Home » දෙහිවල සතුන් වත්තට ජීවය දෙන වන අරණේ සැඟවුණු කතාව

දෙහිවල සතුන් වත්තට ජීවය දෙන වන අරණේ සැඟවුණු කතාව

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment
ටානියා මෝසස්

මොහොතක් නැවතී හිඳිමි. කර්කෂ විකල් නගරයක දැවෙන තාර සහිත කොන්ක්‍රීට් බිමෙක මැවී ඇති මේ අසපුව විස්මයක්ම බව කිව යුතුව තිබේ. අතුපතර විහිදී පැතිරී යන මහා වනස්පතීන් අතර ඇසී නෑසී යන මහා ගැඹුරු දහමක රිද්මය අමුතුම සංහිඳියාවක් සිත තුළ උපදවයි. මෙය වෙනස්ම භූමියකි. දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය ගම්භීර ලෙස ඔසවා තබන නමුත් විශාල සංවාදයක් මතු නොකළ සත්වෝද්‍යාන භූමිය පසුබිම් කර ඇති වනෝද්‍යානය තුළ ඇවිද යමින් හිඳිමි. සියවසකට පමණ පෙර සිට සතුන් මුල් කරගෙන පැවත එන භූමියක බිහි වන දෙහිවල සත්ත්වෝද්‍යානය පසුබිමේ පැතිරුණු මේ හරිත භූමිය රටක් ස්වභාවධර්මය සමඟ පරිණාමය කළ හැකි බවට වූ සජීව සාක්ෂියක් බව සිතේ. මේ කතා කරන පරිසරය දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන්ගේ ආත්මය හා බැඳී ඇති අයුරු දැනේ. ඇතැම් සත්තු මේ ගස් ඇසුරෙහිම ජීවත් වෙති. තවත් අයෙක් සීමිත කොටු වූ භූමියක ඒ ගස්වල සිසිල විඳිමින් දකිමින් ජීවත් වෙති. මේ ගස් පෝෂණය වී වැඩෙන්න ඇත්තේ දෙහිවල සත්ත්වෝද්‍යානයේ සතුන්ගේ දුක සතුට සහිත දිවිපෙවෙත දකිමින් බව සිතමි.

ඉතිහාසය

ඒ කතාවට සාරවත් ඉතිහාසයක් තිබේ. දෙහිවල සත්ත්වෝද්‍යානයේ ආරම්භය 1926 දක්වා දිව යයි. එය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ උච්චතම අවස්ථාවය. දෙහිවල මුහුදේ සිට ඉහළට නැඟෙන කඳු ගැටයක් ආශ්‍රයෙහි නැඟුණු විසල් ගස් සහිත වනයක 1920 පමණ වන විට සතුන් එකතු කරන්නකු විසින් සතුන් රැඳවුම් භූමියක් පවත්වාගෙන ගියේය. ඔහු ජර්මන් ජාතිකයෙකි. නම ජෝන් හාර්ගෙන්බෙක්ය. ඔහු මේ භූමිය පවත්වාගෙන ගියේ පිටරට පටවන සතුන් වරායට රැගෙන යන තෙක් ගාල් කිරීම සඳහාය. පසුව මේ සතුන් දැකීමට පැමිණෙන කුතූහලය සහිත මිනිස්සුන්ගෙන් මුදල් අය කරගැනීමක් ද මේ ජර්මන් ජාතිකයා කරගෙන ගොස් තිබිණි.

පසුව බ්‍රිතාන්‍ය රජය ජර්මන් ජාතිකයා විසින් අක්කර 22ක ඉඩමක පවත්වාගෙන ගිය ඔහුගේ පෞද්ගලික සත්ත්වෝද්‍යානය සහ සත්ත්ව වෙළෙඳ භූමිය බ්‍රිතාන්‍ය රජය තමන් වෙත පවරාගත්තේය. අනතුරුව 20 වැනි සියවසේ මුල් භාගයේ පැවැති මහා යුරෝපීය සත්ත්වෝද්‍යානවලින් ආභාසය ගෙන මේ දේපළ අධ්‍යාපනික සහ විනෝදාත්මක අරමුණු සඳහා සේවය කරන සත්ත්වෝද්‍යානයක් බවට පරිවර්තනය කිරීමට බ්‍රිතාන්‍ය රජය උත්සාහ කළේය. 1936 ජූලි 1 වන දින, ජාතික සත්ත්වෝද්‍යානය නිල වශයෙන් මහජනතාවට දොරටු විවර කරන්නේ එයින් පසුවය.

භූමි අලංකරණය කරන ලද කොටු, වංගු සහිත ඇවිදීමේ මාර්ග සහ විදේශීය සහ දේශීය සතුන්ගේ වර්ධනය වන එකතුවක් සමඟ, දෙහිවල සත්ත්වෝද්‍යානය ඉක්මනින් ආදරණීය පොදු ආයතනයක් බවට පත් විය. කාලයත් සමඟ එය අක්කර 25කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය වන පරිදි පුළුල් වූ අතර, එතැන් සිට ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයේ වටිනා කොටසක් සංකේතවත් කළේය.

දෙහිවල සත්ත්වෝද්‍යානය සූක්ෂ්ම ලෙස නඩත්තු කරන ලද භූ දර්ශනය වූයේ මා මේ පය ගසා සිටිනා හරිත අභයභූමියයි. නගරය තුළ වන උයන් මැවූ සාම්ප්‍රදායික සිංහල උද්‍යාන ක්‍රම නවීන පාරිසරික සැලසුම සමඟ ඒකාබද්ධ කරන සංකල්පය මේ උද්‍යානයයි. එය ශුෂ්ක නගරය එක් උස් තාප්පයකින් වෙන් කර දමා පූර්ණ වෙනසක් සහිත වන දහනකින් යුත් අසපුවක් බිහි කළ හැකි ආශ්චර්යය ප්‍රායෝගික කළ විරල අවස්ථාවකි. උස් නිවර්තන ගස්වලින් සැදි පියැසි අතර සැදුණු සන්සුන් පොකුණු, මල් පිපෙන පඳුරු සහ බිම වැලඳගත් තණ භූමි සියවස් ගණනකට පෙර සැදුණු ස්වාභාවික වන දහනක් මිනිසා විසින් කළමනාකරණය කරගෙන වනෝද්‍යානයක් බවට පත් කර ඇති ආකාරය අපූරුය! ඒ වෘක්ෂ ගහනය තුළ දුර්ලභ හා දේශීය ශාක හා ඖෂධීය ශාක විශේෂ රාශියක් ඇතුළත්ය. මා ඉදිරියේ ඇත්තේ සත්ත්වෝද්‍යානයට ජීවිතය සපයන උද්භිද විද්‍යාත්මක නිධානයකි. තුරු වියනේ ස්වාභාවික සෙවණ යට නිදහසේ සැරිසරන පක්ෂීන්, සමනලුන් සහ මීමැසි කැල දකිමි. ඔවුන් දකිමින් පුදුමාකාර සැහැල්ලුවකින් ඒ බිමේ ඇවිද යමි.

වන දහන ජීවත් කරන මිනිස්සු

මා සමඟ මේ භූමිය නඩත්තු කර පවත්වාගෙන යන මේ ගස්වලට ජීවිතය කැප කළ මිනිස්සු පිරිසක් සිටිති. උද්‍යාන පාලක ඩී. ඒ. අබේරතන්න එයින් කැපී පෙනෙන මිනිසාය. ඔහු ස්වකීය ජීවිතයේ අවුරුදු 40ක් ගත කර ඇත්තේ මේ උද්‍යානයේ ගස් කොළන් අතරය. ඔහු සමඟ උද්‍යාන නඩත්තුව සඳහා සේවකයෝ 29 දෙනෙක් කැප වී සිටිති. මේ උයනේ මල් පල දරන්නේ දලු පූදින්නේ මේ මිනිස්සුන්ගේ සත්කාරය සහ ආදරය මතය. එය ආදරය කරුණාව සහ මනුෂ්‍යත්වය පිරුණු පරිසරයක සොඳුරු මිනිසුන්ගේ හමුවක් බව ලියා තැබිය යුතුය.

මේ භූමියේ ශාක සංතතිය සම්බන්ධව නිශ්චිත වාර්තා නඩත්තු වී නැත. එහෙත් වසර හතළිහක් මේ ගස් සමඟ කාලය ගත කළ උද්‍යාන පාලක අබේරත්නට උයනේ ශාක සම්බන්යෙන් සැලකිය යුතු මතකයක් සහ දැනුමක් තිබේ. මේ උයනේ සමරු ගස් සිටුවිණි. රාජ්‍ය නායකයෝ පැමිණ ශාක පැළ කර ගියහ. ඒ ශාක හැදී වැඩී මල් පල දරන තෙක් බලා ගත් පොඩි මිනිස්සු නියෝජනය කරන්නේ අබේරත්නලාය. වඳවී යන දුර්ලභ ශාක, ඉතිහාසයේ සංකේතයක් වූ ශාක, විදේශ රටවල් සමඟ ඇති කරගත් සංස්කෘතික නැමියාව පිළිබද සාක්ෂි සපයන ශාක සහිත මේ ශාක ගහනය සම්බන්ධව විධිමත් අධ්‍යයනයක් තිබුණා නම් කොතරම් අපූරුදැයි සිතේ. මේ උයන සියවස් කාලයක් තිස්සේ මිනිසාගේ මැදිහත්වීමෙන් ක්‍රමයෙන් සංවර්ධනය වූ වන භූමියකි. එවැනි භූමියක වාර්තා පවත්වා ගැනීමේ අවශ්‍යතාව මේ වන විට පාලන අධිකාරියට අවබෝධ වී ඇති ඇයුරු අසමි. එය සිත් සනසන කාරණයකි.

ඇවිද යන අතර අබේරත්න අප සමඟ කතා කරන්නේය:

“මම සේවයට එන්නේ 1985 ඔක්තෝබර් 1 වැනිදා. ඒ කියන්නේ අවුරුදු හතළිහකට කලින්. කම්රුවකු විදිහටයි ආවේ. ඊට පස්සේ තමයි උද්‍යාන පාලක තනතුර ලැබුණේ. ඒ තනතුරේ තවම ඉන්නවා. මෙතැනට විවිධ රාජ්‍ය නායකයන් ඇවිත් රෝපණය කළ ශාක එකතුවක් තිබෙනවා. මම ඉන්න කාලේ ජපානයේ ජනාධිපතිතුමාගේ පුතා බිරියත් එක්ක ඇවිත් ගහක් සිටුවලා ගියා. ශී ෂෙල්ස් රාජ්‍යයේ රාජ්‍ය නායකයෝ ඇවිත් ශාඛ රෝපණය කළා. මේ අතරේ අපි හිටවපු ගස් තියෙනවා. වඳ වී ගෙන ගිය ශාක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇවිත් මේ උද්‍යානයේ රෝපණය කර ගිහින් තියෙනවා. ඒ අතර සිටුවපු බෙහෙත් ගස් රාශියක් තිබෙනවා. අපේ ළඟ තියෙන සමහර ගස් වර්ග පේරාදෙණිය හෝ ගම්පහ උද්භිද උද්‍යානවල පවා නෑ. ඒ අය පුදුම වෙනවා මෙතෙන්ට ආවට පස්සේ. මේ ටික කළමනාකරණය කරගෙන යන විදිහ ගැන.”

අබේරත්න පවසන්නේ ආඩම්බරයෙනි. මේ උද්‍යාන භූමිය මේ සත්ත්ව ගහනය පෝෂණය කරන ආකාරයත් අසා සිටියෙමි. ගස්වල කැපූ අතු පවා යන්නේ සතුන්ගේ පරිභෝජනයටය. බොහෝ විට පලතුරු ගස්වල පලදාවත් සතුන්ගේ ආහාරවලටය. එය නිවැරදිව කළමනාකරණය වන්නේ නම් මොනතරම් ඉහළ සංකල්පයක්දැයි සිතේ.

අබේරත්න සමඟ අපට මඟ පෙන්වන තරුණ සංවර්ධන නිලධාරිවරයා ශ්‍යාමල් සමරනායකය. ඔහු සත්ත්ව විද්‍යා උපාධිධාරියෙකි. එහෙත් දැන් ඔහු මේ වනෝද්‍යානය සංවර්ධනය කිරීමට සිය කාලය ශ්‍රමය සහ විද්‍යාත්මක දැනුම සපයමින් සිටින්නේය. ඔහුට අනුව මේ උද්‍යානයේ අවුරුදු සියයකට වඩා පැරණි වනස්පතීහු වෙති. පරණම ගස අවුරුදු සියය ඉක්මවා ගිය දැවැන්ත මැයි මාර ගසකි. සත්ත්වෝද්‍යානයේ අවන්හල පැත්තෙන් සර්ප උයන ‍වෙත ප්‍රවේශ වන්නේ මේ ඉතිහාසයක් දුටු ගස ළඟිනි. මේ පරණ ගස් තව ගස් විශාල ප්‍රමාණයකට ජීවිතාධාර සපයමින් ජීවත් වෙමින් ඇත.

ශ්‍යාමල් මේ වෘක්ෂ ගහනයේ අපූර්වත්වය අපට කියන්නේ ගස් අතර ඇවිද යන අතරය:

“අපි ළඟ මේ සත්ත්වෝද්‍යානය පටන් ගත්ත කාලේ පරණ ඡායාරූප තිබෙනවා. ඇත්තටම ඒ කාලෙ උද්‍යානයේ මේ තරම් වන ගහනයක් තිබිල නෑ. ටික ටික තමයි සංවර්ධනය කර තිබෙන්නේ. විහාර මහා දේවි උද්‍යානයට පස්සේ මිනිස් මැදිහත් වීමෙන් කොළඹ සංවර්ධනය වන වනෝද්‍යානය තමයි මේක. මේ සංකල්පයක් ලෙස හඳුනාගෙන මේ වැඩසටහන සංවර්ධනය කරන්න ඉතිහාසයේ හිටපු කීර්තිමත්ම සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ප්‍රධානියා වුණු ලීන් ද අල්විස් මහත්තයා මැදිහත් වෙලා තියෙනවා. උද්‍යානයේ ශාක සන්තතිය වැඩි කරන්න කටයුතු කරන්නේ ඔහු. ඔහු යම් විද්‍යාත්මක ක්‍රමයකට මේ ශාක සන්තතිය නඩත්තු කරන්න කටයුතු කර තිබුණා. ඒ වගේම, උද්‍යාන පුහුණු වැඩසටහන්වලට යවලා සේවකයන්ගේ විෂය දැනුම වැඩි කිරීම පටන් අරන් තිබෙන්නෙත් ඔහු. ලීන් ද අල්විස් කියන්නේ සිංගප්පූරුවේ සත්ත්වෝද්‍යානයත් සැලසුම් කළ අපේ කීර්තිමත් විද්වතා.”

දෙහිවල සත්ත්වෝද්‍යානය සත්ත්ව අංශය, උද්‍යාන අංශය සහ උපකාරක අංශය ලෙස අංශ තුනක් යටතේ සංවිධානය වී ඇත්තේය. උපකාරක අංශය සැකසී තිබෙන්නේ සත්ත්ව හා උද්‍යාන අංශවලට පහසුකම් සැලසීම වෙනුවෙනි. එහෙත් පෞරාණික ශාක නඩත්තුව සහ අධීක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඇති ආකාරයක් පෙනෙන්නේ නැත. දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිදු වූ අමතක නොවන ඛේදවචාකයක් වන්නේත් ගසක් කඩාවැටීම හේතුවෙන් ආරක්ෂක නිලධාරියකු මරණයට පත් වීමේ සිද්ධියයි. මෙහි සේවකයන් තවමත් ඒ සිද්ධිය සිහි කරන්නේ කම්පනයෙනි.

“මේ තියෙන්නේ බොහොම විරල ගස් ටිකක්. මේ ගහ කළුවර…” ශ්‍යාමල් කියයි. දෙහිවල නගර මැද කළුවර ගසුත් ඉතිරිව ඇත! සඳුන් ගසුත් තිබේ. අරළු, බුළු, නෙල්ලි වැනි මහා ඖෂධ වර්ග ගණනාවකි. එක් අතකින් මේ උයන ඔසු උයනකි.

“ගස් කියන්නේ වෙනස්ම කතාවක්. ඒ හැම ගහක්ම ජීවත් වෙනවා. ඒ වගේ ස්වභාව ධර්මයට ධනාත්මක සංවේදන සහිත බලයක් නිකුත් කරනවා. අප වුවත් මානසික පීඩාවක් ඇති වුණාම ගහක් යටට ඇවිත් හිටියොත් ලොකු ශාන්තියක් ඇති වෙන්න ගන්නවා. සත්තුන්ටත් ඒ සුව පහසුව ඒ විදිහටම දැනෙන බව තේරුණ කතා දෙකක් කියන්නම්. ලෝකයේ අනෙක් රටවල ඉන්න සතුන්ව පවත්වාගෙන යන්නේ ඉතා දැඩි ලෙස සෞඛ්‍ය තත්ත්ව සහ පරිසර තත්ත්ව අධ්‍යයනය කරමින්. අපිත් එහෙම පරීක්ෂා කරනවා. ඒත් ඒ රටවලට සාපේක්ෂව අපට ඉතා අඩු මට්ටමකින් ඒක කරලා සතුන් නීරෝගිව පවත්වාගෙන යන්න පුළුවන්. අප අත්දැක තිබෙන දේ තමයි මේ ශාක සන්තතිය හින්දා සත්තුන්ගේ ගොඩාක් ලෙඩ හොඳ වෙනවා කියන එක.

“දෙවැනි කාරණාව කොවිඩ් කාලෙට යනවා. කොවිඩ් කාලෙ සිංහයාට අමාරු වුණා. ගොඩාක් ප්‍රතිකාර කරන්න වුණා ජීවිතය බේරාගන්න. අපි වෛද්‍ය උපදෙස් ගත්තේ ඉන්දියාවෙන්. ඒ විශේෂඥවරුන් කිවුවේ සතාට එළිමහනෙ ගහක් යට නිඳාගන්න දෙන්න කියලා. අපි ඒක කළා. මැරෙන්න වැටිලා හිටිය සතා ගොඩ ආවා. සිංහ දූපතේ තියෙනවා කටුපිල ගහක්. ඒ ගහ යට තමයි සිංහයා ගොඩාක් වෙලාවට නිඳාගත්තේ. අපට දැන් තේරෙන දේ තමයි ලීන් ද අල්විස් මහත්තයගෙ කාලේ සිටුවපු බොහොමයක් ගස් සිටුවලා තිබුණෙ තර්කයක් ඇතිව…” ඔහු කියන්නේය.

පසුගිය කාලයේ කොළඹ බොහෝ රෝගි මිනිස්සුන්ට අවශ්‍ය සත්කාර සඳහා ඖෂධ සපයා තිබුණේ මේ වන උයනෙනි. ඒ අත්දැකීම අපට කියන්නේ උද්‍යාන පාලක අබේරත්නය.

“ඉසතෙල් ගාන අවුරුද්දේ අපි පන්සල් 11කට ඖෂධ බඩු දුන්නා. දැනුත් අපි ඖෂධ පැළ ගෙනැවිත් සිටුවනවා. සමහර විට සත්තුන්ට බෙහෙත්වලට ගන්නවා වෛද්‍ය අනුමැතියෙන්. ඒ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරවලට අමතර අවස්ථාවලදි පමණයි.”

බොහෝ ප්‍රිය උපදවන කතා අසමින් හිඳිමි. මේ කෙටි සංචාරය නිමා කිරීමට දැන් කල් එළඹ ඇත. යළිත් මෑත බලමි. සල්, මී, නා, නුග, අත්තික්කා, මඩු වැනි ශාඛ මෙන්ම වඳ වී යන තර්ජනයට ලක් වූ වල් ගොරකා වැනි දුර්ලභ ශාක ගහනය අතර මනරම් මල් පඳුරුය. කිණිහිරියා මල් තැනෙක පිපී ඇත. ඒ අතර විහාර ඉද්ද පඳුරුය. විහාර ඉද්ද පඳුරක් වෙත සමීප වෙමි. විහාර ඉද්ද හැම තැනම වැවෙන්නේ නැත. ගස පැළ කරගැනීමද පහසු කටයුත්තක් නොවේ. මුලදී සුදු පැහැති විහාර ඉද්ද මල පසුව කහ පැහැ වී පසුව තැඹිලි පැහැ වන්නේය. ඉන් නිකුත් වන්නේ පන්සලක බුදු ගෙයක් අසලින් නික්මෙන්නාක් බඳු හිත නිවාලන සුවඳකි. මේ මල් ගොමු ජීවිතය ගැන දහමක් කියා දෙනු වැන්න.

විහාර ඉද්ද මල් පිපෙන්නේ සොබා දහම තුළ ජීවත් විය යුතු ආකාරය ගැන කියමිනැයි සිතේ. හැම තැනම නොපිපෙන, පිපෙන තැන පරිසරමය අලංකාර කරමින් සුවඳවත් වන, මලෙක වටිනාකම දැනෙන බිමකම පීදී ඒ මලේ වටිනාකම දන්නා අයකුටම නෙළාගන්න හිතෙන විහාර ඉද්ද මලක් කියන්නේ මහා බරසාර කතාවකි.

ලෝකය මොනතරම් අපූරු තැනක්ද? ඒත් අප තවමත් කල් ගත කරන්නේ මේ ලෝකයේ විචිත්‍රත්වය නොදන්නා නොදරුවන් සේය.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment