Home » සජිත් රත් කළ කොළඹ මෙහෙයුම

සජිත් රත් කළ කොළඹ මෙහෙයුම

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

ළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීම තවමත් සිදුවන නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ඉතා උණුසුම්ය. 50%ක් මාලිමා ආණ්ඩුවට නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම විවිධ පාර්ශ්ව එකඟ කරගෙන සිදුකරගෙන යන අතර, මෙම එකඟ කරගැනීම් හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී තිබේ.

කොළඹ මහ නගර සභාව ඇතුළු ප්‍රධාන පළාත් පාලන ආයතන රැසක බලය මාලිමාව පිහිටුවා ගනිද්දී ඒකාබද්ධ විපක්ෂය විසින්ද සැලකිය යුතු පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය පිහිටුවීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

කොළඹ තත්ත්වය කොහොමද?

ජනාධිපතිවරණයටත් මහමැතිවරණයටත් වඩා උණුසුම් විය. කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමේ සටනය මාලිමාවට වැඩි මන්ත්‍රීන් පිරිසක් සිටියද විපක්ෂයේ මන්ත්‍රීන් ගණන ඊට වඩා වැඩි විය.

“කොළඹ තත්ත්වය කොහොමද?” ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එහෙම ඇහුවේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙනි. කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමේ වගකීම පවරා තිබුණේ සුනිල් වටගලටය.

“ලොකු අයියා කිසි දෙයකට බයවෙන්න එපා, අපි කොළඹ බලය ගන්නවා, ඒක බඩේ බත් වගේ විශ්වාසයි,” සුනිල් වටගලද පිළිතුරු බැන්දේය.

“අන්න කොළඹ සමහර ස්වාධීන මන්ත්‍රීවරු එකසිය ගාණට විකිණෙනවා.” පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් එහෙම කිව්වේ මන්ත්‍රී නාමල් රාජපක්ෂටය.

“මම හිතන්නේ බැසිල් බාප්පගේ තියරිය මාලිමාව හොඳට යූස් කරනවා වගේ.” නාමල් රාජපක්ෂද ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.

“ඔව් ඔව්. සමහර ස්වාධීන මන්ත්‍රීවරුන්ට හැමදාම රෑට රෑට පාටි දෙනවා කියලත් ආරංචියි. ඒ තැන්වලදී ලොකු ලොකු ඔෆර් එන්නේ.” හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නද තමන්ට ලැබුණු තොරතුරක් කීවේය.

“මට ආරංචි විදියට මාලිමාව රහස් ඡන්දයක් ඉල්ලනවාලු. රහස් චන්දයක් ඉල්ලන්නේම ඩීල් වහගන්න. ‍ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඩීල් ගැන කතා කරපු අය හැසිරෙන විදිය ලැජ්ජයි” නාමල් කීවේය.

වැඩි මන්ත්‍රී කණ්ඩායම් ඉන්න පාර්ශ්වයට කොළඹ බලය ඇල්ලීමේ මෙහෙයුම භාරගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ය. දේශපාලන ක්ෂේත්‍රයේ තිරය පිටුපස වැඩකාරයෙකු වන හිටපු ආණ්ඩුකාරවරයකු ද මුජිබර්ගේ සහයෝගයට ඉදිරිපත් විය. ස්වාධීන මන්ත්‍රීවරුන් හමු වූ මුජිබර් ඒකාබද්ධ විපක්ෂයේ නගරාධිපති අපේක්ෂකයාට සහාය දෙන බවට එම මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගත්තේය.

“අපිට රජෙක් ඉන්නවා” මුජීබර් එහෙම කිවුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටය. “අපි කොහොම හරි කොළඹ ගන්න ඕනෑ” සජිත්ද කියා සිටියේය.

තත්වය එක්වරම අනික් පැත්තට හැරෙන්න පටන් ගැනුණේ එක භයානක ප්‍රවෘත්තියක් සමඟය. ඉතාම විශ්වාසදායක තොරතුරු සාක්ෂි සහිතව විපක්ෂයේ ප්‍රබලයකු වහාම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවය. විපක්ෂ ප්‍රබලයා වහා ගොස් පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයකු හමුවිය. “මේ වෙලාවේ මට උදව් කරන්න” විපක්ෂය ප්‍රබලයා කීවේය. “මම ට්‍රයි කරන්නම්” හිටපු ඇමතිවරයෙක්ද කීවේය.

එදිනම රාත්‍රියේ විපක්ෂයේ ප්‍රබලයාට හිටපු ඇමතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. “වැඩේ හරි. හැබැයි දන්නවනේ…” හිටපු ඇමතිවරයා එතැන් සිට දීර්ඝ විස්තරයක් කළේය. කොළඹ දිනන සටන සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබලයාට තිබූ උනන්දුව එකවරම දියවී ගියේය. මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලුවේය.

60-54 වුණේ කොහොමද?

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තබාගෙන සිටි බලාපොරොත්තු බොඳ වී යාමත් සමඟ “විපක්ෂයට ඉන්නවා කිව්ව හැටට මොකද වුණේ?” යන ප්‍රශ්නය ඇසෙන්නට පටන්ගෙන තිබේ. විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ සත්‍ය වශයෙන්ම විපක්ෂයට සහය දීමට මන්ත්‍රීවරුන් 60ක් අත්සන් තබා තිබුණු බවයි. නගරාධිපති ඡන්ද විමසීම සිදු වන විට මන්ත්‍රීවරුන් 54ක් විපක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබිණි. ඡන්දය දීමට මුලින් පොරොන්දු වී සිටි 6 දෙනකුගේ ඡන්දය අහිමි වී තිබිණි. ඒ ඡන්ද 6 මාලිමාවේ අපේක්ෂිකාව වෙනුවෙන් පාවිච්චි කළාද යන සැකය දැන් ඇති වී තිබේ. විපක්ෂය පවසන්නේ විවෘත ඡන්දයක් තිබුණා නම් මේ ඡන්දය අහිමි නොවන බවයි. රහස් ඡන්දයකට ආණ්ඩුව ගියේ මේ ඡන්ද 6 වෙනුවෙන් බව කියයි.

සජබට මොකද වුණේ?

නගරාධිපති සටනේදී සමගි ජනබලවේගයේ අපේක්ෂකයා පරාජය වූයේ ඇයි? සජබට වැරදුණේ කොතනදැයි යන මාතෘකාද මේ දිනවල උණුසුම් මාතෘකා වේ. සීතාවක ප්‍රාදේශීය සභාවේ සිදු වූ පරිදි සජබ සියලු දෙනා නැඟිට සභාවෙන් එළියට යෑමට තරම් ප්‍රඥාවක් කොළඹ නාගරික මන්ත්‍රීන්ට නොතිබීම පරාජයට එක් හේතුවක් ලෙස පැවසේ. කොළඹ සජබ හැට දෙනාම එදා සභාවෙන් පිටව ගියා නම් ගණ පූරණය ප්‍රශ්නය මතු වී සභාව කල්තැබීමට සිදු වන නමුත් සජබ එය නොකිරීම සජබ පැත්තෙන් සිදු වූ දුර්වලතාවක් බව සජබ තුළින්ම විවේචන මතු වෙමින් තිබේ. සජබට සහය දීමට කැමැත්තෙන් සිට පසුව ආණ්ඩුවට ඡන්දය දුන් හය දෙනා කවුරුන්ද යන්න පිළිබඳව ද සජබට තවමත් නිසි අවබෝධයක් නැත. ඒ නිසාම මේ වන විට විවිධ කටකතා පැතිරෙමින් තිබේ. එවැනි එක්ක කතාවක් වන්නේ සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ තමන්ට හිතවත් හතර දෙනකුට සජබ අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි නොකර මාලිමාවේ ව්‍රායිට ඡන්දය දෙන ලෙස බලපෑම් කර ඇති බවයි. චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණේ පත් වූ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ද තවත් කතාවක් පැතිරෙමින් තිබේ. කෙසේ වෙතත් ඔහු පවසන්නේ තමන් කිසිවෙකුට ඡන්දය පාවිච්චි නොකළ බවයි. එය එසේ නම් ප්‍රකාශ වූ ඡන්ද 117යි. ප්‍රතික්ෂේප වූ ඡන්ද දෙකෙන් එකක් ඔහුගේ ඡන්දය විය යුතුය. ස්වාධීන කණ්ඩායම් ටික දිනා ගැනීමට සජබ අපොහොසත් වීමද පරාජයට හේතුවක් ලෙස දැක්වේ.

ජනපති අනුර, මහින්දව අගයයි

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැදීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනැමීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද පැවසීය.

රාජ්‍ය සේවය ගැන ජනපති කීවේ මොනවාද?

එසේම, රාජ්‍ය සේවය පුරවැසියන්ට ඉහළින් තිබෙන සහ ජනතාව සමග කිසිදු සබඳතාවක් නොමැති යන්ත්‍රණයක් නොවිය යුතු සේම, තීන්දු තීරණ ගැනීමේදී සෑම විටම, එම තීන්දුවලින් ජන ජීවිතයට එල්ල විය හැකි බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්දැකීම් බහුල සහ ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ මහින්ද සිරිවර්ධන මහතාගේ රාජකාරී ජීවිතයෙන් තරුණ රාජ්‍ය නිලධාරින්ට ලබාගත හැකි ආදර්ශ බොහෝ බවද සඳහන් කළේය.

මහින්දගෙන් ජනපතිට ප්‍රණාමය

මෙහිදී අදහස් දැක් වූ මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ වසර 3ක සේවා කාලය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂම අවස්ථාව බවයි. රටෙහි පාලනයේ වෙනසක් සිදු වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව එම ධුරයේ රඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඒ මහතා, තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියක් වූ බවද සඳහන් කළේය. එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ තිබූ විශ්වාසය, දරාගැනීම සහ අසීමිත කැප වීම නොවන්නට රට ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට නොහැකි වනු ඇති බවද මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

2025 පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90%ක වැඩිවීමක්

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ. පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය විය.

එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණ දෙන ගැටලු, අභියෝග සහ ඊට ගතහැකි විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩකොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි. සාම්ප්‍රදායික ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමා සහිත බැවින්, රටක් ලෙස නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනාගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව, 1978 වසරේ සිට මේ දක්වා උපයා ගැනීමට සමත් ව ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත්, වියට්නාමය 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නේය.

ආයෝජන දිශාගත කිරීමේදී සේවා අංශයේ ආයෝජන වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙසත් මඟහැරුණු අවස්ථා හඹා යාමෙන් ඔබ්බට ගොස් නව ආයෝජන අවස්ථා සොයා ගැනීම ආයෝජන මණ්ඩලයේ අරමුණ විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ආයෝජන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මින් ඇතුළු ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ සේවා කටයුතු ඩිජිටල්කරණයට

රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදු කරන කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කරනු ලැබ තිබිණි.

විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවා සඳහා විධිමත් යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. දේශීය සහ විදේශීය පරිශීලකයින්ට තොරතුරු සහ සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කරමින් පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද මෙහිදී අනාවරණය කෙරිණි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

රනිල් රුසියාවේ මොනවද කරන්නේ

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි පැවති වැල්ඩායි සාකච්ඡා සමාජයේ වටමේසයට සහභාගි වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වත්මන් ගෝලීය සන්දර්භය විස්තර කළේ ගෝලීය පිළිවෙල බිඳදැමීම සහ බහුධ්‍රැවීය ලෝකයක මතුවීම ලෙසයි.

ආසියාවේ, අප්‍රිකාවේ, යුරේසියාවේ සහ ලතින් ඇමරිකාවේ බල කණ්ඩායම් සමඟින්, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, හමුදා ක්‍රියාකාරීන් සහ IMF වැනි බහුපාර්ශ්වික සංවිධානවල ස්වරූපයෙන් විකල්ප බල ව්‍යුහයන් මතු වෙමින් පවතින බව හිටපු ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ගෝලීය පිළිවෙළ හැඩගැස්වීම සඳහා මෙම බලගතු බලවේග වගකිව යුතුය.

සමුළුවේදී සිය අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දු-පැසිෆික් කලාපය පැසිෆික් කලාපයේ පැහැදිලි සීමාවක් නොමැති වීමේ ප්‍රතිඵලයක් බවයි. තායිවාන් අර්බුදය සමඟ කටයුතු කිරීමේ අරමුණින් එය නිර්මාණය කරන ලද අතර, තායිවානය චීනයේ කොටසක් බව පිළිගෙන ඇති බැවින්, ඉන්දීය සාගරයට සම්බන්ධ වීමට කිසිදු කැමැත්තක් නොමැති ගැටලුවක් විය.

ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය ආත්මාරක්ෂාව සඳහා සාධාරණීකරණය කරන G7 නිවේදනය ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

රවීගෙන් විජිතට පැසසුම්

පසුගිය 22 වැනි දා පාර්ලිමේන්තුවේදී විශේෂ දෙයක් සිදු විය. ඒ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකු පැසසුමට ලක් කිරීමයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්නය යොමු කර තිබුණේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත්ගෙනි.

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර්රාජ්‍ය, කටාර් සහ කුවේට් යන රටවල ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්, ශ්‍රමිකයන් සඳහා අවම වැටුප පිළිබඳ ප්‍රශ්නයක් රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබුණි.

කොවිඩ් 19 වසංගතයෙන් පසු ආර්ථික ප්‍රතිසංවිධාන ප්‍රයත්නයේ කොටසක් ලෙස විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය 2021 සැප්තැම්බර් 13 වන දින සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා අනිවාර්ය අවම මාසික වැටුප වූ ඇමෙරිකානු ඩොලර් 300 ඉවත් කළ බවත් එබැවින් ශ්‍රී ලංකා රජය විසින් සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා දැනටම පවතින ලද අවම වැටුප නොමැති බවත් විජිත හෙරත් අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේය. ඊට අමතරව ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ වැටුප ගැන දීර්ඝ විස්තරයක්ද විජිත හේරත් අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.

විජිත හේරත් අමාත්‍යවරයා ලබා දුන් සවිස්තරාත්මක පිළිතුරට රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් ස්තුති කරන ලදී.

විපක්ෂය ඉල්ලන් කයි

ජාතික වැදගත්කමකින් යුත් විශේෂ විවාදයක් ලෙස අද උදෑසන විපක්ෂය විසින් ඉල්ලා සිටි මැදපෙරදිග අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය විනාඩි 6කට සීමා වීම විශේෂත්වයකි.

මෙම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කර තිබූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සභාවේ නොසිටි අතර ඔහු වෙනුවෙන් යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ නිශාම් කාරියප්පන් මන්ත්‍රීවරයාය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා සම්ප්‍රදාය අනුව යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා සභාවේ සිටිය යුතු බවත් අදාළ මන්ත්‍රීවරයා සභාවේ නොමැතිනම් විවාදය පැවැත්වීමට නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයාද විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් කියා සිටියේ යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම සභාවේ සිටිය යුතු බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම විවාදය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. විවාදය අවශ්‍ය නම් අදාළ මන්ත්‍රීවරයා සභාවේ සිටිය යුතු නේදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ. අනතුරුව දෙපාර්ශ්වය අතර උණුසුම් විවාදයක් සිදු වූ අතර අවසානයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදාය අනුව සභාව 19 දින දක්වා සභාව කල්තැබීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වී සාලි මහතා තීරණය කළේය.

මේ අතර සභාවේ නොසිටීමට හේතුව සඳහන් කරමින් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කොළඹ සිට පාර්ලිමේන්තුවට එන විට රිය අනතුරකට මුහුණ දුන් බවය එම නිසා නිසි වේලාවට පැමිණීමට නොහැකි වූ බවද්දී පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment