සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වා දුන් ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයන් අතර ජනප්‍රියම විද්‍යාඥයා ලෙස සැලකීම වරදක් නොවනු ඇත. ‘ටයිම්’ සඟරාව 1999දී ‘ශතවර්ෂයේ මිනිසා’ ලෙස ඔහු ඇගයීමට පාත්‍ර කළේය. අයින්ස්ටයින් විද්‍යාව සම්බන්ධයෙන් වඩාත් අවධානය දිනාගත්තා සේම චින්තකයකු, මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින්නකු ලෙසද ගෞරවාදරයට ලක් වේ. මෙලෙස ලෝකයේම අවධානය දිනාගත් ඇල්බර්ට් අයින්ස්ටයින් 1922 වර්ෂයේදී ලංකාවට පැමිණ කළ කී දෑ පිළිබඳ තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ කුහුලකි.
දේශන, සම්මන්ත්‍රණ සහ වෙනත් ආරාධනා මත ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ අයින්ස්ටයින් 1922දී ලංකාවට පැමිණියේ ජපන් සංචාරයක් අතරතුරය. මේ සංචාරය සඳහා අයින්ස්ටයින් සමඟ බිරිය එල්සාද එක්ව සිටියාය. 1922 ඔක්තෝබර් 8 දින ප්‍රංසයේ ‘මාර්සේ’ වරායෙන් ඇරඹි ඒ ගමන ‘කිතානෝ මාරු’ නම් මඟී ප්‍රවාහන නෞකාවෙන් සිදු කෙරිණි. මේ සංචාරය ඊජිප්තුවේ පෝට්සෙඩ්, ලංකාවේ කොළඹ, සිංගප්පූරුව, හොංකොං, චීනයේ ෂැංහයි යන වරාය ඔස්සේ යමින් නොවැම්බර් 17 දින ජපානයේ කොබේ වරායෙන් අවසන් විය.
ඒ වන විට අයිස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ සිද්ධාන්තය ලොව පිළිගෙන තිබිණි. ඒ සමඟම අයිස්ටයින්ගේ නම නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වී තිබිණි. එහෙත් ඔහුගේ යුදෙව් සම්භවය හේතුවෙන් ජර්මන් වියතුන්ගෙන් නොබෙල් කමිටුවට නොයෙක් බලපෑම් එල්ල වුණු බව වාර්තා වේ. ඒ අනුව ජපාන සංචාරය ඇරඹි ඔක්තෝබර් මාසයේ ‘1921 නොබෙල් ත්‍යාගය’ සම්බන්ධ නාමය ප්‍රකාශයට පත් විය යුතුව තිබුණත් ඒ මාසයේද එය සිදු වන බවක් පෙනෙන්න තිබුණේ නැත. තවද, මේ වන විට යුරෝපයේ පැවැති වාතාවරණය අනුව යුරෝපයෙන් ඈත් වී සිටීමට අයින්ස්ටයින්ට අවශ්‍ය වූ බව පෙනේ. මේ තත්ත්වය ජපන් ගමන ඇරඹීමට ඔහුට තවත් හේතුවක් වී තිබුණු බව පෙනේ.
ජපාන සංචාරයේදී අයින්ස්ටයින් හා එල්සා යුවළ කොළඹ වරායට ළගා වුණේ 1922 ඔක්තෝබර් 26 දින සවස් වරුවේ බව වාර්තා වේ. පසු දින කොළඹ නගරය සහ වටපිටාව නැරඹීමට ඔවුහු නැවෙන් පිටතට පැමිණියහ. මෙකල ලංකාවේ තිබූ එක් ප්‍රවාහන ක්‍රමවේදයක් වූයේ රික්ෂෝවයි. මිනිසකු විසින් මිනිසුන් කරත්තයක දමා ඇදගෙන යෑම රික්ෂෝ ප්‍රවාහනයේදී සිදු විය.
ජැටිය අවට හිඳ, ‘රුපියල් දෙකයි – රුපියල් දෙකයි’ යනුවෙන් කෑගසමින්, රික්ෂෝකරුවෝ එකිනෙකා පරයා පොරකෑහ. මෙය දුටු අයින්ස්ටයින් පුදුමයට පත් වූ බව කියවේ. එසේම මිනිසකු විසින් ඇදගෙන යන වාහනයක ගමන් කිරීමට ඔහු කැමැත්තක් දක්වා නැත. ‘ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක. එහි යථාර්ථයට මුහුණ දෙන්න’ නැවේ සිටි නිලධාරියකු අයින්ස්ටයින්ට කියනුයේ මේ පසුබිමේදීය. තමාට වෙනත් විකල්පයක් නැති බව තේරුම්ගත් අයින්ස්ටයින් සහ එල්සා රික්ෂෝවක නැඟී ගමන් කරන්නේ ඉන් පසුවය.
‘ලාංකික රික්ෂෝකරුවන් සිරුරෙන් කුඩා වුවත් ඔවුන්ට යෝධ සවියක් ඇති බව පෙනෙනවා. තවත් මනුෂ්‍යයකුගේ සවියෙන් ගමන් කිරීම මට මහත් පිළිකුල් සහගත කාරියක් වුවත් වෙන කළ හැකි දෙයක් තිබුණේ නෑ. එල්සා කීවේ මේ රැකියාවෙන් ඔවුන් පණ ගැට ගසාගන්නා බවයි.’ අයින්ස්ටයින් සිය දිනපොතේ සටහන් කළේය.
කොළඹ නගරය පුරා ගිය අයින්ස්ටයින් යුවළ ප්‍රධාන පෙළේ බෞද්ධ විහාරයක් සහ හින්දූන් වෙසෙන ප්‍රදේශයකට ගිය බව සඳහන් වේ. මේ බෞද්ධ විහාරය කැලණිය බවට අනුමාන කළ හැකි වුවත් එය තහවුරු කෙරෙන සාධක හමු වී නැත. ඇතැමෙක් මෙය පාණදුර ප්‍රදේශයේ විහාරයක් ලෙසද සලකති.
කොළඹ කොටුව සම්බන්ධයෙන් අයින්ස්ටයින් සටහන් තබනුයේ මඳ වශයෙනි. එහිදී වරාය ගැන සඳහන් කරන ඔහු තමා දුටු ස්ථානවලට වඩා මිනිසුන් ගැන වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පෙනේ. කොළඹ වීදිවල සිටි යාචකයන් ඔහු විස්තර කරන්නේ මෙලෙසිනි: ‘නාඳුනන අයකු දුටු විට රොත්තක් මෙන් එක් රැස් වන මේ යාචකයන් තමන්ගේ දුක්ගැනවිලි ගැන කියමින් සිඟමන් ඉල්ලන්නට ඉතා සමත්. එයින් ඕනෑම සිතක් උණු විය හැකියි.’
එමෙන්ම, මහමඟදී තමා දුටු ලාංකිකයන් ගැනද අයින්ස්ටයින් ලීවේය: ‘ඔවුන්ගේ සිරුරු කුඩා වුවත්, සවිමත් මුහුණු පියකරු හා ඉවසිලිමත් පෙනුමකින් යුක්තයි; දරුණු හෝ ප්‍රචණ්ඩ බවක් පෙනෙන්න නැහැ. එසේම කඩපිල්වල ලොකු ගාලගෝට්ටයක් ද නැහැ. පෝට් සේඩ්හිදී දුටුවාක් මෙන් කලබලකාරි නොවී සැහැල්ලුවෙන් දිවි ගත කරන බවක් පෙනෙනවා.’
අයින්ස්ටයින් කොළඹ නගරයේ ගත කළ කාලය ගැන ද මෙවැනිම සටහන් ලියා ඇත. ඒ සටහන් අතර ‘ඔවුන් ජීවත් වන්නේ ඉතා අපිරිසුදු සහ සැලකිය යුතු දුර්ගන්ධයක් නිකුත් වන පොළොවක. ඔවුන් සුළුවෙන් වැඩ කරන නිසා, අවශ්‍යතාද අඩුයි,’ යනුවෙන් සඳහන් කර තිබිණි. අයින්ස්ටයින් ලංකාවේ පරිසරය ගැන ප්‍රශංසාත්මක ලෙස කතා කර තිබේ: ‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්. එහෙත් එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්.’ ඒ ඔහුගේ වදන්ය.
අයින්ස්ටයින් ඒ වන විට ලෝක ප්‍රසිද්ධ චරිතයක් වූවත් ඔහුගේ කොළඹ සංචාරය ගැන කිසිදු නිල වාර්තාවක් ලංකාවේදී සොයාගත නොහැකි බව පෙනේ. මේ සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් පැවැත්වූ මහාචාර්ය රංජිත් තෙන්නකෝන් එවැනි තොරතුරු කිසිවක් හමු නොවූ බව තහවුරු කර තිබේ. එමෙන්ම අයින්ස්ටයින් ලංකාවට පැමිණි බව ලංකාවේ ආණ්ඩුව දැන සිටියාද, නැද්ද යන්න පිළිබඳත් සාක්ෂි නැති බවයි පෙනී යයි. කෙසේ වෙතත් එකල ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ වාර්තාකරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව තහවුරු වී ඇති බව තෙන්නකෝන් මහතා පවසා තිබීම සැලකිල්ලට ගත යුතුව පවතී.
දෙදිනක කෙටි නතර වීමකින් පසු ‘කිතානෝ මාරු’ නැව යළිත් ගමනාරම්භ කර තිබිණි. ඒ ඔක්තෝබර් 29 දා දිවා කාලයේදීය. ඉන් පසු සිංගප්පූරුව, හොංකොං බලා නැව පිටත් වී තිබේ. හොංකොං වරායට නැව සේන්දු වූයේ නොවැම්බර් 9 දාය. එතැනින් නික්ම නොවැම්බර් 13 දින නැව චීනයට පැමිණ තිබේ. මෙහිදී සිදු වන විශේෂම සිදු වීම නම් අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය පිරිනැමූ බව වාර්තා වීමයි. සත්‍ය වශයෙන්ම එය සිදු වන්නේ නොවැම්බර් 11 වැනි දිනය. ඒ, අයින්ස්ටයින් චීනයේ ෂැංහයි බලා යමින් සිටියදීයි. පසුව ජපානයට ගිය ඔහු එහිදී ඉහළින් පිළිගැනුණු බව වාර්තා වේ.
ජපන් සංචාරය නිම කර යන ආපසු ගමනේදීද ලංකාවට පැමිණි අයින්ස්ටයින් යුවළ මීගමුවට දුම්රියෙන් ගිය බව කියවේ. මීගමුව දුම්රිය ස්ථානයට පැමිණි ඔවුන් රික්ෂෝවකින් මීගමු නගරය, වෙරළ ආදි තැන්වල ගිය බව පැවසේ. එදින මීගමුවේදී දිවා ආහාරය ගත් අයින්ස්ටයින් සහ බිරිය පසුව කොළඹ බලා පිටත් වී තිබේ. දුම්රියට නැඟීමට පෙර ඔහු දුටු දේ පිළිබඳ විවිධ සටහන් තිබේ. එහිදී ඔහුට මුණගැසුණු ලන්දේසි සහ සිංහල මිශ්‍ර සුන්දර යුවතියක ගැන ඔහු සටහන් තබා ඇත. ඇය ඔහු ලංකාවේදී දුටු සුන්දරම කාන්තාව බව කියා තිබේ. මීගමුවේදී කෙසෙල් මිල දී ගත් බවද සඳහන් කරන ඔහු තම ගමන් සගයා වූ රික්ෂෝකරුට මුදල් දුන් බවද කියා ඇත. ප්‍රදේශයේ තිබූ පොල්ගස්, අඩනිරුවත් මිනිසුන්, ධීවර කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් මෙන්ම කිඹුලකු පිළිබඳ ඔහු සටහන් තබා ඇත.
අයින්ස්ටයින්ගේ සංචාරයේ බොහෝ තොරතුරු අඩංගු වන්නේ ඔහු විසින් ලියන ලද ‘The Travel Diaries of Albert Einstein: The Far East, Palestine, and Spain, 1922-1923’ කෘතියේය. මේ කෘතියේදී ඔහු ලාංකිකයන් පිළිබඳ මෙන්ම පෙරදිග වෙනත් රටවල ජනතාව ගැනද සටහන් තබයි. උදාහරණයක් ලෙස: චීන ජාතිකයන් ‘ඕනෑවට වඩා කඩිසර, අපිරිසුදු, බුද්ධියෙන් අඩු මිනිසුන්’ පිරිසක් ලෙස ඔහු හඳුන්වා දී තිබේ. ඔහු වැඩිම මතභේදාත්මක අදහස් දක්වා ඇත්තේද චීන ජාතිකයන් සම්බන්ධයෙනි. ‘චීන දරුවන්ට ආත්මයක් නැහැ වගේම බුද්ධියෙන් අඩුයි. අනෙකුත් සියලු වර්ගයන් වෙනුවට චීන මිනිසුන් බිහි වුණොත් අපට කනගාටු වෙන්න වෙනවා,’ ඔහු සඳහන් කර තිබිණි. දිනපොතේ තවත් තැනක අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ ‘චීන ජාතිකයන් සියලු දෙනා අරුම පුදුම ලෙස එක වගේ පෙනෙන ජාතියක්. ඔවුන් මිනිස්සු ලෙස නොවේ රූකඩ ලෙසයි පෙනෙන්නේ,’ යනුවෙනි. එමෙන්ම චීන කාන්තාවන් සහ පිරිමින් අතර වෙනසක් නැති බව ඔහු සඳහන් කර ඇත. මේ තත්ත්වය යටතේ කාන්තාවන්ගේ අසාමාන්‍ය ආකර්ෂණයට ලක් නොවී පුරුෂයන් තමන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබිණි. තවද, ඔහු ඊජිප්තුවේ ‘පෝට් සයිඩ්’ වෙත පැමිණි අවස්ථාවේ ඒ නගරයේ භාණ්ඩ විකිණීම සඳහා නැවට නැඟි පිරිස විස්තර කර ඇත්තේ ‘නෙරපාදමනු ලැබූ පිරිසක්’, ‘අපායෙන් ඉවතට ඇද දමලා වගේ’ යන වදන් භාවිත කරමිනි.
මෙලෙස මේ කෘතියේදී පළ කළ ඇතැම් සටහන් නිසා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මානව හිතවාදි ගුණය පිළිබඳ විවිධ මතවාද ඇති විය. විශේෂයෙන්ම හේ විද්‍යාඥයකු ලෙස ලොව ගෞරවාදරයට පාත්‍ර වූවා සේම මානව හිමිකම් පිළිබඳ දැක්වූ අවධානය සම්බන්ධයෙන්ද ලෝකයේ ගෞරවාදරයට ලක් වූ අයෙකි. එහෙත් ඔහු විසින් කරන ලද සංචාර අලළා ලියන ලද ඉහත කෘතියේදී ජාතීන් පිළිබඳ වර්ගවාදි සහ අවඥාසහගත අදහස් රැසක් අන්තර්ගත වන බව විචාරකයන්ගේ මතයයි.
කෙසේ වෙතත් 1920 ගණන්වල සංචාර අලළා ලියවුණු මේ මේ කෘතිය ප්‍රකට වන්නේ පසු කාලයේදීය. ඒ වන විට අයින්ස්ටයින් ජාතිවාදය, වර්ගවාදය ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ජාතිවාදය ‘සුදු මිනිසුන්ගේ රෝගයක්’ බව පවසමින්, එක්සත් ජනපදයේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. එමෙන්ම, ඔහු 1933දී අමෙරිකාවට සංක්‍රමණය වූ පසු කළු සහ සුදු ජාතිකයන් සඳහා වෙනම පාසල් සහ සිනමා ශාලා පිහිටුවීමට විරුද්ධව හඬ නැඟීම ආරම්භ කළේය. පසු කලෙක අයින්ස්ටයින් විවිධ වර්ණ පුද්ගලයන්ගේ අභිවෘද්ධිය උදෙසා පිහිටුවූ ජාතික සංගමයට එක් විය.
කෙසේ වෙතත් ඔහුගේ දිනපොත් අධ්‍යයනය කළ බොහෝ විද්වතුන් ප්‍රකාශ කරන්නේ දිනපොත්වල ඇත්තේ ඔහුගේ පෞද්ගලික අදහස් වුවද අයින්ස්ටයින් ජාතිවාදය, වර්ගවාදය අරබයා එකම අදහසක නොසිටි බවයි. ඔවුන් කුමන අදහස් දැරුවද අයින්ස්ටයින් පෙරදිග කළ සංචාර පිළිබඳ තොරතුරු සොයා යෑමේදී මේ දිනපොත් කදිම මූලාශ්‍රයක් බව නම් පැහැදිලිය.