Home » විප්ලවකාරි රංගධරයා ධර්මසිරි බණ්ඩාරනායක

විප්ලවකාරි රංගධරයා ධර්මසිරි බණ්ඩාරනායක

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment
රසික කොටුදුරගේ
‘බක්මහ දීගේ’ ප්‍රේමදාස ලෙස

වේදිකා නාට්‍ය රංගනයෙන් කලා ලොවට පිවිසි ධර්මසිරි බණ්ඩාරනායකයන් ස්වෝත්සහයෙන් සිනමාව හදාරා, වේදිකාව හා සිනමාව තුළ සිය චින්තනමය ප්‍රතිභාව ප්‍රකට කළ අද්විතීය නිර්මාණකරුවෙකි. දශක පහක් පුරා විහිදුණු ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ සිදු කළ මෙහෙය අගයමින් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ගෞරව පදක්කමක්ද 2022 වසරේදී ධර්මසිරි වෙත පිරිනමන ලදි. ඉතා කලාතුරකින් පිරිනමනු ලබන මේ ගෞරව පදක්කම ප්‍රදානය කිරීම සඳහා ධර්මසිරි බණ්ඩාරනායකයන් ‘ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය සහ වරප්‍රසාද නොලත් ජන කණ්ඩායම් බලගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණ කාර්යයේ නියැළීම සැලකිල්ලට ගෙන තිබිණි. මේ, එවන් වූ නිර්මාණකරුවකු අගයනු වස් අඳිනු ලබන දළ සිතුවමකි.

කළුකපුගේ ධර්මසිරි බණ්ඩාරනායක උපත ලැබුවේ මෙරටට නිදහස හිමි වී හරියටම වසරකට පසුවය. එනම්: 1949 ඔක්තෝබර් 6 වැනිදාය. පියා කළුකපුගේ කරුණාරත්න බණ්ඩාරනායක වූ අතර, වෘත්තියෙන් ඔරලෝසු කාර්මිකයෙක් විය. පියාගේ ගම කිරිබත්ගොඩ වූ අතර ධර්මසිරිලා කලක් ජීවත් වූයේ එහිය. අම්මා ජේ. විමලාවතී පෙරේරා නම් වූ අතර ඇය බණ්ඩාරගම, වෑවිට උපන් ස්ත්‍රියක් වූවාය. ධර්මසිරිට වැඩිමහල් සොහොයුරෙක් හා බාල සොහොයුරෙක්ද සිටියහ. පියාගේ ව්‍යාපාරය බිඳවැටීම නිසා සියලු වත්කම් අහිමි වීමෙන් අනතුරුව ඔවුහු මවගේ ගමෙහි ඇයට අයිති ඉඩමක පදිංචියට පැමිණියහ. ඔවුන් වැඩි කාලයක් ජීවත් වුණේ වාද්දුවේ පිහිටි මේ නිවෙසේය.

‘මක­රා­ක්ෂයා’ වේදිකා නාට්‍යයේ ලාන්ස්ලොට් ලෙස

‘මක­රා­ක්ෂයා’ වේදිකා නාට්‍යයේ ලාන්ස්ලොට් ලෙස

ළමා කාලය ගැන සුන්දර මතකයක් ඔහුට නොතිබිණි. මවු සෙනෙහස ඉතා අඩුවෙන් ලැබූ දරුවකු වූ හෙතෙම කුඩා කාලයේ අනෙක් දරුවන් සෙල්ලම් කරන විට ඔවුන් සමඟ සෙල්ලම් කිරීමෙන් වැළකී සිටියේය. නැතහොත් එය මවගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විය. ඒ සඳහා මූලික වශයෙන් බලපෑවේ ගෙදර අඩුපාඩුකම් නිසා මව හා පියා අතර නිතර ඇති වූ අඬදබරය. මේ හේතුවෙන් ඇය මානසිකව පිඩා වින්දාය. ඒ පීඩනය පිටවූයේ ධර්මසිරි ඇතුළු සහෝදරයන් මතිනි. එය අනෙකුත් සහෝදරයන්ට කෙසේ වතුදු, ධර්මසිරිට නම් ජීවිතය දෙස වෙනත් ඇසකින් බලන්නට සිත යොමු කළ කාරණයක් විය. ඔහු වෙනස් කෙනකු බවට පත් කර, කලා ලොවට ආසක්ත කළේ මවගේ මේ දඬුවම් බව ධර්මසිරි පසුකලෙක මා සමඟ පවසා සිටියේය.

අධ්‍යාපනය සඳහා වාද්දුව පිරිමි විද්‍යාලයටත්, පසුව වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයටත් ගිය ධර්මසිරි එස්.එස්.සී. විභාගයට පෙනී සිටියේ පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනිනි. අනතුරුව හේ උසස් පෙළ සඳහා හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයට ඇතුළත් විය. ඒ, එවකට නාට්‍ය කලාවට විද්‍යාරතනය ප්‍රසිද්ධියක් ඉසුළූ නිසාය. කුඩා කල පටන්ම ධර්මසිරි රඟපෑමට මහත් සේ ඇලුම් කිරීම මේ සඳහා බලපෑවේය. මෙම පාසලේ ‘යුනෙස්කෝ’ නමින් ශිෂ්‍ය සංවිධානයක් තිබූ අතර, එමඟින් කෙටි නාට්‍ය තරග පැවැත්විණි. එහිදී කිසිදා නාට්‍ය පිළිබඳ පෙර හැදෑරීමක් නොතිබූ ධර්මසිරි ‘ඉරයි හඳයි එක්වුණු දා’ නමින් නාට්‍යයක් රචනා කළේය. ඒ සඳහා ඉදිරිපත් කර තිබුණේ නාට්‍ය පිටපත් තුනක් පමණි. ධර්මසිරි තුන්වැන්නා විය. ඊට එක් හේතුවක් වූයේ ධර්මසිරි එහි රඟපෑ නිසාය. මක් නිසාද යත්: ධර්මසිරි පවසන කිසිදු දෙබසක් ප්‍රේක්ෂකාගාරයට නෑසීමයි. ඔහු කතා කොට තිබුණේ ඔහුට පමණක් ඇසෙන ලෙසය. මෙනිසා ධර්මසිරි වේදිකාවේ පෙනී සිටි වාරයක් පාසා හූ හඬින් ශාලාව දෙවනත් විය. හඬනඟා දෙබස් උච්ඡාරණය කළ යුතු බව ඔහු උගත්තේ එලෙසිනි. පසුකලෙක මෙරට ප්‍රභාවත් රංගධරයකු වූ හේමසිරි ලියනගේ විද්‍යාරතනයේ ගුරුවරයකු ලෙස පැමිණෙන්නේද මේ කාලයේදීය. ඔහු එහිදී නිර්මාණය කළ ‘සුදු ඇතා ආවට පස්සේ’ සහ ‘ජන ගන මන’ යන නාට්‍යවල ධර්මසිරි රඟපෑවේය.

පසුව පැවති නාට්‍ය උලෙළකට ඔහු නාට්‍යයක් ඉදිරිපත් කළේය. එය වේදිකාගත කරන්නට ප්‍රථම ශාලාව තුළ මහත් ඝෝෂාවක් විය. නාට්‍ය නතර කරන ලෙස පරිවේණාධිපති හිමියන් ධර්මසිරිට දැන්වූයේ මේ ඝෝෂාවට හේතුව ඔහුගේ නාට්‍යය බවයි. ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස පරිවේණාධිපති හිමියන් ධර්මසිරිට පැවසුවද තමන් අත වරදක් නැති බවත්, වරද සිදු වී ඇත්තේ තමාටම බවත් පැවසූ ධර්මසිරි පසුව විද්‍යාරතනයෙන් සමු ගත්තේය. එහෙත් මෙහිදී ඔහුට පසුකාලීනව ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්නන, අමරසේන පීරිස් යන මිතුරෝ හමු වූහ.

අනතුරුව නාට්‍ය පිළිබඳ වැඩිදුර හැදෑරීමට කොළඹ සුදර්ශියට ගොඩ වන ධර්මසිරිට එහිදී නාට්‍ය ලෝකයේ පතාක යෝධයකු වූ දයානන්ද ගුණවර්ධන යටතේ රංගනය හැදෑරීමට අවස්ථාව උදා විණි. එවකට ප්‍රායෝගික නාට්‍යයට පිවිසිය හැකි එකම ප්‍රවේශය මෙය විය.

මේ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයට ධර්මසිරි බෙහෙවින් ඇලුම් කළේය. ප්‍රායෝගික රංග කලාව සැමවිටම සම්මුතීන් හා ආයතනික රාමුවෙන් පිටත නිදහසේ වර්ධනය වීම ඊට හේතුවයි. දයානන්ද ගුණවර්ධන ප්‍රංස නාට්‍යයකරුවකු වූ පිගරේගේ ද මැරේජ් ඔෆ් ෆිගාරෝ නම් නාට්‍යයේ අනුවර්තනයක් ලෙස නිර්මාණය කළ ‘බක්මහ දීගේ’ නම් සිනමාපටයට සම්බන්ධ වීමට ධර්මසිරිටද අවස්ථාව හිමි විය. එහි හාස්‍ය උපදවන චරිතයක් වූ ‘ප්‍රේමදාස’ ලෙස සිනමා රංගයට අත්පොත් තබන විට ඔහුට යන්තම් වයස අවුරුදු 17ක් විය. එලෙස 1969දී නළුවෙකු ලෙස ඔහු සිනමා ගමන සලකුණු කළේ අයිරාංගනී සේරසිංහ, අනුලා කරුණාතිලක, ඩී.ආර්. නානායක්කාර වැනි ප්‍රවීණ ශිල්පීන් ඇසුරේ වීම විශේෂය. ධර්මසිරි සිනමා නළුවකු ලෙස ඒ හාස්‍ය චරිතය කොතරම් අපූරුවට ප්‍රතිනිර්මාණය කළේද යත්: එය කා අතරත් මතක සිටි චරිතයක් බවට පත් විය.

ඔය අතරතුර රජයේ වැඩ දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවය කරමින් සිටි හෙන්රි ජයසේන දැකීමට කාර්යාලය අසලින් යෑම ධර්මසිරි පුරුද්දක් කරගෙන තිබිණි. ඒ ඔහුගේ නිර්මාණවලට මෙන්ම රංගනයටද ඔහු බෙහෙවින් ආසක්ත වී සිටි නිසාය. ධර්මසිරි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ කුමරියට වඩා හෙන්රිගේ හුනුවටයේ ගෘෘෂාට ඇලුම් කළේය. මේ අතර හෙන්රි සමඟ කුලුපග වූ ධර්මසිරිට හෙන්රිගෙන් අපූරු ආරාධනාවක් ලැබිණි. ඒ ‘මකරා’ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ලාන්ස්ලොට්ට පණ පොවන්නටය. එය ධර්මසිරිට එක්වරම අදහගත නොහැකි දෙයක් විය. එය ඔහුගේ ප්‍රසිද්ධ වේදිකා රංගයේ කූටප්‍රාප්තිය විය. අනතුරුව හෙතෙම දයානන්ද ගුණර්ධනගේ ‘ජසයා සහ ලෙන්චිනා’, සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනු ගමුවේ’, හේමසිරි ප්‍රේමවර්ධනගේ ‘දෙන්නා දෙපොළේ’, බන්දුල විතානගේගේ ‘බෙකට්’, හේමසිරි ලියනගේගේ ‘චූලෝදර මහෝදර’… ආදි නාට්‍ය ගණනාවකට හේ රංගනයෙන් දායක විය. මේ නාට්‍ය මඟින් සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනඟාගත් ධර්මසිරි 71 කැරැල්ල සමඟ පුපුරා ගිය සමාජ පීඩනය නිරූපිත නාට්‍යවලට වැඩි නැඹුරුවක් දක්වන්නට විය.

අනතරුව ඔහු ‘ඒකා අධිපති’ නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් එහි රංගනයේ නිරත විය. ඒ වර්ෂයේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ වැඩීම සම්මාන ප්‍රමාණයක් දිනාගත්තේද මේ නාට්‍යයය. එහිදී හොඳම නළුවා වුයේද ධර්මසිරිය. ඒකා අධිපති 71 කැරැල්ලෙන් සිදු වූ සමාජ බලපෑමෙහි එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. එය සාර්ථක වීමට බොහෝ දුරට බලපෑවේ එහි රංගන ආකෘතියයි. එහෙත් මෙය සමකාලීන නාට්‍ය රචකයන් හැඳින්වූයේ ‘පපඩම් නාට්‍යයක්’ ලෙසිනි. ඊට හේතු වූයේ අන්තර්ගතය මෙරට පැවති සමාජ සන්දර්භයෙන් දූරස්ථ වීමයි. ඒසේ වුව ද 1977 පසු සමාජය මේ යථාර්ථයට මුහුණ දුන්නේය. ධර්මසිරි යනු ඉදිරි දැක්මක් සහිත නාට්‍යකරුවකු බව කාහටත් ඉන් අවබෝධ විය. මේ නිසා ධර්මසිරිට තර්ජන එල්ල විය. කැරැල්ලක් පාදක කර ගනිමින් ඔහු යළිත් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඒ ‘ධවල භීෂණයයි’. මෙය ප්‍රංස නාට්‍ය රචක ජීන් පෝල් සාත්‍රේගේ ‘Men without shadows’ නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි (පරිවර්තනය සිරිල් සී. පෙරේරා). 1988 දී රටේ නැවත සිදු වූ තරුණ නැඟිටීම ඊට පාදක වී තිබිණි. එය නැරඹූ එවක අමාත්‍යවරයකු වූ ගාමිණි දිසානායක ටික කාලයකට ‍මේ රටෙන් පිට වන ලෙස ධර්මසිරිට පවසා තිබිණි. ඔහු එතරම්ම දේශපාලනික බලපෑමක් සහිත නාට්‍යකරුවකු බවට පත්ව තිබීම ඊට හේතුවය.

අනතුරුව ධර්මසිරි ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘වීර පුරන් අප්පු’ චිත්‍රපටයේ ‘පුංචිරාළ’ ලෙසත්, වසන්ත ඔබේසේකරගේ ‘පළඟැටියෝ’ චිත්‍රපටයේ ‘සරත්’ (ප්‍රධාන චරිතය), මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සතර පෙරනිමිති’ චිත්‍රපටයේ බෞද්ධ භික්ෂුවක ලෙසත් රඟපෑවේය. මීට අමතරව ‘බඹා කේටූ හැටී’, ‘සෙවණැලි ඇද මිනිස්සු’, ‘මුහුදු ලිහිණි’ සහ ‘බොර දිය පොකුණ’ යන සිනමා පටවලටද රංගනයෙන් දායක විය.

මේ අතර වඩා වැදගත් සංසිද්ධිය වනුයේ ධර්මසිරි බණ්ඩාරනායක නමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ උත්පත්තියයි. “යුදෙව් සිරකරුවෝ භූගත නාසි ගෑස් කුටියකට ඇදගෙන යනු ලැබෙති. සිරකරුවන් අතර සිටින කුඩා දරුවකු සන්නද්ධ නාසි සොල්දාදුවකු සමඟ කතා කිරීමට පටන් ගනී. සොල්දාදුවා දරුවා සමඟ සෙල්ලම් කරයි. එහෙත් අවසානයේ දරුවාද කුටිය තුළ සිර කරනු ලැබේ.” මේ කතා පුවත 1960 ගණන්වල අගභාගයේදී ඇන්ඩ්‍රෙජ් මුන්ක් (Andrzej Munk) විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පැසෙන්ජර්’ නම් පෝලන්ත කෙටි චිත්‍රපටය තරුණ ධර්මසිරි බණ්ඩාරනායක තුළ සදාතනික මතකයක් ඉතිරි කළේ කිසියම් කම්පනයක්ද ඔහු තුළ ජනිත කරමිනි. ධර්මසිරිගේ සිනමා සම්ප්‍රප්තියට මූල බීජ ඒ තුළ විය. මුන්ක්ගේ නිර්මාණයෙන් ඔහුගේ නිර්මාණාත්මක ආවේශය දැල්වූ බව වරක් ඔහු මා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “මේ නිර්මාණකරුවා තුළ තිබූ සැබෑ ජීවින තතු සිනමාත්මකව අර්ථකථනය කිරීම සඳහා වූ පුදුමාකාර හැකියාව ගැන මා වික්ෂිපත්ත වෙලයි හිටියේ…” ඔහු මෙසේද ප්‍රකාශ කළේය: “ඕනෑම ආකාරයක කලාවකින් මා බලාපොරොත්තු වන්නේ ජීවිතයයි, එය අත්‍යවශ්‍යයෙන්ම මගේ සියලු නිර්මාණවල සාරය වූ ජීවිතයයි.”

චිත්‍රපට ලෝලියකු වූ ධර්මසිරි පහසු ගෙවීමේ පදනම මත මිල දී ගත් මි.මී.16 ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ආධාරයෙන් චිත්‍රපට නැරඹීමට යොමු විය. එය ඔහුගේ සිනමා ගුරුවරයා බවට පත්ව තිබිණි. කොළඹ පිහිටි සියලු තානාපති කාර්යාලවලින් චිත්‍රපට රීල් ණයට ගත් බණ්ඩාරනායක, තම ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ආධාරයෙන් සිනමාකරණය, සංස්කරණය, අධ්‍යක්ෂණය සහ තිර රචනය තනිවම හැදෑරීය. හෙතෙම ඒ ගැන මෙසේ පැවසීය: “ඒ කාලේ චෙක් කොන්සල් කාර්යාලයේ චිත්‍රපට 64ක් තිබුණා, මම ඒ සියල්ල බොහෝ වාරයක් නැරඹුවා.” ඔහුගේ සිනමාව කෙරෙහිද නාට්‍ය කලාව කෙරෙහි වූ දැඩි ආශාව බෙහෙවින් බලපෑම් කර තිබිණි.

‘හංසවිලක්’

‘හංසවිලක්’

ඔහුගේ මංගල සිනමා කෘතිය වන ‘හංස විලක්’ චිත්‍රපටයෙහි ඔහු ‘නිශ්ශංක ලෙස’ රඟපෑ අතර ආදරය, රාගය සහ අහිමි වීමේ ජාලයේ පැටලී සිටින මිනිසකුගේ මනෝභාවය එමඟින් මොනවට විශද විය. මේ සිනමා පටය ‘සිංහල සිනමා ඉතිහාසයේ ස්ථිර සන්ධිස්ථානයක්’ ලෙස විචාරක පැසසුමට පාත්‍ර විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හංස විලක් චිත්‍රපටය ‘විස්මිත මංගල දර්ශනයක්’ ලෙස හැඳින්වූ අතර, සිනමා මාධ්‍යයේ කැපී පෙනෙන සිනමා පටයක් ලෙසත්, හැඟීම් තීව්‍රව පෙන්නුම් කරන සහ පරිකල්පනීය, පර්යේෂණාත්මක සහ ඉතා උද්යෝගිමත් සිනමාපටයක් බවත් පෙන්වා දුන්නේය. මෙරට විද්වතකු මෙන්ම විචාරකයකුද වූ රෙජී සිරිවර්ධන ‘අභ්‍යන්තර මනෝවිද්‍යාත්මක අත්දැකීම් ලෝකයකට අප ගෙන යෑමේදී පෙර ඕනෑම සිංහල චිත්‍රපටයකට වඩා ඉදිරියට ගිය ආකෘතියක් සහ ශෛලියක් මෙම සිනමා පටයෙන් පෙනී යන බවත්, චිත්‍රපටයේ ස්වරූපය සහ ශිල්පීය ක්‍රම හරහා, සමාජයේ සහ පවුලේ පීඩනයන් ව්‍යාකුල සහ වධහිංසාවට ලක් වූ පුද්ගලයකුගේ මනසෙහි පිළිබිඹු කිරීමේ මාධ්‍යයන් සොයාගැනීම ධර්මසිරි බණ්ඩාරනායකගේ චිත්‍රපටයේ විශිෂ්ට ජයග්‍රහණයක්’ ලෙස ‘හංස විලක්’ හඳුන්වා දී තිබිණි.

‘හංස විලක්’ මෙරට සිනමා ගමන් මඟ බෙහෝ දුරට වෙනස් කළ චිත්‍රපටයක් වූ ලෙසම, ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයෙන්ද මෙරට සිනමා ගමන් මඟ නව මානයකට යොමු විය. වේදිකා නාට්‍යවලින් රටේ දේශපාලනය පිළිබඳ අවධානය යොමු කළ ධර්මසිරි චිත්‍රපට නිර්මාණවලින් කළේ පුද්ගල ආත්මයේ සහ පවුල් සංස්ථාවේ බිඳවැටීම සාකච්ඡාවට ලක් කිරීමය. ඔහුගේ චිත්‍රපටවලට නැඟෙනහිර යුරෝපීය චිත්‍රපටවල ආහාසය ලැබී තිබිණි. මේ චිත්‍රපට දෙකින්ම ඔහු මෙරට පවුල් සංස්ථාව. නීත්‍යනුකූල විවාහය මෙන්ම ව්‍යවහාර විවාහයද ප්‍රශ්න කරයි. ඔහුගේ දැඩි ප්‍රශ්න කිරීම එල්ල වන්නේ ලිංගික පාරිශුද්ධත්වය කෙරෙහිය. ඔහු පසුකාලීනව නිර්මාණය කළ ‘බවදුක’ හා ‘බව කර්ම’ චිත්‍රපටවලට බලපා ඇත්තේ ඉන්දීය නව රැල්ලේ සිනමාව වීම විශේෂය. ඔහුගේ අදහස වී තිබුණේ සත්‍යජිත්රායි ෂාම් බෙනගල් වැනි සිනමාකරුවන්ගේ කෘතිවල පෙනෙන හැඟීම් දැනවීමේ හා යථාව ප්‍රේක්ෂකයා වෙත ප්‍රක්ෂේපණය කිරීමේ ගුණය ඉතා ප්‍රබල බවයි. එය අප උකහාගැනීම වරදක් නොවන බව ඔහුගේ අදහස විය.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ‘The Resistible Rise of Arturo Ui’ නම් දැවැන්ත දේශපාලන නාට්‍යය ඉදිරිපත් කර තිබුණේ දෙවැනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිණිපෙත්තේ සිටියදීයි. එය ජාතිකවාදය සහ යුදෙව් විරෝධය පතුරවමින්ද තිරශ්චින ප්‍රචණ්ඩත්වය යොදාගනිමින්ද බලයට ඒමට අසමත් නායකක් විසින් යටත් වැසි සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය යකු ඇඟැවුම් කරන ප්‍රබලතම කතාවක් ලෙස ගොඩනඟා තිබිණි. ‘යක්ෂාගමනය’ වූකලිමේ සම්භාව්‍ය නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන 10ක් දිනාගනිමින් විචාරකයන්ගේද, රසිකයන්ගේද නොමඳ ඇගයීමට පාත්‍ර විය.

ධර්මසිරි මුලින්ම රංගන දායකත්වය දුන් ‘මකරා’ නාට්‍යය පසුව ඔහු විසින්ම ‘මකරාක්ෂයා’ ලෙස නිෂ්පාදනය කෙරිණි. 1985දී රාජ්‍ය නාට්‍ය උලෙළේදී ඊට සම්මාන ත්‍රිත්වයක්ම හිමි විය. ඒ හොඳම අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ ඇඳුම් නිර්මාණය යන අංශවලිනි.

ධර්මසිරි සෑම විටම සිය නිර්මාණ අතර ඉතා දීර්ඝ නිහැඩියාවක් පවත්වාගෙන යමින් නිර්මාණවල නියැළුණු කලාකරුවෙකි. ඔහු සිය තුන්වැනි යාමය’ චිත්‍රපටයෙන් පසු නැවත රිදී තිරයට ගොඩවදිනුයේ 1985 දී ‘සුද්දිලාගේ කතාව’ නිර්මාණය කරමිනි. එය ඔහුගේ සිනමා දිවියේ තවත් සන්ධිස්ථානක් සලකුණු කළේය.

මේ සෑම නිර්මාණ කාර්යයකදීම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය කැපී පෙනේ. ‘මකරාක්ෂයා’, ‘ධවල භීෂණ’ වේදිකා නිර්මාණවලට කේමදාසයන් නිර්මාණය කළ සංගීතය අද්විතීයය. ‘බවදුක’ සහ ‘බව කර්ම’ උදෙසා ධර්මසිරි යොදාගත්තේ දේශීය සංගීත නාදයයි. ඒ සඳහා ඔහු ආරාධනා කළේ එකල විප්ලවීය ගායකයා ලෙස විරුදාවලිය හිමි කරගෙන සිටි ගුණදාස කපුගේ හටය. මේ සිනමා නිර්මාණයේ සංගීතය වෙනුවෙන් කපුගේ හොඳම සිනමා සංගීතය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. 1994 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වූයේ ‘යක්ෂාගමනය’යි.

ට්‍රෝජන් ගැහැනු (1999) ධර්මසිර අවසන් වශයෙන් නිෂ්පාදනය කළ නාට්‍යයි. මෙය ග්‍රීක ඛේදාන්ත නාට්‍ය රචකයකු වන යුරිපීඩිස්ගේ කෘතියක පරිවර්තනයකි. එය සිංහලයට නැඟුවේ ආරියවංශ රණවීරය. යුරිපිඩිස් විප්ලවීය නාට්‍යකරුවකු වූ අතර ඔහු ඇරිස්ටෝටල් රංග රීතියට එරෙහි වූ පළමු නාට්‍යකරුද විය. ‘ට්‍රෝජන් ගැහැනු’ විශ්ව නාට්‍ය සාහිත්‍යයේ පෙනෙන අග්‍රගණ්‍ය යුද විරෝධී නාට­්‍යයකි. ඔහු අතින් අපූර්ව ගීතයක්ද රචනා වී තිබේ. ඒ ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීත නිර්මාණය කළ ටී.එම්. ජයරත්න ගයන “පවනට සැලෙනා” ගීතයයි.

2010 වසරේ නැවතත් ඔහු ‘ඒකා අධිපති’ වේදිකාවට රැගෙන ආවේය. ඒ යුද්ධය නිම වීමෙන් අනතුරුව ඒකාධිපති වියරුවකට මේ රට ගොදුරු වෙමින් තිබියදීය. අනතුරුව ඔහු ‘ධවල භීෂණ’ ද කරළියට රැගෙන ආවේ ඒ මොහොතේ පැවති දේශපාලන පසුබිම කෙරෙහි ජනතාව දැනුවත් කර බලගැන්වීම උදෙසාය.

මෙනයින් බලන කල: ධර්මසිරි බණ්ඩාරනායක නම් මේ අපූර්ව නිර්මාණකරුවා මේ රටට ණය නැති පුරවැසියෙකි. ඔහු සිය ජීවිතයේ ලද අනේකවිධ පීඩා දරාගනිමින් නැඟී සිටි ධෛර්යසම්පන්න මිනිසෙකි; සැබෑ විප්ලවවාදියෙකි.

සැබැවින්ම ඔහු හංස විලකින් මතු වූ සුන්දර හංසයෙකි. මෙරට වේදිකාව, සිනමාවට මේ හංසයා අවැසිය. ඔහු කලාවට ආභරණයකි; සම්පතකි. එහෙත් ඔහු වයෝවෘද්ධව ගිලන් වන තුරුම අපට ඔහු නොපෙනී යෑම කවර නම් අභාග්‍යයක්ද?

‘බව­කර්ම’ සින­මා ­ප­ටයේ ජැක්සන් ඇන්තනී සමඟ

‘බව­කර්ම’ සින­මා ­ප­ටයේ ජැක්සන් ඇන්තනී සමඟ

‘තුන්වෙනි යාමය’

‘තුන්වෙනි යාමය’

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division