Home » අපේ වන සත්ත්ව ආරක්ෂකයන්ගේ අලි ප්‍රේමය
විලියම් කුමරු දුටු අප නොදුටු

අපේ වන සත්ත්ව ආරක්ෂකයන්ගේ අලි ප්‍රේමය

by Mahesh Lakehouse
June 28, 2025 12:30 am 0 comment
ටානියා මෝසස්

“කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ
අත මිණි බැඳ පය මිණි බැඳ ජය­ගත්තූ
රාජ සබෙන් හොඳ කරුණා ලැබ ගත්තූ
වලවේ ගඟට බැස්සයි ගෝමර ඇත්තූ”

විලියම් කුමරු වැඩසටහන මෙහෙයවූ අයුරු

විලියම් කුමරු වැඩසටහන මෙහෙයවූ අයුරු

අලි ඇත්තු බෝසත් ගුණෝපේත මහා පෞරුෂ වූ ආකාරය අපේ ගැමියා කීවේ එසේය. ඒ අපේ අතීත අත්දැකීමය. එකිනෙකා මරාගන්නා පරසතුරු ව්‍යසනයක් සම්බන්ධයෙන් අංශු මාත්‍ර හැඟීමක් පරිසරය හා සංහිඳියාවෙන් ජීවත් වූ අතීත සමාජයට තිබුණේ නැත. විනාශය ආරම්භ වන්නේ ඒ සංහිඳියාව බිඳී ගිය මොහොතේය. මහා වන විනාශ සිදු වුණේය. වනාන්තර අහිමි වූ අලි ඇත්තු බඩගින්න නිවා ගැනීමට වගා බිම්වලට පැමිණියහ. මිනිස්සු ඉන් ඇති වූ ව්‍යසනය ‘අලි මිනිස් ගැටුම’ නමින් හැඳින්වූහ.

අතීත බෝසත්තු දැන් විකල් වූ මිනීමරුවෝය. ඒ මිනීමරුවන්ගේ බිහිසුණු හැසිරීම ජන ජීවිතය තිගස්වා ඇත. නිවෙසින් එළියට බට සැණින් නිවෙසේ ගෙමිදුල මතම වන අලි ප්‍රහාරයකින් මිය යන්නට නියමිත, පාසල වෙත යන දරුවා පාසල් භූමිය තුළ වන අලි ප්‍රහාරයකින් මිය යෑමේ අවදානම සහිත, ඉදිරි මාස ගණනාවක් ජීවත් වීමේ අභිලාෂය එක මොහොතකින් ව්‍යසනයට ලක් කර එළඹෙන ඊළඟ තත්ත්පරයේ සිට පුලන්නකු බවට පත් කරන ආර්ථික ව්‍යසනයට පුද්ගලයන් ලක් කරන, විසඳුම් පේන මානයක නැති යුද්ධයක භීෂණය දැන් ඒ අලි මිනිස් ගැටුමේ වින්දිත මිනිස්සු අත්විඳිති.

එමෙන්ම, වන අලින් ගම් වැද ඇත්තේ සිය මරණ සහතිකද සහිතවය. දශකයකට ආසන්න කාලයක් තිස්සේ වර්ෂ අවසානයේ එන දත්ත ගොනු අපට දළ වශයෙන් පෙන්වා දෙන්නේ ගැටුමේ ශේෂපත්‍රය ලෙස දිනපතා එක් වන අලියකුවත් මියගොස් ඇති බවය. දින තුනකට වරක්වත් වන අලි ප්‍රහාරයෙන් මිනිසෙක් මියගොස් ඇති ආකාරයය.

මේ ඛේදනීය පුවත පිළිබඳ ලෝක මට්ටමින් යළිත් යම් සාධනීය සංවාදයක් ගොඩනැඟෙනු දකිමු. ඒ, බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ විලියම් කුමරුගේ රාජකීය පදනමේ වනජීවී වැඩසටහන විසින් නිර්මාණය කරන ලද, ‘ගාඩියන්ස්’ නම් කතාංග මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ කථාංගයක් පසුගිය 20 වැනිදා නිකුත් වීමෙන් අනතුරුවය. කතා නිමිත්ත ශ්‍රී ලංකාවේ රේන්ජර්වරුන් පිරිසක් එනම්: වන සත්ත්ව අඩවි ආරක්ෂකවරයන් පිරිසක් පිළිබඳය. ඔවුන් අලි මිනිස් ගැටුම අවම කිරීම කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කැපවන ආකාරය පිළිබඳත්, අලින් සහ මිනිසුන් අතර සාමකාමි සහජීවනයක් ගොඩනැඟීමට කරන මෙහෙය පිළිබඳත් මේ වැඩසටහනේදී දැනෙනසුලු ලෙස කතා කර තිබිණි.

ශ්‍රී ලංකාව වර්ග සැතපුමකට වැඩිම වන අලි ඝනත්වයක් ඇති රටකි. මෙරට වන අලි ගහනය 5,000ත් 6,000ත් අතර වේ. ලෝකයක් ආදරය කරන වන අලින් ලංකාවෙන් වඳ වී යනු ඇතැයි යන බිය මුසු උපකල්පනය සහිතව, අලින් සහ මිනිස් ප්‍රජාව අතර යළි ගොඩනැඟෙන සංහිඳියාවේ බලාපොරොත්තුව මේ වැඩසටහනින් ප්‍රකාශ වූයේය.

ශ්‍රී ලංකාව තේමා වූ කතාංගය

විලියම් කුමරු විසින් ආරම්භ කර මෙහෙයවන ලද වේල්ස් කුමරු සහ කුමරියගේ රාජකීය පදනම විසින් දියත් කරන තේමා රාශියක් ඔස්සේ ව්‍යාප්ත ව්‍යාපෘති ගණනාවක් තිබේ. මානසික සෞඛ්‍යය, මුල් ළමාවිය සංවර්ධනය සහ ප්‍රජාව සඳහා හදිසි සහාය වැනි ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන මේ ව්‍යාපෘති අතර බලවත්ම ආකර්ෂණයක් දිනාගෙන තිබුණේ පාරිසරික සංරක්ෂණය පිළිබඳ විලියම් කුමරු විසින්ම කථනයෙන් දායක වෙමින් ඉදිරිපත් කරන ‘ගාඩියන්ස්’ වැඩසටහන් මාලාවය.

දැනට ලෝකයේ තීව්‍ර අවධානයට ලක් වෙමින් ඇති ‘ගාඩියන්ස්’ කතාංග මාලාව ආරම්භ වන්නේ මැයි මාසයේය. මේ කතා මාලාව පෙළගස්වන්නේ වනජීවී ආරක්ෂාව සහ සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින පුද්ගලයන් වන රේන්ජර්වරුන්ගේ හෙවත් වන සත්ත්ව අඩවි ආරක්ෂකයන්ගේ අත්දැකීම් වටාය. පෘථීවිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කරන වැදගත් මෙන්ම අප්‍රකාශිත කාර්යය පිළිබඳ පිළිගැනීමක් ඇති කිරීම මේ කතාංග මාලාවේ අරමුණ වී තිබේ.

පසුගිය 20 වැනිදා නිකුත් වූ මේ කතාංග මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ කතාංගයේ කතානායකයා වන සත්ත්ව අඩවි ආරක්ෂකයකු වන චින්තක පතිරණය. ඔහු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රන්දෙණිගල කලාපයේ වසර 20කට වැඩි කාලයක් වන සත්ත්ව අඩවි ආරක්ෂකයකු ලෙස කටයුතු කරන අයෙකි. එමෙන්ම ඔහු පසුගිය දශක දෙක තුළ ග්‍රාමීය සහ ආන්තික ප්‍රජාව තුළ පරිවර්තනීය කාර්යයක් කළ සමාජ ක්‍රියාකාරිකයකු ලෙසත් පරිසරය සහ ප්‍රජාව අතර සහජීවනය ඔප්දමන දැනුම්වත් කිරීමේ වැඩසටහන් මෙහෙයවන උපදේශකයකු සහ පාරිසරික ක්‍රියාකාරිකයකු ලෙසද සිය වෘත්තීය භූමිකාවට එපිට සිට කටයුතු කර තිබිණි. චින්තක පතිරණ මේ වැඩසටහනට තෝරාගැනීමට මුඛ්‍ය හේතු රැසක් වේල්ස් කුමරු සහ කුමරියගේ රාජකීය පදනම විසින් ඉදිරිපත් කර තිබිණි.

පාරිසරික ස්ථිරසාරභාවය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සමාජ සමානාත්මතාව සම්බන්ධ කරන ඔහුගේ ඒකාබද්ධ සංවර්ධන ආකෘතිය මේ වැඩසටහනට චින්තක පතිරණ තොරාගැනීම සඳහා පදනමේ අවධානයට ලක් වූ බව එම පදනම ප්‍රකාශ කර තිබිණි.

චින්තකගේ රාජකාරි වගකීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත ක්‍රියාත්මක කිරීමය. ඒ තුළ ඔහුට විශාල වගකීම් ප්‍රමාණයක් රාජකාරිමය වශයෙන් පැවරී තිබිණි. ශ්‍රී ලංකාවේ වන අලි ඇල්ලීම සහ වන අලින්ට සංඥා කරපටි පැලඳවීමේ කණ්ඩායමේ නායකයා චින්තකය. මේ වන විට චින්තකගේ මැදිහත් වීමෙන් විවිධ පීඩාකාරි හැසිරීම් සහිත වන අලින් 250ක් 300ක් අතර ප්‍රමාණයක් අල්ලා සුරක්ෂිත ප්‍රදේශ වෙත මුදා හැර තිබේ. වන අලින් 150කට වැඩි සංඛ්‍යාවකට රේඩියෝ කරපටි පැලඳවීම සිදු වන්නේ ඔහු අතිනි. ඒ කර්තව්‍යය සඳහා අත්දැකීමෙන් ලද විශේෂඥ දැනුමක් සහිත චින්තක විදේශවලටද ගොස් සිය දැනුම බෙදා දී ඇත.

එමෙන්ම ඔහු වන සතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධ මැදිහත් වීමේ ආයතනය වන වන ජීවී කළමනාකරණ ඒකකයේ කටයුතු කරන්නේය. ඔහුගේද මැදිහත් වීම සහිතව වන අලින් 400ක් පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීමට කටයුතු කර තිබේ. මදුවලට හසු වී තුවාල ලැබූ කොටින් වලසුන්ද මුදාගෙන ප්‍රතිකාර කර යළි උන්ගේ වාසස්ථාන වෙත මුදාහැරීම් ගණනාවක අත්දැකීම්ද චින්තක සතුය.

අතරමං වූ වන අලි පැටවුන් ඇතුළු වන සත්ත්ව පැටවුන් පුනරුත්ථාපනය කර වනයට මුදා හැරීම, තුවාල සහ ආබාධිත වන සතුන් පුනරුත්ථාපනය කිරීම, පීඩාකාරී වන සතුන් වෙනත් ප්‍රදේශ වෙත මුදාහැරීම, ඔහුගේ රාජකාරි කාර්යභාරය අතර වූයේය.

එමෙන්ම වේල්ස් කුමරු සහ කුමරියගේ රාජකීය පදනම විසින් ඔහු ඇතුළු කණ්ඩායම මෙම රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් තෝරා ගැනීම සඳහා මුල් වැදගත්ම සාධකය වූයේ මිනිසා සහ පරිසරය අතර සංහිඳියාව ඇති කරවන ප්‍රජාව සහ පාසල් ළමුන් දැනුම්වත් කිරීමට පදනම් වූ ප්‍රජා අධ්‍යාපන ව්‍යාපෘතියය. ඔහු ඒ වෙනුවෙන් කැප වී තිබිණි.

විලියම් කුමරුගේ දර්ශනය ගොඩනැඟෙන්නේ අර්ථවත් වෙනසක් සිදු වන්නේ දේශීය ප්‍රජාවන්ට නායකත්වය දී ආස්වාදයෙන් ඔවුන් බලගැන්වීමෙන්ය යන පදනම මතය. චින්තකගේ නායකත්ව භූමිකාව සමඟ එම දර්ශනය බාධාවකින් තොරව සමපාත වන ආකාරයත් එම පදනම විසින් ප්‍රකාශ කර ඇත.

කතාංගයේ අන්තර්ගතය

චින්තක සහ ඔහුගේ කණ්ඩායම අලි ඇතුන් බේරා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට තම ජීවිත පරදුවට තබා කරන රාජකාරී මෙහෙයුම්, අලි මිනිස් ගැටුම් අවම කිරීමට දියත් කර ඇති ප්‍රායෝගික ව්‍යාපෘති සම්බන්ධව කරන සිත් ඇදගන්නා සුලු කතාවක් එම වැඩසටහන හරහා ලෝකයට කියන්නේය. චින්තක පතිරණ ඒ සංවාදය ගොඩනගමින් ප්‍රකාශ කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැදී වැඩී කැලය හා බැඳුණු ජීවිත අත්දැකීම් සහිතව සිටි තමන්ට ගෙවුණු අතීතයේ දී මේ තරම් උග්‍ර ගැටුමක් අලින් සහ මිනිසුන් අතර නොදුටු බවය.

මේ වන විට නිර්මාණය වී ඇති තත්ත්වයේ බිහිසුණුකම ඔහු සිය ජීවිත අත්දැකීම් ඇසුරෙන් කරන විස්තරයක්ද මේ වැඩසටහනේ ඇතුළත්ය. ඒ කතාව චින්තකගේ වචනයෙන්ම මෙසේය:

කතාං­ගයේ කතා­නා­ය­කයා වූ වන සත්ත්ව අඩවි ආර­ක්ෂ­ක චින්තක පති­ර­ණ

කතාං­ගයේ කතා­නා­ය­කයා වූ වන සත්ත්ව අඩවි ආර­ක්ෂ­ක චින්තක පති­ර­ණ

“අපි පලාගල ප්‍රදේශයේ මිනිස්සු කීප දෙනෙක් මරපු අලියෙක් අල්ලන්න ගියා. ඒ සතා මිනිහෙක් දැක්කත් එළවන සයිස් එකේ එකෙක්. සතාට දැනිලා තිබුණා අපි පස්සෙන් එනවා කියලා. කැලේ ඇතුළෙදි එක් අවස්ථාවක සතාව අපට හොයා ගන්න බැරි වුණා. ඒ වෙලාවෙ කණ්ඩායම තියලා මම හෙමින් කැලේ අස්සෙන් රිංගගෙන ගිහින් බැලුවා. හැබැයි අවාසනාවකට වගේ අලියා අපි එනකම් බලගෙන හිටියේ. අලියා මාව දැක්කා. එක පාරටම එළවාගෙන ආවා. දුවනවා කියන්නේ ඉතින් ජීවිතයට හානියක් තමයි. පොඩි පඳුරක් තිබුණා ළඟ. මම ඒ පඳුර යටින් වාඩි වුණා. එලාම් එක වදින්න තත්ත්පර 10ක් තියෙද්දි අලියා ආපහු හැරිලා ගියා…” ඔහු කියන්නේය.

එමෙන්ම අලින්ට ජීපීඑස් කරපටි පැලඳවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව දර්ශනද එම වැඩසටහනට ඇතුළත් කර තිබිණි. වන අලින්ගේ ගහන ඝනත්වය, සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ සංචරණ රටා, ඔවුන්ට ඇති බලපෑම්, ඔවුන්ගෙන් මිනිස්සුන්ට ඇති බලපෑම්, සතුන්ට ලෙඩ රෝග වැලඳෙන කලාප, ලෙඩ රෝග හැදෙන කාල වකවානු, සම්බන්ධ දත්ත ගොනු ලබා ගැනීමට මේ ව්‍යාපෘතියෙන් ලැබෙන දායකත්වය ගැනද උක්ත වැඩසටහනේදී මතු කරන්නේය.

මේ කතා කළේ රට ගැනයි

මේ වන විට චින්තක පතිරණ ගැන ප්‍රමාණවත් සංවාදයක් ලෝකය තුළ ගොඩනැඟෙන්නේ ලංකාවේ වන ජීවී සංරක්ෂණය සම්බන්ධ රාජ්‍ය මැදිහත් වීමේ භාරය උත්කර්ෂයට ලක් කරමින් බව කිව යුතුව තිබේ. එය හුදු පුද්ගලයකු මත ගොඩනැඟෙන පුද්ගල අභිමානයකට ලඝු නොවී මුළු මහත් ආයතනයක්, දෙපාර්තමේන්තුවක් රටක් වෙත පිරිනැමෙන අන්තර්ජාතික සහතිකයක් බඳු බව මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තේරුමක් ඇති දැයි අපට වැටහෙන්නේ නැත.

වනජීවී සංරක්ෂණ කාර්යයේ දී අසීරුම වගකීම දරන්නෝ වනජීවි අඩවි ආරක්ෂකයෝ වෙති. ඔවුන්ගේ රාජකාරිය උපදින්නේම ජාවාරම්, මැරකම්, බලවත්කම් සහිත අනීතික ප්‍රජාවකගේ රුදුරු ව්‍යසනයෙන් ජාතියක් ගලවාගැනීම වෙනුවෙනි. රටේ ඉහළම බලය සහිතව දියත් වන ඇතැම් නීති විරෝධී වගා ව්‍යාපෘති, මැරකම හා බලය සහිතව දියත් වී ඇති වැලි ජාවාරම මෙන්ම දැව ජාවාරම, වන සතුන් වෙළෙඳාම, වන සතුන් මස් පිණිස ඝාතනය, ජාන මංකොල්ලය ඇතුළු සියලු ජාවාරම් වැළැක්වීමේ රාජකාරිමය වගකීම් දරන මේ පිරිස රැකියාව කරන්නේම ජීවිත අවදානම සහිතවය.

අප මේ මිනිසුන් සම්බන්ධයෙන් නිසි ඇගයීමක් කළ ජාතියක් නොවේ. එසේ වූ විට එවැනි පිරිසක් අන්තර්ජාතික ඇගයීමකට ලක් වීම මැදහත්ව ඉවසා දරාගත හැකි පරිචයක් ජාතියකට අවශ්‍යය. ඒ පරිණත අවබෝධය නැති තාක් රටක් ලෙස අපට ඉදිරි ගමනක් නැති බව අවධාරණය කළ යුතුව ඇත.

(ඡායාරූප බීබීසී පුවත් ඇසුරෙනි)

You may also like

Leave a Comment