේ වනෝද්‍යානයේ ඉන්නවා ඇතිමලේ කියලා කෙණෙරක්. එයා පැටවු දාන දාන පාරට නැති වෙනවා. මේවා ස්වාභාවික සංසිද්ධීන්. ඒ වගේ අවස්ථා ගොඩාක් තියෙනවා. අලි ඇතුන් පිළිබඳ ගැටලු මතුවන අවදියේ මෙවැනි වීඩියෝ ලෝකය පුරා ප්‍රචලිත වීමෙන් ඇති වන සහ කම්පනය වඩාත් සුබවාදි විය හැකියි……“
පර්යේෂකයෝ හරි අපූරු කතාවක් කියති.
ඔවුන් පවසන්නේ මෙවන් මානසිකත්ව නැවත දරු ගැබක් පිළිසිඳ ගැනීම වේගවත් කරන බවය.
“ අපිට අලි දකින්න හමුවන තැන් අඩුයි. පසුගිය රජයේ මේ ප්‍රදේශය මොරගහ වැවේ ජලයෙන් පුරවන්න සූදානම් වුණා. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත ජාතික ජල කළමනාකරණ කොමිටිය ගත් තීරණ අනුව ජලාශයේ වතුර අඩු කරන්න තීරණය කළා. එහෙම කරලා පිටිය වියළා තණකොළ මතුවෙන්න ඉඩ හරිනවා. අපිට අලි දකින්න හමු වෙන්නේ පාලනයකින් යුතුව පිටිය හිස් කළ නිසයි.
සමහර දරුණු අලි වාහන පවා විනාශ කරනවා. කන්න දුන්නත් මිනිසුන්ට හිරිහැර කැරනවා. අලි අතරත් විවිධ මානසිකත්ව තියෙන අලි ඉන්නවා. මේ වීඩියෝවේ ඉන්නේ වැඩිමහල් තරුණ කෙණෙරක්. මම යාල ලුණුගම්වෙහෙර අලි ඇතුන් ගැන පර්යේෂණය කරනවා. ඒ ශක්තිමත් බැඳීම මිනිසුන්ගේ බැඳීම් හා සමානයි. මෙය අහම්බයක් නෙමෙයි. මෙය රූගත වූ නිසා විශේෂ වුණාට මේ හැසිරීම අලි තුළ තියෙනවා. 2023 වසරේදී මට මේ වගේ අත්දැකීමක් තියෙනවා. යාලෙදි බන්දුවැව ලොකු අලියෙක් මැරිලා එයා ඔසවා ගන්න පැටියෙක් වෙහෙසෙන වෙහෙසිල්ල. 2009 හබරණ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේදි අලින්ට ජී පීඑස් කරපටි දාන කටයුත්තේදි අලියෙක් නිර්වින්දනය කරද්දි අලි අම්මා ඒ පැටියා ළඟට ඇවිත් නැගිටුවා ගෙන එක්ක යන්න උත්සහ කරනවා. මේවා හරිම අපූරු සිදුවීම්…“ ඒ සංරක්ෂණ හා පර්යේෂණ ආයතනයේ අලි පිළිබඳ පර්යේෂක බණ්ඩාර නිශාන්තය.
මිහිපිට සිටින විශාලතම සතා අලියාය. මවු කෙණෙර සිය පැටියා වදන්නේ මාස 22 ක් පුරාවට කුසේ තබා ගෙනය. නමුත් දෛවයේ සරදමකට ඒ පැටියා මියගියහොත්? ඒ අවස්ථාව මවු කෙණෙරට මාතෘත්වයේ උපරීම අවස්ථාවට පැමිණීමකි. ඒ මව ඒ වේදනාව දරා ගන්නේ කෙසේද? වේදනාවේ ධර්මතාව ලොකු පොඩි, මිනිස් සත්ත්ව භේදයකින් වෙන් කළ හැක්කක් නොවේ. පැටියා නැතිවුණද මේ මවට කිරි එරෙන්නීය. හෝර්මෝන ක්‍රියාකාරිත්වයන් ශාරීරික වේදනා ඇති වන්නීය. අප මේ මවු කෙණෙර තුළින් දැක්කේ ඒ දරා ගැනීමට නොහැකි වේදනාවය. මේ වේදනාව මව් කෙණෙරට පමණක් නොව රංචුවේ සිටින සියලුම අලින්ට දැනෙයි. සියලු සිදුවීම් සිදුවූයේ කවුඩුල්ල වැනි ජනාකීර්ණ පසුබිමකය. ලොවක් කම්පා කරන්නට සමත් වීඩියෝව නිසා ඒ අලි අම්මාගේ වේදනාව අපේත් වේදනාව වී ලොවක් හඬවන්නට සමත් විය.