‘කො ළොම්පුරේ ශ්‍රියා… කොළොම්පුරේ ශ්‍රියා…
බොහොම ලස්සනයි බලන්න කොළොම්පුරේ ශ්‍රියා…’
එඩී ජයමාන්න ගායනා කළ මේ ගීතය 50 දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. ඒ අවධියේ ආසියාවේ සෙසු නගර අතර කොළඹ ලස්සන නගරයක් වූ බව සැබෑය. එහෙත් ඉනික්බිතිව එක දිගට වසර 50ක් කොළඹ මහ නගර සභාවේ පාලනය අල්ලා ගත් එජාපය නගරයට හිමි සුන්දරත්වය අහිමි කළේ ය.
අහස සිඹින ගොඩනැඟිලි විරාජමාන වුව ද ඒවායේ පාමුල දිළින්දන්ගේ පැල්පත් පැටවු ගැසුවේය. හරිත පැහැය නගරයට අහිමි විය. නගරයට ඔරොත්තු නොදෙන තරම් රස්තියාදුකාර ප්‍රජාවක් බිහි විය.
ලස්සන පොහොසත් නගරයක් අපේක්ෂාවෙන් පුරවැසියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට එජාප පාලනයෙන් නගරය මුදා ගෙන තිබේ. ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපතිනිය ලස්සන නගරයක් සහ ප්‍රීතිමත් පුරවැසියන්ගෙන් යුතු කොළඹ නගරයක් නිර්මාණය කරන බවට ප්‍රතිඥා දී ඇත. කොළඹ නගර සභාව වූ කලි පුංචි ආණ්ඩුවකි. එය දෙවැනි වන්නේ ලංකාණ්ඩුවට පමණි. නව නගරාධිපතිනිය එම නිලය හොබවන දෙවැනි කාන්තාවයි.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව 1865 දී කොළඹ නගරය ස්ථාපිත කරද්දි එහි ජනගහනය 80,000කි. වර්තමානයේ ඒ සංඛ්‍යාව 752,993කි. ඊට අමතරව දිනපතා සංක්‍රමණය වන ප්‍රමාණය ලක්ෂ 4 ඉක්මවන බව වාර්තා වේ. නගර සභාවේ වාර්ෂික ආදායම බිලියන 17කි. නගර සභා සේවක සංඛ්‍යාව 9,000කි. ඉංජිනේරුවෝ සහ වෛද්‍යවරු ඊට ඇතුළත් ය. ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපතිනියට පැවරෙන වගකීමේ බරපතළකම පිළිබඳ දළ චිත්‍රයක් ඉහත සටහන මඟින් දැකිය හැකි ය.
ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ නගරයේ සුක්කානම අතට ගන්නේ දකුණු ආසියාවේ සියලු නගර උනුන් පරයා නැඟෙමින් වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වෙමින් සිටින මොහොතක ය. නගරාධිපතිනියට ඇයගේ කීර්තිය රැක ගනිමින්, පුරවැසියන්ගේ ගෞරවය ද රැක දෙමින් සාඩම්බරයෙන් තනතුර හොබවනු හැකි වෙතැයි බහුතර ජනතාව තුළ විශ්වාසයක් තිබේ.
අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රශ්නය, ලක්ෂයකට අධික අනවසර ඉදිකිරීම් පිළිබඳ ප්‍රශ්නය, වරින් වර ඉස්මතු වන කසළ ප්‍රශ්නය, රථ වාහන තදබදය, පරිසර දූෂණය ආදි ප්‍රශ්නවලට විද්‍යාත්මක විසඳුම් සෙවීමට ඇයට සිදු වනු ඇත. කොළඹ ආසියාවේ හොඳ ම හරිත නගරය වනු දක්නට ලෝකය ම කැමැත්තෙන් සිටී. එහෙත් ඉංග්‍රීසීන් තනා දුන් නාගරික උද්‍යාන හා වීදි දෙපස සිටුවූ පුරාණ වෘක්ෂ හැරෙන්නට, අප නිර්මාණය කළ හරිත වන උයන් නගරයේ නැත.
සංසාරය අනන්ත ය. කොළඹ නගරයේ පාරවල් හෑරිල්ල ද එසේ ම ය. අනන්තයයි කීවාට සංසාරයට අනන්තයක් ඇත. ඒ නිවන ය. එහෙත් කොළඹ නගරය හාරන උදවියට නම් නිවනක් නැත. හාර හාරා වසති වසති; වස වසා හාරති. මේ හෑරිල්ල හඳුන්වනු ලබන්නේ ‘නාගරික සංවර්ධනය’ යනුවෙනි. රෑ-දවල් දෙකේ ම හාරති. අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරෙන මේ හෑරිල්ල අවසන් වන වගක් හෝ හාරන අයට හති වැටෙන බවක් හෝ පෙනෙන්නට නැත.
විවිධ රාජ්‍ය ආයතන එකම තැන කිහිප වරක් හෑරීම නිසා ඇති වන රථ-වාහන තදබදයෙන් ජනතාව පීඩා විඳිති. ඉංජිනේරුවන් කොපමණ සිටියත් මේවා නිසි සැලසුමක් යටතේ සිදු වන බවක් නො පෙනේ. නගරාධිපතිනියට මේ හැම දෙයක් ම ගැන ම අලුතෙන් හිතන්න සිදු වනු ඇත. පුරවැසියන්ගෙන් අය කර ගන්නා හැම සතයක් ම නගරයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කෙරෙන පාලනයක් ස්ථාපිත කළ යුතුව තිබේ.
සිය වගකීමේ ගැඹුර දැන, පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය ගෙන, ප්‍රීතිමත් පුරවැසියන් වෙසෙන ලස්සන නගරයක් බවට කොළඹ පත් කිරීමට නව පුරපතිනියට හැකි වේවායි ප්‍රාර්ථනය කරමු.