Home » ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය ඒ අයවත් දන්නේ නෑ!

ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය ඒ අයවත් දන්නේ නෑ!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර

by Mahesh Lakehouse
June 28, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට දේශපාලනිකව කොතැනද ඉන්නේ?

මම කොහේවත් ගිහින් නෑ. මා තාමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම තමයි. මම දැක්කා එක් සහෝදරයෙක් යූටියුබ් චැනල්වල කියලා තිබුණා මේ ළඟදි ඊළඟ විපක්ෂ නායක වෙන්න බලාපොරොත්තු වන අය අතර මමත් ඉන්නවා කියලා. මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ කියලා. මම පක්ෂ මාරු කළා කියනවා. මම එහෙම කළේ නැහැ. 2013 මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට ගියාලු; ඉන් පසුව මෛත්‍රිපාල මහත්තයා ළඟට ගියාලු; ඉන් පස්සේ සජබට ගියාලු. මේ දේවල් වැරදි අර්ථකථන. මම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. 2013 ඉඳලා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මා ඉවත් වෙලා නැහැ. දැනට අපේ පක්ෂයේ නඩු වගයක් තියෙනවා. ඒ නිසා මම සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලුවා. වැරදි විදිහට තේරුම් ගන්න නරකයි; මම නඩු ගියත් තාමත් ඉන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම තමයි. මහින්ද මහත්තයා මෛත්‍රිපාල මහත්තයා ළඟට නොවෙයි. ඒ ගියේ ශ්‍රීලනිපයට. මේක තේරුම් ගන්න අවශ්‍යයි: යූටියුබ් චැනල්වල අය අපට අල්ලගෙන බොරු කියන්න කලින් මේ දේවල් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. සජබ නොවෙයි මම ඉන්නේ අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කිහිපදෙනකු විපක්ෂ නායකවරයාට උදවු කළා. ඒ උදවු කිරීමත් සමඟ සන්ධානයක් ලෙසයි වැඩ කළේ. ඒ නිසා සමගි ජන බලවේගය යටතේ ඡන්දය ඉල්ලුවා; මේ වැඩේම තමයි 2020 සිදු වුණෙත්. පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරග කරන්න වුණා. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ 2004 බුලත් කොළය යටතේ ඡන්දය ඉල්ලුවා. මේ අයට මේ දේවල් මතක නැහැ; මම හිතන්නේ මේ වෙලාවේ අපිත් අපේ අනන්‍යතාව තියාගෙන තමයි වැඩ කළේ. මා කිසිදු විටක සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙනත් නැහැ; පොදු ජන පෙරමුණේ ඡන්දය ඉල්ලුව කියලා එහි සමාජිකත්වය අරගෙනත් නැහැ. මා විතරක් නොවෙයි; අනෙක් පක්ෂවල සියලු දෙනාම ඒ සජබ තමයි මෙවර ඡන්දය ඉල්ලුවේ. ඒ නිසා මා පක්ෂ මාරු කළා කියන දේ කියන්න අමාරුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන අවසන් වීමට ඔබත් හවුල්කාරයෙක් නේද?

මා කිසිම විදිහකට හවුල්කාරයෙක් වන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීමට හැර එය අවසන් කිරීමට කටයුතු කර නෑ. මා කිසිදු විදියකට හවුල්කාරයෙක් නොවෙයි. මා පක්ෂයේ ලේකම්වරයා ලෙස ඉදිරිපත් කරන්නේ 2019දීයි. එතැනින් පස්සේ පක්ෂය හදාගෙන යන වැඩපිළිවෙළට අප ඉදිරිපත් වනවා. ග්‍රාමීය මට්ටමේ හැම ආසනයකට ගිහිල්ලා ඒවා සංවිධානය කරන කටයුතු කරනවා. එතැනින් පසුව අපේ පක්ෂයේ බෙදීමක් ඇති වුණා. ජනාධිපති ගෝඨාභය රාජක්ෂ ආණ්ඩුවේ අපි තවත් ඉන්නවාද යන ගැටලුව මතු වුණා. එහිදී මධ්‍යම කාරක සභාවේ සියලු දෙනා ඇමැති තනතුරුවලින් ඉල්ලා අස් විය යුතුයි කියලා තීන්දුවක් ගත්තත් ඒ තීන්දුවට පිටුපාලා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ගිහින් ඒ ආණ්ඩුවේ ඇමැතිකම් භාර ගන්නවා. මේක තමයි ආව අර්බුදය. ඒ අය තමයි ඇමැතිකම් වෙනුවෙන් පක්ෂය පාවලා දීලා තිබෙන්නේ. ඒ පාවාදීම්වලින් තමයි පක්ෂය දෙකට බෙදුණේ. ඒ අමාරු කාලවල දී ඒ කියන්නේ 2023 වන විට පළාත් පාලන මැතිවරණයක් එනවා. මම මුළු ලංකාව වටේම ගිහිල්ලා පක්ෂය ගොඩනඟන්න කටයුතු කළා. ආසන මට්ටමින් ගිහිල්ලා මේ දේවල් කළා. මෛත්‍රිපාල මහත්තයාට මම පැහැදිලි කරලා කිවුවා පක්ෂය විනාශ කරපු අයව ළං කර ගැනීමේදී මොකද වෙන්නේ කියලා. ඉන් පස්සේ ඒ අය ළං වෙලා මාව එළවනවා. මෛත්‍රිපාල මහත්තයා ඒ ගිහිල්ලා ආව අයවත් එළවලා වෙනත් කෙනකු සභාපති කරනවා. මේ සම්පූර්ණ විනාශය වුණේ මෛත්‍රිපාල මහත්තයා කරපු දෙයින්. මාව අවිස්වාස කරලා කවුරු හරි කියපු කේළාම්වලටයි ඒ අය මට එහෙම කළේ. එතුමාට හිටපු හොඳම විශ්වාසවන්තයා තමයි දයාසිරි ජයසේකර. තමන්ගේ ළඟම හිටපු, තමන්ව ආරක්ෂා කරපු ඇමැති මිසක කඩුවෙන් කොටපු ඇමැති නොවෙයි මම. තමන්ව අවංකව ආරක්ෂාව කරපු අය ඉවත් කළාම මෙහෙම වෙනවා.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම ඔබේත් දේශපාලන ගමන ඉවර වුණා කියා හිතන්නේ නැද්ද?

නැහැ. මේ දෙවල් පක්ෂයට වුණේ මේ වැරදි නිසා. මේවාට එක්තරා විදිහකට වග කියන්න ඕනෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාත්. අප එතුමාට ගරු කරනවා. ඒත් චන්ද්‍රිකා මැතිනිය ඒ වෙලාවේ මහින්ද මහත්තයා ජනාධිපති අපෙක්ෂකයා කළා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහත්තයා චන්ද්‍රිකා මැතිනියට සලකපු විදිහේ යම් ගැටලුවක් තිබෙනවා. මහින්ද මහත්තයා ඉන් අනතුරුව ගෙන ඒමට අවශ්‍ය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව වුණත්, එය කරන්නේ නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපෙක්ෂකයකු නම් කරන්නේ නැතුව තුන්වැනි වතාවටත් බලය ඉල්ලපු එක තමයි මේ වුණේ. තුන්වැනි ජනාධිපතිවරණය එයා තනිවම ඡන්දය ඉල්ලුව අපේක්ෂකයකු නම් කළේ නැහැ. ඒත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කළා නම්, 2015දී මේ බෙඳීම සිදු වන්නේ නැහැ. එයයි මේ අර්බුදය. පක්ෂයේ එවක හිටපු මේ නායකයෙන් දෙන්නා තමයි මේ පක්ෂයට සිදු වුණ විනාශයට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ.

කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ ඔබට තිබුණා යම් අනන්‍යතාවක්. මෙවර එයත් නැති වුණා කිව්වොත්්‍?

එහෙම වෙන්න හේතුවක් නෑ. ජනතාව මා එකක් ඉන්නවා. ඔබ අදහස් කරන්නේ මම සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලපු එක ගැන වෙන්න ඇති. එහෙත් අපට එදා යන්න තැනක් තිබුණේ නෑ. අපට කොහෙද එදා යන්න තිබුණේ. එහෙම පැහැදිලි තැනක් තිබුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න බෑ. අපි මොනවද එහෙම නම් කරන්නේ? කොහොමත් පොහොට්ටුවට එකතු වුණ රනිල් මහත්තයා ළඟට යන්නේ නෑ කියන තීන්දුවට අපි ඇවිත් හිටියේ. ඒ නිසා අප තීරණය කළා සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන්න. මේ වන විට අපේ පක්ෂයේ නීතිමය ගැටලු මතු වෙලා තිබුණා. ඒ කාලේ මාව පක්ෂයෙන් එළියට දාලා මම නඩු කියනවා. නිමල් සිරිපාල මහත්තයලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඇතුළට ගිහිල්ලා, රනිල් මහත්තයාගේ බලයත් එක්ක පක්ෂ මූලස්ථානය අල්ලාගෙන ඉන්නවා. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට අයිති නැහැ. ඒත් ගොඩනැඟිල්ල තිබුණේ ඒ අයගේ යටතේ. ඒ කාලයේ ජනාධිපතිවරණය ඉදිරියට එනවා. එකතු වෙලා පක්ෂයක් ලෙස තීරණයක් ගන්න පුළුවන් පසුබිමක් එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් අතර තිබුණේ නෑ. අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පිරිසක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයට සහය දුන්නා. අනෙක් පිරිස රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහය දුන්නා.

පළාත් පාලන මැතිවරණය අවසන්. හිතුව විදිහයට විපක්ෂයට පළාත් පාලන ආයතන පිහිටුවන්න බැරි වුණා නේද? දැන් වත් ආණ්ඩුවට රට කරන්න ඉඩ දීලා විපක්ෂය බලාගෙන ඉඳීද?

අපි ආණ්ඩුවේ වැරදි දේවල් පෙන්නා දෙන්නයි විපක්ෂයක් ලෙස කටයුතු කරන්න අවශ්‍ය. විපක්ෂයට බලය තිබෙන පළාත් පාලන ආයතනවල විපක්ෂය වැඩ කරන්න අවශ්‍යයි. ඒ වගේම ආණ්ඩු පක්ෂයට බලය තිබෙන තැන්වල ආණ්ඩු පක්ෂය වැඩ කරන්න අවශ්‍යයි. විපක්ෂයට බලය තියන තැන්වල ආණ්ඩුව බාධා කරන්න හොඳ නැහැ. ජනතාව බලය දීලා තියෙන විදිහට අප වැඩ කරන්න අවශ්‍යයි. මේ ඡන්ද ක්‍රමය අනුව මුලින්ම වැඩ කරන කොටත් අපි කිවුවා: මේ ඡන්ද ක්‍රමයේ ප්‍රශ්න තිබෙනවා, කිසිම තැනක බලය නැති අයට කරන්න අවශ්‍ය මොනවාද කියලා ගැටලුවක් තියෙන බව. සියයට 50කට වඩා බලය තිබුණොත් එතැන පළාත් පාලන ආයතන පිහිටුවන්න පුළුවන්. එත් 50% නැති තැන්වල අර්බුදයක් තියෙනවා. අපි මේ අර්බුදය ගැන නෛතික පැත්ත ගැන කතා කර තිබෙනවා. මේ අර්බුදය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලයේදීයි. ඡන්ද සුළු ප්‍රමාණයක් ගන්න නිසා 2018ට කලින් අනුර කුමාර දිසානායක මහත්තයාමයි යෝජනා කළේ. ඒ අනුව මේ අර්බුදය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා, අනුර දිසානායක මහත්තයාට උදවු කරන්න අවශ්‍ය නිසා. පළාත් පාලන මැතිවරණ හදන කොට රනිල් මහත්තයාට වුවමනා වුණා ඒ අයටත් බලය දෙන්න; අනුර කුමාර දිසානායකගේ ජවිපෙට එවකට 3%ක විතර ඡන්දයක්නේ හිමි වුණේ. ඒ කාලයේ තිබුණේ 50%ට වැඩි වුණොත් පමණයි නියෝජනයක් දෙන්නේ. ජවිපෙට තිබුණේ 5%කට අඩු ප්‍රමාණයක්. ජන්ද දාහක්වත් නැති තැන්වල බලය හිමි වුණේ ඒකයි ඇතැම් පක්ෂවලට. මේ පාර ඒ අයට සිද්ධ වුණා රහස් ඡන්ද පාවිච්චි කරලා රහස් ඡන්දවලින් මේ දේවල් කරන්න අනුර කුමාර දිසානායකම ගෙනාපු යෝජනාවලට රනිල් මහත්තයා උදවු කරලා ඒ කාලෙයේ ඒක ජවිපෙට යහපතක් වුණා. ඒ අනුව ඡන්ද අටසියයක් ගත්තාත් පළාත්පාලන ඇතුළට ඉන්න පුළුවන් වුණා. සියයට පහකට තිබුණා පළාත්පාලන ක්‍රමවේදය රනිල් වික්‍රමසිංහ වෙනස් කළාට එය දැන් අනුර කුමාර මහත්තයාටම දැන් පාරාවළල්ලක් වෙලා ඇවිත් තිබෙනවා.

ආණ්ඩුව අන්තර්ජාතිකව හොඳහිත දිනාගෙන නෑ, ආණ්ඩුවට විදෙස් ප්‍රතිපත්තියක් නෑ කිවුවාට මේ වන විට අන්තර්ජාතික කීර්තිය දිනාගන්න ආණ්ඩුවට හැකි වී තිබෙනවා නේද?

ආණ්ඩුවට විදෙස් ප්‍රතිපත්තියක් තිබෙනවා කියලා අප කියන්නේ කොහොමද? අපේ රටේ හිටියා මහ වටිනාකමක් තිබුණ විදෙස් ඇමැතිවරු. ඒ අය කොච්චර ලස්සනට ආණ්ඩුව වෙනුවෙන් වෙනත් රටවල පෙනී සිටියාද? අද එහෙම අය අපට දකින්නවත් නැහැ. අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය ගැනවත් ඇමැතිට බලයක් නෑ. විදෙස් ප්‍රතිපත්තිය මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. රටෙන් කොටසක් අද චීනයට අයිති වෙලා තිබෙනවා. ඉන්දියාවත් සමඟ අත්සන් කළ ගිවිසුම මොකක්ද කියලාවත් අප දන්නේ නෑ. ගිවිසුම් හත මොනවද කියලා පාර්ලිමේන්තුවේ ඉන්න අපවත් දන්නේ නෑ. මේක රටක්. එතකොට අප දැනගන්න අවශ්‍යයි. රට වෙනත් රටකට විකුණුවත් අප දන්නේ නැහැ. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පැහැදිලි විදෙස් පිළිවෙතක් තිබුණා. ඒ අය රට-රටවලට ගිහින් මේ රටට කිර්තියක් අත් කර දුන්නා. මේ අයට විදෙස් සම්බන්ධතා ගැන කිසිම අවබෝධයක් නෑ. රටකට ගිහින් ආවා කියලා සම්බන්ධතා ඇති වෙන්නේ කොහොමද? එදා ඉන්දියාවට විරුද්ධ වුණ අය අද හොර රහසේ ගිවිසුම් ගහනවා. ඒ අයවත් දන්නේ නෑ ඒ අය අනුගමනය කරන විදෙස් ප්‍රතිපත්තිය මොකක්ද කියලා!

You may also like

Leave a Comment