Home » තායිලන්තය හොල්ලපු අපේ කට්ටිය මලල ක්‍රීඩාවෙන් ගෙනාපු පදක්කම් හරි විදියට අගය කරමු

තායිලන්තය හොල්ලපු අපේ කට්ටිය මලල ක්‍රීඩාවෙන් ගෙනාපු පදක්කම් හරි විදියට අගය කරමු

by Mahesh Lakehouse
June 28, 2025 12:30 am 0 comment
ඉදිරි පෙළ වමේ සිට - අමාෂා ද සිල්වා, නෙත්මිකා මධුෂානි, නිමාලි ලියනාරච්චි, වත්සලා හපුආරච්චි පසු පෙළ වමේ සිට - වක්ෂාන් වික්නරාජ්, අයෝමාල් අකලංක, අනුර බණ්ඩාර (පුහුණුකරු), ආර්.හෙන්නායක (පුහුණුකරු / කළමනාකරු), සෆ්රීන් අහමඩ්, රුසිරු චතුරංග
මීටර් 800 සහ මීටර් 1500 රන් පදක්කම් දිනාගත් රුසිරු චතුරංග

මීටර් 800 සහ මීටර් 1500 රන් පදක්කම් දිනාගත් රුසිරු චතුරංග

මැයි 27 දා සිට 31 දක්වා දකුණු කොරියාවේ ගුමිහිදී පැවති 26 වැනි ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගනිමින් ඊට සහභාගි වූ රටවල් 43ක් අතරින් 18 වැනි ස්ථානය ලබා ගත් ශ්‍රී ලංකාව මේ වසරේ මුල් අදියර වන විට මෙරට මලල ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් ඇති බව සනාථ කළේය. එපමණක්ද නොව, ජුනි 7-8 දිනවල පැවති චීන-තායිපේ විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ඉසවු 3කට පමණක් සහභාගි වී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් මවුරටට ගෙන ආවෝය.

එවන් මට්ටමකින් ක්‍රියාකාරී වී ඇති අපගේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට ගෙනයමින් පසුගියදා ශ්‍රී ලංකාවට රන් පදක්කම් 6ක් ඇතුළු තවත් පදක්කම් 11ක් දිනා දුන්නේ තමන් ආසියාව හොල්ලන තරම් යමක් කළ හැකි පිරිසක් ඇති බවට ඉඟි කරමිනි. එහිදී ආසියානු රටවල් 10ක සහභාගිත්වයෙන් පසුගිය ජූනි 21 දා සිට 25 දක්වා බැංකොක් නුවරදී පැවති තායිලන්ත විවෘත ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් හයක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දුර පැනීම සහ තුන් පිම්ම  රන් පදක්කම් දිනාගත් නෙත්මිකා මධුෂානි

දුර පැනීම සහ තුන් පිම්ම රන් පදක්කම් දිනාගත් නෙත්මිකා මධුෂානි

මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි හා කාන්තා අංශවලින් සිව්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වූ අතර, ඉන් ක්‍රීඩිකාවක හැර සියලු දෙනා (තිදෙනකුම දෙක බැගින්) පදක්කම් දිනාගැනීමද විශේෂත්වයකි. එනම්: රුසිරු චතුරංග (මී. 800/ 1500), සෆ්රීන් අහමඩ් (තුන් පිම්ම), අයෝමාල් අකලංක (මී. 400 කඩුලු) සහ වික්නරාජා වක්ෂාන් (මී. 1500/ 5000) යන ක්‍රීඩකයන්ද, නිමාලි ලියනාරච්චි (මී. 800/ 1500), අමාෂා ද සිල්වා (මී. 100), වත්සලා කේ. හපුආරච්චි (මී. 100 කඩුලු) හා මධුෂානි හේරත් (තුන් පිම්ම සහ දුර පැනීම) යන ක්‍රීඩිකාවෝද ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

ඒ අතරින් රුසිරු චතුරංග හා මධුෂානි හේරත් තමන් තරග වැදුණු ඉසවුවලදී රන් පදක්කම් 2 බැගින් දිනා ගැනීමත් වාර්තාගත ලෙස සටහන් වන අතර, පළමු දිනයේදීම මී. 1500 රන් පදක්කම (මිනිත්තු 3යි තත්පර 53.30කින් නිම කරමින්) දිනාගත් රුසිරු චතුරංග, පිරිමි මී. 800 ඉසවුව මිනිත්තු 1 තත්පර 50.01කින් නිම කොට සිය දෙවැනි රන් පදක්කමත් දිනා ගත්තේය. අන්තර්ජාතික තරගයකට නැවත පැමිණීමත් සමඟ අමාෂා ද සිල්වා කාන්තා මී. 100 ඉසවුවේ අවසන් මහා තරගයේදී තත්පර 12.05කින් තරගය නිම කොට සිව්වැනි ස්ථානයට පත් වූයේ සැලකිය යුතු දක්ෂතාවක් සලකුණු කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් ලෙස අනුර බණ්ඩාර (පුහුණුකරු) සහ ආර්. හෙන්නායක (කළමනාකරු සහ පුහුණුකරු) සහභාගි වූ මේ තරගාවලියේදී වසර 4කට පසු නැවත අන්තර්ජාතික මලල ක්‍රීඩා කරළියට පැමිණි ඔලිම්පික් ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි තම ඉසවු දෙකෙන්ම රන් හා රිදී පදක්කම් දිනාගැනීම කැපී පෙනිණි. එසේම නැඟී එන තරුවක් වන අයෝමාල් අකලංක පිරිමි මී. 400 කඩුලු පැනීමේ ඉසවුවෙන් ජ්‍යෙෂ්ඨ අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයකට ආ මංගල ගමනේදීම තත්පර 50.75ක් වැය කොට රිදී පදක්කම දිනාගැනීමද ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවට සුබ ලකුණකි.

මීටර් 800 රන් පදක්කම සහ මීටර් 1500 රිදී පදක්කම දිනාගත් නිමාලි ලියනාරච්චි

මීටර් 800 රන් පදක්කම සහ මීටර් 1500 රිදී පදක්කම දිනාගත් නිමාලි ලියනාරච්චි

මධුෂානි හේරත් දුර පැනීම සහ තුන් පිම්ම යන ඉසවු දෙකෙහිම තම පෞද්ගලික හොඳම දුර වාර්තා කළේ දුර පැනීමෙන් මී. 6.37කුත් තුන් පිම්ම ඉසවුවෙන් මී. 13.58ක්ද සටහන් කරමින් රන් පදක්කම් දෙකකටම උරුමකම් කියමිනි. තරගාවලියේ පළමු දිනයේදී මී. 800 ඉසවුව මිනිත්තු 2යි තත්පර 10.46කින් නිම කරමින් රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මැද දුර ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි මී. 1500 ඉසවුවෙන් රන් පදක්කම දිනාගත්තේ මිනිත්තු 4යි තත්පර 32.39ක කාලයක් වැය කිරීමෙනි.

තවද පළමු දිනයේ මී. 1500 ඉසවුවේ රිදී පදක්කම දිනාගැනීමට (මිනිත්තු 3 යි තත්පර 54.72 කදී) සමත් වූ වක්ෂාන් වික්නරාජ් මී. 5000 රන් පදක්කම දිනාගැනීමට මිනිත්තු 15 තත්පර 4.56ක් ගත කළේය. සෆ්රීන් අහමඩ් මී. 15.94ක පිම්මක් වාර්තා කරමින් තුන් පිම්ම පිරිමි අංශයේ ලෝකඩ පදක්කම දිනා ගන්නා විටමී. 100 කඩුලු ඉසවුව (කාන්තා) වෙනුවෙන් තරග කළ වත්සලා හපුආරච්චිතත්පර 14.27ක කාලයක් වැය කරමින් රිදී පදක්කම හිමි කරගත්තාය. කෙසේ වෙතත් රටට ගෙන ආ මේ ජයග්‍රහණ පදක්කමකට සීමා නොකොට දක්ෂතා ගැන සලකා බලා නිසි ඇගයීමකට ලක් කිරීමද බලධාරීන්ගේ වගකීමකි.

සිරිනාම රාජපක්ෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division