Home » මොනරාගල රජයේ ආයතනවලට අයත් නිවාස සහ ගොඩනැඟිලි රැසක් විනාශමුඛයේ

මොනරාගල රජයේ ආයතනවලට අයත් නිවාස සහ ගොඩනැඟිලි රැසක් විනාශමුඛයේ

by thanushika
June 30, 2025 12:30 am 0 comment
 ඩී.එස් ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ රජයේ ආයතනවලට අයත් නිවාස සහ ගොඩනැඟිලි රැසක් භාවිතයට නොගැනීම නිසා කැලෑවට යටවී විනාශවෙමින් පවතියි. ඇතැම් ගොඩනැඟිලිවල කොටස් සොර සතුරන් විසින් ගලවාගෙන ගොස් තිබෙන අතර කිහිපයක් විවිධ විෂමාචාර ක්‍රියාවන්ට යොදා ගන්නා බව ප්‍රදේශවාසීහු පවසති.

මොනරාගල දිසාපති කාර්යාලය 1960 වසරේ ආරම්භ කර ඇති අතර ඒවායේ රැකියාවන් සඳහා පැමිණියේ ගාල්ල, මාතර වැනි දුරබැහැර ප්‍රදේශවල නිලධාරීන්ය. ඔවුන්ට නේවාසිකව සිටීම සඳහා දිසාපති කාර්යාල පරිශ්‍රයේ නිවාස ඉඳිකළ අතර තැනින් තැන් පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතනවල සේවකයින්ට ද නිවාස ඉඳිකරදී තිබේ. එම නිවාස කාලයාගේ ඇවෑමෙන් නිලධාරීන් පරිහරණය නොකිරීම සහ නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් විනාශ වෙමින් පවතී.

ගොවි ජන සංවර්ධන දෙපාර්තුමේන්තුව,වාරි මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,රජයේ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව යන ආයතනවලට අයත් නිවාස සහ‍ ගොඩනැඟිලි මෙලෙස විනාශ වෙමින් පවතියි. දිසාපති කාර්යාලයේ සංචාරක බංගලාව සහ වී අලෙවි මණ්ඩලයේ සංචාරක බංගලාව ද ඒ අතර වේ. එසේම අධිකරණ අමාත්‍යංශය සතු ගොඩනැඟිල්ලක් ද නගර මධ්‍යයේ පිහිටා ඇති අතර, පරිහරණයට නොගැනීම නිසා විනාශ වෙමින් පවතියි. එය ඇතැම් පිරිස් විවිධ දුරාචාරයන්ට යොදා ගනිමින් තිබේ.

එසේම ඇතැම් නිවාස කුමන ආයතනවලට අයත් දැයි සොයා ගැනීම පවා දුෂ්කරය. ඒවාට අයිතිවාසිකම් කීමට හැකි පුද්ගලයින් හෝ ආයතන ඉදිරිපත් වන ලෙස මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ගොඩනැඟිලි ඉදිරිපිට දැන්වීම්ද අලවා තිබේ.

මොනරාගල කච්චේරිය සංකීර්ණය සහ ඒ අවට විවිධ රාජ්‍ය ආයතනවලට අයත් නිවාස සහ ගොඩනැඟිලි 30 පමණ මෙලෙස විනාශ වෙමින් පවතින අතර ඒවායේ කොටස් සොර සතුරන් විසින් ගලවාගෙන ගොස් ඇත.

ඇතැම් ඉඩම් කොටස් ද අනවසරයෙන් අල්ලා ගෙන තිබේ.

දැනට නේවාසිකව සිටින අය ද නිසි ලෙස ඒවා පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ නැත. ඇතැම් නිලධාරීන් සතියකට වරක් දෙවරක් නිවාසවලට පැමිණෙති.

මෙසේ භාවිතයට නොගන්නා නිවාසවල වටිනාකම අති විශාල වන අතර එම නිවාස අලුත්වැඩියා කොට ප්‍රයෝජනයට ගන්නා ලෙසත්, එලෙස ප්‍රයෝජනයට ගත නොහැකි අනෙකුත් නිවාස සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

You may also like

Leave a Comment