ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක වෙත ඊශ්‍රායලය සිකුරාදා අලුයම ගුවන් ප්‍රහාර එල්ල කළ බැව් වාර්තා වේ. ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා මධ්‍යස්ථාන ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව ඇති අතර, ටෙහෙරාන් අගනුවර පිපිරීම් ගණනාවක් වාර්තා වී තිබේ. රජය රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශය ඊශ්‍රායල ප්‍රහාර හෙළාදකිමින්, එය අන්තර්ජාතික නීතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වීය. කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින්, අමාත්‍යාංශය පැවසුවේ ඉරානය තීරණාත්මකව ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමා සතුව රඳවා තබාගන්නා බවත්, ඊශ්‍රායල පාලන තන්ත්‍රයට තම ආක්‍රමණයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවත්ය.
“මීට සුළු වේලාවකට පෙර, ඉරානයේ විවිධ ප්‍රදේශවල න්‍යෂ්ටික ඉලක්ක ඇතුළු හමුදා ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කරමින්, ඊශ්‍රායල ගුවන් හමුදා ජෙට් යානා ගණනාවක් පළමු අදියර සම්පූර්ණ කළේය,” ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ඊශ්‍රායලය ඉරානයේ ප්‍රමුඛ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඉලක්ක කරගත් බවත්, ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනේ හදවතටද පහර දුන් බවත්ය.
බටහිර ටෙහෙරානයේ අසල්වැසි ප්‍රදේශයක් වන චිතගාර් වෙතින් දුමාරයක් නැඟී එන බව වාර්තා වුවද, ඊශ්‍රායලය පහර දුන්නේ කුමකටදැයි පැහැදිලි නොවීය. ඒ ප්‍රදේශයේ න්‍යෂ්ටික ස්ථාන ඇති බවක් වාර්තා වී නැත. ඊශ්‍රායල හමුදාව ටෙහෙරානය අවට අවම වශයෙන් හමුදා කඳවුරු හයකට ප්‍රහාර එල්ල කර ඇති බව නම් නොකළ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් හතර දෙනකු උපුටා දක්වමින් ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
පාර්චින් හමුදා සංකීර්ණය මෙන්ම හමුදා අණ දෙන නිලධාරීන් සඳහා ඉතා ආරක්ෂිත සංකීර්ණ දෙකක නේවාසික ගොඩනැඟිලි සහ බහු නේවාසික ගොඩනැඟිලි ඉලක්ක කරගත් බව වාර්තා වේ. මෙය ඉරාන ආරක්ෂක හමුදා ප්‍රධානීන් ඝාතනය කිරීමේ ඉලක්කගත ප්‍රහාරයක් විය හැකි බව ප්‍රවෘත්ති මූලාශ්‍රයන්හි දැක්වේ.
ඉරානයේ ‘තස්නිම්’ ප්‍රවෘත්ති ඒජන්සිය සහ ‘ටෙහෙරාන් ටයිම්ස්’ පුවත්පත පවසන්නේ ඉස්ලාමීය විප්ලවවාදි ආරක්ෂක බළකායේ ප්‍රධාන අණ දෙන නිලධාරි හොසේන් සලාමි ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බවයි. ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන් දෙපළක් වන මොහොමඩ් මෙහ්ඩි ටෙහෙරාන්චි සහ ෆෙරෙයිඩවුන් අබ්බාසි ද ඝාතනය කෙරුණු බැව් වාර්තා වේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යිස්රායෙල් කැට්ස් පැවසුවේ ඊශ්‍රායල හමුදාව ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඒ සමඟම ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඇති බවයි. කැට්ස් ඊශ්‍රායලයේ විශේෂ තත්ත්වයක්ද නිවේදනය කරමින් සිකුරාදා රට පුරා පාසල් වසාදමන බව පැවසීය. ඔහු මෙම ප්‍රහාර ටෙහෙරානයට එරෙහි පූර්වගාමි ප්‍රහාරයක් ලෙස හැඳින්වීය. “ඉරානයට එරෙහිව ඊශ්‍රායලයේ පූර්වගාමි ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් ක්ෂණිකව එල්ල වීමක් අපේක්ෂා කෙරේ,” ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඉරානයේ ‘IRNA’ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ ගුවන් සේවා බලධාරීන් නැවත දැනුම් දෙන තුරු රටේ ගුවන් සීමාව වසාදමා ඇති බවයි.
ඊශ්‍රායලයේ නවතම ප්‍රහාරය ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහි පුළුල් මෙහෙයුමක පෙරනිමිත්තක්ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වෙතත්, ඉකුත් දින කිහිපය තුළ එක්සත් ජනපද සහ යුරෝපා මූලාශ්‍රයන් උපුටා දක්වමින් ඊශ්‍රායලය එවැනි ප්‍රහාරයකට සූදානම් වන බවට ප්‍රවෘත්ති බටහිර මාධ්‍යවල පළ වී තිබිණි.
සිකුරාදා ප්‍රහාර එල්ල වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ඉරානයට එරෙහි ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගයට විරුද්ධ බව ඉකුත් බදාදා කළ ප්‍රකාශ නොතකාය. ට්‍රම්ප්ගේ ප්‍රධාන ඉරාන සාකච්ඡාකරු ස්ටීව් විට්කොෆ් ඉරිදා දිනයේ ඉරාන විදේශ අමාත්‍යවරයා හමු වීමට නියමිතව තිබූයේ, ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන මැඬපැවැත්වීමට අදාළ ගිවිසුමක් පිළිබඳ හයවැනි වටයේ සාකච්ඡා සඳහාය.
“[ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට] මම කීවා දැන්ම මෙය කිරීම නුසුදුසු බව. මොකද, අපි විසඳුමකට ඉතා ආසන්නයි,” ට්‍රම්ප් වාර්තාකරුවන් හමුවේ කියා සිටියේය. “දැන්, ඕනෑම මොහොතක එය වෙනස් වෙන්න පුළුවන්. ඒක දුරකතන ඇමතුමකින් වෙනස් වෙන්න පුළුවන්. එහෙත් දැන්, මම හිතන්නේ ඔවුන්ට සම්මුතියක් ඇති කරගන්න ඕනෑ කියලා. අපට ගනුදෙනුවක් කරන්න පුළුවන් නම්, බොහෝ ජීවිත බේරාගන්න හැකි වේවි.”
ඒ සමඟම, ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකට වොෂින්ටනය සහභාගි නොවන බව එක්සත් ජනපද නිලධාරීන් පුළුල් ලෙස උපුටා දක්වන ලද නමුත්, එය ටෙහෙරානයේ ඕනෑම පලි ගැනීමකට එරෙහිව ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට උපකාරි වනු ඇත.
ප්‍රහාර පිළිබඳ පළමු වාර්තා මතු වීමෙන් සුළු වේලාවකට පසු ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක් මඟින්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ තම රට ප්‍රහාරවලට සම්බන්ධ නොවන බවයි. “අද රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකපාර්ශ්වික පියවරක් ගෙන ඇත,” ප්‍රකාශයේ සඳහන් වේ. “අප ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ නොවන අතර, අපගේ ප්‍රමුඛතාව කලාපයේ අමෙරිකානු හමුදා ආරක්ෂා කිරීමයි. මේ ක්‍රියාමාර්ගය තම ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය බව තමා විශ්වාස කරන බව ඊශ්‍රායලය අපට දැනුම් දුන්නේය. ජනාධිපති ට්‍රම්ප් ඇතුළු පරිපාලනය අපගේ හමුදා ආරක්ෂා කිරීමටත් අපගේ කලාපීය හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගැනීමටත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. මම පැහැදිලිව යමක් කියන්නම්: ඉරානය එක්සත් ජනපද වුවමනා-එපාකම් හෝ පිරිස් ඉලක්ක කර නොගත යුතුය.”
වොෂින්ටනයේ ප්‍රමුඛපෙළේ ඊශ්‍රායල් හිතවාදි පර්ෂදයක් වන අමෙරිකානු ඊශ්‍රායල මහජන කටයුතු පිළිබඳ කමිටුව (AIPAIC), X අවකාශයේ සටහනක් තබමින් ඊශ්‍රායලයට සහාය දෙන ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටී: “ලොව ප්‍රමුඛතම රාජ්‍ය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටෙන් තම පවුල් ආරක්ෂා කිරීමට පියවර ගන්නා විට අමෙරිකාව අපගේ සගයා සමඟ එකට සිටගත යුතුය,” එහි දැක්වේ.
ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහුගේ දෙවැනි ධුර කාලය තුළ පළමු සැබෑ විදේශ ප්‍රතිපත්ති අර්බුදය උද්ගත කර කරයි. එය ඔහුගේ අත්සන සහිත ගෝලීය මුලපිරීම් තීරණාත්මක සන්ධිස්ථානයකට රැගෙන විත් තිබේ. යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමටත්, ගාසා තීරයේ සාමය ඇති කිරීමටත් ඔහු දැරූ උත්සාහයන් සහ චීනය සමඟ ඔහුගේ වෙළෙඳ යුද්ධය යන මේ සියල්ල සාක්ෂාත් කරගැනීමට ට්‍රම්ප් අසමත්ව සිටී.
උද්ගතව ඇති තත්වය හමුවේ ජනාධිපතිවරයාගේ පළමු මෙහෙවර වන්නේ මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් ඉරාන පළිගැනීමේ ප්‍රහාරවලින් මැද පෙරදිග කලාපයේ රඳවා සිටින තම හමුදා භටයින් ආරක්ෂා කර ගැනීමයි. ඊශ්‍රායලයට එල්ල කරන ලද පළමු සෘජු ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව බයිඩන් පරිපාලනය ඉකුත් වසරේ මේ හා සමාන අභියෝගයකට මුහුණ දුන්නේය. එනම් මැද පෙරදිග තම ප්‍රධානතම සගයා වන ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමයි. කෙසේ වෙතත්, සහචරයින් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව, එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම පාහේ ඊශ්‍රායලයට එරෙහි ඉරාන ප්‍රහාර සාර්ථක ලෙස මැඩපැවැත්වීය.
මැද පෙරදිග කලාපයේ දැවැන්ත යුද්ධයක් ඇති වීමේ අවදානමක් පවතින බවට ට්‍රම්ප් මේ සතියේ අනතුරු ඇඟවීමක් කළේය. ඊශ්‍රායල ප්‍රහාරයත් සමඟ එවැනි දිග්ගැස්සෙන යුද්ධයකට එක්සත් ජනපදයද ඇදගෙන යෑමට ඇති ඉඩකඩ ඔහු පළමු කොටම අහුරාලිය යුතුය. ට්‍රම්ප්ගේ ‘අමෙරිකාව පෙරට’ යන දේශපාලන සටන් පාඨයේ මුඛ්‍ය අරමුණක් වනුයේ එක්සත් ජනපදය ලොව ගැටුම්වලින් ඈත් කොට තබා ගැනීමයි.
ඊශ්‍රායල ප්‍රහාර ට්‍රම්ප්ගේ තවත් ඉලක්කයකටද අභියෝග එල්ල කරයි. සති කිහිපයකට පෙර ඔහු පුරෝකථනය කළේ ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇති බවයි. එහෙත් නැවත වරක්, ජනාධිපතිවරයාගේ ගනුදෙනු කිරීමේ කලාව සංකීර්ණ භූ-දේශපාලනික සාකච්ඡාවලට විසඳුම් සෙවීමෙහිලා ප්‍රමාණවත් නොවන බැව් පෙනී යයි. ඉරානයට පහර දීමට ඊශ්‍රායලය ගත් තීරණය – එය අමෙරිකා එක්සත් ජනපදය විසින් කල් තියා අනුමත කරන ලද්දක් හෝ එසේ නොවූව ද – ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර ආතති සහගත සම්බන්ධතාව තවදුරටත් අඩාළ විය හැකිය.
මේ අර්බුදය පැමිණෙන්නේ එක්සත් ජනපදය තුළ කැලඹිලිසහගත දේශපාලන පරිසරයක් මධ්‍යයේය. නීතිවිරෝධි සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාතික ආරක්ෂක භටයන් සහ එක්සත් ජනපද මැරීන් භටයන් කැලිෆෝනියාවට යෙදවීමට ගත් තීරණයෙන් පසු අමෙරිකානුවන්ගෙන් බහුතරයක් ට්‍රම්ප් කෙරෙහි ඇති බිඳෙනසුලු විශ්වාසය දැනටමත් දැඩි පීඩනයකට ලක් වී ඇත. දැන් ට්‍රම්ප් නිසැකවම යුදමය කලාපයක තම හමුදා අනතුරට ලක් වීමේ අවදානමකට මුහුණ පා ඇති අතරම, මවුබිමේ අමෙරිකානුවන්ට එරෙහිව ඔවුන්ගේ යෙදවීම සධාරණීකරණය කිරීම යන ද්විත්ව අභියෝගයකට මුහුණ පා සිටී.
නවතම ප්‍රහාරයේ සන්දර්භය කුමක් වුවත්, ඊශ්‍රායලය ඉරානයට එරෙහි ප්‍රහාරය ආරක්ෂක පියවරක් ලෙස හුවා දක්වා ඇත. ඉරානයට එරෙහි ප්‍රහාරය ඊශ්‍රායල දේශපාලනයේ එකඟතාව පිළිබඳ කරුණකි. ඊශ්‍රායල දේශපාලන වර්ණාවලිය පුරා සිටින සෑම දේශපාලනඥයෙක්ම පාහේ ඉරානය තම පැවැත්මට තර්ජනයක් ලෙස සලකති. රටේ ආරක්ෂාව සඳහා මේ වන විට දහස් ගණනක් ආරක්ෂක භටයන් කැඳවා ඇත. රට සීරුවෙන් තබා ඇති අතර, ඊශ්‍රායලය ඉරානයෙන් පළි ගැනීමක් අපේක්ෂා කරයි. ඊශ්‍රායල හමුදාව පවසන අන්දමට ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරීන්ද ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් තිබේ.
ඉරානයේ ප්‍රතිචාරය කුමක් විය හැකිදැයි අපි බලා සිටිමු. ඇතැම් විට, එය තුන්වැනි ලෝක යුද්ධයක මුලපිරුම වුවද විය හැකිය.