Home » යාචකයා

යාචකයා

by thanushika
June 30, 2025 12:30 am 0 comment

ක්තරා මිනිසෙක් මීගමුව නගරයේ යාචකයකු ලෙස ජීවත් වූයේය. ඇවිදීමටද නොහැකි ඔහු අත්පා විකෘති තැනැත්තෙකි. ඔහුගේ මුළු සිරුරම කළු පැහැති ගැටිතිවලින් වැසී තිබිණි. හැඩපළු ගෙතුණු කොණ්ඩය සහ රැවුළ ඝනව වැඩී තිබුණු අතර, ඉතා කිලිටි අප්‍රසන්න පෙනුමක් ඔහු කෙරෙන් දර්ශනය විය.

මට මතක අන්දමට ඒ 1978 වසර විය යුතුය. මීගමුව නගරයට යන එන සියල්ලන් මේ මිනිසා දැක තිබිණි. ඔහුට සිඟමන්ද ලැබිණි. ඔහු ළඟට ලැබුණු දේ කා-බී ජීවත් විය. සිඟමන් යැදීම සඳහා ඔහු උපයෝගි කරගන්නා එක්තරා කතාවක් නිසා ඔහු බස් නැවතුම්පොළේ සුළු වෙළෙන්දන්ගේ සහ බස් රථ සේවකයන්ගේ අනුකම්පාව දිනා සිටියේය.

ඔහු බොහෝ දෙනා සමඟ ප්‍රකාශ කළ දුක්බර කතාව මෙසේය:

තරුණ වියේ ජවිපෙ සමඟ සම්බන්ධ වූ ඔහු 1971 කැරැල්ලේ ප්‍රාදේශීය නායකයකු ලෙසද කටයුතු කර ඇත. කැරැල්ල මර්දනය කරද්දී පොලීසිය ඔහු විසූ නිවෙස ගිනිබත් කළ අතර,

ඔහු අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහර දී ඇත. එසේ පහර දීමෙන් නොනැවතී පාළු පෙදෙසකට ගෙන ගොස් ගිනි තබන ලද ටයර් මත ඔහුව පිලිස්සෙන්න දමා ගොස් තිබේ.

අඩක් පිලිස්සී දිවි ගලවාගත් මේ තැනැත්තා අසල වනරොදක සැඟවී සිට මිනිසුන්ගේ උදවුවෙන් රෝහල්ගතව, දිගු කාලයක් රෝහල් ගණනාවක සිට කාත්කවුරුවත් නැතුව මීගමුව නගරයේ සිඟමනට වැටී ඇත.

මේ කතාව බොහෝ දෙනා විශ්වාස කළ බව පෙනිණි.

මේ කාලය ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත්ව රට තුළ ගොඩනැඟෙමින් පැවති අවධියයි. විජේවීර සහෝදරයා නිදහස ලැබීමෙන් පසු රට තුළ විශාල පිරිස් සහභාගි වන ප්‍රචාරක රැලිද පැවැත්විණි. මීගමුවේ තරුණ සංචාරක වෙළෙන්දෝ පක්ෂයට ප්‍රශ්නයක් ගෙනාහ. ඔවුන් ඇසුවේ සංවිධානයේ පැරණි සගයකු සිඟමනට වැටී සිටියදී ඔහු ගැන නොබලන ජවිපෙ මානව හිතවාදය කුමක්ද කියාය.

මීගමුව නගරයේ දේශපාලන කටයුතු කරන්න බැරි තරමට සිඟන්නාගේ ප්‍රශ්නය උග්‍ර විය. දිවුලපිටිය, මීගමුව, මීරිගම ආදි ප්‍රදේශවල පැරණි සාමාජිකයන් අතර දීර්ඝ ලෙස සොයා බැලීමෙන් පසුවද ජවිපෙ මධ්‍යම කමිටුවට වාර්තා වූයේ මේ පුද්ගලයා කියන කරුණුවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.

මේ අතර විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් මීගමුව නගරයේ ප්‍රසිද්ධ රැලියක් පවත්වන්න දින නියම කර තිබිණි. රැලිය පවත්වන දින වේදිකාවට අර සිඟන්නා ඔසවා ගෙනැවිත් තබන්නට මීගමුව නගරයේ දේශපාලන විරුද්ධවාදීන් පිරිසක් කුමන්ත්‍රණය කරන බවද ප්‍රදේශයේ වැඩ කරන සහෝදරවරුන්ට ආරංචි වී තිබිණි.

මේ තැනැත්තා කියන කරුණු කෙසේ වෙතත් ඔහු ගෙනැවිත් රෝහල්ගත කිරීම සුදුසුයැයි පක්ෂය තීරණය කළේය. එවකට පක්ෂයේ වෘත්තීය අංශයේ වැඩ කරමින් සිටි මට එහි වගකීම පැවරිණි. වෘත්තීය අංශයෙහි හිතවතකුගෙන් ලබාගත් වෑන් රථයකින් කිහිප දෙනකු මීගමුවට යවා, සිඟන්නා කොළඹට ගෙන ඒමට මම කටයුතු යෙදුවෙමි. එවකට ජවිපෙ මූලස්ථානය පැවැතියේ බ්ලූමැන්ඩල් පාරේ වීරසිංහල ලී මෝලේ උඩ තට්ටුවේය.

සිඟන්නා මීගමුවේ සිට එහි ගෙනා සහෝදරවරු ඔහුගේ බලවත් අකැමැත්ත නොසලකා කොණ්ඩා රැවුල් කපා දමා, හොඳට සබන් ගා නහවා, අලුත් ඇඳුම් ඇන්දවූහ. එවිට තරමක් වෙනස් පුද්ගලයකු ඔහු තුළින් මතු විය. ඒ අතරම ඔහුගේ රෝගි තත්ත්වය ගැන නිගමනය කිරීමට පක්ෂයට සම්බන්ධ වෛද්‍යවරයකු වූ අතුල සුමතිපාල සහෝදරයා එහි කැඳවන්න මම තීරණය කළෙමි.

වෛද්‍ය අතුල ලෙඩා දුටු සැණින් මොහු ලාදුරු රෝගියෙකැයි ප්‍රකාශ ළේය. ඔහුගේ සිරුර පුරා ඇති ගැටිති ලාදුරුවලට ප්‍රතිකාර නොගැනීම නිසා ඇති වූ තත්ත්වයක් මිස පිලිස්සුම් තුවාල කැලැල් නොවන බවද වෛද්‍ය සුමතිපාල පැහැදිලි කළේය. ඔහු රෝහල්ගත කර වැඩිදුර පරීක්ෂණ කළ යුතු බව ඔහුගේ නිගමනය විය. තමා ජවිපෙට සම්බන්ධ අයකු නොවන බවත් පොලීසිය විසින් ගිනිමැලයට දැමූ කතාව සිඟමන් ලබා ගැනීමට ගොතා කියූ බවත් ඒ තැනැත්තා පිළිගත්තේය. එදිනම ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන ලදි.

දින කිහිපයකට පසු ජාතික රෝහලින් පක්ෂයට දැනුම් දී තිබුණේ රෝගියා මඩකලපුවේ ලාදුරු රෝහලට ගෙන ගොස් භාර දිය යුතු බවයි. පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයකු වූ රාගම සෝමේ ඇතුළු දෙදෙනෙක් ඒ කටයුත්ත භාරගත්හ. රෝගියා රාත්‍රී මඩකලපු දුම්රියේ ගෙන ගොස් මඩකලපුවේ ලාදුරු රෝහලට ඇතුළත් කිරීමෙන් ඒ කටයුත්ත අවසන් විය.

එයින් මාස කිහිපයකට පසු ලංකාවේ නැඟෙනහිර පළාත බිහිසුණු සුළිසුළඟකට ගොදුරු විය. අම්පාර, කල්මුණේ, මඩකලපුව, ප්‍රදේශවල ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු වූ අතර, ගේදොර ආදි භෞතික සම්පත් වැනසී ගියේය. නැඟෙනහිර ජනතාවට පිහිටවීමට අප එහි යා යුතුයැයි ජවිපෙ තීරණය කළේය. රටේ නොයෙකුත් පළාත්වලින් පක්ෂයේ පිරිස් සහනාධාරද රැගෙන නැඟෙනහිර ගම්වලට ගියෝය. කොළඹ වරායේ සාමාජිකයන්ද කැටුව මාද එහි ගිය අතර, කාත්තන්කුඩි ගම්මානයේ ඉබ්‍රාහිම් මාස්ටර් අපට මඟපෙන්වන්නට එහිදී එකතු විය.

මුස්ලිම් වැසියන් අපෙන් බලාපොරොත්තු වූයේ ආඬියා ළිංවල විශාල දඬු කඳ නැවත සවි කරගැනීමය. ඒවා සුළි සුළඟින් මීටර් දෙතුන්සීය ඈතට ගසාගෙන ගොස් තිබිණි. අපි ඒවා නැවත කර ගසාගෙන ගොස් සවි කර දුන්නෙමු. මේ අතර ගම්පහ සිට පොල් අතු ලොරියක් රැගෙන පැමිණ නිවාස ඉදි කර දෙමින් සිටි රාගම සෝමේ මට කාත්තන්කුඩියේදී හමු විය.

“යමුද අපේ ලාදුරු මෑන්ට මොකද වුණේ බලන්න!” යැයි සෝමේ යෝජනා කළේය.

අපි දෙදෙනා පසු දින උදේ මඩකලපුවට ගියෙමු. එහි වෙරළාසන්න භූමි තීරුව හඳුනාගත නොහැකි අයුරින් සුළිසුළඟින් විනාශ වී තිබිණි. අපට රෝහල තිබූ ඉසවුව සොයාගත නොහැකි විය. අපි කිසිවකුගෙන් ඒ ගැන විමසුවෙමු.

“ඔය මහත්තයලා අහන්නේ ලාදුරු වාට්ටුවද?”

“ඔව් ඔව්. ඒක තමා.”

ලාදුරු වාට්ටුව නම් තිබුණේ අන්න අර වැලිකන්ද තියෙන හරියේ. ඒ තැනැත්තා අත දිගු කර පෙන්වූයේය.

“එතකොට දැන් ඒ ලෙඩ්ඩු කොහෙද ඉන්නේ?”

“මොන ලෙඩ්ඩු ද මහත්තයෝ! ලෙඩ්ඩු තිස්පහක් එක්කම වාට්ටුව මුහුදට ගියා. ආයෙ හොයන්න ලකුණක්වත් ඉතුරු වුණේ නෑ. එතන වැලිකන්දක් විතරයි තියෙන්නේ.”

අපි දෙදෙනාම මුහුණට මුහුණ බැලුවෙමු. තරමක් දඩබ්බර ගති පැවතුම් ඇති රාගම සෝමේ යටි රැවුළ පිරිමදිමින් මුහුද දෙස බලා සිටියේය. මීගමුවේ සිඟන මිනිසා වෙනුවෙන් ඔහුගේ දෙනෙත් කඳුළින් තෙත්ව තිබිණි. කොතරම් රළු හදක් වුවද දයා දියෙන් ආර්ද්‍ර වන මොහොතක් ඇත.

You may also like

Leave a Comment