Home » පොලීසියයි ගමයි එකතු වෙලා වොලිබෝල් ඉහළට නංවන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා

පොලීසියයි ගමයි එකතු වෙලා වොලිබෝල් ඉහළට නංවන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස හඳුන්වනු ලබන්නේ වොලිබෝල්ය. එහෙත් සැබවින්ම මෙරට ජාතික ක්‍රීඩාව වොලිබෝල්ද? යන පැනය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවාදයකට ලක් වෙමින් පවතින සමයක, ඊට පිළිතුරු සැපයීමේ වගකීම අද වන විට, තවත් උසස් පොලිස් නිලධාරියකුගේ උර මතට පැමිණීම ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසය දෙස බැලූ විට අමුතු ප්‍රවෘත්තියක් නොවේ. හේතුව: ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ඇත්තේ ‘ගහට පොත්ත වැනි’ සම්බන්ධයක් නිසාය.

1947 වර්ෂයේ මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පති ධුරයට පත් ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ 1951 වර්ෂයේදී මෙරට පිහිටවනු ලැබූ ප්‍රථම වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය හෙබවීමේ ගෞරවයද හිමි කරගෙන ඇති අතර, 1987-1988 වර්ෂයන්හි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය දැරීමේ වරම ලබා ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහතායි. තවද, හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා (1994-1995) උප සභාපතිවරයා ලෙස කටයුතු කිරීමේ සිට එස්. වෛද්‍යතිලක (1987-1991භාණ්ඩාගාරික), ප්‍රියන්ත ජයකොඩි (1990-1998 විධායක සභික, නියෝජ්‍ය භාණ්ඩාගාරික, භාණ්ඩාගාරික, උප සභාපති), හෙක්ටර් ධර්මසිරි (1995-1997 ප්‍රධාන ලේකම්), ප්‍රේමරත්න බන්නැහක (1999-2000 උප සභාපති), නිමල් පෙරේරා (2015-2024 උප සභාපති), ඒ.එස්. නාලක (2020-2024 ප්‍රධාන ලේකම්), කපිල විජේමාන්න (2018-2020 විධායක සභික), සජීව මැදවත්ත (2022-2024 උප සභාපති) යන ඉහළම ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් මෙරට වොලිබෝල් ක්‍රීඩාවට කර ඇති මහඟු සේවයෙන්ම උක්ත කියමන සනාථ වනු ඇත.

එසේම එදා මෙදා තුර ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පුහුණුකරුවන්, විනිසුරුවන් හා තීරකවරුන් වැනි නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දක්වා ඇති දායකත්වය ඉමහත්ය. ඒ අනුව යමින් ඉදිරි වසර හතර සඳහාත් ශ්‍රී ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව මෙහෙයවීමේ නියමුවාගේ අසුන අද වන විට භාරගෙන ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතායි. වර්තමානයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණු හා උසස් පුහුණු අංශවල ප්‍රධානියා ලෙසද කටයුතු කරන සජීව මැදවත්ත ‘සිළුමිණ’ පාඨකයන් වෙනුවෙන් කතාබහට එක් වූයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති තනතුරට පත් වූවාට පසුව පුවත්පතක් සමඟ කරන පළමු සම්මුඛ සාකච්ඡාව ලෙසටය.

බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන මැදවත්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. පාසල් අවධියේ සිටම වොලිබෝල් ක්‍රීඩාවට ඇලුම් කරමින් අධ්‍යාපන කටයුතු කළ අයුරු පවසමින් වොලිබෝල් සභාපතිවරයා අපේ සාකච්ඡාවට ප්‍රවේශ විය:

“මමත් දිගටම වොල්බෝල් ක්‍රීඩාවට සම්බන්ධ කෙනෙක්. පාසලේදී, විශ්වවිද්‍යාලයේදී, පොලීසියෙදී මම වොලිබෝල් ක්‍රීඩා කළා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙ වොලිබෝල් භාරව ඉන්නෙ මම. ඊට අමතරව, ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු ලෙස වසර 2ක් පමණ වැඩ කළා. පාසලේ වොලිබෝල් කණ්ඩායමේ උප නායකයා විදියටයි ක්‍රීඩා කළේ . 1986 වසරේ පළමු වරට මම වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නෙ අපොස. සාමාන්‍ය පෙළ පන්තියේ සිට. ජ’පුර විශ්වවිද්‍යාලයට 1992 ඇතුළු වෙලා 1996 පිට වුණා.

“අපරාධ විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් හැදෑරුවෙ. හේතුව: පොලීසියට බැඳෙන්න මුල සිටම ආශාවක් උනන්දුවක් තිබුණු නිසයි. මගේ මාමාලා දෙන්නෙක් හිටියා පොලීසියෙ. ඒගොල්ලො යටතේ තමයි මම හැදුණේ වැඩුණෙ. මම උසස් පෙළ සමත් වෙලා පළමුව තේරුණේ පේරාදෙණියට. ඒත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා යටතේ අපරාධ විද්‍යාව පිළිබඳව හැදෑරීමේ අවශ්‍යතාව නිසාම මම ජ’පුරට මාරු වුණා. ඉන්පසුව පොලීසියටත් ඇවිල්ලා, ගම්පහ පොලිස් කොට්ඨාසය යටතේ වොලිබෝල් ක්‍රීඩා කළා. මාතලේ පොලිස් කොට්ඨාසයට සෙල්ලම් කළා. ඉන් පසුව ජනාධිපති ආරක්ෂක අංශයට ක්‍රීඩා කළා.

“මා පළමුවෙන්ම පොලීසියට බැඳෙන්නෙ 1997 පෙබරවාරි 1 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසයි. ඒ වන විටත් මම ඒඑස්පී විභාගය ලියලා තිබුණේ. එත් පසුව එම විභාගය සමත් වූ නිසා යළිත් 1999 මාර්තු 5 දා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳුණා.”

මේ අන්දමින් තම අන්දමින් තම අධ්‍යාපනික සහ වෘත්තීය ජීවිතයේ ගමන්මඟ අප හා පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, වර්තමානයේ අප රටේ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳ කතා කළේ එතරම් සතුටකින් නොවේ:

“ඇත්තටම අද වන විට පොලීසියෙ වොලිබෝල් ක්‍රීඩාව පවතින තත්ත්වය පිළිබඳ මම සතුටු නැහැ. ඒකට විවිධ හේතු තියෙනවා. 70-80 දශකවල 90 දශකයේ මුල් භාගයේ, පොලීසියේ වොලිබෝල් ක්‍රීඩාව ඉතා ඉහළ තැනකයි තිබුණෙ. ජාතික වොලිබෝල් කණ්ඩායම ගත්තත් පොලීසියෙ දෙතුන් දෙනෙක් හිටියා. ඒ කාලෙ ශ්‍රී ලංකා පොලිස් වොලිබෝල් කණ්ඩායම ඉතා ප්‍රබල කණ්ඩායමක්. අද ඒ තත්ත්වය අඩු වී තිබෙනවා. ඒ වගේම ජාතික මට්ටමෙන් ගත්තත් අපි ඉන්න තැන ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. අපේ තත්ත්වය මීට වඩා දියුණු කරන්න පුළුවන්.”

ඔබ මේ තනතුරට එන්න හේතුව?

මම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු විදියට අවුරුදු දෙකක් විතර විධායක කමිටුවෙ හිටියා. ඒ කාලෙ අපක්ෂපාතීව මට පුළුවන් උපරිම සහයෝගය මම ක්‍රීඩාවට දුන්නා; වොලිබෝල් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටියා. මම මේ සම්මේලනයට සම්බන්ධ වෙන්න කලින් වුණත් මම වොලිබෝල් තරග බලන්න යනවා. මම ගම්පහ රාජකාරි කරන කාලෙ වුණත් ගම්පහ ‘සියනෑ තරු’ ක්‍රීඩා සමාජය එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා කටයුතු කළා. ඇත්තෙන්ම මේ සභාපති තනතුර භාරගන්න කියල මට යෝජනා කළ පළමු මොහොතේ මම කැමැති වුණේ නැහැ. හේතුව: මට පොලීසියෙ රාජකාරි බහුලත්වය. ඒ වගේම මම විශ්වවිද්‍යලයට සම්බන්ධ දේශකයකු ලෙසත් කටයුතු කරනවා. එහෙත් පැරණි වගේම වර්තමාන ක්‍රීඩකයන්ගෙන් පරණ කමිටුවෙ වොලිබෝල් පරිපාලකයන්ගෙන්… මේ ආදි හැමෝගෙන්ම වගේ ආපු ඉල්ලීම උඩ මම මෙවර සභපති තනතුර ගන්න පසුව කැමැති වුණා. විශේෂයෙන්ම මේක මගේ කැමැතිම ක්‍රීඩාව; රටේ ජාතික ක්‍රීඩාව. ඒ වෙනුවෙන් සේවය කරන්න මේක හොඳම අවස්ථාවක් කියල හිතාගෙනයි මම මේ පුටුවට ආවෙ.

ඔබට මේ තනතුර හරි වෙලාවෙ ලැබුණද? නැත්නම් මීට කලින් ලැබුණ නම් හොඳයි කියලද හිතෙන්නෙ?

මේ සභාපති තනතුරේ රාජ්‍ය සේවකයන් සුළු වශයෙන් ඉඳලා තිබෙනවා. බහුතරය සිට ඇත්තේ දේශපාලනඥයන්. මම කලින් ආවා නම් මට ඒ වෙලාවෙ වොලිබෝල් පරිපාලනය පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණෙ නැහැ. මා හිතන්නෙ දැන් මං ටිකක් ඒ ගැන දන්නවා. කිසිම දෙයක් නොදැන මෙතැනට ආව නම් ටිකක් අමාරුයි. මේකෙ වටපිටාව ගැන දැනගෙන ක්‍රීඩාව කරන අය ගැන දැනගෙන පරිපාලන කටයුතු, නීති-රීති වගේම ව්‍යවස්ථාව ගැන දැනගෙන එන එක හොඳයි. ඉතිං මං හිතනවා මට මේ ආපු අවස්ථාව හොඳයි.

දැන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ඒකෙ ව්‍යවස්ථාව හරියට කියවලද තිබෙන්නෙ?

වොලිබෝල් ව්‍යවස්ථාව මම කියවල තියෙන්නෙ. ඒ ගැන අවබෝධයක් තියනවා. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයෙත් නව නිර්දේශ අනුව අපේ ව්‍යවස්ථාවෙත් සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට බලාපොරොත්තු වනවා.

මේ රටේ සමාජයේ දශක තුන-හතරක පමණ කාලයක සිට විශේෂයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවාදයක් තිබෙනවා ජාතික ක්‍රීඩාව වොලිබෝල් ද? එල්ලෙ ද? කියලා. මේ ප්‍රශ්නය පිරිසුදු කරගන්න කැමැති නැද්ද? ඒ සම්බන්ධයෙන් ඔබේ කාලසීමාව තුළදිවත් පියවරක් ගන්නවද?

ඇත්තටම අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ද? එල්ලෙ ද? කියන ප්‍රශ්නයක් තිබෙනවා තමයි. ඒත් මීට දශක දෙකකට පමණ පෙර ඒ සම්බන්ධව පත් කළ විද්වත් කමිටුව නිර්දේශ කළෙත් ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියල. ඒක ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ගැසට් නොකළේ ඇයි ද? කියන ප්‍රශ්නයක් තියනවා. ඔබ කීව හරි අපි මේක මුලදිම නිරාකරණය කරගන්න ඕනෑ. මා මේ තනතුරට පත් වෙලා තවම සති දෙක තුනයි. අපි මීළඟ විධායක කමිටු රැස්වීමෙදී මේ ප්‍රශ්නය පළමුව විසඳාගත යුතු එකක් විදියට දැඩි අවධානයක් යොමු කරනවා.

මේ තනතුර භාර ගැනීමට පෙර වොලිබෝල් ක්‍රීඩාවේ හොඳ තැන් නරක තැන් මෙන්ම වෙනස් කළ යුතු දේවල් හඳුනගෙන ආවේද? යන පැනයට පිළිතුරු දෙමින් සභාපති මැදවත්ත කියා සිටියේ තමා මෙය සැලසුම් කර ආ ගමනක් නොවන බවයි. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා:

මම මේ ගැන ඔක්කොම දැනගත්තෙ මෙතැනට ආවට පස්සෙ. ඡන්දෙන් පත්වුණේ මැයි 31. තවම සති 2යි. මේ ගැන ලොකු අධ්‍යයනයක් කළේ නෑ. හැබැයි එකක් දන්නවා: පාසල්වල වොලිබෝල් ක්‍රීඩාව ටිකක් පහළ මට්ටමක තිබෙන්නෙ. ඒ මඟින් දක්ෂ ක්‍රීඩකයන්ට එන්න ඇති අවස්ථා අඩු බව මම දන්නවා. අනෙක: මොනම හරි හේතු නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකු අපේ රටට ක්‍රීඩා නොකර පිටරට ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරනවා. ඒ වගේම මම දැක තිබෙනවා අපට හොඳ පුහුණුකරුවන් ඉන්නවා; හොඳ තරග තීරකවරුන් ඉන්නවා. මේගොල්ල අදක්ෂයි කියල මම කියන්නේ නෑ. එහෙත් මේ අය අතර තවත් හොඳ සංයෝජනයක් තිබෙන්න ඕනෑ වගේම මේ අය තවත් ඉස්සරහට ගන්න නිශ්චිත වැඩපිළිවෙළක් අපට තිබෙන්න ඕනෑ. අනෙක: ශ්‍රී ලංකාවෙ ජාතික වොලිබෝල් කණ්ඩායම වෙනුවෙන් නිත්‍ය දෙවැනි පෙළ කණ්ඩායමක් නෑ. ජාතික කණ්ඩායම ගත්තොත් පහළම ඉන්න ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එතැනට එන්න තිබෙන ගමන්මඟ පැහැදිලි නෑ. අපේ ලොකුම පාසල් තරගාවලිය ඩීඑස්අයි තරගාවලිය. ඒක සාර්ථකව දැනටත් ක්‍රියාත්මකයි. අන්තර් සමාජ තරගාවලිත් තිබෙනවා. මම කියන්නෙ පළමු පෙළ, දෙවැනි පෙළ වගේම, 19න් පහළ ජාතික සංචිත තුනක් පවත්වාගෙන යා යුතුයි. මේ විදියට කණ්ඩායම් දැනට තිබුණත් නිශ්චිතව නැහැ.

මේ වොලිබෝල් ක්‍රීඩාවෙ ආකෘතියෙ යම් දියාරු බවක් නේද තිබෙන්නෙ?

අපේ රටේ බොහොම ප්‍රබල පෞද්ගලික ක්‍රීඩා සමාජ තිබෙනවා. මට තවම අපැහැදිලියි දිස්ත්‍රික් කණ්ඩායම්, පළාත් කණ්ඩායම්, ක්‍රීඩා සමාජ කණ්ඩායම් මට්ටම් තුනකින් තිබෙන්නෙ ඇයි කියලා. අප මෙය නිවැරදි කරගත යුතුයි.

අපේ රටේ සෑම පොලිස් ස්ථානයක්ම අනුබද්ධව වොලිබෝල් කණ්ඩායමක් හැදුවොත්, ඒ සංකල්පයම යොදාගෙන මේ ක්‍රීඩාව රට පුරා දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද?

මම කියන්න හිතාගෙන හිටපු දෙයක් ඔබ කිවුවෙ. මම පොලීසියට බැඳෙන්න ආශාවක් ඇති වෙන්න හේතුවක් මේ වොලිබෝල් ක්‍රීඩවට ඇති ආශාවත්. මගේ ගෙවල් බණ්ඩාරවෙල. බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයෙන් පහළ තමයි පොලිස් ස්ථානය තියෙන්නෙ. වයස 12-13 වගේ කාලෙ මම ඉස්කෝලෙ ඇරිලා එන ගමන් පොලීසියෙ කම්බි වැටේ එල්ලිලා පොලීසිය ඇතුළෙ කට්ටිය වොලිබෝල් ගහනවා බලං ඉන්නවා. කලාතුරකින් බෝලයක් එනවා පාරට. අපි හරිම ආසයි ඒක උස්සලා පහළට දාන්න. ඒ කාලෙ ගමක් ගමක් ගානෙ වොලිබෝල් ගැහැවුව. ලංකාව පුරා පොලීසි 607ක් තිබෙනවා. මම ඒඑස්පී කාලෙත් ගම්පහ, බණ්ඩාරවෙල, අම්පාර, මානුකුලම් වගේ තැන්වල පොලිස් ක්‍රීඩා පිටි තිබූ තැන්වල වොලිබෝල් ගැස්සෙවුවා. පොඩි ඉඩක් ඕනෑ. වැඩි වියදමක් නෑ. ඔබ කියනවා වගේ වැඩසටහනකින් මහජනයා හා පොලීසිය අතරත් සම්බන්ධය, අවබෝධය වර්ධනය වනවා.

අපේ පොලිස් කොට්ඨාස 44ක් තිබෙනවා. මම ශ්‍රී ලංකා පොලිස් වොලිබෝල් ක්‍රීඩා සභාපතිවරයා විදියටත් අපි දැනටමත් පොලිස් කොට්ඨාස අතර තරගාවලියක් පවත්වනවා. උදාහරණයක් කීවොත් ගම්පහ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 16ක් තිබෙනවා. ඒ කණ්ඩායම් 16 තරග වැදිලා ඉන් හොඳම කණ්ඩායම අවසන් වටයට එනවා. එහෙම කොට්ඨාසවලින් තෝරාගත් කණ්ඩායම් 44ක් කොළඹට ගෙන්වලා අවසන් වටය මේ අවුරුද්දෙ ජූලි-අගෝස්තු පවත්වනවා.

පොලිස්පතිතුමාත් හිටපු ක්‍රීඩකයෙක්. එතුමාගෙත් අවසරය ඇතුව කරන්නමගේ තවත් අලුත් සැලසුමක් තිබෙනවා. සෑම පොලිස් ස්ථානයකටම අනුබද්ධව පොලීසියත් ගමත් ඒකාබද්ධ වොලිබෝල් කණ්ඩායමක් පිහිටුවන්න. එහෙම කණ්ඩායම් හදො පළමුවෙන් නියමු වැඩසටහනක් විදියට බස්නාහිර පළාතෙ පළමු තරගාවලිය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව, අර මුලින් කී විදියට සෑම පොලිස් ස්ථානයකම වොලිබෝල් කණ්ඩායම් ස්ථාපිත කරලා ඒ ආශ්‍රිත තරගාවලි තියන්න සැලසුමක් හදනවා. රටේ බොහෝ ස්ථාන ගත්තොත් වොලිබෝල් ක්‍රීඩා පිටියක් නැති පොලිස් ස්ථානයක් නැති තරම්. මම දකුණු පළාතෙ නෙ හිටියෙ. දකුණු පළාතෙ හැම එකේම වගේ තිබෙනවා.

අනෙක, අපේ රටට වඩාත් ජයග්‍රහණ ලබාගත හැකි, ලබාගෙන ඇති ක්‍රීඩා ඉසවුවක් බීච් වොලිබෝල්. එම ක්‍රීඩා ඉසවුව තව තවත් දියුණු කිරීමට පියවර ගත යුතුයි නේද?

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකාවෙ පැවැත්වුණේ. අපට තව බීච් වොලිබෝල් තරගාවලි 3ක් මේ අවුරුද්දෙ ඉරාන්වල, මාලදිවයිනේ සහ භූතානයේ පැවැත්වෙනවා. ඔබ කිවුවා වගේම, අපේ රටේ සංචාරක ව්‍යාපාරය පහසුවෙන්ම දියුණු කරන්නත් බීච් වොලිබෝල් ක්‍රීඩාව යොදාගත හැකියි. අපේ රට වටේම මුහුද. අපට ඒ වාසියෙන් උපරිම ප්‍රයෝජනයත් අරගෙන අඩු වියදමකින් බීච් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කළ හැකියි. අප ඒ වැඩසටහනට යනවා. මොකද: වොලිබෝල් ක්‍රීඩාව වේගයෙන් රට පුරා ජනප්‍රිය කරන්න පහසුම මඟ බීච් වොලිබෝල් ක්‍රීඩාව හරහා යෑමයි. මේ කටයුතු සාර්ථක කරගන්න නම් පැරණි ක්‍රීඩකයන් වගේම වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවීණයන් හා මාධ්‍යවේදීන් වැනි සියලු දෙනා එක්ව මේ ගමන යන්න ඕනෑ. අනෙක: අප සැම විටම ක්‍රීඩාවේ විනය ගැනත් සැලකිලිමත් විය යුතුයි. අපේ සම්මේලනය තුළ ක්‍රියාත්මක උප කමිටු සඳහා දේශපාලනයෙන් තොර, අපක්ෂපාතී, සුදුසු අය පත් කළ යුතුයි කියන ස්ථාවරයෙයි අප ඉන්නෙ.

මේ හැම දේම කරන්න මූල්‍යමය ශක්තිය අවශ්‍යයි. ක්‍රීඩකයන් විදෙස් සංචාර ගියාම නැවත නොඑන අවස්ථා අප දුටුවා. ඒ ප්‍රතිඵලය දෙස නොවෙයි, එහෙම වෙන්න හේතුව දෙසයි අප බලන්න ඕනෑ. මේවාට විසඳුම් ඔබ සතුව තිබෙනවාද?

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ගත්තොත්: අපට මුදල් උත්පාදනය කරන්න තිබෙන ක්‍රම ඉතා අඩුයි. අපිට අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනයෙන් ලැබෙන්නෙත් ද්‍රව්‍යමය ආධාර පමණයි මුදල් ආධාර නෑ. දැනට පවත්වන ප්‍රධාන තරගාවලි පවත්වන්නෙත් අදාළ අනුග්‍රාහකයන්ගෙන්මයි. ක්‍රීඩකයො යන්නෙත් ආර්ථික ප්‍රශ්න නිසයි. ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙත් වෙනත් කුමන හෝ රැකියාවක යෙදෙන අතරවාරයේයි. අපට පූර්ණකාලීන වෘත්තීය ක්‍රීඩකයො නෑ. එත් අප දැනට පවත්වාගෙන යන සංචිතයේ ක්‍රීඩකයන්ට තවත් වැඩිපුර පහසුකම් දීලා රැකබලාගන්න අවශ්‍ය මුදල් සොයා ගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ සඳහා කටයුතු කරන්න සුපිරි මට්ටමේ ව්‍යූහයක් ගොඩනඟන්න බලාපොරොත්තු වනවා. මම මේ තනතුර භාරගත් පසුව පැවති පළමු විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡා වූ ප්‍රධාන කාරණා වුණෙත් වොලිබෝල් ජාතික ක්‍රීඩාව ලෙස ගැසට් කරන එකයි මුදල් සොයා ගන්නා ආකාරය සම්බන්ධවයි. අපේ අරමුණ දක්ෂයාට සුදුසු තැන දීලා ක්‍රීඩාව දියුණු කරන එක පමණයි. ඒක බැරි නම් අප මෙතැන ඉන්න එකේ තේරුමක් නැහැ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

සජීව මැදවත්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division