Home » සජබයි, මාලිමාවයි ලිෆ්ට් එකේ හිර වෙයි

සජබයි, මාලිමාවයි ලිෆ්ට් එකේ හිර වෙයි

by Mahesh Lakehouse
June 28, 2025 12:30 am 0 comment

ළාත් පාලන මැතිවරණයටත් වඩා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම උණුසුම් වී ඇත. ඒ උණුසුම මේ දිනවල බොහෝ ප්‍රදේශවලින් දක්නට ලැබේ. දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට 50%ක් ලබා ගැනීමට නොහැකි වී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ගොස් මේ තත්ත්වය මතු වී ඇති අතර, ඇතැම් ස්ථානවල ගුටිබැට හුවමාරු වීම්ද සිදු වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට සහය දෙන බව ජගත් මානව හිමිකම් ප්‍රධානී ජනපතිට කියයි

ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පසුගියදා (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් තිබෙන නව දේශපාලනික සහ සමාජයීය පරිවර්තනය අගය කළ මහකොමසාරිස්වරයා, උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළේය.

ජනතාවගේ නව බලාපොරොත්තු

තමා මෙරට සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව සඳහන් කළ වොල්කර් ටර්ක් අද රටේ සියලු ජනතාව යහපත් අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු තබා සිටින බව තම විශ්වාසය බවද පැවසීය.

අතුරුදන් වූවන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. උතුරේ සහ දකුණේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව එක හා සමාන බවත්, ඔවුන් සියලු දෙනා රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජනතා අපේක්ෂා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අදාළ ආයතන අපොහොසත් වූ බැවින්, අතුරුදන් වූවන්ගේ ගැටලුව විසඳීමට එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ජනපති අනුරගේ අත්දැකීම්

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ අතුරුදන් වූවන් පිළිබඳ ඒ අත්දැකීමට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමාට අවබෝධයක් ඇති බවයි. රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තම රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම මේ අවස්ථාවේදී රජයේ ප්‍රමුඛ අරමුණ බව සඳහන් කළ ජනාධිපතිවරයා පවතින අභියෝග ඉතා හොඳින් අවබෝධ කරගනිමින් එම අරමුණ සඳහා කැප වී සිටින බවත්, එහිදී අන්තර්ජාතික වශයෙන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මේ සැබෑ තත්ත්වය ලෝකය හමුවට ගෙන යමින්, අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තැබීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහය අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

දකුණු අප්‍රිකානු හිටපු ජනපති, ජනපති අනුරට කීවේ කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි අතර හමුවක් පසුගියදා (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති ම්බෙකි මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් දූරස්ථ වුවද විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘති පැවතීම හේතුවෙන් දෙරටේ සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. එසේම, සාමය හා සංහිඳියාව ළඟා කරගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවද විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදාගැනීමට තමා කැමති බවද හිටපු ජනපති ම්බෙකි විසින් පෙන්වා දෙන ලදි.

ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යෑමටත්, තමා ඇපකැප වී සිටින බව ජනපති අනුර කුමාර මෙහිදී පැවසීය.

ජනපති අනුර, හර්ෂණට කියූ දේ

මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීය.

“හර්ෂණ මල්ලිට ලොකු වගකීමක් පවරන්න තියෙනවා. අද මම ඉන්නවා. ඇවිත් මාව හම්බවෙන්න,” ජනාධිපති අනුර කුමාර එහෙම කිවුවේ නියෝජ්‍ය ඇමති හර්ෂණටය.

නියෝජ්‍ය ඇමැතිවරයාත් හැරෙන තැපෑලෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය. නියෝජ්‍ය අමාත්‍යවරයා එතැනට යන විටත් ඇමති අනිල් ජයන්ත ද පැමිණ සිටියේය.

“හර්ෂණ මල්ලි ෆිනෑන්ස් මිනිස්ට්‍රියේ සෙකට්‍රි යනවනේ. අපට එතැනට වඩාත් විශ්වාසන්ත කෙනෙක් අවශ්‍යයි. ඒකට හොඳම සුදුස්සා මල්ලි තමයි. මේ වැඩේ භාර ගන්න,” ජනාධිපතිවරයා කීවේය. දෙවරක් නොසිතා හර්ෂණ ඒ ඉල්ලීම පිළිගත්තේය.

ලිෆ්ට් එකේ හිර වුණු මන්ත්‍රීවරුන් කවුද?

මේ දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ගොඩනැඟිලි පරිශ්‍රයේ 4 වැනි කොටසේ ගොඩනැඟිල්ලක පාඨමාලාවක් පැවැත්වේ. ආණ්ඩුකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මේ පාඨමාලාව සති 16ක කාලයකට සැලසුම් කර ඇති අතර, නම් කරන දිනවල පැවැත්වෙන මේ පාඨමාලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වෙති.

දිනක් පාඨමාලාව අවසන් වන විට රාත්‍රී 7.30 පසු වී තිබුණු අතර, මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ නිලධාරීන් කිහිප දෙනකු විදුලි සෝපානයට ඇතුළු වූයේ නිවෙස් බලා පිටත්ව යෑමටය. තෙවැනි මහලේ සිට විදුලි සෝපානයට පිරිස ඇතුළු වී දොරවැසූ පසු අඩි කිහිපයක් පහළට ගොස් විදුලි සෝපානය එක්වරම නතර වූයේ කිසිවකුත් නොසිතූ පරිදිය.

දහ දෙනකු පමණ ඒ අවස්ථාවේ විදුලි සෝපානයේ සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුද සිටීම විශේෂත්වයකි. ඉන් තිදෙනකු සමගි ජන බලවේගයේ වූ අතර එක්කෙනකු ජාතික ජන බලවේගය නියෝජනය කරන මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරියකි. චමින්ද්‍රානි කිරිඇල්ල, චිත්‍රාල් ප්‍රනාන්දු සහ චතුර ගලප්පත්ති යන තිදෙනා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වූහ. මාලිමා ආණ්ඩුව නියෝජනය කරමින් සිටියේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරියයි.

ටිකක් වෙලා යන විට පිරිස කලබල වූ අතර ඒ නොසන්සුන්තාව නැති කිරීමට චිත්‍රාල් ප්‍රනාන්දු සහ චමින්ද්‍රානි කිරිඇල්ල කටයුතු කළාය. විදුලි සෝපානයේ තිබෙන හදිසි දුරකතන අංකවලට තම ජංගම දුරකතනයෙන් ඇමතුම් දුන්නේ ඇයයි.

විනාඩි දොළහක පමණ කාලයක් මේ පිරිසට විදුලි සෝපානයේ සිර වී සිටීමට සිදු වූ අතර, කාර්මික ශිල්පීන් පැමිණ දොර විවෘත කළද ඔවුන්ට පිටතට පැමිණීමට පහසු වූයේ නැත. විදුලි සෝපානයේ දොර විවෘත කළද වැඩි කොටසක් බිත්තියට වැසී තිබූ නිසා ඔවුන් තරමක් අසීරුවෙන් විදුලි සෝපානයෙන් පිටතට පැමිණි බව වාර්තා වේ.

අභියෝගවලට පිළිතුරු සෙවීමට විජිතගේ ප්‍රධානත්වයෙන් රැස් වෙයි

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි තත්ත්වයන්ට මුහුණ දීම පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පසුගියදා රැස් විය. ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙනි. පසුගිය (25) දා පෙරවරුවේ මෙම අනුකමිටුව රැස් වූයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උදයංග හේමපාල, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, වෙළෙඳ‍, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් විමලේන්ද්‍රරාජා සහ ශ්‍රී ලංකා තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා යන අයගේ සහභාගිත්වයෙනි.

විදෙස් සංචිත ගැන අවධානය

විචලනය වන ගෝලීය තත්ත්වයන් සහ ප්‍රවණතා හමුවේ ශ්‍රී ලංකාවේ ආනයන අපනයන වෙළෙඳපොළ හැසිරීම, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සහ විදෙස් රැකියා කර්මාන්තය සහ විදෙස් සංචිතවලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ විශේෂ අවධානය යොමු විය. මැදපෙරදිග යුදමය තත්ත්වය සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක් විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කිරීම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස්වීමේදී සිදු කළේය.

තෙල්-ගෑස් ගැනත් අවදියෙන්

දැනට ශ්‍රී ලංකාව සතුව තිබෙන බොර තෙල්, ගෑස්, ගල් හා අඟුරු සංචිත පිළිබඳවත් ඉදිරි මාස කිහිපය සඳහා කර තිබෙන ඇණවුම් පිළිබඳවත් අනුකමිටුව සමාලෝචනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙල්, බොරතෙල් සහ ගෑස් ආනයනය කිරීමේදී අවදානමක් පැනනැඟීමේ තත්ත්වයක් නොතිබුණත් පූර්ව සූදානමක් ලෙස විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීම සම්බන්ධයන් කමිටුව තීරණය කළේය.

විදෙස් රැකියාවල නියුතු වන්නන් ගැනත් වැඩි අවධානයක්

මීට අමතරව එම කලාපයෙන් ආනයනය කරනු ලබන සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය සංචිත අවශ්‍ය ප්‍රමාණයෙන් පවත්වාගෙන යෑම මෙන්ම සැපයුම් ජාලවලට ඇති වන බාධාවන්ට අනුගත වන පරිදි පූර්ව සූදානමක් ලෙස විකල්ප සැපයුම්කරුවන් සොයාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එකඟ විය.

තේ ඇතුළු ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග කලාපයට අපනයන කරනු ලබන භාණ්ඩ සඳහා එල්ල විය හැකි බලපෑම් පිළිබඳවද කැබිනට් අනුකමිටුව සාකච්ඡා කළ අතර, ඒ සඳහා විකල්ප වෙළෙඳපොළ අවස්ථා විවෘත කරගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දුන්නේය.

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ විදේශ ප්‍රේෂණවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සාකච්ඡා කළ අතර එම කලාපයේ විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කිරීමටත් යුද ගැටුම් උත්සන්න වුවහොත් ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීමට සූදානමින් පසුවීමටත් එකඟතාවට පැමිණියේ ය.

සජිත්ගේ නායකත්වය අභියෝගයකට

සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර ගැටලුව ඔඩුදුවා තිබේ. සියලු දෙනාගේ මතය වී ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවයි. සජිත්ගේ ක්‍රියාකලාපය නිසා තත්ත්වය අවුල් සහගත වන බවත් ඉදිරියේදී විපක්ෂය ශක්තිමත් කරගැනීමට නොහැකි බවටත් මතයක් නිර්මාණය වී තිබේ. සජිත්ගේ නායකත්වයේ අවුල සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පැවසූ අදහසක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වේ. අනතුරුව මතු වී ඇති ගැටලුව නම් සජිත් වෙනුවට කවුරුන් පත් කරන්නේද සහ එය වහා සිදු කළ යුතුද යන්නයි. ජාතික මැතිවරණයක් පේන තෙක් මානයක නැති නිසාත්, ඊළඟ ජනාධිපතිවරණය 2029ට යෙදී ඇති නිසාත් සජිත් වෙනුවට නව නායකයකුත් දැන්ම පත් කරගත්තොත් 2029 ජනාධිපතිවරණයට පෙර එකී නව නායකයාටද කාලයත් සමඟ අභියෝගවලට මුහුණ දීමට සිදු විය හැකි බවට මතයක්ද ඇත. එබැවින් යම් කාලයක් මේ විදියටම ගොස්, නිසි වේලාවේදී නව නායකයකු පත් කරගැනීම පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.

මුජිබර්ගෙන් සාදයක්

සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ බලය විපක්ෂය වෙත ලබා ගැනීමේ මෙහෙයුම භාරව කටයුතු කළේද සුළුපටු පුද්ගලයෙක් නොවේ. ඒ මුජිබර් රහුමාන්ය. කොළඹ නාගරිකයේ මුස්ලිම්වරුන්ගේ නායකයා පමණක් නොවේ; සැලකිය යුතු සිංහල දෙමළ නාගරික උපසංස්කෘතිවල සහයෝගයක්ද ඔහුට තිබුණි. නාගරික සුළු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ඔහු නිතර දෙවේලේ පෙනී සිටි බැවින් ඔවුන්ගේ සහයෝගය නොඅඩුව මුජිබර්ට ඇති බව රහසක් නොවීය.

තත්ත්වය මෙසේ වුවත් සමඟි ජන බලවේගය අභ්‍යන්තරයේ කොළඹ බලය සම්බන්ධයෙන් ලොකු බෙදීමක් තිබුණු බවට කතා තිබේ. කොළඹ නායකයා ලෙස මුජිබර් කැපී පෙනුණත් ඔහුට අභියෝග කරන තත්ත්වයක සජබ ඇතුළේම තවත් මුස්ලිම් නායකයකු සිටියේ නම් ඒ මරික්කාර් ය. මරික්කාර් කොළඹ බලය විපක්ෂයට ලබා දීමේ සටනට මුජිබර්ට සහය දුන්නාද? නැද්ද? යන කාරණාව විවාදිතය. මරික්කාර් කොළොන්නාව බලා ගත්තේය. මුජිබර් කොළඹ වැඩ කටයුතු බලා ගත් බව ප්‍රකටය.

කොළඹ දිනා ගැනීමේ සටනට තනිවම නායකත්වය දුන් මුජිබර් පසුව ඉරිදා හැන්දෑවේ විපක්ෂයට සහයෝගය දෙන සියලු නාගරික මන්ත්‍රීවරුන්ට කොළඹ ‍ෂැංගිලා හෝටලයට ආරාධනා කළේය. ඔවුන් වෙනුවෙන් එහි ඉහළ මට්ටමේ සුහද සාදයක්ද සහිතව නවාතැන්ද සූදානම් කර තිබූ බව වාර්තා විය. ලාල් නමින් හැඳින්වූ පුද්ගලයාගේ නියෝජිතයන් තිදෙනාම මාලිමාව සමග දිගින් දිගටම ගනුදෙනු කළ බැවින් මේ සඳහා පැමිණ සිටියේ නැත. සහයෝගය දෙන්නට සූදානම්ව සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පස්දෙනාද පැමිණ සිටියේ නැත. ඒ හැරුණු විට සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මුජීබර්ගේ ඉරිදා පාටියට පැමිණ කමින් බොමින් විනෝද වූ බව වාර්තා වේ. ඒ අනුව ගණන් හැදු මුජිබර් රහුමාන් ප්‍රමුඛ සජබ කණ්ඩායම නිසැකවම තමුන් මෙවර කොළඹ නගර සභාවේ බලය අල්ලන බවත්, එහි නගරාධිපති ධුරය රීසා සාරුක්ට ගෙන දෙන බවත් විශ්වාස කළහ.

සජබය ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්ද?

කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය ගැන විවිධ පාර්ශ්ව විවිධ තැන්වල කතා බස් වෙමින් තිබිණ පොහොට්ටුවේ පිරිසක්ද මේ ගැන සාකච්ඡා කරමින් සිටින අතරතුර එක් අයකු රහසිගත කාරණාවක් හෙළිදරවු කළේ මෙසේය.

“අපි නම් ඕක පරදින බව ඊයේ හැන්දෑවේම දන්නවා.”

“ඒ කොහොමද ඕගොල්ලෝ දන්නේ? කොමසාරිස්තුමිය එතකොට ඡන්දෙ තියලවත් නෑ. සජබ අපේක්ෂකයා පරාජයට පත් කරන්න සජබ ඇතුළෙන්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.”

“ඒ කියන්නේ මරික්කාර් ගැනනේ?”

“කෙහෙල්මල! ඒ මනුස්සයාට මුජිබර් එක්ක ප්‍රශ්නයක්‌ ඇති. හැබැයි කුමන්ත්‍රණ කරන මිනිහෙක් නෙමෙයි. ඔය පක්ෂයේ ඉහළම තැන ඉන්න කෙනෙක් එක්ක දැඩි සම්බන්ධකමක් තියෙන එක්තරා ව්‍යාපාරිකයෙක් පොහොට්ටුවේ ලොක්කෙකුට කතා කරලා කියලා.”

“කාටද? මහින්ද මහත්තයාටද?”

“නෑ නෑ. එච්චර උඩට නෙමේ; නිලධාරියෙකුට. නිලධාරියෙක් කිවුවලු අපි එකඟතාවක් ඇති කරගෙන තියෙනවා, ඒ අනුව අපි පස්දෙනාම කොමසාරිස්ගේ රැස්වීමට යනවා, ඕගොල්ලන්ට ඕනෑ නම් ඕගොල්ලන්ගේ අය නොයවා ඉන්න, කියලා.”

“විශ්වාස නොකර ඉන්න එපා. දැන් කතාව යයි ලාල්ගේ මැරබලය හින්දා මේගොල්ලෝ රහස් ඡන්දයක් ඉල්ලුවා කියල.”

“නැහැ. රහස් ඡන්දයක් තියාගන්න ලොක්කන්ටත් වුවමනාවක් තිබුණා. හැබැයි මුජිබර් දන්නේ නෑ.”

මේ සාකච්ඡාව ඇති වුණ තැන පොහොට්ටුවේ දෙවැනි පෙළ ඉහළම නායකයෝ කිහිපදෙනෙක්ම සිටියහ.

බැසිල් කියන්නේ මොකක්ද?

“දැන් පේනවනේ මේගොල්ලන්ට වැඩකාරයෝ නෑ කියලා. එකම කුට්ටම තමයි අන අනා ඉන්න වෙන්නේ,” හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එහෙම කියන විට සාගරකාරියවසම් තවත් තොරතුරක් අනාවරණය කළේය:

“බැසිල් ඇමැතිතුමා හැමදාම කතා කරලා අහනවා මොකද වෙන්නේ කියලා. මම ඉතින් හොඳ අප්ඩේට් එකක් දෙනවා,” සාගර එහෙම කිවුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේ මෙහෙම කතාවකි:

“බැසිල් ඇමැතිතුමාගේ අගය දැන් තමයි හොඳටම දැනෙන්නේ,” යනුවෙනි.

“මම ඔය කතාව ඔය විදිහටම බැසිල් ඇමතිතුමාට කිවුවා. බැසිල් ඇමැතිතුමා මොකද කිවුවේ?” එහෙම ඇහුවේ ඉන්දික අනුරුද්ධ හිටපු රාජ්‍ය ඇමැතිවරයාය.

“විශේෂයෙන් යමක් කීවේ නෑ, බලමු බලමු කිවුවා,” සාගර කීවේය.

කීරි සම්බා ආනයනය කරන්නේ ඇයි?

කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙ.ටො. 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත. ඉන් මෙ.ටො. 5,000ක් රජයේ ආයතන මඟින්ද සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබේ. රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව පසුගියදා (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ මේ තීරණයට එළඹිණි.

පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

වී ගොවියා ආරක්ෂා කිරීමේ වගකීම

ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා කීරි සම්බා වී කිලෝවක් රු. 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සතොස ආයතනයෙන් මිල දී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යෑමටද තීරණය විය. ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳවද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය, ටින් මාළු, බිත්තර සහ මාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු කෙරෙහිද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය. පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, යල කන්නය සඳහා පොහොර බෙදා දීමේ ප්‍රගතිය, ඔඩපන ණය නිකුත් කිරීමේ ප්‍රගතිය සහ යල කන්නයේ වගා කටයුතුවල සාර්ථකත්වයද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍යවේදීහු පිරිසක් වජිරගේ පිටුපස

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සති අන්තය වෙන් කර තිබුණේ ගාල්ල එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු සොයා බැලීම වෙනුවෙනි. ගාල්ල කාර්යාලයට යම් යම් උවමනාවන වෙනුවෙන් වජිර මුණගැසීමට එන පිරිසට ඔහු හමුවීමටද මෙදින අවස්ථාව සැලසිණි.

කෙසේ වෙතත් මේ පිරිස අතරට හදිසියේම තවත් පිරිසක් පැමිණ සිටීම වජිරගේ කුතූහලයට ලක් විය. වෙනදාට දැනුම් දීමකින් හෝ එසේත් නැති නම් පැමිණීමට පෙර දුරකතන ඇමතුමක් හෝ දෙන මේ පිරිස අද වජිරට දැනුම්දීමකින් තොරවම ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ සිටියහ. කොහොම නමුත් වජිර පිරිස පිළිගත්තේ මොකක් හරි වෙලා තමයි කියා තමන්ම හිතින් සිතමිනි.

“මොකද මේ කට්ටිය හදිස්සියේම මේ පැත්තේ ආවේ? කෝල් එකක්වත් දුන්නේ නෑනේ…” යැයි වජිර ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පැමිණ සිටියේ වෙන කවුරුවත් නොව ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් කණ්ඩායමයි.

“අපි මේ ගැන කියලම එන්න හිටිය නම් අපි දන්නවා ඔබතුමා කීයටවත් මේ ගැන අපට අදහසක් ප්‍රකාශ කරන්නේ නෑ කියලා. ඔබතුමා කියයි අනේ ඔහේ කියපුවාදෙන් මගේ ඇඟේ වදිනවදැයි කියලා, ඒ නිසයි අපි නොකියම ආවේ” මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කළේය.

“ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ?” වජිර නැවතත් කුතුහලයෙන් විමසීය.

“ඇයි ඇමතිතුමා ඔබතුමාගේ නමත් ඇතුළත්ව චැනල්වල සහ පත්තරවල නිවුස් එකක් යනවනේ අයථා වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන්” තවත් මාධ්‍යවේදියෙක් පැවසීය.

“අයියෝ! ඕක ගැන අහන්නද මේ තකහනියක්ම ආවේ. ඔය කාරණාව ගැන මගේ මාධ්‍ය ලේකම්තුමත් කිවුවා. තවත් කිහිපදෙනෙක් මට දුරකතනයෙන් කතා කරලත් කිවුවා. මම කිවුවා ගණන් ගන්න එපා කියලා. ඔයාලත් වැඩිය ඕවා හිතන්න එපා ආණ්ඩුවටත් ඉස්සරහට අරගෙන යන්න මොනවම හරි මාතෘකා එපැයි” යනුවෙන් වජිර පැවසුවත් මාධ්‍යවේදීන්ගේ දැඩි ඉල්ලීමට පිටුපා නොහැකි නිසා වජිර මේ ගැන කෙටි අදහසක් දැක්වීමට එකඟ විය.

“හරි ඉතින් මම පොඩි දෙයක් කියන්නම්කෝ මේ ගැන,

විශේෂයෙන්ම රජය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මහජනතාව මතක තබාගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. 1987 භීෂණය අවස්ථාවේදී තමයි මම ප්‍රථමයෙන්ම මැතිවරණයකට ඉදිරිපත් වුණේ. එදා සිට අද දක්වා මම දේශපාලනඥයෙක් මිස ව්‍යාපාරිකයෙක් නොවේ. එය විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව බොහොම හොඳට දන්නවා.

වජිරගේ වත්කම් එළියට

උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුදු 30ක පමණ කාලයක් මම දේශපාලනය කරත් මම ගාල්ලේ කොහෙන්වත් පෙට්ට්‍රල් ශෙඩ් එකක්වත්, වයින් ස්ටෝර්ස් එකක්වත් අරගෙන නැහැ. කොටින්ම ආණ්ඩුවෙන් දෙන ජේපී කමක්වත් මම අරගෙන නැහැ. අපි දේශපාලනය තෝරාගත්තේ දේශපාලනය කරන්න, ජනතාවට ඒ හරහා සේවය කරන්න. ඉන් එහා දෙයක් මට අවශ්‍ය නැහැ.

මගේ මවු පාර්ශ්වයෙන් සහ පිය පාර්ශ­්වයෙන් ලැබුණු දේපොළ හැර වෙනත් කිසි දෙයක් මා සතුව නැහැ. ඒ වගේම අනෙක් මතක තබාගත යුතු කාරණය තමයි අපේ දේපොළ අතීතයේ රජයට පවරාගත් අවස්ථාවල රජයෙන් දුන් වන්දි මුදල් පවා අපි ලබාගත්තේ නැහැ.

ඒ නිසා මෙවැනි ක්‍රියා තුළින් රජය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියා මට තේරෙන්නනේ නැහැ. ඒත් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වගේම රටේම ජනතාව දන්නවා මම කිසිම තැනක ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් නොවන බවත් දේශපාලනය නිසා වෙනත් කිසිම දෙයක් ලබාගෙන නැති බවත්. ඒ හැර මේ පිළිබඳව මට වෙනත් කිසිම දෙයක් කියන්න නැහැ. අපි බලමු ඉස්සරහට. කොහෙම නමුත් මේ යන විදිහට රජයට පවරා ගෙත් දේපොළවල වන්දි මුදලුත් අපට ගන්න පුළුවන් වෙයි කියලයි මම හිතන්නේ.” වජිර පැවසීය.

You may also like

Leave a Comment