Home » ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම නතර කිරීමට පුටින් මැදිහත් වේ ද?

ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම නතර කිරීමට පුටින් මැදිහත් වේ ද?

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

මැද පෙරදිග භූමියේ තත්ත්වය දිනෙන් දින, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩියට පවා වෙනස් වෙමින් පවතී. බටහිර මාධ්‍ය න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ උමතු වී සිටියද, එය තවත් එක් ප්‍රෝඩාවකි. ඉරානය කිසිදු විටෙක න්‍යෂ්ටික අවි සංවර්ධනය කළේ නැත. ටෙහෙරානයට පරමාණු බෝම්බයක අවශ්‍යතාවක් නැත. විශේෂයෙන්ම, ඊශ්‍රායලය පරාජය කිරීමට න්‍යෂ්ටික අවි අවශ්‍ය නොවන බැව් මුල්ලාවරුන් ඇස් පනාපිටම ඔප්පු කොට හමාරය.

මෑත දිනවල, අන්තර්ජාලයේ බොහෝ ඊශ්‍රායල විශ්ලේෂකයෝ ඊශ්‍රායලයේ හදිසි ප්‍රහාරය සහ ඉරාන නිලධාරීන් සහ හමුදා නායකයන් මුලිනුපුටා දැමීම ගැන ප්‍රීති වෙමින් සිටිති. ඉරානයේ පාලනතන්ත්‍ර වෙනසක් ආසන්න බව පවසන ඔවුහු, ඉරානය තුළ ඊශ්‍රායල ගුවන් හමුදාව (IAF) විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් කාර්යයන් පැය කිහිපයක් තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බවට පුරසාරම් දෙඩූහ. මේ ප්‍රකාශ ප්‍රතිරාවය කරමින් ට්‍රම්ප් ද “ඉරානයට ඉහළ අහස දැන් අප (එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය) පාලනය යටතේ පවතී,” යනුවෙන් උදම් ඇනීය. එයිනුදු නොනැවතී, ඔහු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙයිනි ඝාතනය කරන බවටද තර්ජනය කළේය.

එහෙත්, මේ සියලු විශ්ලේෂකයෝ (සහ ට්‍රම්ප්) තමන්ගේම අසත්‍ය ප්‍රචාර තමන් විසින්ම විශ්වාස කිරීමේ බරපතළ අත්වැරැද්දක් කරති. ඊයේ පෙරවරුවේ, ටෙහෙරානයේ වීඩියෝ දර්ශන මඟින් පෙන්නුම් කළේ ඉරාන ජාතිකයන් ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් අවම වශයෙන් කොටසක් ප්‍රතිනිර්මාණය කර ඇති බවකි. යුද්ධය තවත් ඉදිරියට ඇදෙන විට, අවශ්‍ය නම් ඉරානයට සැලකිය යුතු පරිද්දෙන් තම ගුවන් ආරක්ෂාව නැවත නැවතත් යථා තත්ත්වයට පත් කරගත හැකි වනු ඇත. යුක්රේන යුද්ධය අතරතුරද මීට අදාළ සාක්ෂි අපි දුටුවෙමු. ඒ අනුව, අමෙරිකානු ජනාධිපතිවරයා උදම් අනන පූර්ණ ගුවන් ආධිපත්‍යයක් පිළිබඳ ප්‍රකාශය ව්‍යාජය.

ඉරානයේ මිසයිල බලය අඩු වෙලාද?

තම අසීමිත ගුවන් බලය යොදා ගනිමින් ඉරානයේ මිසයිල ප්‍රහාර මැඬපැවැත්වීමට ඊශ්‍රායලය බොහෝ දුරට සමත් වී ඇති බවක් පෙනේ. ඉකුත් දින කිහිපය තුළ, ඊශ්‍රායලයට පැමිණෙන මිසයිල සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබේ. ඇතැම් වාර්තාවලට අනුව, ඊට හේතු වී ඇත්තේ ඉරානයේ මිසයිල ක්‍රමයෙන් හිඟ වෙමින් පැවතීමයි. එහෙත් මේ නිගමනයද සැක සහිතය.

අප එසේ සිතන්නේ ඇයි? පළමුව, ඒ සඳහා කිසිදු සාක්ෂියක් නැත. දෙවනුව, ඉරානය පැහැදිලිවම මේ යුද්ධයට කල් තියා සූදානමින් සිටි බැවිනි. සුප්‍රකට අමෙරිකානු- ඉරාන මහාචාර්ය මොහොමඩ් මිරන්ඩිට අනුව, ඉරානය සතුව අවම වශයෙන් භූගත මිසයිල කඳවුරු 200කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති අතර, ඒ සියල්ල රළු කඳුවැටි යට ගැඹුරින් වළලනු ලැබ තිබේ. මේ කඳවුරු ඉදි කිරීමට වසර ගණනාවක් ගත විය. ඒ සඳහා ගැඹුරු කැණීම් සිදු කරන්නට ඇත. කඳවුරු ඉදි කිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරන්න ඇත්තේ එය ජාතික පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූවක් වන බැවිනි.

එහෙත් ඊශ්‍රායලයේ උපකල්පනයට අනුව ඉරානය සතුව ඇත්තේ මිසයිල 2,000ක් පමණි. මෙය ලෝකයා මුළා කිරීමට මොසාඩ් සංවිධානය විසින් යොදා ගන්නා තවත් ප්‍රචාරක උපක්‍රමයක් විය හැකිය. දිගු යුද්ධයක් අපේක්ෂා කළ ඉරානය කල් තියා ඊට සූදානම් වූ බැව් අපට නිගමනය කළ හැකිය. සැබවින්ම එහි සත්‍ය අසත්‍යතාව සෙවීම කාලයට භාරය.

ඉරානයේ මිසයිල කඳවුරු විනිවිද යෑම සුළුපටු කාර්යයක් නොවන බව අප පිළිගත යුතුය. ඒවා බටහිර යුරෝපයට සමාන භූමි ප්‍රදේශයක් පුරා විසිර පවතී. ඉරානය යනු භූමි ප්‍රමාණය අනුව විශාල රටකි. උපායමාර්ගික ගැඹුර ඉරානය සතු වටිනාම වත්කම්වලින් එකකි.

ඊශ්‍රායලයේ අධි තක්සේරුව

පළමු ගල්ෆ් යුද්ධයේදී, අහසේ නිරපේක්ෂ පාලනයක් තිබියදී පවා, ඉරාකය තම ස්කඩ් මිසයිල දියත් කිරීම වැළැක්වීමට එක්සත් ජනපද හමුදාව මුළුමනින්ම අසමත් වූ බව සත්‍යයකි. ඉරානය පළමු ගල්ෆ් යුද්ධයේ පාඩම් හොඳින් අධ්‍යයනය කර ඇති බව පැහැදිලිය. දින කිහිපයකට පෙර, ඊශ්‍රායලය ඉරාන මිසයිල දියත් කිරීමක් ව්‍යර්ථ කරන ආකාරය පෙන්වන වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් කළේය. එහෙත් මෙය කිසිවක් ඔප්පු නොකරයි. ඉරානයේ මිසයිල කඳුකර උමං තුළ මනාව ආරක්ෂා කර ඇත. වෙරළ තීරය පැහැදිලි වූ විට, මේ මිසයිල උමංවලින් පිටතට ගෙන, වෙඩි තබා, නැවත සුරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබේ. ඉරානයේ මිසයිල හැකියාවන් සුළු වශයෙන් හෝ අඩපණ කිරීමට ඊශ්‍රායලයට හැකි වූ බවක් නොපෙනේ.

ඊශ්‍රායලය තවදුරටත් ඉරානයේ මිසයිල ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානමක පසු වේ. ඉරානයට තමන් සතු සාම්ප්‍රදායික සන්නද්ධ මිසයිල යොදාගනිමින් ඊශ්‍රායලය දූවිලි ගොඩක් බවට පත් කළ හැකිය. මෙය දැනටමත් සිදු වෙමින් පවතී. ඉරානය තුළට ඊශ්‍රායලයට රැගෙන යා හැකි ප්‍රමාණයට වඩා විශාල යුද ශීර්ෂ ඉරාන මිසයිල ඊශ්‍රායලයට රැගෙන යයි. එබැවින් එයින් සිදු වන හානිය බෙහෙවින් වැඩිය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ, ඊශ්‍රායලය තම මාධ්‍ය වාරණය කරමින් සිටින අතර, ඊශ්‍රායලයට සිදු වන හානි පිළිබඳ සාක්ෂි සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් ඊශ්‍රායල ජාතිකයෝ අධෛර්යයට පත්ව සිටිති.

ඊශ්‍රායලයද අන්තර්ග්‍රහක (intercepters) හිඟයකටද මුහුණ පා සිටී. සැපයුම අවසන් වූ විට ඊශ්‍රායලය මුළුමනින්ම පාහේ ඉරාන මිසයිල ප්‍රහාරවලට නිරාවරණය වනු ඇත. එක්සත් ජනපදයට දිගින් දිගටම ඊශ්‍රායලයට අන්තර්ග්‍රහක සැපයිය නොහැකිය. ඇතැම් විශේෂඥයන්ට අනුව, එක්සත් ජනපද සතු තොග ද සීමිතය. කාලයත් සමඟ, වැඩිපුර නිෂ්පාදනය කර ඒවා ඊශ්‍රායලයට ලබා දීමටද කාර්මික ධාරිතාවක් වොෂිංටනයට නැත.

හයිපර්සොනික් මිසයිලත් එළියට

එපමණක් නොව, ඉරානය දැන් එහි හයිපර්සොනික් මිසයිල එළිදක්වා ඇති අතර, ඒවා නතර කළ නොහැකිය. ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි මොසාඩ් මූලස්ථානයටද ඍජු හයිපර්සොනික් ප්‍රහාරයක් එල්ල විය. මොසාඩ් මූලස්ථානයට අත් වූ විනාශයේ ඡායාරූප මේ දක්වා යුද්ධයේ කතාව කෙටියෙන් කියයි.

යම් අවස්ථාවකදී ඊශ්‍රායලය දැඩි පීඩනයකට ලක් වුව හොත් න්‍යෂ්ටික අවි යොදාගැනීම දක්වා යුද්ධය දුරදිග යනු ඇත. ඊශ්‍රායලය න්‍යෂ්ටික අවි වෙත යොමු වුව හොත් ඊට තමන් සතු න්‍යෂ්ටික අවිවලින් ප්‍රතිචාර දක්වන බවට පකිස්තානය අනතුරු අඟවා ඇත. උතුරු කොරියාවෙන්ද එවැනිම ප්‍රතිචාරයක් එල්ල විය හැකිය. ඊශ්‍රායලය න්‍යෂ්ටික අවි භාවිත කළ හොත් ඊට න්‍යෂ්ටික අවිවලින්ම ප්‍රතිචාරයක් එල්ල වන බැව් පැහැදිලිය. එහෙත් ඊශ්‍රායලය න්‍යෂ්ටික අවි භාවිත කළ ද, නොකළද, යුද්ධයේ ප්‍රතිඵලය එක හා සමාන වනු ඇත. ආරම්භයේ සිටම, ඊශ්‍රායලයට තමන් විනාශ කර නොගෙන මේ ගැටුම ජය ගත හැකි ක්‍රමයක් තිබූ බවක් නොපෙනිණි. ආක්‍රමණිකයාට සෑම විටම ආරම්භක වාසිය ඇති බැවින් ඊශ්‍රායලය ආරම්භක වටයේදීම විස්මයජනක ආකාරයෙන් ජයග්‍රහණයක් සලකු‍ණු කළේය. එහෙත් ඉරානය දැන් යථා තත්ත්වයට පැමිණ ඇත. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහුගේ රජය සිය කැමැත්තෙන් සියදිවි නසාගන්නා ආකාරය මුළුමහත් ලෝකයම බලා සිටී. එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙනුවෙන් ඍජුවම යුද්ධයට අවතීර්ණ වුවද, එමඟින් ප්‍රතිඵලයේ වෙනසක් සිදු නොකරනු ඇත.

ට්‍රම්ප්ගේ පුරාජේරු

උද්ගතව ඇති තත්ත්වය හමුවේ, බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයට මැදිහත් වේද යන්නයි. අමෙරිකා එක්සත් ජනපද යුද නෞකා මේ වන විටත් මධ්‍යධරණී සාගර කලාපයට පැමිණ ඇත. ඇතැම් විට, ඊශ්‍රායලයට පැමිණෙන මිසයිල ප්‍රහාර අඩු වීමට හේතුව, ඒවා ගල්ෆ් ප්‍රදේශයේ අමෙරිකානු කඳවුරු සහ යුද නෞකාවන් සඳහා සූදානම් කොට තිබීම විය හැකිය.

2024 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ඩොනල්ඩ් ට්‍රම්ප් තම දෙවැනි ධුර කාලය සඳහා ප්‍රමුඛතා තුනක් ප්‍රකාශයට පත් කළේය: ඔහු යුක්රේනයේ සහ ගාසා තීරයේ පවතින ‍යුද ගැටුම් නිම කරමින් සාමය ඇති කරන්නකු බවට පත් වනු ඇත. ඔහු එක්සත් ජනපද ආර්ථිකය මුහුණපා සිටින ඛේදජනක තත්ත්වයෙන් ගොඩ ගනිමින්, අමෙරිකානුවන් සඳහා පාරිභෝගික මිල පහත හෙළනු ඇත; තවද, සංක්‍රමණ සීමා කිරීමෙන් සහ නීති විරෝධි සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කොට ඔහු රටේ දේශසීමා සුරක්ෂිත කරනු ඇත.

ධවල මන්දිරයට නැවත පැමිණ දින 150කටත් අඩු කාලයකට පසු, ඉරානයට එරෙහිව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය මඟින් ට්‍රම්ප්ගේ මේ න්‍යායපත්‍රය දැඩි අවදානමකට ලක් කර ඇත. අමෙරිකා එක්සත් ජනපදය දැන් යුරේෂියානු කලාපයේ තෙවැනි යුද ගැටුමකටද නායකත්වය දෙමින්, ජනාධිපති ට්‍රම්ප් සාමය පිළිබඳ තම ප්‍රතිඥාවන්ගෙන් පෙර නොවූ විරූ ලෙස දුරස් වී ඇති බවක් පෙනේ. වඩාත් නරකම කාරණය නම්, දිගින් දිගටම උත්සන්න වන යුද්ධය ඔහුගේ දේශීය මුලපිරීම් කෙරෙහි පීඩනයක් එල්ල කරමින්, දේශසීමා ආරක්ෂාව සහ සංක්‍රමණ මැඬපැවැත්වීම සඳහා යෙදවිය යුතු අවධානය සහ සම්පත් වෙනතකට යොමු කොට, උද්ධමනය අඩු කිරීමට ඔහු දරන උත්සාහය අඩපණ කළ හැකිය. ඒ අනුව, ට්‍රම්ප්ට, ඉදිරි දින සහ සති කිහිපය තීරණාත්මක වනු ඇත. එදිරිවාදීකම් කඩිනමින් අවසන් කර ටෙහෙරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ දොරටු යළි විවර කරගත හැකි වුව හොත්, දෙවැනි ධුර කාලය සඳහා දුන්, අතපසු වූ පොරොන්දු යළි ඉටු කර දීමට එය රුකුලක් වනු ඇත.

මැද පෙරදිග නව යුද්ධයක් පුපුරා යෑමත්, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා බිඳවැටීමත් සාම තැරැව්කරුවකු ලෙස ට්‍රම්ප් අපේක්ෂා කළ භූමිකාවට එල්ල වූ මරු පහරකි.

යුක්රේනයේ හෝ ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කිරීමට අදාළව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වීමෙන් පසු, “මම ජනාධිපති වී සිටියා නම් මේ යුද්ධය ආරම්භ නොවනු ඇත,” යන ට්‍රම්ප්ගේ පුරාජේරුව පුන පුනා කීමට ඔහුට තවදුරටත් නොහැකිය. ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළකින ලෙස ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පුන පුනා කීවද, අවසානයේ ඊශ්‍රායලයේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයට එකඟ වන්නට ජනාධිපතිවරයාට සිදු විය.

එක්සත් ජනපද බුද්ධි වාර්තා

පළමුව, පසුගිය සති දෙකක කාලය තුළ ට්‍රම්ප්ගේ හැසිරීම ටෙහෙරානය ඔහු කෙරෙහි තැබූ කිසියම් හෝ විශ්වාසයක් සහ සාමකාමි විසඳුමක් පිළිබඳ ඔවුන් තුළ පැවති විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳදමා ඇත. ට්‍රම්ප් කෙරෙහි මේ මොහොතේ ඔවුන් තුළ කිසිදු විශ්වාසයක් නැත.

ඔහු එතැනින් නතර වේයැයි සිතන්නට ඔවුන්ට කිසිදු සහතිකයක් නැත. දෙවනුව: ට්‍රම්ප්ගේ හඬට ඊශ්‍රායලය කන් දෙනු ඇතැයි සිතන්නද ටෙහෙරානයට කිසිදු හේතුවක් නැත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම විසුරුවා හැරියද ඊශ්‍රායලය එයින් සෑහීමකට පත් නොවනු ඇත.

න්‍යෂ්ටික වැඩසටහන විනාශ කළොත්?

න්‍යෂ්ටික වැඩසටහන විනාශ කළ හොත්, ඊශ්‍රායලය දෙවනුව ඉරානයේ මිසයිල වැඩසටහන වෙත හැරෙනු ඇත.

ඉරානය පසුගිය දින කිහිපය තුළ ඔප්පු කළාක් මෙන් ඊශ්‍රායලයට විනාශයක් සිදු කළ හැකි මිසයිල ඉරානය සතුව තිබීම ඊශ්‍රායලය කිසි සේත් පිළිගන්නේ නැත. මිසයිල, ශක්තිමත් ගුවන් හමුදාවක් හෝ න්‍යෂ්ටික බාධකයකින් තොරව ඉරානය මුළුමනින්ම පාහේ සතුරු ප්‍රහාරවලට නිරාවරණය වී, අනාරක්ෂිත වනු ඇත.

තම අරමුණු සාක්ෂාත් කරගත් පසු, ඊශ්‍රායල ජාතිකයන් සිරියාවට කළාක් මෙන් ඉරානයේද පාලන තන්ත්‍ර වෙනසක් හෝ පාලන තන්ත්‍ර බිඳවැටීමක් සඳහා යොමු වනු ඇත.

ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයක් අසමමිතික පළිගැනීම් සිදු කිරීමට ඉඩ ඇත: එක්සත් ජනපද තානාපති කාර්යාලවලට ප්‍රහාර, හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව්ගත කිරීමට බාධා, සයිබර් ප්‍රහාර හෝ ලෙබනනයේ, සිරියාවේ, ඉරාකයේ සහ යේමනයේ නවමු ප්‍රොක්සි යුද ගැටුම් ඇතුළු ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජ්‍ය දැඩි ස්ථාවරයක් සඳහා අමෙරිකාවට බල කරන නමුත්, වොෂිංටනයේ යුරෝපීය සහචරයන් නිසැකවම මෙම ක්‍රියාව හෙළා දකිනු ඇත. එය බටහිර සමගිය බිඳදැමීමට සහ වොෂින්ටනය තවදුරටත් හුදෙකලා කිරීමට හේතු වනු ඇත.

මේ අතර, චීනය සහ රුසියාව මැද පෙරදිග තම බලපෑම පුළුල් කිරීමට සහ වඩාත් ස්ථාවර ගෝලීය හවුල්කරුවන් ලෙස පෙනී සිටීමට එවැනි ගැටුමක් යොදා ගනු ඇත.

රුසියාවේ භූමිකාව

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම අවසන් කිරීම සඳහා මැදිහත් වීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කොට තිබේ. ඊශ්‍රායලයේ ආරක්ෂක ගැටලු සමනය කරමින් ටෙහෙරානයට සාමකාමි පරමාණුක වැඩසටහනක් අනුගමනය කිරීමට ඉඩ සලසන විසඳුමක් පිළිබඳ සාකච්ඡා කිරීමට මොස්කව් පාලනයට මැදිහත් විය හැකි බව පුටින් යෝජනා කර තිබේ.

අන්තර්ජාතික ප්‍රවෘත්ති ආයතනවල ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිලධාරීන් සමඟ සාකච්ජාවකදී පුටින්, “මගේ මතය අනුව මේ ගැටලුවට විසඳුමක් සොයාගත හැකිය,” යනුවෙන් පැවසීය. ඊශ්‍රායලය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙයිනි ඝාතනය කළ හොත් රුසියාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි විමසූ විට, පුටින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින්, “මට එවැනි හැකියාවක් ගැන සාකච්ඡා කිරීමටවත් අවශ්‍ය නැත,” යනුවෙන් කියා සිටියේය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ යටත් වීම සඳහා එක්සත් ජනපදය කළ ඉල්ලීම් කමෙයිනි ප්‍රතික්ෂේප කර ඇති අතර, අමෙරිකානුවන්ගේ ඕනෑම යුදමය මැදිහත් වීමක් ඔවුන්ට ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරන බවට අනතුරු අඟවා තිබේ. පුටින්ගේ මෙම යෝජනාවේ ඇති වැදගත්කම කුමක්ද?

පළමුකොටම, පුටින් සහ නෙතන්යාහු අතර දිගුකාලීන පෞද්ගලික මිත්‍රත්වයක් පවතී. දෙවනුව ඉරානය සහ රුසියාව යුදමය දෘෂ්ටිකෝණයෙන් ගත් කළ මිත්‍ර පාක්ෂිකයෝ වෙති. නෙතන්යාහු වොෂිංටනයේ නියෝජිතයකු බවත් ඉරානයට එරෙහිව එල්ල කර ඇති තර්ජනය එක්සත් ජනපද යුදමය සහ බුද්ධි අංශ යන්‍ත්‍රණයෙන් පැනනඟින ලද්දක් බවත් රුසියානු සමූහාණ්ඩුව හොඳාකාරවම දනී.

රුසියාව ඉරානයේද සගයෙකි. රුසියාවට ඊශ්‍රායලය සමඟ විධිමත් යුදමය සන්ධානයක් නොවූවත්, නෙතන්යාහු සහ පුටින් අතර මේ දිගුකාලීන පෞද්ගලික සම්බන්ධතාව නිසැකවම ප්‍රධාන උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කරනු ඇත. රුසියානු සමූහාණ්ඩුවේ නායකයා නෙතන්යාහු සමඟ ඇති ඔහුගේ පෞද්ගලික මිත්‍රත්වය, එක්සත් ජනපද-නේටෝ-ඊශ්‍රායල් සන්ධානය දුර්වල කිරීමටත්, පෙන්ටගනය වෙනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයට බෝම්බ හෙළීම වැළැක්වීමටත් තුරුම්පුවක් ලෙස භාවිත කරන බැව් පෙනේ. ඉදිරි සති කිහිපය තීරණාත්මක වනු ඇත. අනපේක්ෂිත ප්‍රතිවිපාක සහිත ගැටුමක අවදානමක් ගන්නවාද? නැති නම් ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මාවතකට නැඹුරු වනවාද? යන්න ගැටුමට අදාළ සියලු පාර්ශ්ව විසින් තීරණය කළ යුතුව ඇත.

විජය දිසානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division