කවියට, පදවැල්වලට, මානව හදවතට ඉතා සුන්දරව ආමන්ත්‍රණය කළ හැකිය. ඒ සුන්දරත්වය, ළබැඳි බව තිළිණ කළ හැකි වන්නේද සංවේදිත්වය, සංයමය ප්‍රගුණ කළ ආදරණීය හදවත්වලටම පමණකි. ම්ලේච්ඡ යුද්ධය, මානව වර්ගයාගේ මේ සියලු සිතුම් පැතුම්, වටිනා ජීවිත මිලින කරන්නේ ඇසිල්ලකිනි. ජූනි 17 වැනිදාත් එවැනිම අවාසනාවන්ත දිනයක් වූ අතර, වත්මන් දරුණු ඉරාන-ඊශ්‍රායල යුද්ධය තුළ ඉරානීය රාජ්‍යයේ ළබැඳි කිවිඳිය, ම්ලේච්ඡ ඊශ්‍රායල ප්‍රහාරයකට හසුව දිවි සැරිය නිම කර සිටියාය.
‘පර්නියා අබ්බාස්’ නම් වූ මේ තරුණ කිවිඳිය, සිය 24 වැනි උපන්දිනය සැමරීමට හරියටම තිබුණේ තව දින 10ක් පමණි. ඊශ්‍රායලය විසින් ඇය පදිංචිව සිටි ටෙහෙරානයේ නිවාස සංකීර්ණයක මධ්‍යය ඉලක්ක කර එල්ල කළ ඉතා දරුණු මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ බිමට සමතලා වී තිබූ අතර, එහි වූ මෘත ශරීර අතරට ඇයද එක්ව තිබූ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
පර්නියා අබ්බාස්ගේ බාල සොහොයුරාද මියගොස් සිටි අතර, ඔහු 2009දී උපත ලැබූවෙකි. පර්නියා අබ්බාස්ගේ පියා විශ්‍රාමික අධ්‍යාපන නිලධරයකු වූ අතර, මව ඉරානයේ මෙයිලි බැංකුවේ සේවය කර විශ්‍රාම ගොස් සිටියාය.
ඉරාන ජීවිතාරක්ෂක පිරිස් වාර්තා කළ ආකාරයට නිවාස සංකීර්ණයේ මෘත ශරීර අතරින් පළමුව සොයාගෙන ඇත්තේ කිවිඳිය වූ පර්නියා අබ්බාස්ගේ මෘත ශරීරයයි. පර්නියා අබ්බාස් ක්වාස්වින (Qazvin) විශ්වවිද්‍යාලයේ පරිවර්තනය යන විෂයය උදෙසා උපාධිධාරිනියක වන අතර දැඩි බලාපොරොත්තු සහගතව, මහත් කැප වීමෙන් හා පුළුල්ව අධ්‍යාපනය හැදැරූ බව ඉතා ආදරණීයව පවසන්නේ ඇයගේ සමීපතම මිතුරිය වූ මර්යාම් ය. පර්නියා මිය ගිය දිනයේ උදෑසන, මර්යාම් ඇයව බැලීමට පැමිණීමට නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඇත්ත වශයෙන්ම පර්නියා අබ්බාස් තරුණ කිවිඳිය, ඉරානීය සමාජය ඉතා ආදරයෙන් වැලඳගත් චරිතයක් වූ අතර, ඇය වරෙක ආදරණීය මවකද, ගුරුවරියකද, හිතාදරියකද, බැංකු නිලධාරිනියකද යන විවිධාකාර භූමිකා රැසක් මනාව හැඩ ගස්වාගැනීමේ විශාල හා අපූරු හැකියාවක් පැවති බව ඇයගේ සමීපතමයන් පවසා ඇත.
ම්ලේච්ඡ යුද්ධය දිවි අහිමි කළ වටිනා තරුණ ජීවිත අප්‍රමාණය. ඉරාන ළබැඳි කිවිඳිය පර්නියා අබ්බාස් එම අඳුරුතම පැතිකඩේ තවත් එක් විවරණයක් පමණි.
ඇයගේ අවසන් කවියද ඇය අපට තිළිණ කර අවසන් ගමන් ගියාය:
‘මම දැවෙමි
මාගේ දෛවයයි.
ඔබේ අහස් තලයේ
දුමක් බවට හැරෙන
නිහඬ තරුව බවට
මම පත් වෙමි’
ඉරාන අහස් ගැබ වෙඩි දුමාරයෙන් පිරී ඇති සේම, පර්නියා අබ්බාස් වැනි සංවේදි ආදරණීයයන් රැසක්ම බිලි ගත් ම්ලේච්ඡ යුද්ධය තවදුරටත් ලෝකය ඉදිරියට ගෙන යනවාද? යුද්ධයට සමු දෙනවාද යන තීරණය ඇත්තේ ඔබ සතුවය.