Home » කාලයකට හොරු වෙනවා කාලයකට හොඳ වෙනවා

කාලයකට හොරු වෙනවා කාලයකට හොඳ වෙනවා

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරල

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

කොළඹ මහ නගර සභාවට පසුගිය කාලයේ විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා නගරාධිපති පත් කරනවා කියලා කිවුවට‍, ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂිකාව නේද තේරී පත් වුණේ?

කොළඹ නගර සභාව, නගරාධිපති ඇතුළු අනෙක් සියලු පක්ෂ එකතු වෙලා පිහිටුවනවා කියන කතිකාව මතු වුණේ ආණ්ඩු පක්ෂයට පැහැදිලි බහුතරයක් හිමි නොවුණු නිසයි. විපක්ෂයේ පක්ෂ සියල්ල එකතු වෙලා ඡන්දයට ඉදිරිපත් වුණා නම්, සමහර වෙලාවට පැහැදිලිවම ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. ඒ නිසා තමයි විපක්ෂයේ පක්ෂ සියල්ල එකතු වෙලා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය සූදානම් කළේ.

නමුත් බහුතරයක් ජයග්‍රහණය කළේ ජාතික ජන බලවේගය නේද?

එයාලට කාලයකට හොරු වෙනවා; කාලයකට හොඳ වෙනවා! මැතිවරණයට පෙර කිවුවා ‘අපි හොරුත් එක්ක එකතු වෙන්නේ නැහැ’ කියලා. ස්වාධීන කණ්ඩායම්වල ඉන්නෙත් හොරු කියලා කිවුවා. ඒත් අවසානයේ ස්වාධීන කණ්ඩායම් එක්ක එකතු වෙලා අවශ්‍ය බහුතරය හදාගන්න සිද්ධ වුණා.

එක්සත් ජාතික පක්ෂය අනන්‍යතාව වෙනස් කරගෙන වෙනස් පැත්තකට ගිහින් තිබෙනවා. ඒ නිසා එජාප පාක්ෂිකයන් කලකිරිලා නේද?

එහෙම එකතු වීමක්වත් සන්ධානගත වීමක් වත් නැහැ. ආණ්ඩුවට බහුතරය ලබා ගැනීමට නොහැකි පළාත් පාලන ආයතනවල විරුද්ධ පක්ෂය හැටියට බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇති කර ගත් එකඟතාවක් පමණයි. ගිවිසුමක්වත් එකඟතාවක්වත් සන්ධානයක්වත් නොවෙයි.

එතකොට මේ ප්‍රධාන පක්ෂ හතර එක්සත් ජාතික පක්ෂයෙන් බිඳිලා ගිහින් තමයි සමගි ජන බලවේගය ඇති වුණේ. නිදහස් පක්ෂයේ කොටසක් ලෙසයි පොහොට්ටුව හැදුණේ. ආසන ප්‍රමාණය වැඩියෙන් ගත්ත පක්ෂ එකතු වෙලා තමයි ඒ සම්බන්ධයෙන් පිහිටුවීම කරන්නේ. එකතු වෙලා තියෙන්නේ බලය පිහිටුවන්න මිසක පක්ෂ හැටියට සන්ධානගත වීමකට නොවෙයි. දේශපාලන මතවාදය වෙනස් වෙන්න පුළුවන්, වැඩපිළිවෙළ වෙනස් වෙන්න පුළුවන්, මතවාදය වෙනස් වෙන්න පුළුවන්. එහෙත් මෙහි හොඳ එකඟතාවක් අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා පමණක් කරන ලද්දක්.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරළියට ගේන්න එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය සූදානම් වෙලා ඉන්නවා නේද?

නාමල් රාජපක්ෂ කරළියට ගේන්න අපට අවශ්‍ය නැහැ. එජාපය වැඩ කරන්නේ එජාප ප්‍රතිපත්තිවල හිඳගෙනයි. පක්ෂය කැඩුණ නිසා පක්ෂය වැටුණා පක්ෂය ගොඩනඟන්න නම් හුගාක් දේවල් කරන්න අවශ්‍යයි.

පක්ෂයක් ගොඩනැඟෙන එක පක්ෂයක් රැකගැනීම පාක්ෂිකයන්ගේ වැඩක්. කාවවත් කරළියට ගෙන යන්නවත් කාගෙවත් න්‍යාය පත්‍රවලට වැඩ කරන්නවත් අපි සූදානම් නැහැ. අපි පක්ෂ හතරම හොඳ අවබෝධයකින් තමයි තමන්ගේ එකඟතාව තුළ කටයුතු කරන්නේ.

එජාපය සහ නිදහස් පක්ෂය මේ රටේ වැඩිම කාලයක් පැවැති සාම්ප්‍රදායික පක්ෂ දෙකක්. දැන් මේ පක්ෂ දෙකම කඩාවැටිලා. මේ පක්ෂ ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙල කුමක්ද?

එජාප ලෙසත් නිදහස් පක්ෂය හැටියටත් කොටස් කැඩිලා වෙන් වුණා. මූලිකම හේතුව එජාපයෙන් කොටසක් කැඩිලා ගියා. සමගි ජන බලවේගයත් ඉන් පසුව නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහින් පක්ෂ කිහිපයක් පිහිටුවුණා. පොහොට්ටුව හැදිච්ච එකෙන් තමයි වෙනස ඇති වුණේ. එහෙත් ඒ පාක්ෂිකයෝ ඒ තුළම දෝලනය වෙමින් ඉන්නවා. එහිදි එජාප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කාලෙන් කාලයට මේ රටේ එක් එක් තැන්වල ඉඳගෙන වැඩ කරලා තියෙනවා. මාලිමාව ජනතාව දිනාගන්න සමාජගත කළේ විශාල බොරුවක්. ඒත් මේ රටේ වසර 76ක කාලෙන් කාලේට මේ රටට වැඩක් කරලා තියෙනවා. වසර 76ක් මේ රට විනාශ කළා කියලා කියනවා. පොඩි උදාහරණයක් ගත හොත් නිදහස් අධ්‍යාපනය තුළ දරුවන්ට පාසල් යන්න පෙළ පොත් ටික නිකන් ලැබුණේ කොහොමද කියලා අපි අහනවා.

76 වසරක් තිස්සේ රටේ ඇති වෙලා තියෙන දියුණුව ආර්ථීක පැත්තෙන් කෘෂිකර්මය විදුලිය විදුලි බලාගාර ජල ප්‍රවාහන මහමාර්ග යන අංශවලින් ජවිපෙ ඉතිහාසයක් සමඟ බලන විට මාලිමාව වගේ එකක් ගොඩනැඟුවේ ඒ අයගේ තියෙන වැරදි ඔක්කොම වහගන්න. මෑත යුගයේ අරගලයේ හිටපු හුඟාක් තරුණ කොටස් මේ ගැන සවිඥානික නැහැ.

වැරදි නිවැරදි කර ගන්න ඕන කෙනකුට පුළුවන්. ඒ වැරදි වහගන්න කුහකකම වෛරය බොරුවම පතුරවලා බොරුකාරයෝ විදිහට ඒ අය රටේ මිනිස්සු අන්දලා තියෙනවා. ඉස්සර ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කළා. විශාල විනාශයක් රටේ කරපු අය ධවල පත්‍රිකාව ගේනකොට ඉංග්‍රීසි එපා කියපු අය දැන් ඉංග්‍රීසි විතරක් උගන්වන පාසල් හදන්න කතා කරනවා. මේ වන විට අවුරුදු 20කට පෙර රනිල් මහත්තයා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ගෙනාපු යෝජනා මේ ඔක්කොම කරලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල එක පෑන් පාරින් හරවා අරිනවා කිවුවා. හාල් ඇටයක් මේ රටට ගේන්නේ නැහැ කිවුවා. ඒ දේම කරනවා අන්තිමට. ජනතාවගේ ලුණු පොල් කට්ටටත් බොරු කරපු ආණ්ඩුවක් මේක. මේ සැප්තැම්බර් 21 ජයග්‍රහණය කරලා දෙසැම්බර් මාසයේ රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියනවා. බංකොලොත් භවයෙන් මුදාගත්තා නම් ලුණු පොල් කට්ටෙත් වගකීම ඒ අය භාර ගන්න අවශ්‍යයි. තෙල් ටික ගෑස් ටික නැති රට කිරිපිටි නැති රට ණයවර ලිපියක් නිකුත් කරන්න බැරිව හිටිය රට පෝලිම් යුගය වෙනස් කළාට පස්සෙ ඒ මේ ආණ්ඩුව භාර ගත්තේ. දැන් බොරුවෙන්ම රට පාලනය කරන්නේ.

වැඩිම කාලයක් රට පාලනය කරපු පක්ෂ කියලා ඔබ කියනවා. එසේ නම් මේ බංකොලොත්භාවයට වගකිව යුත්තේ මේ ආණ්ඩුව පමණක් නොවෙයි නේද?

2015 දී යහපාලන රජය භාර ගත්තෙත් වැටුණ රටක්. ඒත් ඒක කළමනාකරණය කළා, රජයේ වියදම් අඩු කළා, මේ සියලු දේම කරලා 2019 දී බොහොම අමාරුවෙන් රටේ ණය පළමු වැනි වාරිකය ගෙවුවේ. රටට ණයක් නැතුව දුවන්න බැහැනේ. කාලෙන් කාලයට ගන්න ප්‍රතිපත්තිත් එක්ක ඒක වෙනස් වෙනවා. තරුණ පරම්පරාවට රැකියා ඇති වෙන්න අවශ්‍යයි. ඩොලර් සංචිතය වැඩිවෙන්න අවශ්‍යයි. මේ රටේ නිෂ්පාදනය කරපු දේවල් පිටරටට ගියාම ඩොලර් එනවා. අපි මේ සියල්ල වැඩපිළිවෙළක් ඇතිව කරපු පක්ෂයක්. මේ රටේ අනාගතය වෙනුවෙන් කළ යුතු දේවල් අපි කළා. කවුරු හරි කියනවා නම් මහවැලිය නොකර ඉන්න තිබුණා කියලා අපි කැමැති ඒ අය එක්ක තර්ක කරන්න. නිදහස් අධ්‍යාපනය ඇති කළා. එ්ක වැරදිද? අපි කැමැතියි මේ ගැන තර්ක කරන්න. ලෝකයත් සමඟ ඉදිරියට යායුතු යි කියලා හිතලා අලුත් නීති රීති ගෙනල්ලා අලුත් විදිහට හිතන්න පුරුදු වුණ පක්ෂයක්.

ඒත්, අද වන විට එජාප තුළත් ගැටුම් තිබෙනවා නේද? මේ තත්ත්වය මත එජාප නැවත ගොඩනඟන්න හැකි වෙයි කියා හිතනවාද?

පක්ෂයේ මහ ලේකම් ලෙස, මට දැනගන්න නම් එහෙම එකක් නැහැ. අනෙක් අයගේ හිතේ එහෙම අර්බුදයක් ගැන සිහින ඇති. මම දන්න තරමට නම් අපේ පක්ෂයේ එහෙම අර්බුද නැහැ. අපි හොඳ විනයක් ඇතිව යන පක්ෂයක්. සමහර අය පුද්ගලික ප්‍රශ්නයක් මත එළියට ආවොත් එතනත් අර්බුදයක් තියෙන්න පුළුවන්. එහෙත් ඒවා පක්ෂයේ අර්බුදයක් නෙවෙයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙනාපු ප්‍රතිපත්ති අද එජාපයට අවලංගු නැහැ වගේ නේද?

නැහැ. අපි ලිබරල් මතවාද දරපු පක්ෂයක්. එහි වෙනසක් වෙලා නැහැ. එතුමාගේ ප්‍රතිපත්තියේම තමයි අපි හිටියේ. බහුතරයක් විරුද්ධ පක්ෂයට බලය ලබා ගන්න පුළුවන් තැන්වල අපි පළාත් පාලන ආයතනයක් පිහිටුවන්න විපක්ෂය එකතු වුණා. එහෙම වුණා කියලා පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් වුණේ නැහැ. දැන් ආණ්ඩුව ඒ අයගේ ආසන පිහිටුවීම සිදු කළා. ඒක කාලානුරූපිව වුණා. ඒ හැර වෙනත් දෙයක් නැහැ. ඕනෑම පක්ෂයකට ඒ අයගේ ප්‍රතිපත්ති එක්ක යන්න පුළුවන්.

වත්මන් ආණ්ඩුව රටේ ප්‍රගතිය වෙනුවෙන් ඉදිරියට යනවා කියලා හිතනවාද?

වත්මන් ආණ්ඩුව බලයට එන්න කොච්චර බොරු කිවුවද? රාජපක්ෂවරුන් උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කිවුවා. උගන්ඩාවට ගෙනියන්න පුළුවන්ද ලංකාවේ සල්ලි! කටුනායකින් එහා කොහොමද සල්ලි ලංකාවෙන් ගෙනියන්නේ. මේ අය රහස් ඡන්ද තියන්නේ ඇයි? හරිදේ කරන කණ්ඩායමක් ලෙස වේදිකාවේ කරන දේ වගේම විවෘත ජන්දයක් තියන්න තිබුණනේ. රහස් ඡන්ද තියන්නේ වහගන්න තියෙන නිසානේ. නිලධාරීන් සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් එහෙම රටේ තියෙනවා නේ. අපි බලන් ඉමු. කලබල වෙලා උත්තර දෙන්න අවශ්‍ය නැහැ.

මේ ආණ්ඩුව කඩාවැටෙන කල් හුඟක් අය බලන් ඉන්නවා. එජාපයත් එහෙමද?

නැහැ. ආණ්ඩුවට බලය දුන්නේ වසර පහකට නේ. කඩාවැටෙන්න කියලා අපි කියන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නේ මේ අයත් කරන්නේ මාධ්‍ය ජවනිකාද කියලා. හැමදේම යටගහන්න, වෙන දේවල් ඉස්මතු කරලා පෙන්වනවා. රටේ නීතිය තුළ වරදකරුවන් සම්බන්ධයෙන් කළ යුතුයි. ඒත් විදුලි බිල, අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් වන පොරොන්දු ගැනත් බලන්න අවශ්‍යයි.

‘ආණ්ඩුවට විදෙස් ප්‍රතිපත්තියක් හෝ විදේශ සම්බන්ධතා නෑ’ කිවුවාට, මේ වන විට අන්තර්ජාතික කීර්තිය දිනාගන්න ආණ්ඩුවට පුළුවන් වෙලා තිබෙනවා නේද?

ආණ්ඩුවට විදේශ ප්‍රතිපත්තියක් නැහැ. අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඉන්දියාවත් සමඟ අත්සන් කළ ගිවිසුම මොකක්ද කියලාවත් අපි දන්නේ නැහැ. ගිවිසුම් හත මොනවද කියලා අපි දන්නේ නැහැ. වසර පනහක්, හැටක් බොරු කියලා, වෛරය වපුරලා බලය ගත්තා. ඉන්දියාවේ බඩු විකුණුවා කියලා කඩහිමියො මැරුව කාලයක් තිබුණා, දැන් මතකද දන්නේ නැහැ!

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division