ඉකුත් අඟහරුවාදා (17) ගාල්ලේදී ඇරඹි ශ්‍රී ලංකා – බංගලාදේශ ප්‍රථම ටෙස්ට් තරගයෙන් 2025-2027 දෙවසරක කාලයක් පැවැත්වෙන අයිසීසී ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගමාලාවට ආරම්භයක් දුන්නද ඇන්ජෙලෝ මැතිව්ස්ට නම් එය සිය ටෙස්ට් ක්‍රිකට් ගමනේ අවසානය විය. එනම්: මීට වසර 16කට පෙර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් ගමන ඇරඹූ ඇන්ජෙලෝ 21 දා නිමා වූ තරගයත් සමඟ තම ටෙස්ට් දිවිය නිමා කළේත් ගාල්ලේදීමය.
එසේ ඔහු පසු කළ ටෙස්ට් ක්‍රිකට් ගමනේදී තරග 119ක (ජූනි 19 වන විට) ඉනිම 210කට සහභාගි වී ලකුණු 8,167ක් රැස් කර තිබූ අතර (සාමාන්‍යය 44.62) , කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට පසු, ටෙස්ට් පිටියේ තුන්වැනි වැඩිම ශ්‍රී ලාංකික ලකුණුලාභියා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නම ඉතිහාසයට එක් වනු ඇත. තවත් විධියකින් කිවහොත් මෙරට වෙනත් කිසිදු පිතිකරුවකු මෙම ආකෘතියේ ලකුණු 8,000 ඉක්මවා රැස් කර නැත. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ලැයිස්තුවේ මහේල ජයවර්ධන (149), කුමාර් සංගක්කාර (134) සහ මුත්තයියා මුරලිදරන් (132) හට පසුව සිව්වැනි ස්ථානයට පැමිණීමට ඇන්ජෙලෝ (120) සමත් වී ඇත.
කෙසේ වෙතත් 2009 වසරේ ජූලි මාසයේදී පාකිස්තාන් කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී මංගල ටෙස්ට් වරම් ලැබූ මැතිව්ස් හරියටම ඊට වසර 13කට පසු පාකිස්තාන් කණ්ඩායමකටම එරෙහිව ගාල්ලේදීම තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම විශේෂත්වයකි. එසේම ගාල්ලෙන්ම ටෙස්ට් ගමන අරඹා ගාල්ලේදීම ටෙස්ට් පිටියෙන් බැස යන ඇන්ජි, වැඩිම තරග සංඛ්‍යාවකට ප්‍රතිවාදියා කරගත්තේත් පාකිස්තානයයි. ඒ ටෙස්ට් තරක ප්‍රමාණය 23කි. මැතිව්ස් එසේ සෑම විටම පාකිස්තානයට විශේෂ ක්‍රීඩකයකු වන විට ඊළඟ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට (17) ක්‍රීඩා කර ඇත්තේ අසල්වැසි ඉන්දියාවට එරෙහිවය. තුන්වැනි තැනට වැඩිම වරක් ටෙස්ට් පිටියේදී මැතිව්ස්ට හමු වූ ප්‍රතිවාදියා නවසීලන්ත කණ්ඩායම (තරග 15) වන අතර, තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (නොදැවී 200) වාර්තා කළේ සිම්බාබ්වේට එරෙහිව සිම්බාබ්වේහිදීමය.
තවද, බංගලාදේශයට එරෙහිව 199ක්, එංගලන්තයට එරෙහිව 160ක් වශයෙන් එම රටවලදීම ඊළඟ හොඳම ටෙස්ට් ඉනිම් දෙක ක්‍රීඩා කළ මැතිව්ස්ගේ විශේෂත්වය වන්නේ තම ටෙස්ට් පිටියේ දස්කම් වඩාත් ඉහළින් පෙන්වා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටතදී වීමය. ශ්‍රී ලංකාවෙන් පිටතදී ලකුණු 40කට වඩා වැඩි (ශ්‍රී ලංකාවෙන් පිටත අවම වශයෙන් ලකුණු 1,000ක් ලබා ගත් පිතිකරුවන් අතර) සාමාන්‍යයක් ඇති ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනා අතර මැතිව්ස් ද සිටින අතර ඔහු සංගක්කාරට පිටුපසින් සිටී. මැතිව්ස්ගේ ටෙස්ට් ශතක 16න් 9ක්ම ශ්‍රී ලංකාවෙන් පිටතදී ලබා ගෙන අරවින්ද ද සිල්වා සමඟ තුන්වැනි ස්ථානයේ සම වන අතර, ඔවුන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ කුමාර් සංගක්කාර (16) සහ මහේල ජයවර්ධන (11) පමණි.
මැතිව්ස් දිනාගෙන ඇති ටෙස්ට් තරගාවලි ක්‍රීඩකයා සම්මාන හතරම ඔහුගේ මව් රටෙන් පිටතදී ලැබුණු ඒවාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (2013-14 පාකිස්තානයට එරෙහිව), එංගලන්තයේ (2014), සිම්බාබ්වේ (2020) සහ බංග්ලාදේශයේදී (2022) පැවති තරගාවලි ඔහුට එසේ විශේෂත්වයක් එක්කර දී ඇත. 2014දී පැවති එංගලන්ත සංචාරයේදී, මැතිව්ස් ටෙස්ට් තරග 2කදී ශතක 2ක් ඇතුළුව ලකුණු 306ක් ලබාගත් අතර, එහිදී ඔහුගේ දක්ෂතා ශ්‍රී ලංකාව, එංගලන්තය තුළදී වාර්තා කළ පළමු ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය කරගැනීමටද පාදක විය.
මේ සටහන තබන මොහොත වන විට, මැතිව්ස් ශ්‍රී ලංකාව තුළදී ටෙස්ට් ලකුණු 4,323ක් ලබා ඇති අතර, එය ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි. රටින් පිටතදී ටෙස්ට් ලකුණු 3,844ක් රැස් කර ඇති මැතිව්ස් ශ්‍රී ලංකා පිතිකරුවන් අතර තුන්වැන්නා වන්නේ ඒ දස්කම කළ සංගක්කාර සහ ජයවර්ධනට යන දෙදෙනාට පසුපසිනි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය ආරම්භයට පෙර ටෙස්ට් පිටියෙන් සමුගෙන ගිය ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවෙන් චාම් උපහාර උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලදි. මැතිව්ස්ගේ බිරිය සහ දරුවන් සිවුදෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහභාගි වූ එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් විශේෂ සමරු තිළිණයක් මැතිව්ස්ට ප්රදානය කරන ලද අතර කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයෝ ඊට සහභාගී වූහ.
සටහන – සිරිනාම