Home » කඳ සුරිඳු මංගල්‍යයට පා ගමනින් එන වතුකරයේ බැතිමතුන්

කඳ සුරිඳු මංගල්‍යයට පා ගමනින් එන වතුකරයේ බැතිමතුන්

by chanaka
June 17, 2025 12:04 pm 0 comment

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගි විම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන දෙවන කණ්ඩායම ඊයේ (16)  පස්වරුවේ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කෙරිණි.

එම කණ්ඩායම ඊයේ  දික්ඔය හින්දු කෝවිල වෙත පැමිණ නවාතැන් ගෙන විවේක ගැනීමෙන් අනතුරුව අද (17) දින යළිත් නානුඔය රදැල්ල නගරය දක්වා ගමන් ආරම්භ කළහ.

මෙම කණ්ඩායම හතලිස් දෙනෙකුගෙන් සමන්විත අතර, කාන්තාවන් විසි දෙනෙකුද ඇතුළත්ව දෙවන කණ්ඩායම‍ (26) දින වන රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටු වීමට සහභාගි වීමේ අපේක්ෂාවෙන් ගමන් කරයි.

මස්කෙළිය, සාමිමලේ, හැටන්, නුවරඑලිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, තණමල්විල, කුඹල්ගම, බුත්තල, යාල රක්ෂිතය හරහා කිලෝමිටර් 275 ක් පාගමනින් ගොස් ජූනි මස (26) දින කතරගම ඇසළ කප් සිටු වීමේ මංගල්‍යයට සම්බන්ධ වන බව එම කණ්ඩායමේ බැතිමතෙකු ප්‍රකාශ කළේය.

දිනකට කිලෝමිටර් 40-50 අතර දුරක් පාගමනින් ගමන් කරන බවත්, පාගමනින් යන මාර්ගවල පිහිටි ආගමික ස්ථානවල සහ විශ්‍රාම ශාලාවල රාත්‍රි කාලයේ නවාතැන් ගෙන විවේක ගෙන ඊට පසු දින යළිත් ගමන් ආරම්භ කරන බවත්, පාගමනින් ගමන් කරන බැතිමතුන්ට අවශ්‍ය ආහාර පාන මාර්ගය දෙපස සිටින පිරිස් විසින් ලබාදෙන බවත් පාගමනේ නිරත වන බැතිමතුන් වැඩිදුරටත් කියා සිටියෝය.

You may also like

Leave a Comment