Home » දින දොළහේ යුද්ධයේ ජයග්‍රාහකයා කවුද?

දින දොළහේ යුද්ධයේ ජයග්‍රාහකයා කවුද?

by Mahesh Lakehouse
June 27, 2025 12:30 am 0 comment
විජය දිසානායක

ලෝකය ආශ්චර්යයකට අවදි වුණාද? ඊශ්‍රායල-ඉරාන සටන් විරාමයක්? න්‍යෂ්ටික යුද්ධයකට යනවා වෙනුවට? එසේ නම්, තිරය පිටුපස පුටින් සහ ට්‍රම්ප් සිටින අතර අවසානයේ නෙතන්යාහුට ඔහුගේම ජනතාව හමුවේ උපායමාර්ගික පරාජයකට මුහුණ දීමට සිදු විය.

– රිචඩ් සී. කුක් (විශ්‍රාම ලත් අමෙරිකානු මධ්‍යම රජයේ විශ්ලේෂක)

සති දෙකකට ආසන්න කාලයක් පැවති දැඩි එදිරිවාදිකම්වලින් අනතුරුව, ඊශ්‍රායලය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අවසානයේ සටන් විරාම ගිවිසුමකට එළඹ ඇත. බෝම්බ ප්‍රහාර නතර වී ඇතත්, දෙපාර්ශ්වය අතර ආතතීන් තවදුරටත් පවතින තත්ත්වයක් තුළ නුදුරු අනාගතයේදී නව ගැටුම් ඇති වීමේ අවදානමක් පවතී. කෙසේ වෙතත්, දින දොළහක කාලයක් පැවති සටන්වල බලපෑමෙන් යථා තත්ත්වයට පත් වෙමින්, ගැටුම තවදුරටත් තීව්‍ර නොකිරීමට දෙපාර්ශ්වය එකඟ වීම සුබදායි කරුණකි.

ඉකුත් ජූනි 13 දින ඉරානයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණයත් සමඟ ‘දින දොළහේ යුද්ධය’ ලෙස ඉතිහාසයට එක්ව ඇති නවතම ගැටුමට මුලපිරිණි. එකිනෙකට කි.මී. 1,500ක පමණ දුරකින් පිහිටි රටවල් දෙක අතර දැඩි දිගු දුර බෝම්බ ප්‍රහාර හුවමාරුවෙන් දෙපාර්ශ්වයටම දැඩි හානි සිදු වූ බැව් නොරහසකි. ඊශ්‍රායලය සටනට පිවිසියේ අරමුණු දෙකක් ඉටු කරගැනීමේ අරමුණිනි:

1. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අක්‍රිය කිරීම

2. අයතුල්ලා අලි කමෙයිනිගේ නායකත්වයට එරෙහිව කැරලි ගැසීමට ඉරාන ජනතාව පොලඹවාලමින් එරට පාලන තන්ත්‍ර වෙනස් කිරීම

දින දොළහක සටනකින් පසු, මේ අරමුණු කිසිවක් සාක්ෂාත් කර ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නොහැකි විය.

ඊශ්‍රායලය තම ආක්‍රමණය දියත් කළේ ඉරානය තුළ තම බුද්ධි අංශ යොදාගනිමින් ඩ්‍රෝන යානා සමඟ ඒකාබද්ධ ප්‍රහාරක ජෙට් යානා මගින් සිදු කරන ලද කඩාකප්පල්කාරි මෙහෙයුම් හරහාය. ආක්‍රමණයේ ආරම්භක බලපෑම බෙහෙවින් ඉහළ මට්ටමක පැවති අතර, ඉරානයේ ගුවන් ආරක්ෂක හැකියාවෙන් සැලකිය යුතු කොටසක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත් විය. ඉරාන ගුවන් සීමාවේ ගැඹුරට විනිවිද යෑමේ මෙහෙයුම් ඊශ්‍රායලයට වාසියක් වූ නමුදු ඊශ්‍රායලයට කිසිදු අවස්ථාවක ඉරානයේ පූර්ණ ගුවන් පාලනය තමන්ට නතු කරගැනීමට නොහැකි විය.

ගුවන් බලයේ තම දුර්වලතා පැවතියද, ඉරානය තම මිසයිල බලයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ඊශ්‍රායලයට ‍රිදෙන්නම පහර දුන්නේ ය. රළ පහර මෙන් පැමිණි ඉරාන බැලස්ටික් මිසයිල ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතිය පසාරු කර යමින් එරට යුදමය හා උපායමාර්ගික මධ්‍යස්ථානවලට දැඩි හානි පැමිණවීය. ඊශ්‍රායලය දැඩි යුද පුවත් වාරණයක් පැනවූ අතර, ඒ හේතුවෙන්, ඉරාන ප්‍රහාරවලින් සිදු වූ හානිය ප්‍රමාණවත් ලෙස තක්සේරු කිරීමට නොහැකිය. එහෙත් පර්සියානු රාජ්‍යයයේ නිෂ්පාදිත මිසයිල මගින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ස්ථාන, බුද්ධි අංශ, යකඩ ඩෝමයේ බැටරි සහ මුළු ඊශ්‍රායල භූමිය පුරා බලාගාර විනාශ කළ බව පැහැදිලි ය.

මිසයිල ප්‍රහාරවලට සමාන්තරව, ඉරානය පුළුල් ප්‍රති-බුද්ධි මෙහෙයුමක් දියත් කරමින්, තම භූමිය තුළ මොසාඩ් ඔත්තුකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේය. ඊශ්‍රායල බුද්ධි අංශ භාවිතා කළ උපාය මාර්ගය වූයේ ඉරානයේ වාර්ගික සුළුතර ජනකොටස් සහ සංක්‍රමණිකයන්ගේ සහාය ලබා ගැනීමයි. කඩාකප්පල්කාරීන්ගෙන් බොහෝ දෙනකු විදේශිකයන් වූ බැව් මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ ඔත්තුකරුවන් තුරන් කිරීම නිසා ඊශ්‍රායල ප්‍රහාරවල විධිමත්භාවය සහ කාර්යක්ෂමතාව දිනෙන් දින හීන විය.

නිසැක වශයෙන්ම, සිරියානු ප්‍රහාරවල තීව්‍රතාවට ඊශ්‍රායලය සූදානමින් නොසිටියේය. ඉරාන ගුවන් අවකාශයේ සැරිසැරීමට උපරීම ධාරිතාවක් පැවතියද, ඉරානයෙන් දිගින් දිගටම එල්ල වූ බැලස්ටික් ප්‍රහාර මඟින් ඊශ්‍රායලයේ මෙහෙයුම් ස්වාධීනත්වය සීමා කළේය. මෙය ඊශ්‍රායල ප්‍රභූ පෙළැන්තියේ අපේක්ෂා සුන් කොට අවසානයේ එක්සත් ජනපදයෙන් සහය පැතීමට ඔවුන්ට බල කළේය. මුලදී ගැටුමට අත පෙවීම ප්‍රතික්ෂේප කළද, අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම රටේ ශක්තිමත් යුදෙව් ලොබියේ බලපෑමට යටත් වන්න සිදු විය.

ගැටුමට මැදිහත් වුවද, එය තවදුරටත් තීව්‍ර නොකිරීමට ට්‍රම්ප් වගබලා ගත්තේය. වොෂින්ටනය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකට සංකේතාත්මක ප්‍රහාරයක් එල්ල කළ අතර එමඟින් දැඩි බලපෑමක් සිදු නොවූ බැව් පැහැදිලිය. ටෙහෙරානය ප්‍රහාරයට පෙර තම න්‍යෂ්ටික කඳවුරු ඉවත් කරගෙන තිබූ බැවින් විකීරණශීලිත්වය කාන්දු වීමේ අවදානමක් උද්ගත නොවීය. අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඉරානයේ භූගත පහසුකම් විනිවිද යෑමට ඒ ප්‍රහාර සමත් නොවූ බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

ඉරානයද අමෙරිකානු ප්‍රහාරයට සංකේතාත්මක පළි ගැනීමකින් ප්‍රතිචාර දැක්වූ අතර, කටාර් සහ ඉරාකයේ එක්සත් ජනපද කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කෙරිණි. වොෂින්ටනය මේ කඳවුරු පූර්වයෙන් ඉවත් කර තිබූ බැවින් එම ප්‍රහාරවලින්ද ජීවිත හානි සිදු නොවීය. ඉරාන බෝම්බ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ට්‍රම්ප් උනන්දුවක් නොදැක්වූ අතර, ආතතීන් තවදුරටත් තීව්‍ර කරනු වෙනුවට, දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමකට හෙතෙම මැදිහත් විය. ගැටුමේදී ඉරානය දුර්වල තත්ත්වයක පසු වූයේ නම්, ට්‍රම්ප් සටන් විරාමයකට මැදිහත් නොවීමට බෙහෙවින් ඉඩකඩ තිබිණි.

ඊශ්‍රායලය ගිවිසුම වහා පිළිගත් නමුත්, එය බලාත්මක වූ මුල් පැය කිහිපය තුළම එය උල්ලංඝනය කළේය. ඉරානය සටන් විරාමයට පිළිතුරු දීමට 24 දින උදෑසන වන තෙක් බලා සිටියේය. එහෙත් ඊට පෙර, ටෙහෙරානය ඊශ්‍රායලය පුරා බෝම්බ වරුසාවක් පතිත කරමින් ඊශ්‍රායල උල්ලංඝනයන්ට ප්‍රතිචාර දැක්වීය. කොතරම් බිඳෙනසුලු වුවද ගිවිසුම මේ වන විට බලාත්මකව පවතින අතර, උල්ලංඝනය කිරීම් පිළිබඳ නව වාර්තා කිසිවක් ලැබී නැත.

අවසානයේදී, දින දොළහේ යුද්ධය හේතුවෙන් ඉරානය සහ ඊශ්‍රායලය යන දෙකටම දැඩි හානි සිදුව තිබේ. ඉහළ මට්ටමේ තීව්‍රතාවකින් යුත්, දිගුදුර සටන්වලින් දෙපාර්ශ්වයටම අහිතකර බලපෑම් එල්ල විය. ඊශ්‍රායලය ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් සැලකිය යුතු කොටසක් විනාශ කළ නමුත් ඉරාන බෝම්බ ප්‍රහාරවලින් ඊශ්‍රායලයටද ඉමහත් හානියක් සිදුව ඇත.

අනෙක් අතට, දේශපාලන මට්ටමින්, ඊශ්‍රායලය නිසැකවම මුහුණ දී ඇත්තේ පරාජයකටය. තම හමුදා මෙහෙයුමේ අරමුණු සාක්ෂාත් කරගැනීමට නෙතන්යාහු අපොහොසත් විය. බටහිර මාධ්‍ය වාර්තා මේ වන විටත් පිළිගෙන ඇති පරිදි ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන ආරක්ෂා කරගැනීමට සමත්ව සිටිනවා පමණක් නොව, අන්තර්ජාතික පරමාණුක ශක්ති ඒජන්සිය සමඟ සහයෝගිතාවද අත්හිටුවමින්, තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණ පවා තහනම් කර ඇත. ප්‍රායෝගිකව ගත් කල, ඉරානයට දැන් අවශ්‍ය නම්, කිසිදු අන්තර්ජාතික නිරීක්ෂණ ක්‍රියාවලියකට ප්‍රවේශ නොවී, ඕනෑම වේලාවක පරමාණු බෝම්බයක් නිපදවිය හැකිය.

තවද, ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීමටද නෙතන්යාහු අසමත් වීය. සිදුව ඇත්තේ, ඉස්ලාමීය ජනරජය ගැටුමෙන් වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණීමකි. පොදු සතුරාට එරෙහිව සටනේදී ටෙහෙරාන පාලනයට සහය වීම සඳහා විපක්ෂ කණ්ඩායම් තම වෙනස්කම් නොසලකා හරිමින් රජය සමඟ සබඳතා නැවත ස්ථාපිත කර ඇත. ටෙහෙරානයේ වීදිවල විරෝධතා පැවැති බැව් නොරහසකි. ඒත් ඒ ඉරාන පාලනයට එරෙහිව නොව, අයතුල්ලා අලි කුමෙයිනිට සහය දක්වමින් සහ හමුදා ක්‍රියාමාර්ග අනුමත කරනු පිණිසය. ඊශ්‍රායලයේ අපේක්ෂාව වූයේ ජනතාව රජයට එරෙහිව පාරට බැස්සවීමයි. එහෙත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් වූවකි.

ඊශ්‍රායල දේශපාලනය තුළ බෙන්ජමින් නෙතන්යාහු දැඩි විරෝධයකට මුහුණ පා සිටින අතර, ඔහුගේ දේශපාලන සතුරෝ ඔහු බලයෙන් පහ කර අත්අඩංගුවට ගැනීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටිති. ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම් මෙන්ම දෝෂාභියෝග ඉල්ලීම්ද ගොනු කරනු ලැබ ලැබේ. යුද්ධයක සිටීම නෙතන්යාහු තවදුරටත් බලයේ රැඳී සිටීමට සහ විපක්ෂය නිහඬ කිරීමට ඉරානය න්‍යෂ්ටික ගැටලුව හිඟන්නාගේ තුවාලයක් කරගත් බැව් ඔප්පු වී හමාරය. ඊශ්‍රායල නායකයාට තවත් යුදමය පරාජයක බලපෑම්වලට ඔරොත්තු දීමට හැකි වේද යන්න සිතාගැනීමට අපහසුය. ගාසා තීරයේ යුද ගැටුම් තවමත් අවසන් වී නැත.

එමෙන්ම, ඊශ්‍රායලය අභ්‍යන්තරයේද අර්බුදයක සලකුණු දැන් දැන් දැකිය හැකිය. ඉකුත් සති දෙක තුළ මුහුදු මාර්ගයෙන් සයිප්‍රසයට පලා ගිය ඊශ්‍රායල වැසියන්ගේ සංඛ්‍යාව දහසකට ආසන්නය. සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් පසු වන සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. ‍රට තුළ ජීවන තත්ත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර, හමාස්වරුන් සහ හවුතිවරුන් සමඟ අඛණ්ඩ සටන හමුවේ රටේ ආරක්ෂාව තවදුරටත් පිරිහෙමින් පවතී. දෙපාර්ශ්වය අතර නුදුරු අනාගතයේ යළි සටන් ඇවිළෙනු ඇත. එහෙත් දින දොළහේ යුද්ධය තරම් ඒ ගැටුම් තියුණු නොවනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division