Home » ඉරාන – ඊශ්‍රායල යුද්ධයට යේමන හවුතීන්ද එක්වෙයි

ඉරාන – ඊශ්‍රායල යුද්ධයට යේමන හවුතීන්ද එක්වෙයි

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

ජුනි 18 වැනිදා වන විට ඉතා දරුණු යුද්ධයක් බවට පරිවර්තනය වූ ඉරාන-ඊශ්‍රායල ගැටුම තුළ එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ අගනගරය වූ ටෙහෙරානයෙන් කොන්දේසි විරහිත යටත් වීමක් අපේක්ෂා කරන බවයැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊට සමගාමිව ඉරාන ඉස්ලාමීය නායක අයතුල්ලා අල් කමෙයිනිටද තර්ජනයක් සිදු කර ඇති බව වාර්තා වේ.

දෙවැනි ලෝක යුද්ධයේ මහා විනාශය, අත්දුටු මානව සංහතිය, නැවතත් තුන්වැනි ලෝක යුද්ධයකට රැගෙන යෑමට ඉතා ආසන්න මහා ප්‍රචණ්ඩත්වයක් ජූනි පහළොස් වැනිදා වන විට මැදපෙරදිගින් වාර්තා වූ බව රූපරාමුද ඔස්සේ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගාසාව, සමූල ඝාතක, සාගත කලාපයක් කර නොනැවතුණු ඊශ්‍රායලය, ඉන් ඔබ්බට ගොස් දිගු කලක පටන්ම ඉලක්ක කොටගෙන තිබූ ඉරාන ඉස්ලාමීය ජනරජයටද බැලැස්ටික් මිසයිල, ඩ්‍රෝන ප්‍රහාර දියත් කර මැදපෙරදිග ඉරාන-ඊශ්‍රායල නව ආකාර යුද්ධයක්ද ඇරඹීමට පසුබට නොවූ බව අලුතින් කීමට දෙයක් නැත. මේ මහා, ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය සෙසු ගල්ෆ් කලාපීය රටවල් ද ඈඳුණු මැදපෙරදිගින් ඇරඹී තුන්වැනි ලෝක යුද්ධයක් නොවීමට ගෝලීය රාජ්‍ය නායකයන් ප්‍රමුඛ සමස්ත ගෝලීය ප්‍රජාවම වහ වහා පියවර ගත යුතුය.

මේ සියලු තත්ත්ව මැද ජූනි 15 වැනි ඉරිදා යුදමය තත්ත්වය තවත් තීව්‍ර කරමින් රාජ්‍ය නොවන පාත්‍ර වර්ගයක් වූ යේමන හවුතීන් ද ඉරාන-ඊශ්‍රායල යුදමය ගැටුමට අවතීර්ණ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට ආසන්නයේ පිහිටි ජාෆ්ෆා නගරයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ යේමන හවුතීන් මෙවර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ, පලස්තීනුවන්ගේ සහජීවනය හා ඉරාන වැසියන්ගේ ආරක්ෂාව උදෙසා තමන්ද ඊශ්‍රායලයට එරෙහිව පහර දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ඒකාබද්ධ වන බවයි. යේමන හවුතීන්ගේ හමුදා මාධ්‍ය ප්‍රකාශක වූ යෙහියා සාරිදා පවසා ඇත්තේ, මේ ප්‍රහාරයන් සාපරාධි ඊශ්‍රායල සතුරාට එරෙහි පහර දීමක් බවයි යන්න පවසා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

යේමන රාජ්‍යයේද මේ වන විට බහුතර කොටසක පාලනය ගෙන ගනු ලබන යේමන හවුතීන්, ඉරානයේ සහය ලබන බව ගෝලීය වශයෙන් අරුමයක් නොවූවද හවුතීන් මෙවර එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම තුළ මැදපෙරදිග බලතුලනය මෙන්ම උපායමාර්ගික යුද ප්‍රවේශයන්ද ආපසු හැරී බැලීමට නොහැකි අන්දමේ විතැන්වීමක් හා මහා පරිමාණ යුද්ධයකට ළඟා වීම, කල් ගත වන්නාවූ දෙයක් නොවන බව මනාව හෙළිදරවු වී ඇත.

යේමන රාජ්‍යයේ කඳුකර පළාතක, යේමන රජයට එරෙහිව සංවිධානය වූ ගරිල්ලා සටන්කාමී කණ්ඩායමක් වූ හවුති කැරලිකරුවන් මේ වන විට නවීන යුද ක්‍රමයේ සෑම උපාංගයක් ම මනාව හා උපක්‍රමිකව ප්‍රගුණ කර ඇති බව ජූනි 15 දා ඔවුන් ලෝකයේ අතිනවීනතම යුද උපාංග හිමි ඊශ්‍රායලයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරය සාක්ෂි දරයි. ඉරාන-ඊශ්‍රායල ගැටුම තුළ යේමන හවුතීන් පමණක් නොව, ඉරාක රාජ්‍යයේ ප්‍රභූ නායකත්වයකින් හෙබි සන්නද්ධ කණ්ඩායමක් වන කටයිබ් හිස්බුලලා ද ඉරාන – ඊශ්‍රායල ගැටුමට අවතීර්ණ වීම පිළිබඳ ප්‍රවේශයක් සම්බන්ධව දැනටමත් මේ අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපදය, ඊශ්‍රායලය හා ඉරානය අතර ගැටුමට මැදිහත් වුව හොත් තමන් එක්සත් ජනපද අභිලාෂයන් හා මැදපෙරදිග කලාපයේ පවතින එක්සත් ජනපද කඳවුරු උදෙසා ඍජු මැදිහත් වීමක් කිරීමට කිසිදු අයුරකින් පසුබට නොවන බව කටයිබ් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් අබු හුසේන් අල් හම්දව්වි ප්‍රකාශනයක් ඔස්සේ නිවේදනය කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි.

2003දී එක්සත් ජනපද නායකත්වයෙන් ඉරාකය ආක්‍රමණය කර මාස කීපයකින් අනතුරුව කටයිබ් හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ ප්‍රභාවය සිදු වී ඇති අතර, මෙම සංවිධානය, ඉරානයට ඉතා සමීප, ඉරාකයේ ප්‍රභූ සන්නද්ධ කණ්ඩායම්වලින් එකක් ලෙස විස්තර වී ඇත. යේමන හවුතීන් මෙන්ම මොවුන්ද ඉරානයේ සහායට පැමිණිය හොත් තත්ත්වය තවත් තීව්‍ර වනු ඇත.

ලෝක නායකයන් යුද්ධයට දක්වන ප්‍රතිචාර

තුර්කියේ ජනපති එර්දොගාන්, සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරුන් වන මොහොමද් බින් සල්මාන් හට ප්‍රකාශ කර ඇත්තේ, දැන් මෙය නැවැත්විය යුතු බවත්, මෙය කලාපීය ස්ථාවරත්වයට හා ආරක්ෂාවට මහත් වූ තර්ජනයක් බවත්ය යන්න විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ තත්ත්වය විසඳාගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් තුර්කි ජනපති එර්දොගාන් පවසා ඇත.

සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පවසා ඇත්තේ මේ ගැටුම්කාරී ප්‍රවාහය තුළ ඉරානයේ සෛවරීයත්වය හා ආරක්ෂාව නිරතුරුවම තර්ජනයකට ලක් වී ඇති බවයි. ඇත්ත වශයෙන්ම ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම තවදුරටත් වර්ධනය වුව හොත් ගල්ෆ් කලාපීය සෙසු රාජ්‍යයන්ද ලෝකයේ සෙසු බලවත් රාජ්‍යයන්ද විවිධ මානයන් ඔස්සේ මෙයට සම්බන්ධ වීම නොවැළැක්විය හැකි තත්ත්වයකි.

දින ගණනාවක් ගත වී ඇති ඊශ්‍රායල-ඉරාන ගැටුම මේ වන විට ඉතාම දරුණු අතට හැරී ඇති අතර, ඉරාන වැසියන් දෙසිය විසිහතරක් පමණ මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊශ්‍රායල වැසියන්ද 24ක් පමණ මියගොස් ඇති අතර, ඊශ්‍රායල් ගුවන් පථය දැඩි සවිමත්ව පවතින හේතුවෙන් යම් තාක් දුරකට අනතුරු අවම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරාන න්‍යෂ්ටික බලාගාර ප්‍රදේශ අලළා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන්ද කිහිප දෙනකුම මියගොස් ඇති අතර, ඉරානීය වැසියන් පවසා ඇත්තේ සුන්දර ටෙහෙරානය, ගාසාවක් බවට පත් නොකරන්න යැයි විදෙස් මධ්‍ය වාර්තා කර තිබිණි.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් ජූනි 17 වැනිදා ප්‍රකාශ කර ඇත්තේ, ඉරාක රාජ්‍යයේ ජනපති සදාම් හුසේන්ට මුහුණ දීමට සිදු වූ ආකාරයේ සිදුවීමකට ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙයිනිට ද මුහුණ දීමට බොහෝ ඉඩකඩ ඇති බවයි යන්න අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරාන-ඊශ්‍රායල යුද්ධය තුළ එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් ද උපායමාර්ගික ප්‍රකාශයක් නිකුත් කරන අතර, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන උදෙසා නියමාකාර අවසානයක් බලාපොරාත්තු වන බව පවසා ඇත.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ සිය වැසියන්ට, ටෙහෙරානයෙන් හැකි ඉක්මනිින් ඉවත් වන ලෙස ඉල්ලා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙයින් විශාල භීතියකට හා අවිනිශ්චිතතාවකට පත්ව ඇති මිලියන 10ක් පමණ වූ ටෙහෙරාන් වැසියන්, නගරය හැරදමා යාමට පටන්ගෙන ඇති අතර, ටෙහෙරානය පුරා විශාල වාහන තදබදයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නොබෝදා පැවති G7 රාජ්‍ය නායක සමුළුවේදීද මැදපෙරදිග අර්බුදය උදෙසා විශාල සංවාදයක් පැවති අතර, ඉරානය හා ඊශ්‍රායලය අතර සටන් විරාම යෝජනාවක්ද ගෙන එනු ලැබීය. රුසියාවේ සහයද ඉරානයට හිමි වන අතර, වත්මන් මැදපෙරදිග තත්ත්වය රුසියාව විස්තර කර ඇත්තේ එය වඩාත් තැති ගත්වන සුළු හා අතිභයානක තත්වයක් ලෙසිනි.

කෙසේ වුවද ගාසාවට ඊශ්‍රායලය සිදු කළ අපරාධය මතින් නැඟීසිට ඉරානය ප්‍රමුණ මැදපෙරදිගද තවත් එවැනිම ඝාතන කලාපයකට යෑමට පෙර ගත යුතු රාජ්‍යතාන්ත්‍රික පියවර නොගනී නම් මානව වර්ගයාගේ බිහිසුණු ඛේදවාචකය වැඩි ඈතක නොවන බව ඉඳුරාම පැවසිය හැකිය.

You may also like

Leave a Comment