Home » එකිනෙකා කෙරේ පහන් සිතැතිව දිවි ගෙවීමේ සන්තුෂ්ටිය

එකිනෙකා කෙරේ පහන් සිතැතිව දිවි ගෙවීමේ සන්තුෂ්ටිය

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

දියුණු මානවයා හෙවත් ‘හෝමෝ සේපියන්ස් සේපියන්ස්’ මානව සිරුර ගැන සේපියන්ස් ගොයියාට ඇත්තේ විස්මිත බවකි. සේපියන්ස් ගොයියා පුදුමයෙන් පුදුමයට පත් වන්නේ මානව මොළයත්, එහි ක්‍රියාකාරිත්වයත්, හෝමෝන නමැති ප්‍රෝටීනමය රසායනිකය අඩුම-කුඩුම අනුපානයට සම්මිශ්‍රිතව සමස්ත ස්නායු පද්ධතියත් මනසත් ආදි වශයෙන් ගොඩනඟන්නා වූ දැවැන්ත ක්‍රියාකාරිත්වය ගැනය.

ආදරේට ආදරේ කරන්නට පෙරේතකම් කරන සේපියන්ස් ගොයියා පහුගිය ලිපි කිහිපය පුරා මානව ප්‍රේමය මිත්‍රත්වය ගැන විවිධ කියවීම්වල නිරත විය. බුදුන්ගේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය නමැති මිත්‍ර ප්‍රේමය ගැනත්, දෙවියන් වහන්සේගේ සහ ජේසුස් වහන්සේගේ අගාපේ ප්‍රේමය ගැනත්, ප්ලැටොනික ප්‍රේමය හෙවත් ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝගේ දාර්ශනික කියවීම්වලින් නිස්සාරණය කරගත් ප්ලේටොනීය සම්භාව්‍ය මිත්‍ර ප්‍රේමය ගැනත් කිමිදෙමින් බොහෝ දේ පාඨක ඔබ වෙත ගෙන ආවේය.

එතරම් අපූරු මානව සුන්දරත්වයක් ප්‍රේමය ඔස්සේ අත්විඳින විට, ‘ප්‍රේමය රාගය තෘෂ්ණාව කියන්නේ සංසාරය දිග්ගස්සන බැඳීම් නේද?’ වැනි සංකලප ගෙනැවිත් අමුඅමුවේ සුන්දර සිතිවිලි සමුච්චය තළා පොඩි කර පලවා හරින්න සේපියන්ස් ගොයියාට අවැසි නැත. එහෙත් සැණෙකින්, මානව මොළයත්, මධ්‍ය ස්නායු පද්ධතියත්, ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන හෝමෝනත් ගැන සිහිපත් වීමත් සමඟ ආදරයත් මොළය ඇතුළු මෙකී සැකැස්ම විසින් අපට ලබා දෙන්නා වූ විජ්ජාවක් නොවේදැයි මඳකට සිතිණි.

මානව ප්‍රේමයේ විවිධ පැහැයන්, ආදරයෙන් බැඳීම, අපගේ සිතිවිලි හැඟීම්, හැසිරීම්, සහකරු පිළිබඳ අපගේ සංජානනය ආදි කාරණා පිණිස, ඍජුවම මොළයත් (Brain), විවිධ හෝමෝන (Hormones) සහ මුදාහැරෙන ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) ඍජුවම හේතු වේ. ආදරය සම්බන්ධයෙන් මිනිස් මොළයේ, මානව චිත්තවේග සහ මතකය පාලනය කරන ලිම්බික් පද්ධතිය (limbic system) සහ මනෝසන්තුෂ්ටිය, සතුට ඇති කරන මොළයේ යම් යම් ස්ථාන හෙවත් ත්‍යාග මධ්‍යස්ථාන (Reward centers) ඒවා විසින් සක්‍රිය කරයි. එවායේ ක්‍රියාකාරිත්වය හේතු කොටගෙන පැනනඟින තත්ත්ව අපූරුය! නිදසුනක් ලෙස, ආදරයේ ආරම්භක අවධියේදී, විනිශ්චය සහ නිෂේධාත්මක හැඟීම් සඳහා වගකිව යුතු මිනිස් මොළයේ ඉදිරිපස බාහිකයේ ක්‍රියාකාරිත්වය අඩු වීම සිදු විය හැකිය. ඒ අනුව, මේ හෝමෝනවල සහ මොළයේ ක්‍රියාකාරිත්වයේ අන්තර් ක්‍රියාකාරිත්වය ආදරය ලෙස අප දන්නා සංකීර්ණ අත්දැකීම නිර්මාණය කරයි.

ඒ අනුව, මිනිස් මොළය ආශ්‍රිතව නිපදවෙන විස්මිත ආදර හැඟුම් පුබුදන හෝමොන කිහිපයක් ගැන තොරතුරු සොයා බැලීමද සුන්දරය. ඩොපමීන් (Dopamine) නමැති හෝමෝනය හඳුන්වනු ලබන්නේ ‘හිතට දැනෙන’ හෝමෝනය ලෙසය. මෙය ප්‍රේමයේ ආරම්භක අවධියේදී මුදාහරිනු ලබන රසායනිකයක් වන අතර, ප්‍රීතිය, උද්දීපනය සහ සෙනෙහසේ වස්තුව පසුපස හඹා යෑමට පෙලඹවීමක් ඇති කරයි. ඔක්සිටොසින් (Oxytocin) යනු ‘ආදර හෝමෝනය’ හෝ ‘බන්ධන හෝමෝනය’ ලෙස හඳුන්වනු ලබන හෝමෝනයයි. එමඟින් කායික සමීපත්වය සහ සමාජ බැඳීම තුළදී සන්සුන්කම, තෘප්තිය සහ බැඳීම වැනි හැඟීම් ප්‍රවර්ධනය කරයි.

සෙරොටොනින් (Serotonin) යනු, මනෝභාවය සහ චිත්තවේග නියාමනය කරන ස්නායු සම්ප්‍රේෂකයකි. ආදරයේ මුල් අවධියේදී, සෙරොටොනින් මට්ටම් උච්චාවචනය වන අතර, නව සබඳතා හා සම්බන්ධ උමතු සිතිවිලි සහ හැඟීම් පිළිබඳ වගකිව යුත්තා වන්නේ මේ හෝමෝනය බව කියවේ. නොරෙපිනෙෆ්‍රීන් (Norepinephrine) හෝමෝනය ආදරයේ ආරම්භක අවධියේදී නිකුත් වන අතර, එය නොයිවසිලිවන්ත ක්‍රියාකාරි අතිධාවන හදවතක් හෙවත් ‘ආමාශයේ සමනලුන් රඟ දෙනවා’ (Butterflies in your stomach) යන කියමන සපථ කරවන්නකි (‘බඩේ සමනලුන් නටනවා’ යන අදහස වූකලි, කනස්සල්ලෙන් සිටින්නකු කෙරෙහි ආදරණීය ආකර්ෂණයක් නිසා එක්වනම ඇති වන උද්‍යෝගිමත් බව ගැන කරන සාහිත්‍යමය ව්‍යවහාරයකි).

ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) සහ ඊස්ට්‍රජන් (Estrogen) යනු පිරිමි සහ කාන්තා ලිංගික හෝමෝනයි. මෙමඟින් ආදරයේ මුල් අවධියේදී ලිංගිකත්වය සඳහා ආරම්භක ආකර්ෂණය සහ අභිප්‍රේරණය සඳහා කාර්යභාරයක් ඉටු කරයි. වෙසොප්‍රෙසින් (Vasopressin) යනු දිගුකාලීන බැඳීම හා ඒකකාලත්‍රතාව හෙවත් එක් අයකු සමඟ ආදර සබඳතාව පවත්වාගෙන යෑම (monogamy) සිදු කරයි. ලිංගික සංසර්ගයේ යෙදෙන විට ඔවුනොවුන් සමඟ හුරතල් වෙමින්, ඉතා සමීපව සිටීමට ආතතියෙන් යුතු පොරොත්තුව ලබා දෙන්නේ මේ වෙසොප්‍රෙසීන් නමැති රසායනිකයයි.

කෙසේ වෙතත්, මේ හෝමෝන සහ මානව මොළයේ විස්මිත ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලය ලෙස ලැබෙන ආදරය යනු තවත් පුද්ගලයෙකු, සතකු හෝ දෙයක් කෙරෙහි ගැඹුරු සෙනෙහසක්, සැලකිල්ලක් සහ ගෞරවයක් ඇතුළත් සංකීර්ණ සහ බහුවිධ මානව අත්දැකීමකි; නැත හොත් භෞත-රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හටගන්නා විඥ්ඥානමය පලයකි. සියල්ල අංශු මට්ටමටම විග්‍රහ කර බලාගෙන යන විට, ආදරය පමණක් නොව සත්ත්ව පුද්ගලයා යන්නද සුන්නද්ධූලිය. එය වෙනම කතාවකි.

කෙසේ වෙතත්, සවිඥානක සේපියන්ස්ලාගේ හිත් පොජ්ජෙහි උපදින ආදරය නමැති සංකීර්ණ මනෝභාවය තුළ, දැඩි ආකර්ෂණය, චිත්තවේගීය බැඳීම සහ අනෙකාගේ යහපැවැත්ම සඳහා ඇති ආශාව යන කාරණා ඇතුළත්ව ඇති බව පෙනේ. නැත හොත්, ආදරය යනු ප්‍රේම සම්බන්ධයක, පවුලක හෝ මිත්‍රත්වයක වේවා, වෙනත් කෙනකුගේ සතුට, සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීමට පුද්ගලයන් පොලඹවන හැඟීමකි. ඒවා කවරේද යන්න ගැනත් සැකෙවින් හෝ එබී බැලීමට සේපියන්ස් ගොයියා මනාපය.

ආදරය සහ සැලකිල්ල (Affection and Care) යන්න ප්‍රේමයට අදාළව සලකන්නේ, අනෙකා පිළිබඳ හෝ යම් කිසි දෙයක් කෙරෙහි හෝ කිසියම් ගැඹුරු ඇල්මක් සහ සැලකිල්ලක් දැක්වීමක් ලෙසිනි. ප්‍රේමයේදී සිද්ධ වන, ලිංගික සංසර්ගය (හෝ සමීපත්වය) සහ සම්බන්ධතාව (Intimacy and Connection) යන කාරණයේදී, අතිශය පෞද්ගලික හැඟීම් සහ අත්දැකීම් බෙදාහදාගත හැකි වන අතර, එමඟින් ශක්තිමත් චිත්තවේගීය බැඳීමක් ඇති කරයි. කැප වීම (Commitment) හෝ කැප කිරීම යන ගුණය, ප්‍රේමයේ යහපැවැත්ම සඳහා වැදගත් වන්නේ, එමඟින් ආදරණීය සම්බන්ධතාව වෙනුවෙන් තමාගේ කාලය හා ශ්‍රමය ආයෝජනය කිරීමට ඇති කැමැත්ත ඇතුළත් වෙයි. ගෞරවය සහ ප්‍රශංසාව (Respect and Admiration) ආදරයේ ගෞරවනීයත්වයට අතිශයින් වැදගත් වන්නේ, එමඟින් අනෙකාගේ පුද්ගල ගරුත්වය, මානව ගරුත්වයට ගරු කිරීම සහ ආරක්ෂා කිරීමත්, පුද්ගල ගති ලක්ෂණ අගය කිරීමත් ඇතුළත් වන බැවිනි. රැකවරණය සහ පෝෂණය (Protection and Nurturing) යන ආදරණීය ගුණයේදී, අනෙකාවත්, පවුල හෙවත් කුටුම්බයත්, සෙසු සමාජ සම්බන්ධතාවලදී ආරක්ෂා කරගැනීමත්, රැකබලාගැනීමත්, පෝෂණය කිරීමත් කෙරෙහි වන ආශාව ලෙස ප්‍රකාශ වෙයි. ආශාව සහ උද්‍යෝගය (Passion and Excitement) යනු ආදරය නමැති බැඳීම තුළ, ආදරය නමැති සංකල්පය කෙරෙහි මෙන්ම සහකරු/ සහකාරිය කෙරෙහි වන දැඩි ආකර්ෂණය සහ ආශාව බවත් කියවේ. විශ්වාසය සහ පක්ෂපාතිත්වය (Trust and Loyalty) ආදර අන්දරයක පාදම වැනි අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය අනෙක් පුද්ගලයාගේ යහපත් සහ චිරපැවැත්ම, අඛණ්ඩතාව කෙරෙහි විශ්වාසයක් සහිතව, ඔහුගේ/ ඇයගේ පැත්තේ සිටීමට කැප වීම ඉන් අදහස් කෙරේ.

එසේම, ආදරය කී සැණින් හදවතේ රූපය සංකේතය ලෙස යොදයි. එනම්: ආදරය නමැති හැඟීම (emotion) හෙවත් චිත්තවේගය හදවතින් උපදින බවත්, ඒ ගැන තර්කානුකූලව මනසින් සිතා කටයුතු කළ යුතු බවත් පවසන ව්‍යවහාරයක් තිබේ. සැබවින්ම මෙයද විශාල ප්‍රලාපයකැයි සිතෙන්නේ, ආදරය නමැති චිත්තවේගයද මොළයේම ක්‍රියාවලියක් බව ඉතා පැහැදිලිව පෙනෙන බැවිනි.

කෙසේ වෙතත්, මේ ලියවිල්ලෙහි ඇති ආදරය නමැති සුන්දර සංකීර්ණ මනෝභාවයෙහි හටගැනුම පිණිස උපකාර වන මිනිස් මොළය, ස්නායු පද්ධතිය හා හෝමෝන ඇතුළු රසායනික පදාර්ථයනුත්, ආදරය නමැති විඥානමය ක්‍රියාවලියෙහි වූ හැඩහුරුකමුත් අතර ඇති සම්බන්ධතා ගැන කිසියම් සොඳුරු ගැඹුරු සියුම් කියවීම පාඨක රසවතුන් විසින් ස්පර්ශ කරන්න ඇතැයි සිතේ.

එහිදී, ආදරය වැනි මිනිස් හැඟීම් චිත්තවේග ලෙස උපදින විඥානවාදි ලෙස ගැටෙන බොහෝ සංකල්පවල මූලය සොයා ගිය විට ඒවායේ සැකැස්ම, පදාර්ථය, රසායන ද්‍රව්‍ය, මූලද්‍රව්‍ය පරමාණු, ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආදි පරමාණුක අංශු ආදියටත්; එවාද පසු කර, කොන්ටම් ශක්තීන් මට්ටමටමත් විභේදනය වී සීසීකඩ යන යුරු අපූරුය! අවසානයේ සියල්ල හිස් වන අවකාශමය වූ හැඟීමකින් කෙළවර වෙයි. එය වූකලි යථාර්ථමය ස්වභාවයය. එය තේරුම් ගැනීම වූකලි, ගැඹුරු සේපියන්ස් තත්ත්වයකි. එහෙත්, සාමාන්‍ය දිවි පැවැත්මේ, එකී යථාර්ථය ප්‍රබුද්ධ මනසින් අවබෝධ කරගෙන, එකිනෙකා කෙරෙහි පහන් සිතැතිව ආදරණීයව ජීවත් වීම තරම් සන්තුෂ්ටියක් මෙලොව නැතැයි සේපියන්ස් ගොයියාට සිතෙයි.

You may also like

Leave a Comment