ඔබ දේශපාලනය, ඉතිහාසය, කලාව වැනි විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සිය ගණනක් සම්මුඛ වීමට අවස්ථාව ලැබුණු මාධ්‍ය වෘත්තිකයෙක්. ඔබේ මාධ්‍ය ජීවිතයේදී සිදු කළ සිය ගණනක් සම්මුඛ සාකච්ඡා අතර මේ සාකච්ඡා මාලාව කෘතියක් බවට පත් කරන්න බලපෑ හේතුව කුමක්ද?
ඔව්. ඔබ පැවැසූ විදිහටම මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළම තලයේ ඉන්න ප්‍රවීණයන් සමඟ සම්මුඛ සාකච්ඡා රැසක් කරන්න මට අවස්ථාව ලැබුණා. ‘දිනූ මිනිසකුට සෙවණැල්ලක්ව’ කියන මේ පොතට ඇතුළත් වන්නේ මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළටම ගිය වෘත්තිකයන් පිරිසකගේ බිරින්දෑවරුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා. තමන්ගේ සැමියට වෘත්තීය විදිහට ඉහළටම යන්න මේ බිරින්දෑවරුන් පවුල කළමනාකරණය කරමින් කළ කැප කිරීම් මේ පොත මඟින් හෙළිදරවු වනවා. අප දන්නා තරමින් මෙවැනි තේමාවකින් අප රටේ ප්‍රකාශයට පත් කෙරුණු පළමුවැනි පොත මේක. සම්මුඛ සාකච්ඡා සිය ගණනක් අතුරින් මුලින්ම මෙය පොතක් විදිහට එළිදක්වන්න හිතුවේ ඒ නිසයි.
ඉන්දීය සාහිත්‍යයේ කමලා දාස් කියන විශිෂ්ට ලේඛිකාව තම මුළුතැන්ගෙයින් එළියට ඇවිත් ලියන්න පටන් ගත්තාට පසු තමාගේ බිරියත් ලියන්න ගනීවී යැයි සමකාලීන ඉන්දීය පුරුෂ සමාජය තැති ගත් බව කියනවා. ඔබේ කෘතියට සම්මුඛ සාකච්ඡා දුන් බිරින්දෑවරුන්ගේ ස්වාමිපුරුෂයන් අපේ රටේ ප්‍රකට චරිත. බිරියකට මාධ්‍ය දොරටු විවර වන විට ඔවුන් තැති ගත්තේ නැහැ නේද?
ඇත්තටම ඔය කාරණය සැලකූ විට: අපේ සමාජය ඉන්දියාවේ සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙන බව කියන්න පුළුවන්. මොකද, මේ පොතට අදහස් දැක්වූ සියලු බිරින්දෑවරුන් ඉතා නිදහස්වයි කතා කළේ. මේ බොහෝ බිරින්දෑවරුන් තමන්ගෙ පවුල් ජීවිතයේ යහපත් අවධි වගේම ප්‍රශ්නසහගත අවස්ථා ගැනත් නොබියව කතා කළා; පවුල් ජීවිතයට ආ ප්‍රශ්න බිරියක විදිහට දරාගනිමින් විසඳාගත් හැටි හෙළි කළා. මේ සම්මුඛ සාකච්ඡා පවත්වපු අවස්ථාවල බොහෝ විට ස්වාමිපුරුෂයනුත් හිටියා. හැබැයි ඒ කිසි කෙනෙක් තමන්ගෙ බිරියට තහංචි දැම්මෙ නැහැ ‘මේ දේවල් කියන්න එපා මේ දේවල් විතරක් කියන්න,’ කියලා.
ඔබ සම්මුඛ සාකච්ඡාවට ලක් කළ බිරින්දෑවරුන් නොබියව කතා කළ බව කිවුවා. සමාජයේ ප්‍රචලිත, ප්‍රකට පුද්ගලයකුගේ බිරියක වුණාම ඒ ජීවිතය නඩත්තු කරන්න අමතර වෙහෙසක් දරන්න ඕනෑ කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
මේ පොත එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කළේ මහාචාර්ය සරත් විජේසූරිය. ඔහු සිය අදහස් දැක්වීමේදී පැවසුවා සමාජයේ ප්‍රකට පුද්ගලයකුගේ බිරියක් වූ විට ඇයට ජීවිතයේ යම් ශික්ෂණයක් පවත්වාගන්න සිදු වන බව මේ සම්මුඛ සාකච්ඡා කියවද්දි වැටහෙන බව. ඒ ශික්ෂණය ඔබ ඔය අහන අමතර වෙහෙස කියන දේමද මන්දා… හැබැයි මේ සම්මුඛ සාකච්ඡාවලදි හෙළි වන ජීවන අත්දැකීම් අනුව නම්, ජීවිතය නඩත්තු කරන්න මේ බිරින්දෑවරුන් එහෙම අමතර වෙහෙසක් දරන බවක් පෙනෙන්නෙ නැහැ. කොහොම නමුත් මේ බිරින්දෑවරුන් තමන්ගේ ස්වාමිපුරුෂයන් අත්පත් කරගෙන තිබෙන සමාජ වටිනාකමට හානියක් නොවන ලෙස ජීවත් වන්න උත්සාහ කරන බව නම් මේ සම්මුඛ සාකච්ඡා කියවද්දි වැටහෙනවා.
ජීවිතයේ මිහිරි අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීම් රැසකුත් මේ බිරින්දෑවරු හෙළි කරනවා. එවැනි අවස්ථා කිහිපයක් අපට කියන්න පුළුවන්ද?
ඔව්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය ජලනි මෙන්න මෙහෙම කියනවා: “දරුවකු පිළිසිඳ ගැනීම කියන කාරණයේදි මම සෑහෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. දරුවකු හදනවා කියන මාර්ගයේ සැලකිය යුතු කාලයක් නොයන්න අපි තීරණය කළේ මට මුහුණ දෙන්න වුණු ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා. ‘අපි දරුවකු නොහදා ඉමු,’ කියලා සජිත් යෝජනා කළ අවස්ථාවකුත් තිබුණා. මොකද, දරුවකු හදන්න ගන්න උත්සාහයකදි මගෙ ජීවිතයට අනතුරක් වුණත් වෙන්න තිබුණා. ‘ඔයා නැතුව මට දරුවකු අවශ්‍ය නැහැ,’ කියලා එදා සජිත් කියපු දේ මගෙ හිතේ අදටත් තදින්ම තැන්පත් වෙලා තියෙනවා.”
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා මෙහෙම කියනවා: “සරත් සිරගත කිරීම සහ ඉන් පසු කාලයේ මට ලැබුණු පන්නරය වචනයෙන් කියන්න බැරි තරම්. ඔය සිදුවීම් මාලාවත් එක්ක දරාගැනීමේ උපරිම සීමාවත් අප පහු කළා. මා කියන්නෙ නැහැ හැම ගැහැනියක තුළම සිංහ ධේනුවක් ඉන්නවා කියලා. හැබැයි, හැම ගැහැනියක් තුළම විෂ සහිත හැපින්නක ඉන්නවා කියලා මම කියනවා. ඒ හැපින්න ඇහැරුණොත් මොන ජගතකුටවත් ඇය නවත්තන්න බැහැ.”
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ බිරිය කෞශල්‍යා, ලලිත් අවසන් සටනට වන්නි කැලය ඇතුළට පිටත්ව ගියදා දැකපු හීනයක් ගැන මෙහෙම කියනවා: “ඒක පුරන් වෙලා ගිය පාළු කුඹුරු යායක්. මම කුඹරු යායේ ඉන්න කොට මගේ ඉස්සරහට එකපාරටම ආවේ ජෙනරල් සරත් ෆොන්සේකා. එතුමා ඇඳගෙන හිටියේ ආමි සෙරමෝනියල් යුනිෆෝම් එක. මාව මුහුණට මුහුණ හමු වුණු ගමන් ජෙනරල් ෆොන්සේකා මට සැලියුට් කළා. ඒ සිහිනය දැක්ක ගමන් මාව ගැස්සිලා ඇහැරුණා. එතකොට වෙලාව පාන්දර තුනට විතර ඇති. මම ඒ වෙලාවෙ ලලිත්ට කෝල් එකක් ගත්තා. හැබැයි ඔහුගෙ ෆෝන් එක වැඩ කළේ නැහැ.”
මේ දවස්වල සමාජ මාධ්‍යවල තරුව වෙලා ඉන්නේ ගායන ශිල්පී චාමර රණවක. චාමරගෙ බිරිය ඉවෝෂා මෙහෙම කියනවා: “චාමරයි මමයි අතරෙ වාද විවාද වෙන වෙලාවටයි, අපි දෙන්නට එකඟ වෙන්න බැරි අවස්ථාවලටයි චාමරගෙ අම්මා ගන්නේ මගේ පැත්ත. මම හරි වුණත්, වැරදි වුණත්, මම මේ ගෙදරට ආපු දවසෙ ඉඳලම එහෙමයි. අනෙක් කාරණය තමයි: අම්මයි චාමරයි වාද කරගන්න වෙලාවල් තියෙනවා. හැබැයි අම්මයි මායි අතරෙ කවදාවත් නැන්දම්මා – ලේලි වාද ඇති වෙලා නැහැ.”
මේ හැම ජීවිත අත්දැකීමක් තුළම ප්‍රකාශ වන්නේ ආදරය, අවබෝධය හා අවසානයේ ඔවුන් ජීවිතය දිනාගත් ආකාරය. සංකීර්ණ ජීවිත ගත කරන වත්මන් මිනිසුන්ට, ගැහැනුන්ට මේ පොත වැදගත් වන්නේ කොහොමද?
අද වැනි සංකීර්ණ සමාජයක විවාහය කියන බැඳීම බොහොම ඉක්මනට, නොගිණිය හැකි තරමේ සුළු සිදුවීම් නිසා අත්හැරදාන හැටි අපට නිතර දකින්න ලැබෙනවා. උසාවිවල තිබෙන දික්කසාද නඩු සංඛ්‍යාව එයට හොඳ උදාහරණයක්. මේ පොතට සම්මුඛ සාකච්ඡා දුන් බිරින්දෑවරුන් තමන්ගේ සැමියන් ‘දිනූ මිනිසුන්’ කළේත්, කුටුම්බය රැකගත්තේත්, අවසානයේ තමන් ‘දිනූ ගැහැනුන්’ වුණේත් විශේෂ කාරණයක් නිසා කියලයි මට හිතෙන්නේ. ඒ තමයි: මේ බිරින්දෑවරුන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සමඟ එක්ව ගොඩනැඟූ කුටුම්බය තුළට බාහිරව සහ අභ්‍යන්තරිකව ආපු ප්‍රශ්න සිහිබුද්ධියෙන් විසඳාගෙන තිබීම. පවුල් ජීවිතවලට බාහිරව මෙන්ම අභ්‍යන්තරිකව එන අභියෝග ජය ගෙන සාර්ථක විවාහ ජීවිතයක් ගෙනයන්නේ කොහොමද කියන කාරණයට මෙය පාඩම් පොතක් වගෙයි. මෙහි අදහස් දක්වන බිරින්දෑවරුන් හෙළි කරන ඔවුන්ගේ ඇත්ත ජීවිත අත්දැකීම් ඒ තරමටම වටිනවා.