Home » බුද්ධිමය සම්ප්‍රදානයක ප්‍රභාස්වරය

බුද්ධිමය සම්ප්‍රදානයක ප්‍රභාස්වරය

ආචාර්ය කුමාරි ජයවර්ධන

by thanushika
June 28, 2025 12:30 am 0 comment
රසික කොටුදුරගේ

ආචාර්ය කුමාරි ජයවර්ධන යනු තම භාවිතයන් හා ලේඛන මඟින් අන්තර්ජාතික වශයෙන් බලපෑමක් ඇති කළ ශ්‍රී ලාංකේය ස්ත්‍රීවාදි ක්‍රියාකාරිනියක හා සමාජ විද්‍යාඥවරියක ලෙස හඳුන්වා දිය හැකිය. 1980-82 කාලය තුළ ඇය හේග්හි අන්තර්ජාතික සමාජ අධ්‍යයන ආයතනයේ ආගන්තුක විශාරදවරියක ලෙස ස්ත්‍රීන් හා සංවර්ධනය පිළිබඳ අධ්‍යයන පාඨමාලා පවත්වා ඇති අතර, 1987-88 සමයේදී අමෙරිකා එක්සත් ජනපදයේ රැඩ්ක්ලිෆ් විද්‍යාලයේ බන්ටින් ආයතනයේ අනුබද්ධ සාමාජිකාවක් වූවාය. 1970 දශකයේ ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ක්‍රියාකාරි භූමිකාවක් ඉටු කළ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවකි. ජනවාර්ගික, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, කුලය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ගවේෂණයේ යෙදුණු ඇය 1970 වසරේදී පිහිටුවූ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ලේකම්වරිය ලෙසද කටයුතු කළාය. එසේම ඇය එකී අධ්‍යයන ක්ෂේත්‍ර ගණනාව ඔස්සේ කළ අධ්‍යයන හා ගවේෂණ මඟින් ලේඛන ගණනාවක් ප්‍රකාශයට පත් කළ මෙරට ප්‍රභාවත් චින්තකවරියක්ද වේ.

ඇය කළ ලේඛන අතර ‘ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම (ඩියුක් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 1972)’, ‘ලංකාවේ ජනවාර්ගික හා පන්ති ගැටුම් (1985)’, ‘තුන්වන ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය (සෙඩ් පොත්, 1986)’, ‘යුරෝ-ආසියානු මකා දැමීම’ (2007),‘මූර්තිමත් ප්‍රචණ්ඩත්වය (සම සංස්කරණය, 1996) දකුණු ආසියාවේ කාන්තා ලිංගිකත්වය ප්‍රජාවීකරණය කිරීම (සම සංස්කරණය)’,‘සොක්කන් ලොක්කන් වූ වගයි (1998) ශ්‍රී ලංකාවේ යටත්විජිත ධනේශ්වරයේ නැඟීම’ යන කෘති ප්‍රධාන වේ. තුන්වන ලෝකයේ වඩාත්ම කීර්තිමත් ස්ත්‍රීවාදි හඬක් ලෙස පිදුම් ලැබූ ආචාර්ය කුමාරි ජයවර්ධන 2005 නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වූ කාන්තාවන් කිහිපදෙනාගෙන් කෙනෙක් වූවාය. දේශපාලන චින්තකවරියක ලෙස ආචාර්ය කුමාරි ජයවර්ධන මෙරට ශාස්ත්‍රීය අවකාශයට දුන් මහඟු දායකත්වය පිළිබඳ ඇයගේ ප්‍රධාන කෘති තුනක් ඔස්සේ අඳින දළ සිතුවමකි මේ.

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම

ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම අවබෝධ කරගැනීම සඳහා පුරෝගාමි ශ්‍රී ලාංකික චින්තකවරියක වන ආචාර්ය කුමාරි ජයවර්ධනගේ මැදිහත් වීම අතිශය තීරණාත්මක කාර්යයක් ඉටු කරයි. ‘ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම’ නම් ආචාර්ය ජයවර්ධනගේ පර්යේෂණ නිබන්ධය මඟින් යටත්විජිත ධනවාදය සහ ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකය තුළ නවීන කම්කරු පන්තියක් (19 වන සහ 20 වන සියවස්වලදී) නිර්මාණය වූ ආකාරය හෙළි කරයි. බ්‍රිතාන්‍ය යටත්විජිත ක්‍රමය තුළ සාම්ප්‍රදායික ශ්‍රමය නැවත හැඩගස්වා සූරාකෑමේ තත්ත්වයන් යටතේ ඉන්දීය දෙමළ කම්කරුවන් ගෙන ආ ආකාරය ඇය මෙහිදී පෙන්වා දෙයි.

කම්කරු පන්ති ඉතිහාස ආඛ්‍යානය තුළ කාන්තාවන් – විශේෂයෙන් වතු දෙමළ කතුන් – ඇතුළත් කිරීමේදී ඇයගේ කාර්යය පෙරළිකාර විය. මේ කාන්තාවන් පන්තිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත දැඩි ලෙස නොසලකා හරින ලද පිරිසක් බවත්, ඔවුන් බොහෝ විට ජාතිකවාදි සහ මාක්ස්වාදි ඉතිහාස ලේඛනයන්ගෙන් බැහැර කරන ලද බවත් ඇය මෙමඟින් පෙන්වා දෙයි. කම්කරු අරගල හරහා කම්කරු පන්තිය දේශපාලනීකරණය වූ ආකාරය මෙන්ම ජාතිකවාදි නායකයන් විසින් ඔවුන් කොන් කරන ලද ආකාරයද ඕ පෙන්වා දුන්නාය. ඉන්දීය දෙමළ කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කිරීම වැනි නිදහසින් පසු ප්‍රතිපත්ති විවේචනය කළ ඇය, වාර්ගිකත්වය සහ පන්තියමය ලෙස ඔවුන් පීඩාවට පත් කර ඇති ආකාරය හෙළි කළාය.

කම්කරු පන්ති නියෝජිතායතනය තුළ ක්‍රියාකාරිත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ශ්‍රමය සහ පන්ති සවිඥානක කිරීම කෙරෙහි ඇය සක්‍රිය දායකත්වයක් දුන් අතර, කම්කරු පන්තියේ නියෝජිතායතනය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඇයගේ අධ්‍යයනයන් ප්‍රභූ දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරීන්ට ප්‍රමුඛත්වය දෙන ප්‍රමුඛ ආඛ්‍යානවලට එරෙහි විය.

මෙහිදී ඕ කම්කරු අයිතිවාසිකම් සහ සුභසාධන ප්‍රතිසංස්කරණ ඇතුළු ප්‍රතිපත්තිමය වෙනස්කම්වලට කම්කරුවන් බලපෑම් කළ ආකාරය හෙළි කරයි. කම්කරු ව්‍යාපාර පිළිබඳ ඓතිහාසිකව ලේඛනගත කිරීම එහිලා කැපීපෙනෙන කර්තව්‍යයකි. මෙහිදී යටත්විජිත හා පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ගොඩනැඟීම සහ අරගල පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සිය කෘතිය මඟින් සපයන අතර, කම්කරු ඉතිහාසයේ නොලියූ කොටසක් ඇය සම්පූර්ණ කරයි. ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන භූ දර්ශනය හැඩගැස්වීමේදී වෘත්තීය සමිති, වාමාංශික පක්ෂ සහ කම්කරු නැඟිටීම්වල කාර්යභාරය ඇය මෙහිදී ඉස්මතු කරයි.

ජයවර්ධනගේ පර්යේෂණය, විශේෂයෙන් වතුකරයේ සහ නාගරික කාර්මික අංශවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ජනවාර්ගික අනන්‍යතා සමඟ පන්ති විඥානය වර්ධනය වූ ආකාරය පරීක්ෂාවට ලක් කරයි.

සාම්ප්‍රදායික ශ්‍රම ඉතිහාසයේ බොහෝ විට ආන්තික කරන ලද කාන්තා ශ්‍රමිකයන්ගේ දායකත්වය ඇය මෙහිදී ගවේෂණය කරයි. ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට කම්කරු පන්ති ව්‍යාපාර යටත්විජිත විරෝධි ජාතිකවාදය සමඟ සමපාත වූ ආකාරය පෙන්වා දෙන අතර, කම්කරු ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට අත්‍යවශ්‍ය සාධකයක් වූ බව පෙන්වා දෙයි. ශ්‍රම සූරාකෑම, වෘත්තීය සමිතිකරණය සහ රාජ්‍ය මර්දනය පිළිබඳ ඇයගේ විශ්ලේෂණය ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් සහ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නූතන කතිකාවට මහත් බලපෑමක් කරයි.

මෙයින් ආචාර්ය කුමාරි ජයවර්ධන ශ්‍රී ලංකාවේ කම්කරු ඉතිහාසය පුළුල් දකුණු ආසියානු සහ ගෝලීය සන්දර්භයන් තුළ ස්ථානගත කරයි, යටත්විජිතවාදය සහ නිර්ධන පන්තිකරණය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයන්ට ඉඩ සලසයි. විශේෂයෙන් වතුකරයේ කම්කරු සහයෝගිතාව මර්දනය සඳහා ජනවාර්ගික බෙදීම් (සිංහල, දෙමළ සහ මුස්ලිම් කම්කරුවන්) හසුරුවන ආකාරය ඇයගේ අධ්‍යයනය තුළින් විවේචනාත්මකව පරීක්ෂාවට ලක් කරයි.

නූතන ශ්‍රී ලාංකික සමාජයට බලපෑ කම්කරු අරගලවල ඉතිහාසය සොයා යෑමෙන්, කම්කරු පන්ති ව්‍යාපාර සමාජ යුක්තිය, සුභසාධන ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සඳහා පුළුල් ඉල්ලීම්වලට බලපෑම් කළ ආකාරය පිළිබඳ අවබෝධයක් ඈ මේ තුළින් ලබාදෙයි. මෙනිසා ආචාර්ය ජයවර්ධනගේ අධ්‍යයනයන්ගෙන් තොරව ශ්‍රී ලංකාවේ පන්ති ගොඩනැඟීම, ශ්‍රම ප්‍රතිරෝධය සහ සමාජ විපර්යාසයේ ගතිකත්වය අවබෝධ කරගැනීම කිසි සේත්ම කළ නොහැකිය.

තුන්වන ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය

‘තුන්වන ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය’ (Feminism and Nationalism in the Third World – එක්සත් රාජධානියේ ෆෙමිනිස්ට් ෆෝට්නයිට් සම්මානය හිමි වූ කෘතිය) කෘතිය මඟින් ආචාර්ය කුමාරි ජයවර්ධන ශ්‍රී ලංකා සමාජය තුළ පශ්චාත් යටත්විජිත දේශපාලන ආකෘතීන් හැඩගැස්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පන්තිය, යටත්විජිතවාදය සහ ජාතිකවාදය පුළුල් ලෙස යොදාගත් ආකාරය මනාව හෙළි කරයි.

මෙහිදී යටත්විජිත සහ පශ්චාත් යටත්විජිත තත්ත්වයන් යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ පන්තිය එකට ක්‍රියාත්මක වූ ආකාරය ඉස්මතු කිරීමට උත්සාහ කළ මාක්ස්වාදි- ස්ත්‍රීවාදි ක්‍රමවේදය ඇයගේ අධ්‍යයනයට මූලික වෙයි. ලාංකේය සන්දර්භය තුළ ඇග්නස් නෙල් සහ ආචාර්ය මේරි රත්නම් වැනි ප්‍රභූ සහ මධ්‍යම පාන්තික කාන්තාවන් ජාතිකවාදි නායකයන් විසින් ආරක්ෂා කළ පිතෘමූලික වටිනාකම් මඟින් සීමා කර තිබිණි. මුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවල ඔවුන් නිරත වූ ආකාරය ඇය මෙහිදී ලේඛනගත කළ අතර, එමඟින් කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාර, සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුළුල් ජාතිකවාදි න්‍යායපත්‍රවලට නිරන්තරයෙන් යටත් වන ආකාරයද ඕ පෙන්වා දුන්නාය.

ආචාර්ය ජයවර්ධනගේ ප්‍රධාන තර්කවලින් එකක් වූයේ ගෝලීය දකුණේ ස්ත්‍රීවාදය බටහිරින් ණයට ගත්තක් නොවන බවයි. මේ තත්ත්වය මෙරට යටත්විජිත විරෝධි සහ සමාජ ප්‍රතිසංස්කරණ අරගල හරහා ඓන්ද්‍රීයව මතු වූ ඒවා බව ඕ තර්කානුකූලව හා අදාළ සන්දර්භයන් ඔස්සේ පෙන්වා දීමට සමත් වූවාය. ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර බෞද්ධ ප්‍රතිසංස්කරණ, අමද්‍යප ව්‍යාපාර සහ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සමඟ සංකීර්ණ ලෙස බැඳී ඇති ආකාරය හෙළි කළ ඈ මෙම ව්‍යාපාර කාන්තාවන් බලමුළු ගැන්වූවද, ඔවුන් බොහෝ විට ගෘහස්ථභාවය සහ සදාචාරය අවධාරණය කරමින් කාන්තා විමුක්තියේ විෂයපථය සීමා කර පැවති බව අවධාරණය කළාය.

සමාජවාදි දේශපාලනයේ ප්‍රගතිශීලි විභවය සහ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා පෙන්වාදීමට සමත් වූ කුමාරි, ලංකා සමසමාජ පක්ෂය වැනි වාමාංශික පක්ෂ පන්ති අරගලයට කැප වී සිටියද, ඔවුන් බොහෝ විට අර්ථවත් ආකාරයකින් වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ අසමානතා ආමන්ත්‍රණය කිරීමට අසමත් වූ බව පෙන්නා දුන්නාය. ශ්‍රී ලංකාවේ සමාජවාදි දේශපාලනය සඳහා වඩාත් අන්තර් ඡේදක ප්‍රවේශයක අවශ්‍යතාව ඇය මෙහිදී අවධාරණය කළාය.

මේ කෘතිය තුළ ජනවාර්ගිකත්වය, ගැටුම් සහ ජාතිකවාදය සිංහල බෞද්ධ ජාතිකවාදයේ නැඟීම සහ එය දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන් ආන්තිකකරණය කිරීම පිළිබඳ ඇයගේ විවේචනාත්මක දෘෂ්ටිය කැපී පෙනේ.

යටත්විජිත උරුමයන් සහ පශ්චාත් යටත්විජිත කාංසාවන් මඟින් හැඩගැසුණු අනන්‍යතා දේශපාලනය ශ්‍රී ලාංකික සමාජයේ වාර්ගික ධ්‍රැවීකරණයට හේතු වූ ආකාරය ඕ මෙහිදී අවධාරණය කළාය. විශේෂයෙන් සුළුතර ප්‍රජාවන්ගෙන් පැමිණි කාන්තාවන් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ සහ වාර්ගික ගැටුම් දෙකෙහිම බර දරාගත් ආකාරය ඇයගේ විශ්ලේෂණය මඟින් හෙළිදරවු කර තිබිණි.

සංසන්දනාත්මක රාමුව සහ ගෝලීය බලපෑම ‘තුන්වන ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය’ කෘතිය මඟින් ඊජිප්තුව, තුර්කිය, ඉරානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය, කොරියාව සහ පිලිපීනය ආදි රටවල ස්ත්‍රීවාදි ව්‍යාපාර පරීක්ෂා කළ ඈ, එමඟින් ශ්‍රී ලංකාව ස්ත්‍රිවාදි ගෝලීය කතිකාව තුළට රැගෙන ගියාය.

කලාපයේ අනෙකුත් ස්ත්‍රී චින්තකවරියන් සමඟ සංසන්දනය කරන විට ඇයගේ මේ ප්‍රයත්නය නීරා යුවල්-ඩේවිස් සහ චන්ද්‍ර තල්පාඩේ මොහන්තිගේ කෘතියට සමාන කළ හැකිය.

සොක්කන් ලොක්කන් වූ වගයි

ශ්‍රී ලාංකික ප්‍රභූ පෙළැන්තිය පිළිබඳ ආචාර්ය කුමාරි ජයවර්ධනගේ කෘතිය වන ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ (Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka) නම් ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාජ පන්තිවල ගොඩනැඟීම, පරිණාමය සහ දේශපාලන පදනම් විවේචනාත්මකව පරීක්ෂා කරන, පෙරළිකාර අධ්‍යයනයකි.

ශ්‍රී ලංකාවේ ඉහළ පන්ති පුරාණ වැඩවසම් (උඩරට හෝ සිංහල වංශවත්) අයගෙන් පැවත එන්නන් බවට ඇති මිථ්‍යාවට අභියෝග කරමින්, යුරෝපීය යටත් විජිතවාදය යටතේ නව ප්‍රභූ පෙළැන්තිය මතු වූ ආකාරය ඇය සිය අධ්‍යයනය මඟින් සනාථ කරයි.

යටත්විජිත බලවතුන් (පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය) සමඟ සහයෝගිතාවෙන් කටයුතු කළ ඇතැම් පවුල්වලට (බොහෝ විට ආන්තික හෝ පහත්යැයි සැලකූ) ධනය රැස් කිරීමට, බටහිරකරණය වූ අනන්‍යතා අනුගමනය කිරීමට සහ දේශපාලන බලපෑම සුරක්ෂිත කිරීමට ඉඩ දුන් ආකාරය ඇය මෙහිදී හෙළි කරයි. ‘පිරිසුදු’ ස්වදේශික වංශාධිපතිත්වයක් පිළිබඳ පැවති අදහස (දෘෂ්ටිවාදය ඛණ්ඩනය කරමින්) බිඳදමමින් යටත්විජිත ධනේශ්වරය මිශ්‍ර කණ්ඩායමක් වූ ආකාරය ද ඕ පෙන්වා දෙයි. එහිදී සිංහල, දෙමළ, බර්ගර් සහ මලයාලි පවුල් ඇතුළුව වෙළෙඳාම, නිලධාරිවාදි සේවය සහ උපායමාර්ගික විවාහ හරහා නැඟී සිටි ආකාරය පෙන්වයි.

සාම්ප්‍රදායික ගොවිගම ප්‍රභූ පෙළැන්තියේ ආධිපත්‍යයට අභියෝග කරමින්, සමාජ නැගීමේදී කුල සංචලතාව (කරාව, සලාගම සහ දුරාව ප්‍රජාවන්) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ආකාරය ඇය මෙහිදී ඉස්මතු කර පෙන්වයි. මේ නව ප්‍රභූ පෙළැන්තිය කොම්ප්‍රදෝරුවන්ගෙන් (යටත්විජිත අතරමැදියන්) ජාතිකවාදි නායකයන් බවට පරිවර්තනය වී, නිදහසින් පසුව පවා ඔවුන්ගේ තත්ත්වය සුරක්ෂිත කළ ආකාරය ජයවර්ධන ලේඛනගත කරයි. ඉඩම් කොල්ලය, වතු ධනවාදය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අවශ්‍යතා සමඟ සහයෝගිතාව ඇතුළු ඔවුන්ගේ සූරාකෑමේ ආර්ථික භාවිතයන් ඇය විවේචනය කරයි.

මෙකී පවුල් ක්‍රිස්තියානි ධර්මය සහ වික්ටෝරියානු සිරිත් විරිත් අනුගමනය කරමින් නව අනන්‍යතාවක් ගොඩනඟා ගත් ආකාරය ඕ පෙන්වා දෙයි. පසුව ඔවුන් ‘ස්වදේශික ජාතිකවාදීන්’ ලෙස නැවත හංවඩු ගසයි. ඇය මේ නව වංශාධිපතීන්ගේ මවාපෑම් උපහාසයට ලක් කරයි. මුලින් ‘සොක්කන්ව’ සිටි මොවුන් මෙම නව තත්ත්වය තුළ ‘ලොක්කන්’ බවට පත් වූයේ කෙසේද යන්න පෙන්වා දෙයි.

මේ යටත්විජිත යුගයේ ප්‍රභූන් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය දැරූ ආකාරයත්, ඔවුන්ගේ දේශපාලන පක්ෂ ගොඩනැඟුණු ආකාරයත්, නිලධාරිවාදය සහ ව්‍යාපාරික අංශ හැඩගැසුණු ආකාරයත් ඈ සිය අධ්‍යයනයෙන් හෙළි කරයි. ඒ අනුව නූතන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පන්ති අසමානතාවන්, දූෂණය සහ රාජවංශ දේශපාලනය (උදා: බණ්ඩාරනායක, සේනානායක සහ අනෙකුත් බලගතු පවුල්) හඳුනාගැනීමට මේ කෘතිය මහත් සේ උපකාරි වේ (රාජපක්ෂ පවුලද මේ යටතේ හඳුනාගත හැකිය).

සාම්ප්‍රදායික යටත්විජිත විරෝධි නායකයන් (දුටුගැමුණු, සීතාවක රාජසිංහ, පළමුවැනි විමලධර්මසූරිය, කැප්පෙටිපොළ නිලමේ බඳු) උත්කර්ෂයට නංවන සාම්ප්‍රදායික ජාතිකවාදි ඉතිහාසඥයන් මෙන් නොව, මේ නව ප්‍රභූන් යටත්විජිත විරෝධීන් බව කියා සිටියද, ඔවුන් මේ යටත්විජිත ක්‍රමයේ නිෂ්පාදනයන්ම බව ඕ මෙහිදී හෙළි කරයි. ඇයගේ මාක්ස්වාදි කියවීම තුළින් මේ නව ප්‍රභූ පෙළැන්තියේ අවස්ථාවාදය සහ ඔවුන් ගොඩනඟාගත් බල ව්‍යාපෘතිය වාමාංශික ව්‍යාපාර විසින් බිඳදැමීමට අසමත් වීම යන්න විවේචනය කරයි.

බල ව්‍යූහයන් තුළ පන්තිය, කුලය සහ ජනවාර්ගිකත්වයේ ඡේදනය, බොහෝ ‘නිදහස් සටන්කරුවන්’ යටත්විජිතවාදයෙන් ප්‍රතිලාභ ලැබූ ප්‍රභූ පවුල්වලින් පැමිණි අය වීමත්, එනිසා මතු වූ ජාතිකවාදයේ ප්‍රතිවිරෝධතා මෙන්ම නූතන ශ්‍රී ලාංකික දේශපාලනයේ සහ ආර්ථික ව්‍යූහයේ ප්‍රභූ ආධිපත්‍යයේ අඛණ්ඩතාව මෙමඟින් හෙළි කරයි.

මේ ගතිකත්වයන් හෙළිදරවු කිරීමෙන් ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ පශ්චාත් යටත්විජිත අධ්‍යයනයන්, මාක්ස්වාදි ඉතිහාසය සහ දකුණු ආසියානු දේශපාලන ආර්ථිකය පිළිබඳ විද්වතුන් සඳහා අත්‍යවශ්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකේ. ඒ සමඟම ශ්‍රී ලංකාවේ බලය සහ වරප්‍රසාද පිළිබඳ තියුණු විවේචනයක් ලෙස ද පෙන්වාදිය හැකිය. පවුල් ඉතිහාස, චරිතාපදාන සහ ලේඛනාගාර වාර්තා භාවිත කරමින් ඇය මේ ප්‍රභූ පෙළපත් ප්‍රතිනිර්මාණය කරන්නේ දැඩි ශික්ෂණයකින් මෙන්ම සනාථ කළ හැකි තොරතුරු ඔස්සේය.

ශ්‍රී ලාංකේය සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික දේහයේ චලනයන් සියුම් සැතකින් ඡේදනය කර අපට පෙන්වූ ආචාර්ය කුමාරි ජයවර්ධනගේ 94 වැනි ජන්ම දිනය ඉකුත් දා කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සමරනු ලැබීය. එහිදී ඇය විසින් ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්‍රයට කළ මහඟු දායකත්වය සලකා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය ඇයගේ නමින් නම් කරන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division