දේශනාගාරය අතුරු-සිදුරු නැතිව පිරී පැවතිණි. තම මුතුන්-මිත්තන්ගේ වංශකථාව පිළිබඳ වූ මේ දේශනය පවත්වනු ලබන්නේ වයෝවෘද්ධ මෙනසි විද්‍යාඥයා විසිනි. ඔහුගේ දේශන සෑම විටම මිල අධික වන අතර, ජීවිත කාලයක අත්දැකීම් සහ දැනුම මේ දේශනවලදී ඔහු ඉදිරිපත් කරයි. දේශනයට ඇහුම්කන් දෙන කිසිවෙකු අත සටහන් තබාගන්නා විද්‍යුත් මෙවලම් නැත්තේ මේ යුගය වන විට අදාළ උපාංග මොළයට කෙළින්ම බද්ධ කර තිබූ හෙයිනි. දේශනය ආරම්භ කිරීමට පෙර කර්ණරසායන සංගීත නාදයක් ශාලාව සිසාරා ගමන් කළේය.
හදිසියේම සංගීතය නැවතී, අයෙක් වේදිකාව මත ප්‍රාදුර්භූත විය. ඔහු මේ දේශනයේ වැදගත්කම පිළිබඳ හැඳින්වීමක් කළේය:
“පෘථිවියේ ආධිපත්‍යය පිළිබඳ මේ දේශනය කරන්නේ මහාචාර්ය මෙනසි විසින්. ඔහු අප අතර සිටින ඉහළම පෙළේ විද්වතෙක්. වෛද්‍ය උපදේශ මත මේ දිනවල ඔහු දේශන පැවැත්වීමෙන් හැකි තාක් දුරට බැහැරව සිටින්නේ. අද දින දේශනය සඳහාද ඔහු එක්වරම කැමැත්ත දැක්වූයේ නැහැ. එහෙත් අපේ පරිණාමය පිළිබඳ මාතෘකාවට ඔහු බොහෝ සේ කැමැතියි. ඔහු විශ්වාස කරනවා නව පරපුර මේ ගැන මුලින් දැනුම්වත් විය යුතු බව. දේශනය අවස්ථාවේදී ප්‍රශ්න අසන්න එපා. ඊට අවස්ථාවක් ලැබෙනවා.”
ඒ සමඟම වේදිකාවට මෙනසි පැමිණි අතර, සියල්ලෝම අසුන්වලින් නැඟිට ඔහුව පිළිගනු දැකිය හැකි විය. ඔහුගේ පසෙකින් වේදිකාව මත හොලෝග්‍රැපික් දර්ශන තලයක් විය. මෙනසිගේ කතාවට අනුරූප වන පරිදි විශ්වයේ විවිධ දර්ශනවල ප්‍රතිබිම්බ වේදිකාව මත දිස් විය.
“අපේ මේ ලෝකයේ මුල් යුගයේදී කිසිම ජීවියකු සිටියේ නැහැ. ඉතා උණුසුම්ව තිබී එය ක්‍රමයෙන් නිවී ගියා. ඉන් පසුව ජීවීන් ඇති වුණා. යම් යම් කාලවලදී ලෝකයේ රජ කෙරුවේ විවිධ වංශවලට අයත් ජීවීන්. මොලස්කාවන්, වානරයන් සහ ඔවුන්ගේ දියුණුම ඒකකය වුණු මිනිසුන් ලෝකයේ ආධිපත්‍යයට පැමිණුණා.
“මේ මනුෂ්‍යයන් ඉතා බුද්ධිමත් වානර විශේෂයක්. ඔවුන් ලෝකය පාලනය කරන සමයේ විශාල විද්‍යාත්මක දියුණුවක් ඇති වුණා. ඔවුන්ගේ ප්‍රධානම දුර්වලකම් කිහිපයක් නිසා තමයි ඔවුන්ට ලෝකයෙන් ඉවත් වීමට සිදු වූයේ. ඔවුන් පෘථිවියේ කලාප රටවල් ලෙස බෙදාගෙන සිටියා. ඒ රටවල් අතර සටන් ඇති වුණා. ලෝකය සහ ජනතාව විනාශ කිරීමට ඔවුන් ආයුධ තැනුවා. එම රටවල්වල නායකත්වය දැරුවේ මෝඩ පිස්සන් පිරිසක් මිස බුද්ධිමතුන් නොවේ. මෙන්න මේ යුගයේ එක්තරා නිවෙසක සිදු වූ අපූරු සිදුවීම් මාලාවක් මම දැන් වේදිකාව මත ඔබට පෙන්වන්නම්. අමතක කරන්න එපා. මේ දර්ශන සහ සිදුවීම් මීට වසර පනස් දහසකට පෙර සිදු වූ ඒවා බව. මූලිකව එය නරඹා, පසුව ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.”
විද්‍යාඥ මෙනසි කියූ දර්ශන පෙළ ඉදිරිපත් කරනු ලැබීය. වේදිකාව මත නිවෙසක කාමරයක් දිස් විය. එය අලංකාරව පිළිවෙළට තබා තිබිණි. පසෙකින් විශාල පොත් රාක්කයක් වූ අතර, අසල වූ ඇඳක නිඳා සිටින දෙදෙනෙක් දර්ශනය විය.
“මේ සිටින පිරිමි සත්ත්වයා කෘමීන් පිළිබඳ පරීක්ෂණ කරන සත්ත්ව විද්‍යාඥයෙක්; නම විභූෂණ. පසෙකින් නිඳා සිටින ගැහැනු සත්ත්වයා ඔහුගේ බිරිය. ඇයත් සත්ත්ව විද්‍යාඥවරියක්.”
හදිසියේම විභූෂණ තිගැස්සී ඇහැරුණේය. පසෙකින් නිඳන තම බිරිය දෙස දෑස් යොමු කළ ඔහු නැඟිට කාමරයෙන් එළියට පැමිණියේය. පිටත තබා තිබූ විශාල කූඩුවක වන්දෝ රාශියක් සිර කරනු ලැබ සිටියහ. මාස කිහිපයක සිට කරන මේ නිරීක්ෂණ මඟින් විභූෂණ වන්දන් පිළිබඳ කරුණු රාශියක් තේරුම් ගෙන සිටියේය. කෘමි ලෝකයේ වේගවත්ම සහ ශක්තිමත්ම සත්ත්වයා වන්දාය. ඌට සම වන කිසිම දඩයක්කරුවෙක් නැත. ඔහු වන්දන් සිටින කූඩුව අසලින් වාඩි විය.
“ආ… ඔයත් ආවද?” ඔහු හැරී, එතැනට පැමිණි තම බිරිය දෙස බැලීය.
“ඒ ගොල්ලන්ට කෑම දුන්නද?”
“ඔව්. ඒ වුණාට මෙයාලා වැඩිය කැමැති පණ තියන සතුන් කන්නයි. සමන්ති, මේ සතුන් බුද්ධිමත්. මම කියන්න කැමතියි: සියලු කෘමි සතුන් අතුරින් මේ අය බුද්ධියෙන්, කපටිකමෙන් පමණක් නොවේ, දේහ ශක්තියෙනුත් ඉදිරියෙන් සිටිනවා. ඔවුන්ගේ ඉදිරිපස ඔසවා ගෙන සිටින අත් දෙක වානේ වගේ ශක්තිමත්. මේ අත් දෙකට හසු වන කිසිම කුඩා ජීවියෙකු බේරී යන්නේ නැහැ. ඒ වගේම, පරිසරයේ වර්ණයට අනුව තමාගේ පාට වෙනස් කිරිමේ පුදුම හැකියාවකුත් මොවුන්ට තිබෙනවා. දැන් මම ඔවුන්ට අත්‍යවශ්‍ය වුණු එහෙත්, නොදන්නා පාඩමක් කියා දෙන්න යනවා.”
“හැබැයි, අපට පාඩමක් ඉගෙනගන්න වෙයිද දන්නේ නැහැ මෙයාලගෙන්!” සමන්ති සිනා සුණාය.
“මම ගින්දර පාවිච්චිය වන්දන්ට උගන්වන්නයි යන්නේ. මේ බලන්න මේ කුඩාවට කැපූ හඳුන්කූරු කැබලි.”
විභූෂණ හොඳින් වැඩුණු ගැහැනු වන්දකු කූඩුවෙන් එළියට ගත්තේය; අනතුරුව දැල්වූ හඳුන්කූරු කැබැල්ලක් ඇයගේ ඉදිරිපස අතෙහි ගැටගැසීය. අනතුරුව කූඩුව ඇතුළට ගිනි පුළිඟුව සමඟ වන්දා ඇතුළු කළේය. අනිත් වන්දන් ගිනි පුළිඟුවට බයෙන් මාර්ගයෙන් ඉවත් වන පැහැදිලිව පෙනිණි. දැන් ඌ තේරුම් ගනීවි තමා අතේ තියන ගිනි පුළිඟුවෙන් කළ හැකි දේ.”
“ඌ පුච්චා ගනීවි!”
“නෑ. අන්න බලන්න, ඌ එය අල්ලන් සිටින්නේ තමාට ඈතින්. උන් ඉතා දක්ෂ, බුද්ධිමත් කෘමි විශේෂයක්. ඒත් අන් කිසිවකු ගින්දර පාවිච්චිය දන්නේ නැහැ.” පසුව වන්දා නැවතත් මේසය මතට පැමිණියේය.
“ආ. තව කෑල්ලක් ඕනෑ වෙලා වගේ…”
මෙවර වන්දාගේ අතට ගිනි පුළිඟුව ගැටගැසීම අවශ්‍ය නොවීය. ඌ එය අතින් ගෙන පියාඹා ගොස් බිත්තියේ වැසුවේය. තමා වෙත ව ආ හූනකුට ගිනි හුළ එල්ල කර පලවා හරිනු දුටු විභූෂණ මහ හඬින් සිනා සෙන්න විය. අනෙක් සතුන් බියපත් කිරීමට, දඩයම් කිරීමට ගිනි හුළ මඟින් හැකි බව වන්දෝ මාස දෙකකදී තේරුම් ගත්හ.
“ඔවුන් ගින්දර ගැන දැන් දන්නවා. ඒත් ගිනි මොළවා ගන්න දන්නේ නෑ.”
“හැබැයි ඒකත් ඉගෙනගනීද දනනෙ නැහැ. උන් අවබෝධයක් ඇති සතුන්. අලුත් දේ ගැන කුතූහලයක් තිබෙනවා.”
පසුදා උදෑසන විභූෂණ නැඟිට වන්දන් නිරීක්ෂණයට ගියේය.
“සමන්ති, මාර වැඩක් වෙලා තියෙන්නෙ…”
“ඇයි?”
“වන්දන් ඔක්කොම කූඩුව කඩාගෙන ගිහින්. එක සතෙක්වත් නැහැ. කූඩුව කඩාගන්න ගින්දර උපයෝගි කරගෙන තිබෙනවා.”
“උන් ගින්දර ගැන දන්නවා. ගැටලුවක් වෙයිද?” සමන්ති ඇසුවාය. ඔයා කළේ අනවශ්‍ය වැඩක්. දෙවියෝ උන්ට ගින්දර නොදුන්නේ දෙන්න ඕනෑ නැති නිසා.”
එහෙත් මේ සිදු වුණේ දිග්ගැස්සුණු සිදුවීම් මාලාවක ඇරඹුම බව, ලෝකයේ අනාගතය පිළිබඳ තවත් සන්ධිස්ථානයක් බව ඔවුහු දෙදෙනා එදා දැන නොසිටියහ. පළමුවැනි සිදුවීම වාර්තා වූයේ ගොවිබිමකිනි. කිසිම කාරණයක් නැතිව එහි විශාල ගින්නක් හටගෙන තිබිණි. ගෙවල් කිහිපයක්ද රාත්‍රී කාලයේ ඇවිළී දැවී ගියේය. තවද, යම්කිසි කෘමි විශේෂයක් කුඩා ගිනි හුළු රැගෙන තම ගමන් මඟ රාත්‍රියෙහි ආලෝක කරමින් ගමන් කරනු දුටු මිනිසුන්ද වූහ. නිවාස දේපොළ පමණක් නොව, නවතා තිබූ බස් ඇතුළු රථ වාහන පවා හිටිහැටියේ ගිනි ඇවිළෙන්න විය. තවමත් මෙය එතරම් ලොකු ගැටලුවක් බවට පත් වී නොතිබිණි. එහෙත් ප්‍රධාන පෙළේ නැව්වල සහ විදේශ රටවල විවිධ ස්ථානවල ගිනි ගැනීම් ඇති වන විට මේ ගැන සොයා බැලීමට පත් කළ කමිටු මඟින් ගිනි තැබීම් කරන්නේ තරමක් විශාල ප්‍රමාණයේ වන්දන් බවත්, මොවුන් රංචු ගැසී ගිනි හුළු රැගෙන පියාඹා යන බවත් හෙළිදරවු විය. ගින්දර නිසා ඔවුන් කිසිම සතකුට ගොදුරු නොවන බවත්, ප්‍රමාණය කුඩා නිසා හමුදා ආයුධවලින් මර්දනය කළ නොහැකි බවත් සොයාගනු ලැබූ අතර, මේ රංචු මතට විෂ රසායන ද්‍රව්‍ය විසුරවා හැරීමට යෝජනා වී තිබිණි. මේ අන්දමට මෙම කෘමි විශේෂයට විරුද්ධව දැවැන්ත සටනක් මිනිසුන් විසින් ආරම්භ කරන ලදි. වගා බිම් ගිනි තැබීම නිසා ආහාර හිඟයකටද, තෙල් පිරිපහදු ගිනි තැබීම නිසා ඉන්ධන හිඟයකටද මුහුණ පෑමට සිදු වූ අතර, විදුලි බලාගාර ගිනි තැබීම නිසා විදුලිය බිඳවැටීම්ද සුලභ විය. සැබැවින්ම සංවිධානය වුණු ශක්තිමත්, වේගවත්, පියාඹිය හැකි වන්දෝ ගින්දර මඟින් ලෝකයට කළ හැකි සියලු හානි කරන්න වූහ. විදුලිය ඇනහිටීම නිසා නතර වන තෙක්ම රූපවාහිනියෙන් දිස් වූයේ බේරාගත නොහැකි ආකාරයට ලෝකය ඇවිළෙන දර්ශනය.
විභූෂණ හා සමන්ති ඉතා උනන්දුවෙන් මේ සැම සිදුවීමක්ම රූපවාහිනියෙන් නැරඹූහ. ඊළඟට වාර්තා වූ සිදුවීම් අතිශය බිහිසුණු විය. රංචු පිටින් පැමිණෙන වන්දෝ මිනිසුන්ට පහර දී, ඔවුන් කා දමන්නට වූහ. කිසිම මිනිසකු එළිමහනට නොපැමිණි අතර, විදුලිය සහ පණිවිඩ හුවමාරු බිඳවැටී, නිවාස තුළ තනි වූහ. මිනිසුන් සහ වන්දන් අතර යුද්ධයෙන් මිනිසුන් පරාජයට පත් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.
ඉන් පසු භීම කාලය පටන් ගැනිණි. විදුලිය අවසන් විය.
සන්නිවේදනය අවසන් විය. ආහාර අවසන් විය. කෘමීන් සමඟ යුද්ධයෙන් කෘමීන් ජය ගෙන ඇති බවත්, පෘථිවිය සහ මිනිසුන්ගේ ආධිපත්‍යය අවසන් බවත් විභූෂණ සහ සමන්ති තේරුම් ගත්හ. ඔවුන් දෙදෙනා ඒ ගැන කිසිදාක කතා නොකළද, මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සඳහා තමා මුල් වූ බව දැන සිටියහ.
තම නිවෙස වටා වන්දන් ගැවසෙන බව දිනක් විභූෂණ දිටීය. ඔහු එදින රාත්‍රි කාලයේ තම වැට මායිමේ විසි දෙනකුගෙන් පමණ සමන්විත වන්දන් කණ්ඩායමක් විදුලි පන්දම් ආලෝකයෙන් දිටීය.
“දැන් ඔවුන් විශාලයි. පුදුමයක් නැහැ. කෘමි සතුන්ට එහෙම විශාල වෙන්න පුළුවනි. ඔබ දන්නවානේ කුඩා වේයන් ඔවුන් මෙන් සිය ගුණයක් විශාල මෙරුවන් බවට පත් වන ඉක්මන? එකම කුහුඹු ගුලක වුණත් සාමාන්‍ය කුහුඹුවන් මෙන් සියගුණයක් පමණ විශාල නායක කුහුඹුවන් ඉන්නවා. ඒත් මේ තරම් ඉක්මනින් විශාල වීමට නම්, ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් තිබෙන්න ඕනෑ.”
“විභූෂණ කියන්නේ?” බිය රැඳි දෙනෙතින් සමන්ති විභූෂණ දෙස බැලුවාය. “ඔව්. ඔයා හිතන දේ හරි. ඔවුන් මේ වකවානුවේ මනුෂ්‍යයන් විශාල ලෙස ආහාරයට ගන්නවා විය යුතුයි. අපට මොකුත් දැනගන්න ක්‍රමයක් නැහැ.”
“ඔවුන් අප කාදමාවි කියා හිතනවාද? නැහැ. මම පසුගිය සුමාන දෙකේම ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කළා. ඔවුන් අප දෙදෙනා සම්බන්ධව බියමුසු ගෞරවයක් දක්වනවා. ඔවුන් අප හිතනවාට වඩා ගොඩක් දේ දන්නවා. අපට ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට හැකි නම් ඉතා හොඳයි.”
තවත් බලා සිටීමට කාලයක් නොවීය. එක් උදයක හොඳින් වැඩුණු වන්දෝ දෙදෙනෙක් විභූෂණගේ නිවෙස තුළට වේගයෙන් ඇවිදගෙන පැමිණියහ. ඔවුන් දෙදෙනා විභූෂණ සහ සමන්ති ඉදිරියෙන් සිටගෙන සිය ත්‍රිකෝණාකාර හිස කරකවමින් ඔවුන් දෙදෙනා නිරීක්ෂණය කරන්නට වූහ. හදිසියෙන් ඉදිරියට අඩියක් තැබූ එක සත්ත්වයෙක් ඉදිරි අත් දෙකෙන් විභූෂණ ඔසවාගෙන ගුවන්ගත විණි. අනෙක් වන්දා සමන්තිද රැගෙන එන බව විභූෂණ දිටීය. වන්දො දෙදෙනා ඔවුන් දෙදෙනා රැගෙන පැය දෙකක් පමණ කාලයක් පියාසර කර, කඳුගැටයක පාමුල තිබූ දොරටුවක් අසල නතර වූහ. මෙතරම් දුරක් තමා රැගෙන පියාසර කිරීමට මේ සතුන්ට කොතරම් ජීව ශක්තියක් තිබිය යුතුදැයි විභූෂණ සිතීය. සමන්ති දුවගෙන පැමිණ විභූෂණගේ අත අල්ලාගත්තාය. ඔවුන් දෙදෙනා දොරටුවෙන් ඇතුළු වත්ම ඝෝෂාකාරිව තිබූ පරිසරය නිශ්ශබ්ද විය. එය වන්දන්ගේ විශාල ජනපදයකි. දහස් සංඛ්‍යාත වන්දෝ හිස නමා ඔවුන්ට ආචාර කරන බව තේරුම්ගත හැකි විය. විභූෂණ සහ සමන්ති මේ සතුන් මැදින් ඇවිද ගොස්, විශාල වේදිකාවක් මතට පැමිණ නතර වූහ. සියලු කෘමි සතුන් වේදිකාවට මුහුණලා සිටගත්හ. සමන්ති වෙනම කැඳවාගෙන ගොස් සිහසුනක් වැනි උස් ආසනයක අසුන් ගන්වනු ලැබීය. සියලු සතුන්ගේ දෑත් ඇය වෙත රැඳිණි.
‘ඔවුන් ඇයට ඔටුනු පලඳන්නයි යන්නේ රැජනක් විදියට…. කෘමි සතුන් ඉතා කැමැතියි ගැහැනු සතකු ඔවුන්ගේ රැජන වෙනවට.’
විභූෂණට මී වදයක රැජන සිහි විය. ඔවුන් මේ කරන්නේද පරිණාමීයව ඒ ක්‍රියාවලියේම කොටසක් බව විභූෂණට වැටහිණි.
* * *
“හොඳයි. දැන් ඔබට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්,” විද්‍යාඥ මෙනසි සභාවට පැවසීය.
“කුඩා වන්දාගේ සිට අප මේ තරම් දියුණු කෘමි විශේෂයක් වුණේ කොහොමද?”
“ඒ ප්‍රශ්නයට මට තිබෙන්නේ තරමක් කනගාටුදායක පිළිතුරක්. අප ඇය රැජනක් කළත් සමන්තිගේ ඒකායන බලාපොරොත්තුව වූයේ නැවත මිනිස් දරුවන් බිහි කර ලෝකය ආපසු අල්ලාගැනීමයි. සැබැවින්ම අපටද මිනිසුන් යළි පැමිණේවි යන භීතිකාව තිබුණත්, අප ඔවුන්ගේ ප්‍රජනන පද්ධති ඉවත් කර, ඒ ජාන අපගේ ජාන සමඟ සම්මිශ්‍රණය කළා. අපට ඔවුන්ගේ ජාන අවශ්‍ය වූයේ ඔවුන්ගේ නිර්මාණශීලිභාවය අත් කරගැනීමටයි. කෘමීන් සංවිධානාත්මකයි, දක්ෂයි එහෙත් යාන්ත්‍රිකයි. මීමැස්සා සෑමදාම සාදන්නේ පැති හයේ කුටීර පමණයි. මේ නිසා අපට මිනිස් ජාන ඕනෑ වුණා. ඒ වගේම ඒවා බුද්ධිමත් ජාන විය යුතුයි. මෙහිදී අප පරිස්සමින් කටයුතු කළා. යුද්ධ කිරීමේ උන්මාදය මිනිස් ජානවලින් ඉවත් කර ප්‍රයෝජනයට ගත්තා.”
“අර දෙදෙනාට මොකද වුණේ?”
“ආපසු මිනිසුන් බිහි කරගැනීමේ සැලසුමක් ඔවුන් වෙත තියෙන්න ඇති. එය ඉටු නොවුණ තැන ඔවුන් අවසන් පියවර ගත්තා; අත්වැල් බැඳගෙන කන්දකින් පහළට පැන දිවි නසාගත්තා. ඔවුන් දෙදෙනා ඔබට බලන්න පුළුවනි. ඉතා හොඳින් සංරක්ෂණය කර තිබෙනවා. එහෙත් ඔවුන් නැරඹීමට යන්න එපා කියා ඉල්ලා සිටීමට මා කැමැතියි. ඔවුන් අපට උදවු කළා. අප ඔවුන්ට උදවු කළේ නැහැ. ඒ ගැන මගේ හිතේ බරපතළ කනගාටුවක් තියනවා. එහෙත් දැන් කළ හැකි දෙයක් නෑ.”