Home » අපේ ඉලක්කය පාතාල – දේශපාලන ජාලගත සංස්කෘතිය අවසන් කිරීමයි

අපේ ඉලක්කය පාතාල – දේශපාලන ජාලගත සංස්කෘතිය අවසන් කිරීමයි

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල

by Mahesh Lakehouse
June 28, 2025 12:30 am 0 comment
රසික කොටුදුරගේ

– පොලිස් සැරයන්ගේ සිට පොලිස් අධිකාරි උසස් කිරීම් නිර්දේශපාලනිකව, කුසලතා හා කාර්යසාධනය මත පමණක් සිදු කිරීමට පියවර ගන්නවා
– පොලිස් නිලධාරීන් තුළ තිබෙන මේ අදහස වැරදියි කියන්න බැහැ. හේතුව: ඔවුන් දන්නවා පසුගිය වසර පහක කාලය තුළ පොලිස් සේවයේ පහළ ශ්‍රේණීන් සඳහා උසස් වීම් ලබා දී තිබුණේ නැහැ.
– මේ වසර අවසන් වන විට පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ හොඳම දෙපාර්තමේන්තුව බවට පත් කිරීම අපේ අරමුණයි

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 204 පිටුවේ සඳහන් වන අන්දමට මහජන ආරක්ෂාව කියන කාරණය මූලික කරගෙනයි මේ පැනය ඔබෙන් විමසන්නේ. 2019 අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වග කිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මෙහි දක්වා තිබෙනවා. මොකක්ද මේ වන විට එහි තිබෙන තත්ත්වය?

ජාතික ජන බලවේගය රජය හැටියට අපි ආණ්ඩු බලයට පැමිණීමට පෙරාතුව මේ රටේ මහජනයා සමඟ ඇති කරගත්ත ගිවිසුමක් තිබෙනවා. ඒ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය. පසුගිය කාලය පුරා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අන්දමේ සැකසංකා ජනතාව තුළ මතු වී තිබුණා. එය කොතරම් දුර ගියාද කියනව නම් විවිධ කමිටු, ජනාධිපති කොමිෂන් සභා කිහිපයක් මෙන්ම විවිධාකාරයේ පරීක්ෂණ හා විමර්ශන සිදු වෙමින් පැවතුණා. එහෙත් ඒ කිසිදු මැදිහත් වීමක් සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති සැකසංකා ඉවත් වුණේ නැහැ. ඒ වගේම අපි ජාතික ජන බලවේගය විදිහට දිගින් දිගටම මේ කාරණය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය ගොඩනැඟෙන අන්දමේ සැබෑ පරීක්ෂණයක අවශ්‍යතාව දිගින් දිගටම අව‍ධාරණය කළා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් අප මේ කාරණාව ඇතුළත් කළේ එනිසයි. එහි වින්දිත පාර්ශ්වයට වගේම මහ ජනතාවට මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පිළිබඳ එහි අප අවධාරණය කර තිබෙනවා. ඒ විමර්ශනය අප බලයට පත් වූ වහාම අයත් වන්නේ මගේ අමාත්‍යා‍ංශයට. එය අපි සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ විධිමත් විමර්ශනයක් කරමින් ඒ කටයුතු ආරම්භ වී සිදු වෙමින් තිබෙනවා. මෙහිදී ඉකුත් පරීක්ෂණ වාර්තා, ජනාධිපති කොමිෂන් වාර්තා සහ අනෙකුත් වාර්තා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක් වනවා. මෙහි ඇතැම් කරුණු එකී පරීක්ෂණයට බාධාවක් වන නිසා මට ප්‍රසිද්ධ කරන්න බැහැ. මේ විමර්ශන ආරම්භ කළ මොහොතේ සිට ඉතා සාර්ථකව මේ වනවිට ඉදිරියට යමින් තිබෙනවා. ජනතාව සමඟ ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව මෙහි වගඋත්තරකරුවන් කවුරුන් වුවත් තරාතිරම නොබලා නීතිය ඉදිරියේ දඬුවම් පැමිණවීමට කටයුතු කරනවා.

පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ රටේ මහජනතාව තුළ තිබෙන්නේ බරපතළ සැකයක්. පරීක්ෂණ නියමාකාරයෙන් සිදු වන්නේ නැහැ. මේ වන විට පොලීසිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශන ඒ මතය තහවුරු කරනවා. මේ තත්ත්වයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ගලවාගන්නේ කොහොමද?

පොලිස් දෙපාර්තමේන්තුව වගේම මේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙනුත් මහජනතාව තුළ තිබෙන්නේ හොඳ ආකල්පයක් නෙමෙයි. එහෙත් පොලිස් සේවයේ වගේම රාජ්‍ය සේවයේ බහුතරයක් දෙනා වැරදි කරන අය නෙවෙයි. ඉහළ නිලතල දරපු ඉතාම සුළුතරයක් නිසා තමයි මහජනතාව තුළ මෙවැනි මතයක් ගොඩනැඟී තිබෙන්නේ. ඒ නිසා පොලිස් සේවය වගේම අනෙකුත් රජ්‍ය සේවා අකාර්යක්ෂමයි දූෂිතයි කියන මතයේ ඔවුන් එල්බ සිටිනවා. ඒත් බොහෝ පිරිසකට වුවමනා වී තිබෙනවා මේ සේවාවන් කාර්යක්ෂම කරන්න. ඒ වගේම අදූෂිත නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. එසේ වුවත් මේ හංවඩුව පොදුවේ හැමෝටම වැදී තිබෙනවා. ඊට බලපා තිබෙන ප්‍රධානතම හේතුව කාලාන්තරයක් තිස්සේ මේ සේවාවන් දේශපාලනීකරණය වීම. ඒ නිසා දේශපාලකයන්ගේ වුවමනාවන් ඉටු කරන ආයතන බවට මේවා පත්ව තිබෙනවා. විශේෂයෙන්ම පොලීසිය කියන්නේ මිනිස්සුන්ට ඉතා සමීප ආයතනයක්. පැය විසිහතර පුරා මහජනතාව සමඟ සමීපව කටයුතු කරන ආයතනයක් විදිහට මේ සබඳතාව පලුදු වුණාම විශේෂයෙන් කැපීපෙනෙනවා. අප පළමුවෙන්ම කළේ මේවා දේශපාලනයෙන් මුදාගැනීමයි. කිසිදු පත් කිරීමක් දේශපාලනය මත සිදු වන්නේ නැහැ. අප ඒ ක්‍රමවේදය ඉවත් කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය රට තුළ ස්ථාපිත කරන්න නම් සැබෑ ලෙසම යුක්තිය මේ සමාජයට අත්පත් කරදෙන්න ඕනෑ නම් නීතිගරුක සමාජයක් ගොඩනඟන්න ඕනෑ නම් එය අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක්. ඒ අනුව අභිප්‍රේරණයක් සහිත පොලිස් නිලධාරියෙක් සකස් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම නියමිත ක්‍රමවේදය අනුව උසස්වීම් දෙමින් එහි ගුණාත්මක හා ඵලදායිතාව වැඩි කිරීම සඳහා ව්‍යූහාත්මක වෙනස්කම් ඇති කිරීමට අප මැදිහත් වී තිබෙනවා. වඩාත් හොඳ මහජන සේවාවක් බවට පොලීසිය පත් කිරීම සඳහා අප මැදිහත් වනවා. ඒ වගේම මෙම දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරන මහජන සේවයක් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. කවුරු හරි අත්අඩංගුවට ගත්තාම පසුගිය කාලේ වගේ පොලීසියට කතා කර බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. තම හෘදයසාක්ෂියට එකඟව තීන්දු තීරණ ගන්න පුළුවන් රටේ මහජනතාව බලාපොරොත්තු වූ යුක්තිය සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර තිබෙනවා. එහෙත් අප මේ කාර්යයන් සිදු කළ පමණින් පොලිස් සේවාව තුළ මේ වෙනස්කම් කඩිනමින් ඇති වේ යැයි අපට සිතන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම අප දාලා තියෙනවා. එය ඒ තැනට පැමිණෙන තුරු අප අවදියෙන් බලන් ඉන්නවා; අධීක්ෂණය කරනවා. ඒනිසා ඉදිරියේදී හොඳ පොලිස් සේවාවක් කෙරෙහි සාධනීය බලාපොරොත්තු ඇති කරගත හැකි බව පෙන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට පොලීසිය හා ජනතාව අතර තිබෙන දූරස්ථභාවය තුරන් කර, බියකින් සැකයකින් තොරව පොලීසියට අවශ්‍ය තොරතුරු දෙන්න පුළුවන් පසුබිමක් අප නිර්මාණය කරනවා.

පත් වන සෑම ආණ්ඩුවකින්ම කරන්නේ ඉහළ නිලතලවල ඉන්න නිලධාරීන් සතුටු කිරීම පමණයි. පහළ ඉන්න අයට අදාළ උසස්වීම් දීම නොදීම සම්බන්ධයෙන් පොලීසිය තුළින්ම මැසිවිලි නැඟෙනවා…

පොලිස් නිලධාරීන් තුළ තිබෙන මේ අදහස වැරදියි කියන්න බැහැ. හේතුව: ඔවුන් දන්නවා පසුගිය වසර පහක කාලය තුළ පොලිස් සේවයේ පහළ ශ්‍රේණීන් සඳහා උසස් වීම් ලබා දී තිබුණේ නැහැ. ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගත් හරස් වී තිබෙනවා. ඒ වගේම මේ සඳහා සාධනීය පිළිතුරක් දෙන්න පැවති රජයන් අසමත් වී තිබෙනවා. ඔවුන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ තම සේවය අවංකව ඉටු කළත් මේ උසස්වීම් නොදීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටිනවා. ඒ නිසා අප මේ සම්බන්ධයෙන් මේ වන විටත් මැදිහත් වීමක් කර තිබෙනවා. ඒ අනුව පොලිස් සැරයන්ගේ සිට පොලිස් අධිකාරි උසස් කිරීම් නිර්දේශපාලනිකව කුසලතා හා කාර්යසාධනය මත පමණක් සිදු කිරීමට මෙහිදී පියවර ගන්නවා. මේ සම්බන්ධයෙන් සොයා බලා සැප්තැම්බර් මාසය වන විට සියලු උසස්වීම් දී අවසන් කරන ලෙස පොලිස්පතිවරයා දැනුම්වත් කර තිබෙනවා. ඒ උසස්වීම් අනුව ඔවුන්ගේ වැටුප්තල යථාවත් කරනවා. ඒ වගේම තම උසස් වීම් බලාපොරොත්තුවෙන් පසු වන පොලීසියේ කොඳු නාරටිය වන පොලිස් පරීක්ෂක ශ්‍රේණීන්වල දාහත් එක්දහස් පන්සීයත් අතර පිරිසටත් ඔවුන්ගේ ඒ අදාළ උසස්වීම් දීමට කටයුතු කරනවා. ඒ අනුව පොලිස් සේවාවේ මෙතෙක් අඩපණව පැවති උසස්වීම් පන්දහසක් පමණ ඉදිරි මාස තුන ඇතුළත ලබා දී අවසන් කිරීමට කටයුතු කරනවා. තම රාජකාරිය හොඳින් කරගෙන යෑමට අවශ්‍ය මානසිකත්වයක් නිලධාරියා තුළ ඇති කළොත් පමණයි මේ සේවාව වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකි වන්නේ. අභිප්‍රේරණයක් සහිත පොලිස් නිලධාරියකු නිර්මාණය කිරීමට හැකි වන්නේ. ඒ වගේම ඔවුන්ට සිය රාජකාරිය කරගෙන යෑමට අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කර; ඔවුන්ට නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන්නත්, මිත්‍රශීලි මහජන සබඳතාවක් ඇති කරන්නත්, ඒ අනුව ගුණාත්මක පොලිස් සේවයක් ඇති කිරීමටත් මේ වන විට පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කෙටිකාලීන හා මධ්‍යකාලීන පාඨමාලා සකස් කරන්න අවශ්‍ය උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා විශාල පිරිසක් පොලිස් සේවයට බඳවාගන්නත්, නිරන්තරයෙන් පොලිස් සේවාව තුළ මේ පුහුණුව දෙන්නත්, ඒ අනුව වෘත්තීමය පොලිස් සේවාවක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන තිබෙනවා.

පොලිස් සේවයට විශාල පිරිසක් බඳවාගැනීමට කටයුතු කරන බව ඔබ සඳහන් කළා. ඒ කුමන සාධකයක් මත පදනම්වද?

අප මේ බඳවාගැනීම් සිදු කරන්නේ නිර්දේශපාලනිකව කුසලතා හා කාර්යසාධනය මත පමණක් පදනම්වයි. කිසිදු ආකාරයේ දේශපාලන අතපෙවීමක් මෙහිදී සිදු වන්නේ නැහැ. පොල්ස් සේවයේ විසිඅටදහසකට ආසන්න පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. මේ වන විට ජනාධිපතිතුමාත් මේ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව පොලිස් සේවයට වහාම පන්දහසක් බඳවාගැනීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ගැසට්ටුව මේ වන විට නිකුත් කර තිබෙනවා. මේ සඳහා ඉල්ලුම් කරන්න මේ රටේ තරුණ තරුණියන්ට දැන් අවස්ථාව හිමි වී තිබෙනවා. අපේ අදහස අවංකව වැඩ කරන්න පුළුවන්, රට ගැන හිතන හොඳ මිනිස්සු පොලිස් සේවයට එන්න ඕනෑ. නීතිය යුක්තියේ ආධිපත්‍යය මේ රට තුළ ස්ථාපිත කරන්න ඕනෑ කියලා හිතන අයට දැන් අවස්ථාව විවෘත වී තිබෙනවා. පොලිස් සේවයට එන්න කියලා මං මේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. උසස් මහජන සේවාවක් බවට අප පොලිස් සේවය පත් කරනවා. මේ වසර අවසන් වන විට පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ හොඳම දෙපාර්තමේන්තුව බවට පත් කරන්න අප අදිටන් කරගෙන ඉන්නවා. මේක අසීරු හා අභියෝගාත්මක කාරණයක්. අප ඒ අභියෝගය ඉහළින්ම ජය ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරනවා.

ඔබ සඳහන් කළ ආකාරයට පොලිස් සේවය සඳහා ලක්ෂයකට වැඩි පිරිසක් මේ විදිහට එකතු වනවා. මේ වගේ කුඩා රටක කුඩා ජනගහනයකට මෙතරම් විශාල පිරිසක් අවශ්‍යද?

පහුගිය දශක දෙකක් පමණ ආපස්සට ගියොත්; මේ රට කාලාන්තරයක් තිස්සේ අපරාධකාරයන්ගේ දේශයක් බවට පත්ව තිබෙනවා. එහෙම අවස්ථාවක ක්‍රම දෙකක් ඔස්සේ මේවා පාලනය කිරීමට පියවර ගැනීමට අවශ්‍යයි. එකක්: මේ අය නීතිය ක්‍රියාත්මක කරන්න දඬුවම් පමුණුවන්න. අනෙක් පැත්තෙන්: මේ අපරාධකාරි තත්ත්වයන් නිර්මාණය වෙන්න සමාජ විරෝධි ක්‍රියාකාරකම් සිදු වෙන්න බල පෑ හේතු සමාජ දේශපාලන ආර්ථික වටපිටාව පිළිබඳ සොයා බලමින් ඒවා වළක්වාගැනීමට අවශ්‍යයි. අපි දන්නවා පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම ලෝකයේ තාක්ෂණය වේගයෙන් ඉදිරියට යාමත් සමඟ ඒ හරහා සිදු වන පරිගණක ආශ්‍රිත අපරාධ විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙනවා. දැනට පරිගණක ආශ්‍රිත අපරාධ 19,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා විමර්ශනය කරන්න. මේ වගේ නව තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පරිගණක දැනුමින් සන්නද්ධ නවීකරණය වූ පොලිස් සේවාවක් අත්‍යවශ්‍යයි. මත්ද්‍රව්‍ය ව්‍යසනය රට තුළ බරපතළ තත්ත්වයක් ඇති කර තිබෙනවා. පාසල් දරුවා දක්වා මේවා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ වගේම මේ ක්‍රියාවන් පිටුපස දේශපාලනඥයින් සිටින බව හැමෝ දන්න කාරණයක්. එය ඉතා අභියෝගාත්මක කාරණයක්. ‍මොකද; දේශපාලනයත් පාතාලයත් එකතු වෙලා මේවා කාලාන්තරයක් තිස්සේ රට තුළ ස්ථාපිත වෙච්ච ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ සියල්ල මුලිනුපුටා දාන්න අවශ­්‍යයි. ජාතික ජන බලවේග රජය යටතේ දේශපාලනයේ භූමිකාව ඉවත් වී තිබුණත් මුලිනුපුටා දාන්න ගුණාත්මක සේවාවක් සැපයීමට ප්‍රමාණාත්මක පොලිස් සේවාවක් අත්‍යවශ­්‍යයි. ඒ වගේම මාර්ග අනතුරු ඉහළ ගොස් තිබෙනවා. දිනකට හත් අටදෙනකු මියයනවා. මාර්ග පද්ධතිය පුළුල් වී තිබෙනවා. රථවාහන වැඩි වී තිබෙනවා. මේ නිසා ඉහළ ගොස් තිබෙන අනතුරු වළක්වා ගන්නත් පොලිස් නිලධාරියාගේ සේවය අත්‍යවශ්‍යයි. අධිකරණ පද්ධතිය තුළ ආරක්‍ෂාව තර කිරීමට පොලිස් නිලධාරීන් අවශ්‍යයි. ඒ වගේම යම් යම් ආයතනවලට පොලිස් සේවය ලබා දී තිබෙනවා. මේ සමස්තය අරන් බැලුවම තාක්ෂණික අතින් යම් මට්ටමකට පත් වන තෙක් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා පන්දාහක ප්‍රමාණයක් බඳවාගැනීමට අවශ්‍යයි.

You may also like

Leave a Comment