මහාචාර්ය අංකුරන් දත්ත ඉන්දියාවේ අසම් ප්‍රාන්තයේ ගුහාවටී විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකි. ඉන්දීය සංගීතයේ ගායන වාදන ශික්ෂණයක් ලැබූ ඔහු විවිධ කලා ක්ෂේත්‍රවලද ඉමහත් දස්කම් ප්‍රකට කර ඇත. ලේඛකයකු, පර්යේෂකයෙකු, සංගීතඥයකු හා පරිපාලකවරයකු ලෙසද සිය කුසලතා පෙන්වා ඇති අංකුරන් දත්ත සිංහල නම් ගම් භාවිත කරමින් අසමියා බසින් මේ කෙටිකතාව ලියා ඇත. මීට අවුරුදු දෙකකට පමණ පෙර සිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයට එක් වෙමින් ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට කැප වෙමින් මහාචාර්ය අංකුරන් දත්ත දැනුදු ශ්‍රී ලංකාවේ දිවි ගෙවමින් සිටී.
චි ත්‍ර ප්‍රදර්ශනයට සම්බන්ධ වී සිටින පිරිමි ළමයා එක් චිත්‍රයක් ලබා ගැනීම සඳහා කොතරම් වේලාවක් බලා සිටින්නේද! චිත්‍රාගාරයේ එක් කෙළවරක පිරිමි ළමයා සිටින අතර, විශාල කැන්වසයක් ඉදිරියේ රුවන් සිටී. දෙදෙනාම සිටින්නේ හිඳගෙනය. පිරිමි ළමයා වරක් දෙවරක් තරමක් පැකිළෙමින් විමසුවේය.
“අයියා… චිත්‍රෙ ඇඳල ඉවරද? ඔයත් ඕක ඉස්සරහට වෙලා වාඩි වෙලා ඉන්නවා, මාත් ඕක ගෙනියන්න ඇවිත් බලාගෙන ඉන්නවා. කියුරේටර් දිගින් දිගටම කෝල් කරනවා. චිත්‍ර ප්‍රදර්ශනේ පටන් ගන්න වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ.”
නැවතත් පැමිණිලි කරන ස්වරයකින් ඔහුගේ හඬ ඇසෙන්නට විය:
“අයියෙ… දවස් ගණනක ඉඳං මේ විදියමයි. චිත්‍රෙ නං ඇඳල ඉවරනෙ. මාව මෙතන වාඩි කරල තියාගෙන ඉන්නෙ ඇයි? මං ඕක ගෙනියන්නද?”
“මගේ චිත්‍රෙ නැතුව චිත්‍ර ප්‍රදර්ශනේ තියන්න යනව නං එහෙම කරන්නකො. මං අන්තිම ඉරත් අඳිනකං මේ චිත්‍රෙ දෙන්නෙ නෑ,” රුවන් කිවුවේ තර්ජනාත්මක ස්වරයකිනි.
දෙදෙනාම නැවත හිඳගෙන සිටිති. පැයකට පමණ පසු රුවන්ගේ චිත්‍රාගාරයේ වැඩ කරන කොලුවා උණු කිරි සහිත ‘සිලෝන් ටී’ තේ කෝප්ප දෙකක් ගෙනැවිත් දෙයි. ප්‍රදර්ශනයෙන් පැමිණි පිරිමි ළමයා තේ කෝප්පය අතට ගෙන, වැඩ කරන කොලුවා දෙස බලයි.
ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොලද පිරිමි ළමයා රුවන්ට ඇසෙන්න හඬ නඟා කතා කරයි:
“හුඟාක් පරක්කු වුණා. බඩගින්නකුත් තියෙනව. බිස්කට් තියෙනවද තේ එකත් එක්ක?”
වැඩකාර කොලුවා පරණ බිස්කට් පෙට්ටියක් ගෙනැවිත් ඔහු ඉදිරියේ තබයි. ඒ පෙට්ටිය දුටු පිරිමි ළමයා තේ එක පමණක් බීම හොඳයැයි තේරුම් ගෙන ස්තුති කරයි; නැවත අඳින චිත්‍රය දෙස බලා සිටී.
උදෑසන ගෙවී ගොස්, සවස් කාලය එළඹෙයි. රුවන් ඇසිපිය නොහෙළා අඩි අටයි හය ප්‍රමාණයේ විශාල කැන්වසය ඉදිරියේ හිඳගෙන සිටී. පිරිසුදු කැන්වසය මත ඇක්රිලික් තීන්තවලින් අඳිනු ලැබූ චිත්‍රය. බෙලෙක් පුටුවක් මත සමාධියකට සම වැදී සිටින රුවන්. ඒ විශාල චිත්‍රාගාරයෙහි එක් කොනක හිඳගෙන සිටින පිරිමි ළමයා. ඔහුගේ බැල්ම රුවන් වෙත යොමු වී තිබේ. පිටත බල්ලන්ගේ බිරීම් හඬ හැරුණු විට වෙනත් කිසිදු ගෝසාවක් නෑසෙයි. පෙර අත්දැකීම් මෙන්ම ප්‍රදර්ශනයේ භාරකාර මහාචාර්ය රවීන්ද්‍ර ද මේ තත්ත්වය පිළිබඳ ඔහුට කියා දී මෙහි එවනු ලැබ ඇත. ඒ නිසාම පිරිමි ළමයාට එහි යන විට වතුර බෝතලයක්ද රැගෙන යන්නැයි උපදෙස් ලබා දුන්නේය. ප්‍රදර්ශනයේ වටිනාම චිත්‍රය රුවන්ගේ චිත්‍රය බව මහාචාර්ය රවීන්ද්‍ර දැන සිටී. අන්තර්ජාතික වෙළෙඳපොළෙහි ඔහු විසින් අඳින ලද එක් රේඛාවකට ද ඉතා ඉහළ වටිනාකමක් ලැබේ. මේ චිත්‍රය නම් ඉතා දීර්ඝ කාලයක පටන් ඇති වූ සිතිවිල්ලක ප්‍රතිඵලයකි.
හදිසියේම නිහඬතාව බිඳදමමින් රුවන්ගේ මුවින් හඬක් නැඟිණි. එය ‘චිත්‍රෙ වැඩේ ඉවරයක් කරල දෙන්නං’ යන්න නොවේ. පිරිමි ළමයා දෙස බැලුවේය; චිත්‍රය දෙස නොබලාම ඔහු කතා කරන්නට පටන් ගත්තේය:
“වර්ණ අපේ ජීවිතවලට කොච්චර බලපෑම් කරනවද කිවුවොත්, උදේ ඉඳං රෑ වෙනකං අපේ ඇස්වලින් දැකපුවා, හිතට දැනිච්ච ඔක්කොම සිදුවීම් වර්ණවලින් සංකේතවත් කරනවා. ඒ එක්කම හැම දේකම වර්ණවල බලපෑම පේන්න තියෙනවා. මේ මහා සාගරේ නිල් පාටින් පටන් අරගෙන රෑට අහස දිලෙන තරු තාරකා වෙනකං හැම දේකම තියෙන වර්ණ අපිව ආකර්ෂණය කරනවා. ඒ එක්කම ජීවිතේ ඔක්කොම රහස්, අත්දැකීම් ප්‍රතිඵලදායක කරන්නට පුළුවං නොයෙක් විදියේ සිතිවිලි මතු කරනවා.”
පිරිමි ළමයා ඇහිපිය නොහෙළා රුවන් දෙස බලාගෙන සිටියේය. උත්තරයක් දිය යුතුද? කිසිවක් නොතේරීත් ඔහු රුවන් දෙස බලාගත්වනම සිටියේය.
රුවන් නැවත කතා කරන්න පටන් ගත්තේය:
“දන්නවද, සංස්කෘතිය කියන එකටත් වර්ණයක් තියෙනවා. භාෂාවකටත් වර්ණයක් තියෙනව, කතාබහකටත් වර්ණයක් තියෙනවා. ඉතිහාසයටත් වර්ණයක් තියෙනවා, සබඳතාවලටත් වර්ණයක් තියෙනවා. මතිමතාන්තරවලටත් වර්ණ තියෙනව. අයිඩියාවලටත් වර්ණ තියෙනව. හැම මිනිහෙක්ගෙම හැම අත්දැකීමකටම, හැම ආවේශයකටම තමන්ගෙ වර්ණ තියෙනවා. පේන දේවල්වලට, මානසික තත්ත්වවලට මේ හැම දේකටම වර්ණ තියෙනවා. දවස කියන එකට වර්ණයක් තියෙනවා, ඒ එක්කම වර්ණවලත් දවස් තියෙනවා. ඒ මේ හැම වර්ණයක්ම අන්තිමේදි කොහොමද ආවේශ, අත්දැකීම් දිදුලවන්නෙ?”
පිරිමි ළමයාගේ ඇස් ඉදිරිපිටින් හරියටම එක්තරා අදෘශ්‍යමාන වර්ණ කිහිපයක් පාවී ගොස් කැන්වසය මත ඇතිරී ගියා සේය. ඔහු සිය දෙනෙත් පියාගනිමින් දකින්නට උත්සාහ කළේ කැන්වසයට බොහෝ දුරින් හිඳගෙන සිටියත් ඔහු නව වර්ණ එයට එක් කළේ කෙසේද යන්නයි. නැත, රුවන් කිසිදු නව වර්ණයක් කැන්වසය මතට එක් කළේ නැත. රුවන් කී දේ පමණක්ම, හරියටම අඳින ලද චිත්‍රයේ වර්ණවල අර්ථය පැහැදිලි කර දුන්නා සේය. හදිසියේ වර්ණ සියල්ල අතිශය පැහැදිලි වී ගියා සේය.
රුවන් නැවත කතා කළේය:
“තේරුණාද, ඉන්දියාවෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් -මක්බුල් ෆිදා හුසෑන්- කියුබිසම් හෙවත් ඝනිකවාදි ශෛලියෙන් සිල්ස්ක්‍රීන් ක්‍රමයට මුද්‍රණය කරපු ‘දුර්ගා’ චිත්‍රයේ වර්ණ අටක් භාවිත කළා. මේ වර්ණ අටෙන් හැමටම වඩා දිදුලු දුන්නෙ දුර්ගා දේවියගේ නිර්වස්ත්‍ර ශරීරයේ නිල් වර්ණය. ඒත් ඒ නිල් වර්ණය ඔහුගෙම ‘ක්‍රිෂ්ණලීලා’ නමින් තියෙන චිත්‍රෙ භාවිත කරලා තියෙන ක්‍රිෂ්ණගෙ ළානිල් වර්ණය ඊට වඩා වෙනස්. ඒකෙදි නිල් වර්ණයේ තෙයාකාර විවිධ ස්තර භාවිත කරලා තියෙනවා. මේ නිල් වර්ණයේ සියලු ස්තර වෙනස්-වෙනස් ආකාරයට ද්විමාන තත්ත්වයකින් ඉදිරිපත් කළා.”
පිරිමි ළමයා විශේෂ දෙයක් තේරුම් නොගෙන, රුවන්ගේ මුහුණ දෙස පමණක්ම බලාගෙන සිටියේය. ඔහු කල්පනා කරන්න පටන් ගත්තේය: ‘දැං නං චිත්‍රෙ ඇඳල ඉවර ඇති.’ ඔහු දිගු සුසුමක් හෙළුවේය. ඔහු සිතුවේ මෙපමණකි: ‘අන්තිමේදි එයා අද මොන තැනකටද හේත්තු වුණේ?’ රුවන් කී දෑ තේරුම් ගැනීම ඔහුට අපහසු වුවත් කැන්වසය මත යෙදූ වර්ණවල නිර්වචන ඔහු තේරුම් ගත්තා සේය. කෙසේ වෙතත්, කිසියම් වර්ණ කිහිපයක් චිත්‍රයට එකතු වී ඇත. මේ තරම් විශාල කැන්වසයේ වැඩි කොටසක් හිස්ව තිබෙයි. ඉදින් අඩි 2X2 ප්‍රමාණයේ කැන්වසයක චිත්‍රය ඇන්දා නම් මෙවැනි විශාල ප්‍රමාණයක කැන්වසයක් නාස්ති කර දැම්මේ මන්ද? ඔහු කිසිත් නොකියා බලාගත්වනම සිටියේය. මේ වර්ණ අට අතරින් වඩාත් ඉහළින්ම දිදුලුවේ දුර්ගාගේ නිර්වස්ත්‍ර සිරුරේ නිල් වර්ණයයි. එහෙත් ඒ නිල් වර්ණය ඔහුගේම ‘ක්‍රිෂ්ණලීලා’ චිත්‍රයේ වර්ණයට වඩා වෙනස්ය. එහි නිල් වර්ණයේ ස්තර කිහිපයක් භාවිත කර තිබිණි. මේ නිල් වර්ණයේ සියලු ස්තර වෙනස් වෙනස් ද්විමාන තත්ත්ව ලෙස ඉදිරිපත් කර තිබිණි.
හදිසියේම රුවන් පුටුවෙන් නැඟී සිට කතා කරන්න පටන් ගත්තේය:
“හරි, අරං යන්න. චිත්‍රෙ ඇඳල ඉවරයි.”
පුටුවෙන් නැඟී සිටි පිරිමි ළමයා රුවන් දෙස බැලුවේය. ‘කිසිවක් නොකොට චිත්‍රය ඉදිරියේ පැය පහක් ඔහු වාඩි වී සිටියේය, දැන් එය අවසන් වී ඇත්තේ කෙසේද? පැය පහක් යන තුරු ඔහු කුමක් කළේද? ඉදින් යමක් කිරීමට නොතිබුණේ නම්, මේ තරම් වේලාවක් තමා මෙහි වාඩි කර තබා ගත්තේ මන්ද?’ මෙවර සත්‍ය වශයෙන්ම ඔහුට කෝපයක් ඇති විය. එහෙත් සිනාසෙනවාද නැද්ද යන සිතිවිලි රැගත් මුහුණ මත මඳ සිනාවක් අතුරමින් කතා කළේය: “අයියෙ, මං එහෙනං කෝල් කරල වෑන් එක ගෙන්නන්නං.”
රුවන්ගේ චිත්‍රය ගෙන ඒමට ගිය පිරිමි ළමයා තුළ බලවත් කෝපයක් පිරී පැවතිණි. ඔහු නැවත නැවත කල්පනා කළේ තමා මෙවැනි චිත්‍ර ශිල්පියකු සමඟ කෙදිනකවත් වැඩ නොකරන බවයි.
එහෙත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි වීඅයිපී පුද්ගලයන් සහ සාමාන්‍ය ජනයා මේ චිත්‍රය කෙරෙහි දක්වන උනන්දුව දුටු ඔහුට ඉමහත් සතුටක් ඇති විය. රුවන් පැහැදිලි කර දුන් පරිදි වර්ණවලටත් මිනිසුන් වර්ණවත් කළ හැකිය. එක්විටම මහාචාර්ය රවීන්ද්‍ර රුවන්ට කීවේ ප්‍රධාන අමුත්තා ඔහුගේ චිත්‍රය මිල දී ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, ඒ සඳහා ඩොලර් දසදහසක් දීමට ඔහු සූදානම් බවත්ය. රුවන් ගැඹුරු කටහඬකින් කතා කළේය:
“නෝ.”
භාරකරු නැවත ඔහුගෙන් විමසුවේ තවත් වැඩිපුර මුදලක් අවශ්‍යද කියාය. රුවන් එකම පිළිතුරක් දුන්නේය:
“නෝ. මං චිත්‍රෙ විකුණන්නෙ නෑ.”
ඩොලර් දසදහසක මුදලකට චිත්‍රය නොවිකුණන බව ඇසූ පිරිමි ළමයාට රුවන් දෙස නොබලා සිටීමට නොහැකි විය. ඔහු වඩාත් උනන්දුවකින් රුවන් දෙස බලාගත්වනම සිටියේය. භාරකරු එතැනින් යන්නට ගියේය. රුවන්ගේ දෙනෙත්වලින් උණුසුම් කඳුළු කැට දෙකක් පහළට වැටුණේය. පිරිමි ළමයා රුවන් අසලට ගොස් ආවේය; කිසිවක් නොකීවේය. රුවන්ද නිහඬව සිටියේය; චිත්‍රය දෙස පමණක් බලාගෙන සිටියේය. මෙතරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මැද පිරිමි ළමයා නිහඬතාවක් අත්වින්දේය. එක්විටම රුවන් පිරිමි ළමයාගේ මුහුණ දෙස නොබලා කතා කළේය:
“මල්ලි, මේ චිත්‍රෙ ඔහේට මොනවද පේන්නෙ?”
ඔහු අන්දමන්ද භාවයට පත් විය; කෙටියෙන් පිළිතුරක් දුන්නේය:
“ලොකු කැන්වස් එකක්. ඒකෙ මැද්දෙ ගුවන් තැපැල් කවරයක්; ඒකෙ රුවන් මනතුංග කියන නම ලියලා තියෙනවා; පුත්තලමේ ගමේ නම සටහන් කරලා තියෙනවා; මුද්දරයක් අලවලා තියෙනවා. ඒකෙ උඩ තැපැල් දෙපාර්තමේන්තුවෙ සීල් එක ගහලා තියෙනවා. ලියුම ලිවුවෙ කවුද කියල පැහැදිලි නෑ.”
“මල්ලි… මේ චිත්‍රෙ ඇයි අනිත් චිත්‍රවලට වැඩිය වෙනස් වෙන්නෙ?”රුවන් හිස සලමින් විමසුවේය. පිරිමි ළමයා කිසිදු වෙනසක් දුටුවේ නැත. එහෙත්, චිත්‍රය අතිශයින් යථාර්ථවාදිය, හරියටම ලියුම් කවරය ස්කෑන් කොට, මුද්‍රණය කොට මෙහි තැබුවා සේය! ඔහු රුවන් තේරුම් කර දුන් ආකාරයට වර්ණ සංයුතිය නිරීක්ෂණය කළේය. අවසානයේදී ඒ වර්ණ කුමන ආකාරයේ අත්දැකීම් එළිදක්වන්න සමත්ද? ලියුම් කවරය අවුරුදු ගණනාවක් පැරණි එකකි. එය චිත්‍රය මත අතිශය සුන්දරව කැපීපෙනෙයි. අසම්දෝ-නොඅසම්දෝයි සිත-සිතා ඔහු රුවන්ට කතා කළේය:
“අයියෙ, මේ චිත්‍රෙ අනිත් චිත්‍රවලින් වෙනස් වෙන්නෙ ඇයි? ඇයි මේ චිත්‍රෙට මේ තරම් ඉහළ මිලක් දෙන්න හදන්නෙ? ඩොලර් දහදාහක් කියන්නෙ අපේ ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ තිහක් විතර වෙනව. එහෙම වෙලත්, අයියා මේ චිත්‍රෙ විකුණන්නෑ කියල බොහොම පැහැදිලිව කිව්වෙ ඇයි? පොඩ්ඩක්වත් ආසාවක් හිතෙන්නැද්ද මෙච්චර ලොකු මුදලක් අපතෙ යනව කියල?”
ඔහුගේ ප්‍රශ්නවලට නිහඬව සිටීමට රුවන් වඩාත් ප්‍රිය කළේය; නැවත කතා කළේය:
“අද දිනේ කවද්ද? අද දිනේ ප්‍රසිද්ධ ඇයි?”
“අද මැයි 25, මව්වරුන්ගේ දිනය!” පිරිමි ළමයා පිළිතුරු දුන්නේය.
රුවන් හිස සලමින් එය තහවුරු කළේය; කිසිවක් නොදෙඩුවේය. පිරිමි ළමයාගේ උනන්දුවේ සීමා බිඳී ගියේය. ‘ඇයි ඒ මහත්තය චිත්‍රෙ විකුණුවෙ නැත්තෙ? අද දවස ගැන ඇහුවෙ මොකද? මොන වගේ මනුස්සයෙක්ද මෙයා?’ දිනය පුරා ලැබූ අත්දැකීම් ඔහුට එකින් එක සිහිපත් විය. පැය පහක් යන තුරු චිත්‍රයේ අන්තිම වැඩ කටයුතු කරන්නට රුවන් එය ඉදිරියේ හිඳගෙන සිටියේය. පැය පහකට පසු කීවේ ‘දැං චිත්‍රෙ වැඩ ඉවරයි’ කියාය. එක ඉරක්වත් ඔහු ඇන්දේ නැත; කැන්වසය ස්පර්ශ කළේවත් නැත. කොහේ හෝ තැනක එක තිතක් හෝ තැබුවේ නම් සිතට සහනයක් ඇති වන්නේ එය අවසන් කටයුත්ත යැයි සිතීමෙනි. චිත්‍රය, ඒ ප්‍රදර්ශනයේදී විශේෂ ස්ථානයක් ලබා ගත්තේය. ඉතා ඉහළ වටිනාකමක් දෙනු ලැබූයේ එම චිත්‍රයට වුවත්, එය විකුණනු නොලැබිණි. අන්තිමේදී චිත්‍රයේ ඇත්තේ කුමක්ද! ඩොලර් දසදහසක් ලබාගෙන මෙවැනි චිත්‍ර දහයක් ඔහුට නැවත අඳින්නට හැකිව තිබිණි! චිත්‍රය නොවිකුණන බව කී විට භාරකාර මහාචාර්ය රවීන්ද්‍ර ‘අයි අන්ඩර්ස්ටෑන්ඩ්’ (මට තේරෙනව) කියා යන්න ගියේ ඇයි? කලාකරුවන්ගේ කතා-බහවල ‘කෝඩ් ලැන්ග්වේජ් එකක්’ (සංකේත-භාෂාවක්) ඇතැයි ඔහුට සිතිණි.
සෑහෙන වේලාවක් තිබුණු නිහඬතාව බිඳිමින් රුවන් ඔහු දෙස බලා කතා කරන්න පටන් ගත්තේය:
“මල්ලි, මට එතකොට අවුරුදු හතරක්. අපේ ගෙදර තිබ්බෙ බොහොම නරක තත්ත්වයක්. තාත්තගෙ අසනීප තත්ත්වෙ හොඳ මට්ටමක තිබුණෙ නෑ. සතියකට දවස් දෙක-තුනක් වැඩවලින් නිවාඩු ගන්න සිද්ධ වුණා. ඒ විදියට මාස දෙකක් ගෙවිලා ගියා. තාත්ත වැඩ කරපු තැනින් ඒකෙ අයිතිකාරයා තාත්තව අයින් කරලා දැම්මා. ගෙදර කිසි දෙයක් ඉතුරු වුණේ නෑ. කෑමට හාල් මිටක් එකතු කරගන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ. මගේ මූණ දිහා බල බල අඬ අඬා අම්ම දවස ගෙවන්න පටන් ගත්තා. අහල පහල තැන්වල වැඩපළ කරලා සුළු මුදලක් අම්ම අරන් එන්න පටන් ගත්තා. සමහර විට හාල් කිලෝවක්, සමහර විට පරිප්පු ටිකක්… මෙහෙම තමයි දින ගෙවිල යන්න පටන්ගත්තෙ. දොස්තර මහත්තයා තාත්තට දෙන්න ඕනෑ බෙහෙත් ප්‍රමාණෙ වැඩි කළා. ඒ බෙහෙත් මිල දීල ගන්නත් මුදල් ප්‍රමාණවත් වුණේ නැහැ. දවසක් අම්ම හදිසියෙම තීරණය කළා බෙහෙත්වලට යන වියදමයි, මගේ ඉගෙනුම් කටයුතුවලට යන වියදමයි කොහෙන් හරි හොයාගන්න ඕනෑ කියල. අහල පහල හිටපු මිලින්ද කියන මනුස්සයෙක් කියපු විදියට දවසක් උදේ මට මුකුත්ම නොකියා අම්මා යන්න ගියා. කොහේ ගියාද කියල මං දන්නෙ නෑ. තාත්තගෙන් අහන්න මට බය හිතුණා. ඒත් මං අඬ අඬා තාත්තගෙන් ඇහුවා. තාත්ත කෙටියෙන් උත්තර දුන්නා… ‘වැඩක් හොයන්න කොහෙටද ගිහිං,’ කියල. ඒත් අම්ම ආවෙ නෑ. පස්සෙන්දා උදේ ආච්චි ආවා – අම්මගෙ අම්මා. කලින් දවසෙ රෑ අපි මුකුත් කාලා හිටියෙ නෑ. ආච්චි ගෙනාපු වේළිච්ච ඉඳිආප්පයි, පොල්සම්බෝලයි කාලා මං ඉස්කෝලෙ යන්න ලැහැස්ති වුණා. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවට පස්සෙ දැක්කා ආච්චි මොනවා දෝ වගයක් උයලා තියෙනවා. මං ආච්චිගෙ උකුළෙ වාඩි වෙලා හයියෙන් අඬන්න පටන් ගත්තා; සැරින් සැරේ අහුවා ‘අම්ම කොහෙද ගියේ, කවද්ද එන්නෙ?’ කියලා. ආච්චිත් මාත් එක්ක ඇඬුවා; උකුළෙ තියාගෙන මට කිරිබත් ටිකක් කැවුවා. හැමදාම උදේ නැඟිටල මං ගේ පුරාම අම්මව හෙවුවා, ඉස්සරහ පැත්තෙයි, පිටිපස්ස පැත්තෙයි දෙකේම. අඬාගෙනම තමයි හැමදාම දවස පටන් ගත්තෙ. ටිකින් ටික මට මාස එකහමාරකට පස්සෙ ලියුමක් ආවා. අම්මා එයාගෙ ලස්සන අකුරුවලින් ලියලා තිබුණා… ‘මගේ ආදරණීය පුතා රුවන්…’ කියල. අම්මගෙ අත්අකුරු දැකපු පාර මං කෑගගහ අඬන්න පටන් ගත්තා. ගෙදර කටයුතු බලා-හදා ගන්නයි, තාත්තගෙ බෙහෙත්වලට යන වියදම් පියවන්නයි හිතාගෙන අම්මා ගෘහ සේවිකාවක් හැටියට ලෙබනන් රටට ගිහිං. දැන් අම්ම ගෙදරක වැඩ කරනවා. පළමු මාසෙ පඩිය ගෙදරට එවල තිබුණා. දැන් තාත්තගෙ බෙහෙත් ගන්නයි, මගේ ඉස්කෝලෙ වැඩවලටයි, කෑම බීම ගන්නයි කරදරයක් වෙන එකක් නෑ. මේ ඔක්කොම වියදම් කළාට පස්සෙ මුදල් ටිකක් ඉතුරු කරගන්නත් අම්මා උත්සාහ කළා. ඒ ආපහු එද්දි අරං එන්න හිතාගෙන.
ලියුම මගේ පපුවට හේත්තු කරගෙන මං උඩ පැන-පැන එහාට-මෙහාට දුවන්න පටන් ගත්තා. එක මොහොතකටවත් ඒ ලියුම මගෙන් ඈත් වෙලා තියෙන්න මං ඉඩ දුන්නෙ නෑ. නිඳාගන්න වෙලාවට ඒක ඉඹල ඇඳ ඉහ උඩින් තියා ගන්නව. උදේට නැඟිට්ට ගමන් ඒක ඇරල බලනවා. අපේ තත්ත්වෙ තරමක් දුරට හොඳ අතට හැරුණා. තාත්තා ඉස්සරට වඩා සුවයෙන් ඉන්න බව පෙනුණා. ඉස්කෝලෙ ඇරිලා හැමදාම මං දුවගෙන දුවගෙන ගෙදරට ආවෙ තවත් ලියුමක් ඇවිල්ලද කියලා බලන්නයි.
ඒ විදියට අවුරුදු දෙකක් විතර ගෙවිලා ගියා. මං හුඟක් බලාපොරොත්තුවෙන් හිටියා අම්මා එන්නෙ කවද්ද කියලා බලාගෙන. මට අවුරුදු නවයක් වෙද්දි එක ලියුමක් ආවා. ඒ දවස මැයි දාහතර වැනිදා. අම්මා ඒකෙ ලියල එවල තිබුණා එයා එහේ තවත් ඉන්නෙ නෑ, සල්ලි හුඟක් ඉතුරු කරගන්න ලැබුණෙත් නැහැ, ඒ අස්සෙ සිවිල් යුද්දෙකුත් පටං අරන් කියලා. මිනිස්සු හුඟක් මැරුණලු. ඒක ලියුම කියවලා මං හුඟක් බය වුණා. හැම වෙලාවකම දෙවියන්ට කිවුවෙ ‘අම්මව ඉක්මනට ගෙන්නල දෙන්න’ කියලයි. අම්මා එවපු අන්තිම ලියුම තමයි ඒක. ඊට පස්සෙ කිසිම ලියුමක් ආවෙ නැහැ. ඊට මාස දෙකකට විතර පස්සෙ එක මනුස්සයෙක් ට්‍රංක පෙට්ටියක් අරං ඇවිත් තාත්තට දුන්නා. අපි ඒක ඇරලා බැලුවා. මට එවාපු සෙල්ලම් බඩු කීපයක්, චිත්‍ර අඳින පොතක්, පාට පැන්සල්, අම්මගෙ සාරියක්-දෙකක්, තාත්ත වෙනුවෙන් ගත්ත කලිසමක්-කමිසයක්… මට හරිම සතුටුයි. චිත්‍ර අඳින පොතකුයි, පාට පැන්සලුයි අරගෙන මං ගෙයින් එළියට බැහැලා දුව දුව සින්දු කිවුවා. මිනිත්තු කීපෙකට පස්සෙ ආච්චි කෑගගහ අඬන සද්දෙ ඇහිලා මං තිගැස්සුණා. ආපු මනුස්සයා බොහොම දුකෙන් මා දිහා බලල යන්න ගියා…”
භාරකාර මහාචාර්ය රවීන්ද්‍ර කුඩා ගැහැනු ළමයකු කැඳවාගෙන පැමිණියේය. ඇය රුවන් අසලට විත් පුංචි පොතක් ඔහු දෙසට දිගු කළාය:
“ඔටෝග්‍රාෆ් ප්ලීස්!”
සංජීව් කලිතා විසින් කරන ලද හින්දී
පරිවර්තනය ඇසුරෙන් සිංහලයට නැඟුවේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
උපුල් රංජිත් හේවාවිතානගමගේ
වචන 1000ක් පමණ වන සේ රචනා කළ ඔබගේ කෙටිකතා නිර්මාණ
අප වෙත යොමු කරන්න
කෙටිකතාව
“සිළුමිණ” ලේක්හවුස්, කොළඹ.
[email protected]