– කොළඹ නගරය කියන්නෙ වෙනම ම ලෝකයක්
– දැන් අපේ කාර්යය නගරයේ ජනතාව බලාපොරොත්තු වූ අපේක්ෂාව ඉෂ්ට කිරීමයි
– මේ ජනවරම ආරක්ෂා කරගත හැකි එකම ක්‍රමය වැඩ කිරීමයි
– මම තමයි කෙරුමා කියන මානසිකත්වයෙන් කවුරුහරි කෙනෙක් මෙතන වාඩි වුණොත් එයාට කිසිම දෙයක් කර ගන්න ලැබෙන්නේ නැහැ
කොළඹ මහ නගර සභාව වගේ තැනක් පාලනය කිරීම විශාල අභියෝගයක්, ඒ වගේම ඔබ ආධුනික කෙනෙක්, මේ අභියෝගය ඔබ බාරගන්නේ මොන විදියටද?
මෙතෙක්කල් දේශපාලනයේ හිටපු අයයි අපිවයි සංසන්දනය කරන්න සමහරු උත්සාහ කරනවා. ඒ අය අත්දැකීම් ගොඩක් තියෙන; දැනුවත්භාවය ගොඩක් තියෙන පිරිසක් කියලා අපි හිතනවා. නමුත් අපි කල්පනා කරල බැලුවොත් ඔවුන් හදපු නගරවල තමයි ඔබයි මමයි මේ ජීවත් වෙන්නේ. මේ නගර සභා ගොඩනැගිල්ල හරිම පෞඪ, ඓතිහාසික හරි ලස්සන තැනක්. නමුත් මේ ගොඩනැගිල්ලෙන් පිටත කිලෝමීටරයක් ඈතට ගියොත් වතුවල ඉන්න ජනතාවගේ ජීවන තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. මෙච්චර කාලයක් මේ නගර පාලනය කළ අයට හදන්න පුළුවන් උපරිමය තමයි මේ අපේ අවට තියෙන්නේ.
ඒ වගේම මම දේශපාලන ක්‍රියාකාරිනියක් විදියට අලුත් කෙනෙක් නෙමෙයි. වසර හතකට වඩා වැඩි කාලයක් තිස්සේ සමාජ ක්‍රියාකාරිනියක් හැටියටත්; නාගරිකකරණය පිළිබඳ වැඩ කරන පර්යේෂිකාවක් හැටියටත්; ප්‍රජා නායිකාවක් හැටියටත් මේ මිනිස්සුන්ගේ හදවත්වල ඔවුන් අපේක්ෂා කරන දේවල් ගැන මටත් මගේ කණ්ඩායමටත් ලොකු දැනුවත්භාවයක් තියෙනවා. ආරම්භයේ අපි යම් ආකාරයකට ආධුනික වෙන්න පුළුවන්. නමුත් අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට ඉතාම කෙටිකාලයක් තුළ මේ ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගෙන යන්න අපට පුළුවන් බව මට විශ්වාසයි. ඒ දේශපාලන උවමනාව වෙන කාටත් වඩා අපිට තියෙනවා. ඒ වගේම කියන්න ඕන; අපේ කණ්ඩායමේ හැමෝම ආධුනික අය නෙමෙයි. වසර 23කට අධික කාලයක් කොළඹ මහ නගර සභාවෙ වැඩ කරපු අත්දැකීම් ඇති අයත් අප සමඟ සිටිනවා. මේ පුටුවේ මම ඉඳගෙන හිටියට මම තනියෙන් නෙමෙයි වැඩ කරන්නේ. මම තමයි හැමදේම දන්නේ; මට විතරයි හැමදේම තේරෙන්නේ; මම තමයි කෙරුමා කියන මානසිකත්වයෙන් කවුරුහරි කෙනෙක් මෙතන වාඩි වුණොත් එයාට කිසිම දෙයක් කර ගන්න ලැබෙන්නේ නැහැ. ඒ මානසිකත්වයෙන් බැලුවොත් ඔය කියන කතාව සාධාරණයි.
මෙච්චර කාලයක් අපි දැක්කේ මේ ආයතනවල කෙරුමලා වැඩ කරන ආකාරයක්. ඔබ කියනවා කණ්ඩායමක් විදියට ඔබ වැඩ කරන බව. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?
අපිට අපේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නෙම අපි කණ්ඩායමක් විදියට එක අරමුණකින් ක්‍රියා කරපු නිසා. අපි තරග කළෙත් කණ්ඩායමක් හැටියට; අපි වැඩ කරන්නෙත් කණ්ඩායමක් හැටියට. දැන් අපේ කණ්ඩායම ලොකු වෙනවා. ඉදිරියේදී සභිකයන් හැටියට ජාතික ජන බලවේගයේ අය විතරක් නෙමෙයි මීට වඩා ලොකු පිරිසක් එක්ක අපට වැඩ කරන්න වෙනවා. අපි එකසිය දාහත්දෙනාම එකාවන්ම මේ ගමන යන්න ඕන. මම නගරාධිපතිනිය හැටියට මේ සභාවේ ඉන්න සියලු දෙනාගෙම වැඩ කටයුතු ගැන; ඒ අයගෙ කොට්ඨාසවල තියෙන ප්‍රශ්න හා ගැටලු; ඒවාට විසඳුම් සෙවීමේදී ඒ අය තුළ තියෙන ප්‍රගතිශීලී අදහස් එකතු කරගෙනයි මේ ගමන යන්නේ. ඒ වගේම අපට මේ ජන වරම ලබාදීපු ජනතාවගේ අභිලාශයන් අපේක්ෂාවන් තේරුම් අරගෙන අපි හැමෝම එකතු කරගෙන ඉදිරියට යන්න සූදානම් වෙලා ඉන්න කණ්ඩායමක්. ඒ නිසා දැන් මොන ප්‍රශ්න තිබුණත් ඔවුනුත් අපව තේරුම් අරන් අප සමඟ කොළඹ නගරය හදන සැලැස්මට උරදේවි කියන විශ්වාසය අපට තියෙනවා.
පුරපති තෝරා ගැනීමේ ඡන්දය පවත්වපු ආකාරය ගැන විවිධ කණ්ඩායම් චෝදනා නඟනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
පළාත් පාලන ඡන්ද ක්‍රමය අනුව විවිධ තැන්වල විවිධ ආකාරයට සභිකයන්ගේ ඡන්ද විමසීම සිදු කළා. ඒ අනුව අප පනතේ ආකාරයටයි කටයුතු කළ යුතුව ඇත්තේ. එහි නිර්වචන ගොඩක් තියෙන්න පුළුවන්. අපේ අදහස වුණේ කාටවත් අගතියක්; අසාධාරණයක් නොවන ආකාරයට මේ ඡන්දය පවත්වන්න ඕන කියලයි. සාමාන්‍යයෙන් මුල් වටයේ තීරණය කරන්නේ මේ ඡන්දය රහසිගතව තියනවද? විවෘතව තියනවද කියන කාරණයයි. එහිදී ඡන්දය විවෘතව ගන්න එකේ ගැටලුවක් ඇති බව හැමෝටම පෙනුණා. ඔය චෝදනා කරන අයම ඡන්දය පැවැත්වීමට සතියකට පමණ කලින් ඉඳන් අපට ලැයිස්තුවක් තියෙනවා, අපි හැට දෙනෙක් ඉන්නවා කියල මාධ්‍යවල පවා කතා කරනවා අපි හැමෝම දැක්කා. ඔවුන් මාධ්‍යවල පවා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ අයත් ඒ අයට ඡන්දය දෙන්න සූදානමින් ඉන්නවා කියලයි. ඉතින් එහෙම අය ඉන්නව නම් ඒ අයට වුණත් විවෘතව ඡන්දය දෙන්න හැකියාවක් නැහැ. ඒ සියලු කාරණා පැත්තකින් තිබ්බත්; පළමු වටයේ විවාදය සම්පූර්ණයෙන්ම අයින් කරලා රහසිගත ඡන්දයකට යමුයි කියන යෝජනාව ආවේ ඔවුන්ගෙන්මයි. අපි කළේ එයට එකඟ වීම පමණයි. ඔය කියන මොන ආකාරයට ඡන්දය තිබ්බත් ඒක අපි දිනන ඡන්දයක් බවට පත්වීම වළක්වන්න බැහැ. කොළඹ ජනවරම දිහා බැලුවත් මේ වැඩ කොටස ඉදිරියට ගෙනියන්න සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ අපටයි.
මේ ඡන්ද ක්‍රමයේ කිසියම් ව්‍යාකූලභාවයක් ඇති බව ඇතැම් උදවිය අදහස් දක්වා තිබුණා.
එහි විශාල අඩුපාඩු තිබෙනවා කියල කියන්න බැහැ. නමුත් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගත්ත කණ්ඩායමක් සිටියදී යටින් ඉන්න කණ්ඩායමක් එකතු වෙලා ඒ ජයග්‍රහණය ඩැහැ ගන්න හදයි කියන කරණය කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැ. මීට පෙරත් වැඩි ආසන ප්‍රමාණයක් දිනාගෙන උඩින්ම ඉන්න අය ජයග්‍රහණය කර තිබෙනවා කියන අදහසයි තිබුණේ. නමුත් මේ තියෙන ක්‍රමය අනුව පහළින් ඉන්න අය ඔක්කොම එකතු වෙලා උඩින් ඉන්න කෙනාව යටපත් කරන්න උත්සාහ කරන ආකාරයක් පෙනී යනවා. පොදු විපක්ෂයක් කියල එකක් නිර්මාණය කර ගත්තත් එහෙම එකක් නැති බව මේ ඡන්දයෙන් හොඳින්ම ඔප්පු වුණා. ඒ වගේම මේ අය පොදු වෙන්නේ කුමන අරමුණකින්ද කියන ගැටලුව මෙතැනදි පැන නඟිනවා.
මේ විදියට මේ අය එකතු වීමේ සදාචාරය මොකක්ද? ඇත්තටම මේ අය එහෙම එකතු වෙන්නේ ජනතාව වෙනුවෙන් ද; ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ජනතාව වෙනුවෙන් මිනිස්සු එකතු වෙලා පෙළගැසෙන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ එකතු වෙන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාවට නම්, තමන්ගේ බල තණ්හාවට පමණක්ම නම්, පොදු වැඩපිළිවෙළක් ගැන කතා නොකරනව නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒනිසා එය ඡන්ද ක්‍රමයට වඩා දේශපාලන සදාචාරය හා දේශපාලන අභිලාෂය පිළිබඳ ගැටලුවක් කියලයි මා නම් සිතන්නේ. කොහොම නමුත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් එක්ක ඒ ලබාදී ඇති ජන වරමට සාධාරණයක් ඉටුවී තිබෙනවා. ඒ නිසා කොළඹ නගරයේ ජනතාව බලාපොරොත්තු වූ ඒ අපේක්ෂාව ඉෂ්ට කිරීමයි දැන් අපේ කාර්යය වන්නේ.
නමුත් ඔවුන් මේ සම්බන්ධයෙන් උසාවි යන බව ප්‍රකාශ කර තිබෙනවා.
එයාලා මොන පදනමකින් නඩු මඟට යනවද කියන්න මම දන්නෙ නැහැ. ඔවුන් රහස් ඡන්දයක් තියන්න ඕන කියලා යෝජනා කළා. අප ඒ යෝජනාව අනුමත කළා. ඔවුන් පරාජය වුණාට පස්සෙ ඒකෙන් එල්ල වෙන පීඩනය අවම කර ගන්නයි ඔවුන් මේ උත්සාහ කරනවා ඇත්තේ. නමුත් ඔවුන් හොඳන්ම දන්නවා උසාවි ගිහින් පලක් නැති බව.
කොළඹ කියන්නේ ඉතාම සංකීර්ණ ගැටලු රාශියක් තිබෙන නගරයක්. ඔබ නාගරීකරණය පිළිබඳ අධ්‍යයනය කළ අයකු බව පෙර සඳහන් කළා. ‘කොළඹ නගරය මෙසේ විය යුතුයි’ කියලා ඔබ සතුව යම් සැලැස්මක්; වැඩපිළිවෙළක්; අදහසක් තියෙනවද?
2019 ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය නිර්මාණය වීමත් සමඟ කොළඹ නගරය කෙසේ විය යුතුද යන්න පිළිබඳ අපි අතර සාකච්ඡාවක් තිබුණා. 2023දී අපි පළාත් පාලන මැතිවරණයට කොළඹින් තරග කරනවිට කණ්ඩායම් නායිකාව ලෙස කටයුතු කළේ මම. ඒකාලයේදී අපි කොළඹ නගර සභාව පිළිබඳ සහ ඉන් පිටත සභා ගැන අවබෝධයක් තියෙන කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේ පක්ෂයේ සාමාජිකයන් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී කොළඹ නගරයේ තියෙන සමහර ප්‍රශ්න කොළඹ නගරය ඇතුළෙම විසඳන්න බැරි බව අපට හඳුනාගෙන තිබුණා. ඇතැම් විට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි; බස්නාහිර පළාතේ තියෙන ආයතනවල උදව් අපට අවශ්‍ය බව අවබෝධ වුණා. උදාහරණයක් විදියට අපි ඇළ මාර්ග ගැන කතා කළොත් කොළඹ නගරසීමාවට පමණක් සීමාවෙලා ඒ ගැන කතා කරන්න බැහැ. අපේ ඇළ මාර්ග ගැන අපි කඩුවෙල එක්ක, කෝට්ටේ එක්ක කතා කරන්න ඕන. අපි යම් ක්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන් ගන්නව නම් අපි හැමෝම එකතු වෙලා ඒ ක්‍රියාමාර්ගය ගන්න ඕන. නමුත් ඒ වෙලාවේ අපිට බලයක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ සාකච්ඡා න්‍යායාත්මක තලයට සීමා වුණා. නමුත් දැන් අපට බලය හිමිව තිබෙනවා.
කොළඹ නගරය ඉස්සරහට මොන විදියට ද හැදෙන්න ඕන කියලා දළ අදහසක් මේ වෙද්දි අප තුළ තිබෙනවා. ඒ වගේම පුළුල්ව ගත්තොත් අපට ජාතික සැලැස්මක් තියෙනවා. ඒ අනුව ඩිජිටල්කරණය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතට මේ සියලු සැලසුම් අන්තර්ගතවී තිබෙනවා. ඉදිරි දිනක මහ සභා රැස්වීමෙන් අනතුරුව අපේ මේ පුළුල් වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයක් සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය කරන්නේ සියලු දෙනාටම කිසිදු භේදයකින් තොරව අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් නගරයක් නිර්මාණය කරන්නයි.
ජනතා අභිලාෂ අමතක කර නගර සංවර්ධනය කරන්න ගිහින් වෙච්ච අවුල් අපි පසුගිය කාලය පුරා දැක්කා. ඔබ මීට මුහුණ දෙන්නේ කොහොමද?
නගර සංවර්ධනයයි ජනතා අභිලාෂයයි කියන්නේ කාරණා දෙකක්. ජනතාවගේ කැමැත්ත අනුව නගර හදන එක හරිම අමාරු කාර්යයක්. වාණිජ වටිනාකම් ඇති ඉඩම් තියෙනවා; ඒවායේ දැනටමත් ජනතාව පදිංචි වී සිටිනවා. නිවාස හදන එක නගර සභාවට අයිති කාර්යයක් නෙමෙයි. එහෙම නම් මේ දේවල් කොහොමද ඒ අයට අගතියක් නොවන ආකාරයෙන් සිදු කරන්නේ කියන කාරණය පිළිබඳව අප සංවේදීව කටයුතු කළ යුතුයි. ඒවා අපි නොකළොත් අපිටත් 2010 තිබුණ සංවර්ධන සැලැස්මේ ඉරණම අත් වෙනවා. ඒ තත්ත්වයට වැටෙන්න අපට බැහැ. අද නගර සභාවත් මධ්‍යම ආණ්ඩුවත් එකම පක්ෂයක් යටතෙයි ක්‍රියාත්මක වෙන්නේ. එහි වාසිය අපට තිබෙනවා. එක මේසයක් වටේ ඉඳගෙන අපි හැම කෙනාටම මේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විසඳුම් හොයන්න පහසුයි. පහත් බිම්, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය වැනි එකිනෙකට සම්බන්ධ ආයතන එක අමාත්‍යවරයෙක් යටතට පත් කර තිබෙන්නේ ඒ සැලසුම් අනුවයි. ඒ අමාත්‍යවරයා තමන්ට පැවරුණ රාජකාරිය ඉටු කරනවා. ඒ සම්බන්ධයෙන් නගර සභාවට ලොකු දෙයක් කරන්න බැහැ.
ඇළක් ශුද්ධ නොකර තිබුණොත් බොහෝ දෙනා නගර සභාවටයි බණින්නේ. සමහර අවස්ථාවල ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය යන්ත්‍රෝපකරණ නගර සභාවට නැහැ. ඒවා තිබෙන්නේ පහත් බිම් සංවර්ධන මණ්ඩලය සතුව. අපිට ඒ අයත් හවුල් කරගෙනයි මේ සංවර්ධනය සිදු කළ හැකි වන්නේ. තනි ආයතනයක් හැටියට අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. නමුත් බැරි දේවලුත් තියෙනවා. ඒ යථාර්ථය දැනගෙන හැම ආයතනයක් එක්කම අත්වැල් බැඳගෙනයි අපි මේ ගමන යන්නේ. එහිදී නිලධාරීන් හැටියට, ඇමතිවරුන් හැටියට, ආයතන හැටියට මේ නගරය සංවර්ධනය කිරීමට හැමකෙනාටම පැවරුණ කොටසක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හැම ඇමති කෙනෙක්ටම මෙහි නියෝජනයක් තියෙනවා. මේ නගරය මඟ අරින්න බැහැ. හැමදේම තියෙන්නේ මෙතනයි. ඒ විතරක් නෙමෙයි; අපිට ධීවරයොත් ඉන්නවා, ගොවියොත් ඉන්නවා, වතු 1400ක් තියෙනවා. ලංකාවේ විශාලම ගොඩනැඟිලි තියෙන නගරය තියෙන්නෙත් අපට. එහෙම බැලුවම හැම දෙයක්ම මේ නගරය තුළ නියෝජනය වෙනවා. මේක වෙනමම ලෝකයක්. මේ ලෝකය නඩත්තු කරන්න මේ හැම කෙනෙකුගේම සහය අපට ලැබෙනවා. ආයතනයක් විදියට අපි තනියෙන් යන ගමනක් නෙමෙයි මේ.
කොළඹ නගරයේ තියෙන විශාල ගැටලුවක් තමයි පොදු වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි නොවීම හා ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීම. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
මමත් ඒ පොදු වැසිකිළිවලට මගේ දරුවත් එක්ක ගිහින් තියෙනවා. ඒ නිසා ඒවයි තිබෙන ප්‍රශ්න මං හොඳින් දන්නවා. ලෝක බැංකුවේ වැඩපිළිවෙළක් යටතේ යම් වැසිකිළි ප්‍රමාණයක් ඉදිකර නගර සභාව විසින් එහි නඩත්තු කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යංශය මැදහත් වී මේවනවිට කොටුව දුම්රිය ස්ථානයේ සියලු පහසුකම්වලින් සමන්විත ඉතා හොඳ වැසිකිළි පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.
නමුත් පොදුවේ බැලුවම කාන්තාවකට ඇයට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට ප්‍රමාණවත් වැසිකිළි පද්ධතියක් නැහැ. විශේෂයෙන් සනීපාරක්ෂක තුවායක් මාරු කරගන්න, ශුද්ධ පවිත්‍ර වෙන්න, ඇඳුමක් මාරු කරගන්න ප්‍රමාණවත් පහසුකම් එහි නැහැ. දුර ඉඳන් එන කෙනෙකුට පිරිසිදු වෙලා ඇඳුමක් මාරු කරගන්න තැනක් නැහැ. කුලියක් ගෙවල කාමරයක් ගන්නත් විශාල මුදලක් වැය වෙනවා. අඩු මුදලට තියෙන තැන්වල ඒ පහසුකම් නිසි පරිදි නැහැ. සමහරු බස් රථ පිටිපස්සට ගිහින් මුත්‍රා කරනවා, මල පහ කරනවා. ඒ ඔවුන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති නිසයි. අපි මේ පිළිබඳව අවදානය යොමු කර තිබෙනවා. ජනතාවට අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදෙනවා වගේම ඒවා සෞඛ්‍ය සම්පන්නව භාවිත කිරීමට අවශ්‍ය දැනුමත් අප ඔවුන්ට ලබාදිය යුතුයි. මොකද ඇතැම් අය මේවා පාවිච්චි කරන්නේ නැවත වෙනත් කෙනෙක් ඒවා පාවිච්චි කරනවා කියන අදහසින් නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳවත් ඔවුන් දැනුවත් වෙන්න ඕන. නැත්නම් අපි කොතරම් හොඳින් මේවා හදල දුන්නත් ඒවා නිසි පරිදි පවත්වා ගෙන යෑම අසීරු වෙනවා. වතු ආශ්‍රිතව නම් ඒවා ඒ ජනතාව විසින්ම ආරක්ෂා කළ යුතුයි. ඒවා ඇතැම් අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න යොදා ගන්නවා. ඒ පිළිබඳව දැනුවත් ඒ උදවියමයි. එනිසා ඒවා සාදා දුන් පසුව ඒවා ආරක්ෂා කිරීම ඔවුගේ වගකීමක්. ඒ වගේම පිට පළාත්වලින් නගරයට එන අයට වැඩි මුදලක් නොගෙවා නතර වෙන්න පුළුවන් ස්ථාන ඇති කරන්නත් අපේ අවධානය යොමු වී තිබෙනවා. නගරය හදනව නම් මේ මූලික පොදු පහසුකම් ඇති වෙන්න ඕන කියන අදහසේ අපි ඉන්නවා.
නගර සංවර්ධනය කියලා වතු ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර වාණිජ ඉඩම් කොල්ල කන අයුරු පසුගිය කාලයේ අපි දැක්කා. ඔවුන්ට හුණ්ඩු ගෙවල් අහස උසට හැදුවත් ඔවුන් ඒවා කුලියට දී නැවතත් ඒ ස්ථානවලට ආවා.
ඒ ඇයි කියන කාරණය අපි තේරුම් ගන්න ඕන. ඔවුන් කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙච්ච පරිසරය මේ. මෙතන තමයි ඔවුන්ගේ දරුවන් යන පාසල, රැකියා ස්ථානය, අගමික ස්ථානය මේ හැමදේම තියෙන්නේ. ඉතින් ඒ අයව ඒ තැන්වලින් ඈතට ගිහින් දැම්මම ඔවුන්ට ඒ කටයුතු කරගන්න විදියක් නැහැ. ඒ වගේම කොළඹ කියන වාණිජ නගරය ඔවුන් නොමැතිව පවත්වා ගෙන යන්නත් බැහැ. මුට්ට කරගහන්නෙත්, පේමන්ට් එකේ තට්ටු දාන්නෙත්, පාරවල් ශුද්ධ කරන්නෙත්, වැසිකිළි ශුද්ධ කරන්නෙත්, තැඹිලි කපන්නෙත් ඒගොල්ලෝ. මේ අය නැතුව කොහොමද නගරයක් ක්‍රියාකාරී වෙන්නේ. ඔවුන් මේ නගරයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යයි.
මේ තත්ත්වය පවත්වා ගනිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නේ කොහොමද?
මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ කෙනෙක් විදියට කල්පනා කළොත්; මේ අය ඒ පරිසරයෙන් ඉවත් කරලා නැවත පදිංචි කරනව නම් එහි සියලු පහසුකම් ඇති කරන්න ඕන. පන්සල, පල්ලිය, දරුවගෙ පෙර පාසල, ඉස්කෝලේ, ග්‍රවුන්ඩ් එක මේ හැමදේම තියෙන නිවාස සංකීර්ණයි ඇති කරන්න ඕන. ඒ අයට රැකියාවට යන්න පහසුකම් ඇති කරන්න ඕන. ඒ වගේම ඒ දරුවට කලින් හිටපු පාසල හොඳ නම් ඒකට යන්න ඕන නම් එයාට පහසුවෙන් ඒ පාසලට යන්න එන්න ප්‍රවාහන සේවයක් ඇති කරන්න ඕන. නැත්නම් අපට ඒ තත්ත්වය පාලනය කරගන්න බැහැ. ඒක අපි වෙනස් කරන්න ඕන.
දෙවැනි කාරණය ඒ සඳහා ආණ්ඩුවක් ලෙස මැදිහත් වෙන්නත් ඕන. එහිදී අප කලින් සඳහන් කළ ආකාරයට මේ සඳහා සම්බන්ධ සියලු ආයතන අමාත්‍යාංශ එකට වැඩ කරන්න ඕන.
ඡායාරූප හිරන්ත ගුණතිලක